Home » පාස්කු ප්‍රහාරයෙන් පසු පළමු දින තුනේ දිවා රෑ නොනිදා කළ මහ මෙහෙයුමේ ජීවමාන සාක්ෂි

පාස්කු ප්‍රහාරයෙන් පසු පළමු දින තුනේ දිවා රෑ නොනිදා කළ මහ මෙහෙයුමේ ජීවමාන සාක්ෂි

by sachintha
April 20, 2024 12:52 am 0 comment

කොච්චිකඩේ පල්ලියේ මළ සිරුරු සහ ශරීර කොටස් රාශියක් තිබුණත් ඒවා දාන්න තිබුණේ බෑග් 33යි. ඉතිරි ශරීර කොටස් ගාබේජ් බෑග් 13කට දැම්මා පළමු දවස් තුනේ උදේ පාන්දර පටන් ගත්ත වැඩ අවසන් වුණේ පහුවදා පාන්දර. ඊළඟ දවසෙත් පාන්දරම වැඩ පටන් ගත්තා. මුල් දවස් තුන ගත වුණේ එහෙමයි සමහරු මියගිය ඥාතියාගේ ශරීර කොටස් ඉටි බෑග් දෙක තුනක දාගෙන ත්‍රීවිල් එකකින් මල් ශාලාවට අරගෙන ගිය අවස්ථාත් තිබුණා මළ සිරුරු දාන්න කූල්රූම් එකක් සහිත කන්ටේනරයක් ගෙනාවා වගේම කාර්යාලයේ තදබදය අඩුකරගන්න එළියෙ තොරතුරු කවුන්ටරයකුත් දැම්මා බෝම්බකරුගේ මවත් පියාත් මරණ පරීක්ෂණයට ඇවිත් සාක්ෂි දෙයි

රටම වේදනාවෙන් සහ භීතියෙන් තැතිගැන්වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21දා) පස් වසරකි. වසර ගණනාවකින් බෝම්බ පිපිරීමක් සිදු නොවූ රටක ස්ථාන කිහිපයක එකවර පුපුරා ගිය බෝම්බ කිහිපයකට රටම මළ ගෙයක් බවට පත් කරන්නට ගතවූයේ හෝරා කිහිපයකි. දෙසිය පනහකට අධික සංඛ්‍යාවක් මරු තුරුලට යවමින් පන්සියයකට අධික පිරිසක් තුවාලකරුවන් කරමින් සිදුවූ එම අවාසනාවන්ත සිදුවීම රටේම ජනතාවගේ හදවත් තුවාල කළේය. එසේ වුවද එකම කාසියේ දෙපැත්ත මෙන් යහපතත් අයහපතත් එකට පසක් කළ එම අනපේක්ෂිත ඒ ව්‍යසනය රටම එකට එක්කළ සිදුවීමක් බවට පත්වූ අතර එකිනෙකා අතර සහජීවනය වැඩි කළ සිදුවීමක් ද විය. ප්‍රහාරයෙන් පසු ගතවූ මුල් දින කිහිපය තීරණාත්මක වෙද්දී, සිය ජීවිත අවදානම පවා නොතකා වින්දිත ජනතාවට සහාය වීම සඳහා විශාල පිරිසක් පෙරට ආහ. ඔවුන් අතර රජයේ නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන්, රෝහල් කාර්ය මණ්ඩල, ආගමික නායකයන් සහ සිවිල් සහ ස්වෙච්ඡා සේවකයන් රැසක් ද වූහ. මේ, ඒ සියලු දෙනා එක්ව සිදුකළ මානුෂික මෙහෙයුමේ මෙතෙක් හෙළි නොවූ සිදුවීම් කිහිපයක් පිළිබඳ ආවර්ජනයකි මේ.

එදින කොළඹ සිදුවූ පිපිරීම් අතරින් පළමු බෝම්බය පුපුරා ගියේ කොළඹ කෝච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පාස්කු දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදීය. ඒ වන විට දිව්‍ය පූජාව පවත්වමින් සිටියේ ගරු ජෝයි මරියරත්නම් පියතුමාය. සිද්ධස්ථාන පරිපාලක ගරු ජූඩ් රාජ් පියතුමා පහළ මහළේ සිය කාර්යාල කාමරයේ රැඳී සිටියදී පිපිරීම සිදුවන අතර ඒ හඬ ඉහළ මහලේ සිටි දිනූෂ චාමර සහායක පියතුමාට ද ඇසිණි. ඔහු වහා පහළ මහලට දිව එන්නේ විදුලි කාන්දුවක් වැනි යමක් සිදුව ඇතැයි සිතාගෙනය.

“පල්ලිය ඇතුළට ආව ගමන්ම මට තේරුණා භයානක දෙයක් සිදුවෙලා කියලා. මිනිස්සු ලේ ගලන තුවාල එක්ක තැන තැන වැටිලා හිටියා. සමහර අයගේ සිරුරු කැබලිෙවලට වෙන්වෙලා. මිනිස්සු අඬනවා, කෑහනවා එකම විලාපයක්. මට එකපාරටම මතක් වුණේ මේ මිනිස්සුන් ඉක්මනින් රෝහලට ගෙනියන්න ඕන කියලා විතරයි. මම මහදොරෙන් එළියට ඇවිත් පාරේ එන එන වාහන නවත්තලා තුවාලකරුවන් රෝහලට ගෙනියන්න කටයුතු කළා. ඒ වෙද්දිත් පිපිරීම් සද්දේ ඇහුණ අය පල්ලියට දුවගෙන ඇවිත් උදවු කරමින් හිටියා.”

වෙරළබඩ පොලිසියට ද පිපිරුම් හඬ ඇසී තිබූ අතර, එවකට එහි ස්ථානාධිපතිව සිටි නුවන් දන්තනාරායන නිලධාරින් කිහිප දෙනකු සමඟ වහාම දේවස්ථානයට පැමිණියේය.

“පල්ලියට ආව ගමන් මට තේරුණා බෝම්බ පිපිරීමක් වෙලා කියලා. ඒ ගැන උසස් නිලධාරීන්ට දැනුම් දුන් පසු පල්ලිය ඇතුළේ තත්ත්වය කලමනාකරණය කරගන්න මම තවත් නිලධාරීන් ඒ ස්ථානයට කැඳෙව්වා. පණ ඇති හැම කෙනෙක්වම රෝහල්ගත කරවන්න කටයුතු කළා. මගේ අධිකරණ බල ප්‍රදේශය භාර අංක 6 මහේස්ත්‍රාත්තුමියට සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියට බී වාර්තාවක් මඟින් වහාම කරුණු වාර්තා කළා.” ගතවෙන හැම මිනිත්තුවක්ම තුවාලකරුවන්ගේ ජීවිතය සහ මරණය අතර තීරණාත්මක සාධකය බවට පත්ව තිබූ අතර දෑස් ඉදිරිපිට අවසන් හුස්ම හෙළුෑ සිය ඥාතීන් පිළිබඳ වේදනාවෙන් ආවේගයෙන් හඬන, වැලපෙන කෑගසන මිනිසුන් පාලනය කරගැනීම ඉතා අසීරු විය.

“සිද්ධිය වෙලා විනාඩි දහයක් විතර යද්දි නාවික හමුදාවේ ගිලන් රථත් ආවා. පොලිසිය වගේම අනෙකුත් ආරක්ෂක අංශත් ආවා. ඒ හැමෝගෙම උදවු ඇතිව සිද්ධිය වෙලා පැය භාගයක් යද්දි තුවාල ලබා සිටි පණ තිබුණු හැම කෙනෙක්වම අපි රෝහල්වලට පිටත් කළා. ඒ වෙද්දි මිනිස්සු ගොඩක් පල්ලිය ඇතුළට එන්න ගත්තා. පල්ලිය ඇතුළේ මළ සිරුරු ගොඩක් තිබුණ නිසා අපිට පල්ලිය වහන්න සිදුවුණා. දොරවල් කැඩිලා තිබුණත් බැරියර් දාලා පල්ලිය වැහුවා. ඒ අතරේ කාදිනල් වහන්සේ ආවා. තවත් පිපිරීමක් ගැන සැකයක් තිබුණු නිසා ආරක්ෂක අංශ උන්වහන්සේට පල්ලිය ඇතුළට යන්න දුන්නෙ නැහැ. පල්ලිය අසල රැස්වෙලා හිටිය මිනිස්සුන්ගේ නොසන්සුන්තාව වැඩිවෙද්දි පොලිසිය මිනිස් දම්වැලක් හැදිලා පල්ලිය ඇතුළට ඒම වැළැක්වුවා. පල්ලිය ඇතුළෙ තිබුණ මළ සිරුරු හුඟක් ඇඳුම් පිච්චිලා තිබුණේ. මම අපේ පූජා කාමරේ තිබුණු අලුත්ම අල්තාර රෙදි ගෙනත් ඒවා වැහුවා.”

පොලිසියේ දැනුම් දීම අනුව එවකට කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් හා වත්මන් රත්නපුර ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය පිපිරීම සිදුවී විනාඩි 45ක් යන්නට පෙර එම ස්ථානයට පැමිණියාය. බෝම්බ ප්‍රහාරය නිසා දේවස්ථානයේ විදුලි පද්ධතියට හානි සිදුව තිබූ අතර විදුලි අනතුර සිදුවීම වළක්වා ගැනීමට දේවස්ථානයේ විදුලිය විසන්ධි කෙරිණි. මෙවැනි පිපිරීමකට පසුව සිදුවිය හැකි කුඩා පිපිරීම් හෙවත් සානුකම්පිත පිපිරීම් වළක්වා ගැනීම සඳහා ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නියෝග අනුව බෝම්බ නිශ්ක්‍රිය අංශය සහ ගිනි නිවීමේ හමුදාව ද පැමිණියේය. දේවස්ථානය තුළ මළ සිරුරු රාශියක් තිබූ බැවින් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට කණ්ඩායමක් සමඟ එහි පැමිණෙන ලෙස ද ඇය නියෝග කරනු ලැබුවාය. ඒ වන විට ෂැංග්‍රිලා සහ කිංග්ස්බරි හෝටල්වලද බෝම්බ පිපිරීම් සිදුව තිබූ බැවින් සෙසු මහේස්ත්‍රාත්වරු ඒ ස්ථානවලට යැවූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරි විමර්ශන කාර්යයේ නිරත වූවාය. දිනේෂ් චාමර පියතුමා ඒ අවස්ථාව පිළිබඳ මෙසේ කීවේය.

“මළ සිරුරු සහ ශරීර කොටස් රාශියක් තිබුණත් ඒවා දාන්න තිබුණේ බෑග් 33යි. ඉතිරි ශරීර කොටස් දාන්න මම ගාබේජ් බෑග් ගෙනත් දුන්නා. එවැනි බෑග් 13කට පමණ ශරීර කොටස් දැම්මා. ඒවා කරන්න රෝහල් සේවකයො හිටියෙ නැහැ. මළ සිරුර අල්ලන්න අපිට ග්ලවුස් තිබුණේ නැහැ. ගමේ කිහිප දෙනෙකුත් අපේ උදවුවට ආවා. ඒ වෙලාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමිය උත්සාහ කළා මළ සිරුර විවෘත කරලා හඳුනා ගැනීම කරන්න. නමුත් මිනිස්සු එළියේ ඉඳන් කෑගහනවා, ඉතාම කලබලකාරී වේදනාත්මක අවස්ථාවක් නිසා අවසානයේ මහේස්ත්‍රාත්වරියගේ උපදෙස් මත නාවික හමුදාව විසින් ලොරි රථයක් මඟින් ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනගියා. ඒ කටයුතු අවසන් වෙද්දි හවස පහ පමණ වුණා.”

බොරැල්ල ෆ්‍රැන්සිස් පාරේ පිහිටි ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ගෙන එනු ලැබූ එම මෘතදේහ හඳුනා ගැනීම සඳහා ඥාතීන්ට අවස්ථාව ලබාදීම ඊළඟට කළ යුතු විය. ඒ වන විට කොළඹ පිපිරීම් කිහිපයක්ම සිදුව තිබූ බැවින් එක දිගටම මෘතදේහ ගෙන ඒම සිදු විය. එවැනි විශාල මෘතදේහ සංඛ්‍යාවක් එකවර හඳුනා ගැනීම අසීරු වූයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ උපදෙස් මත නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරිණ. සෑම මෘතදේහයකම ඒවා රැගෙන ආ ස්ථානය සඳහන් කොට අංකයක් දෙනු ලැබිණ. ඉන්පසු මෘතදේහයේ මුහුණ හෝ හඳුනාගත හැකි ශරීර අංගයක ඡායාරූපයක් ලබාගෙන එම ඡායාරූප ‍ප්‍රොජෙක්ටරයක තිරයක් ආධාරයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් පිටත සිටි අයට ප්‍රදර්ශනය කරනු ලැබිණි. ඒ ආකාරයට මියගිය පුද්ගලයා හඳුනාගත් පසු ඔහුගේ ඥාතීන් දෙදෙනකු කාර්යාලය තුළට කැඳවා මෘතදේහය පෙන්වා එය තම ඥාතියාගේ බව මහේස්ත්‍රාත්වරිය ඉදිරියේම හඳුනා ගැනීමෙන් පසුව ඔවුන් ඉදිරියේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මෘතදේහය කපා මරණයට හේතුව දැනුම් දීමෙන් පසු මරණ පරීක්ෂණ සහතිකය ලබාදීමේ කටයුතු සිදුකෙරිණ. මෙහිදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මුල්වරට විශේෂ ක්‍රමවේදයක් ඒ සඳහා අනුගමනය කළ බව එම කටයුතු සඳහා සම්බන්ධ වූ අධිකරණ වෛද්‍ය නිලධාරියකු පැවසුවේය.

“අපේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය එවැනි විශාල සෙනඟක් ගැවසෙන අවස්ථාවකට ප්‍රමාණවත් නැති නිසා ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියගේ උපදෙස් මත වෙනම කුඩා කාමරයකට ටයිප් රයිටර්ස් 5ක් පමණ ගෙන්වාගෙන මහේස්ත්‍රාත්වරුන් පස් දෙනකු විසින් මරණකරුවන්ගේ ඥාතීන්ගේ සාක්ෂි ලබාගත්තා. ඉන්පසු එවෙලෙම මරණ පරීක්ෂක වාර්තාව ලබාදී ඥාතීන්ට ඒ මොහොතේම මෘතදේහය භාරදුන්නා. සාමාන්‍යයෙන් මේ සඳහා මරණය හඳුනා ගැනීම, මෘතදේහය මුදා හැරීම, සාක්ෂි ලබාගැනීම සහ සහතිකය ලබාදීම ආදී වශයෙන් දින දෙක තුනක් ගතවෙනවා. නමුත් ප්‍රධාන මහේස්ත්‍රාත්තුමිය ඒ සියල්ල එක දවසින් ලබාදුන්නා. එහෙම ලබාදෙන සහතිකය ලියාපදිංචි කරගැනීමට රෙජිස්ටර් ජනරල් වෙත යැවිය යුතුයි. නමුත් ප්‍රධාන මහේස්ත්‍රාත්තුමිය රෙජිස්ටර් ජනරල්තුමාව එතැනට ගෙන්වා එවෙලේම මරණ සහතිකය ලබා දීමට කටයුතු කළා. ඒ වගේම විදේශිකයන් සඳහා ඉංග්‍රීසි බසින් අවශ්‍ය නිසා විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් එතැනට ගෙන්වා ඉංග්‍රීසි බසින් ඒ අවස්ථාවේදීම මරණ සහතික ලබා දුන්නා. පිපිරීම සිදුවූ දින සිට පසුදා අලුයම 2 පමණ වනතුරු එක දිගට මේ ආකාරයට වැඩ කළා. එදින මෘතදේහ 50-60ක් පමණ ඥාතීන්ට භාර දුන්නා. පසුදිනත් අලුයම පහ හය වන විට අපි නැවත රාජකාරී කටයුතු පටන් ගත්තා. එදා දවස පෙරටත් වඩා කලබලකාරී වුණා. රෝහල්වල මියයන අයගේ මළ සිරුරු සංඛ්‍යාව වැඩි වෙද්දි මෝචරියෙ ඉඩ නැතිවුණා. ඒ නිසා කූල් රූම් එකක් සහිත කන්ටේනරයක් ගෙනැල්ලා ඊළඟට ගේන මළ සිරුරු එහි තැන්පත් කළා. ඒ වගේම කාර්යාලයේ තදබදය අඩුකරගන්න එළියෙන් තොරතුරු කවුන්ටරයකුත් දැම්මා.”

ඒ කිසිවක් අද මේ කියන තරම් එදා පහසු වූයේ නැත. මියගිය තම ඥාතීන්ගේ සිරුරු සොයා අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය අසලට රැස්වන සංඛ්‍යාව මොහොතින් මොහොත වැඩි වද්දී ජනතාවගේ දුක, වේදනාව සහ ආවේගයන්ද ඉහළ ගියේය. එහිදී ඇසූ දුටු සංවේදී සිදුවීම් පිළිබඳ මතකය අවදි කළේ කොළඹ අගදරගුරු නිවසේ සුබසාධන මධ්‍යස්ථානය වන සෙත්සරණ ආයතනයේ සම්බන්ධීකාරකයකු ලෙස දින කිහිපයක්ම එම ස්ථානයේ රැඳී සිටි නිරාන් ප්‍රනාන්දු ය.

“සමහර අය ෆොටෝ එක දැකලා තමන්ගේ ඥාතියා හඳුනගෙන ඇතුළට ඇවිත් බොඩි එක බලපුවම ඒ එයා නෙවෙයි. එතකොට ආයෙමත් විලාප දිදී අඬනවා. සමහර අයට තමන්ගේ ඥාතියා හඳුන ගන්න කීප සැරයක් මළ සිරුරු බලන්න සිදු වුණා. මෙතැනදි මම දැකපු විශේෂම දේ මිනිසුන්ට එහෙම වැරදීම් අතපසුවීම් වුණත් ප්‍රධාන මහේස්ත්‍රාත්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය ඒ කිසිම වෙලාවක තරහ ගත්තෙ නැහැ. ඒ දේවල් දරාගෙන වේදනාවෙන් ආවේගයෙන් සිටින මිනිස්සු එක්ක ඉතාම සුහදව වැඩ කළා. ඒ වගේම තමන්ගේ ඥාතියා නැතිවෙලා වේදනාවෙන් හිටිය මිනිස්සුන්ව තවත් රස්තියාදු නොකර මරණ සහතික සමඟ මෘතදේහ නිදහස් කර දෙන්න කටයුතු කිරීම විශාල සේවයක්. සමහර අය තමන්ගෙ ඥාතියා හඳුන ගත්තේ ශරීර කොටස්වලින්. එහෙම අය තමන්ගේ ඥාතියගේ ශරීර කොටස් ටික ඉටි බෑග් දෙක තුනක දාගෙන ත්‍රීවිල් එකකින් මල් ශාලාවට අරගෙන ගිය අවස්ථාත් තිබුණා. මහේස්ත්‍රාත්වරු සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, පොලිසිය, විශේෂ කාර්ය බලකාය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ඒ දවස් කීපයේම පුදුම කැපකිරීමකින් වැඩ කළා. ඒ වගේම කොළඹ සහායක රදගුරු මැක්ස්වල් සිල්වා පියතුමා, සෙත්සරණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක ඇතුළු පියතුමන්ලා මේ සියලු කටයුතු සොයා බලමින් පුදුමාකාර කැපකිරීමකින් අසරණ ජනතාවට සේවය සැලසුවා.”

මෘතදේහ හඳුනා ගැනීමෙන් පසු මරණකරුවන්ගේ ඥාතීන්ට තිබූ අභියෝගය ඒවා නිවෙස් කරා රැගෙන යෑමය. ඒ කටයුතු සිදුවූ ආකාරය පිළිබඳ අගරදගුරු මැදුරේ විශේෂ ව්‍යාපෘති භාර ෆ්‍රීලි මුතුකුඩආරච්චි පියතුමා මෙසේ කීවේය.

“මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් ලේඛන පිළියෙල කිරීම සඳහා 21 වැනිදා රාත්‍රී 8.30 සිට පසුදින අලුයම 5.30 වනතුරු මම කොළඹ මෘතශරීරාගාරයේ රැඳී සිටියා.ඈත පළාත්වලින් පැමිණි තමන්ගේ ඥාතීන් සොයමින් සිටි ජනතාවට ආහාරපාන හෝ ඉන්න තැනක් තිබුණෙ නැහැ. අපි බොරැල්ල දෙව්සත්හලෙන් ඔවුන්ට ආහාරපාන ගෙනැවිත් දුන්නා. ඒ වගේම බොහෝ දෙනකුට ගම්වලට මෘතදේහ රැගෙන යන්න හැකියාවක් හෝ වත්කමක් තිබුණේ නැහැ. පසුදින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නියෝජිතයෙක් පැමිණ අවසන් කටයුතු සඳහා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් මුදල් ලබාදෙන බව දැනුම් දුන්නා. කොළඹ මල්ශාලා හිමිකරුවන් සමඟ සාකච්ඡා කරලා මුදල් පසුව ගෙවන එකඟතාව මත මෘතදේහ සකස් කරලා ගම්වලට ගෙනයන්න අවස්ථාව සලසා දුන්නා.”

කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට බෝම්බය ගෙන ආ මරාගෙන මැරෙන බෝම්බකරුගේ යැයි සැක කරන හිසක් දේවස්ථානයේ වහලයේ දුම් කවුළුවක තිබී සොයාගත් බව ආරක්ෂක අංශ විසින් ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දෙනු ලබන්නේ මරුමුවට පත් ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන්ගේ මරණ පරීක්ෂණ කටයුතුවල යුහුසුළුව යෙදෙමින් සිටින අතරේය. ඒ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිය වාහනයෙන් වහාම දේවස්ථානය කරා ගොස් එම හිස ද රැගෙන යළි පැමිණි බව එම අවස්ථාව සියැසින් දුටු පියතුමකු අපට කීවේ රාජ්‍ය නිලධාරිනියක ලෙස ඒ අවස්ථාවේදී ඇය කටයුතු කළ ඍජු මෙන්ම නීතිගරුක භාවටට ප්‍රසංශාව පළ කරමිනි. එම බෝම්බකරුගේ හිස හඳුනා ගැනීම සඳහා ඔහුගේ මවුපියන් පසුදින මහේස්ත්‍රාත්වරිය හමුවට පැමිණි බව ද වැඩිදුර විමර්ශන හේතුවෙන් එදින එය මුදා හැරීමක් නොකළ බවත් අපට වැඩිදුරටත් දැනගන්නට ලැබිණි.

ප්‍රහාරය සිදුවීමෙන් පසු මුල් දින තුන තුළ කොච්චිකඩේ සිද්ධස්ථානයේදී සහ හෝටල්වලදී මියගිය බොහෝ දෙනකුගේ මෘතදේහ භාරකරුවන් විසින් හඳුනා ගනු ලැබුවද තවත් දින කිහිපයක් ඥාතීන්ගේ මළ සිරුරු සොයා පැමිණි අය සිටි බව ද නිරාන් ප්‍රනාන්දු කීවේය.

“මළසිරුරු හඳුනගන්න බැරි අයට මහේස්ත්‍රාත්තුමියගේ නියෝගය මත රජයේ රස පරීක්ෂක කාර්යාලයට කැඳවාගෙන ගොස් ඩී.එන්.ඒ ලබාගත්තා. පසුව කිසිවකු විසින් හඳුනා නොගත් මළ සිරුරු සහ ශරීර කොටස්වල ඩී.එන්.ඒ ලබාගෙන ඒවා සමඟ සැසඳෙන ඥාතීන්ගේ ඩී.එන්.ඒ වාර්තා අනුව එම මළ සිරුරු සහ ශරීර කොටස් භාර දුන්නා. ඒ ආකාරයටම මෘතදේහ සහ ශරීර කොටස් 10-15ක් පමණ නිදහස් කළා. ඒ සඳහා ටික දිනක් ගතවුණා. ”

මෙරට හෝටල්වලදී මියගිය විදේශිකයන්ගේ මෘතදේහ හඳුනා ගැනීම සහ ඒවා ගුවන් මඟින් විදෙස් රටවලට යැවීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් විශේෂ නියෝග අනුව කටයුතු කළ බව ද දැනගන්නට ලැබිණ. ඒ සියලු කටයුතු නිල වශයෙන් සහ නීත්‍යනුකූල ලෙස ද සිදුවී තිබිණ.

 

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division