Home » අලි ජින්නා ආසියාවේ රිදී හඬ

අලි ජින්නා ආසියාවේ රිදී හඬ

by sachintha
April 20, 2024 12:51 am 0 comment

නිදහස් පාකිස්තානයේ නිර්මාතෘ මුහම්මද් අලි ජින්නා ලෝක දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී චරිතයකි. දකුණු ආසියාතික දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. දේශපාලනයෙන් ඔබ්බට ගිය මානව හිතවාදියෙකි. එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ මේ ප්‍රතාපවත් පුද්ගලයා ගැන එතෙක් මෙතෙක් ලියැවුණු පොත්පත් අපමණය. ඒ සියල්ලම ඉංග්‍රීසි හෝ උර්දු බසින් ලියැවුණු ඒවාය. දකුණු ආසියාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කළ මේ උදාර චරිතය ගැන ශ්‍රී ලංකාවේ පාඨකයන්ගෙන් මෙතෙක් දැන සිටියේ අතලොස්සක් පමණි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකෝන් විසින් සිංහල බසින් රචිත ‘අලි ජින්නා – ආසියාවේ රිදී හඬ‘ කෘතිය ඒ අඩුව පුරවාලීමට ගත් වෑයමකි.

පරිච්ඡේද හතකින් සමන්විත මේ කෘතිය චන්දන විජේකෝන් 2019 වසරේදී අලි ජින්නා ගැන පළ කළ පළමු කෘතියේහිම දිගුවකි. මෙවර ‘අලි ජින්නා – ආසියාවේ රිදී හඬ‘ නිකුත් වන්නේ පළමු කෘතියේදී ඔහු අතින් මඟ හැරුණු අලි ජින්නාගේ දේශපාලන හා පෞද්ගලික ජීවිතයේ ඉතා සියුම් කරුණු කාරණා ද ඇතුළත්වය.

විශේෂයෙන් මහා භාරතයේ මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටියද, ඔහු ජාතිවාදි දේශපාලනඥයකු නොවන බව චන්දන විජේකෝන් සිය කෘතියේ පළමු පරිච්ඡේදයෙන්ම සටහන් කරන්නේ එවකට ඉන්දියාවේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඡන්ද කොට්ඨාස ඇති කිරීමට අලි ජින්නා තරයේම විරුද්ධත්වය පළ කිරීම ඉස්මතු කර පෙන්වමිනි. එය මුස්ලිම් මූලධර්මාවාදීන්ගෙන් පෝෂණය වන වත්මන් පාකිස්තානයට වඩා හාත්පසින්ම වෙනස් වූ ප්‍රගතිශිලී දේශපාලන මුහුණුවරකින් යුතුව අලි ජින්නා කටයුතු කළ බවටත්, පාකිස්තානය එවැනි ඉතිහාසයකට හිමිකම් කියන රටක් බවටත් ශ්‍රී ලංකාවේ පාඨකයන්ට ඒත්තු ගැන්වීමකි. එමෙන්ම වර්තමානයේ පාකිස්තානයේ වෙසෙන හින්දු සුළුතර ප්‍රජාවට සිදුවන නොයෙකුත් අකටයුතුකම් සහ හිංසාවන් අලි ජින්නාගේ දේශපාලන අරමුණු විකෘති කිරීමක් බවටත් නිදසුන් සහිතව පෙන්නුම් කිරීමකි.

සැබැවින්ම අලි ජින්නාගේ මානව හිතවාදී දේශපාලන භූමිකාව පාකිස්තානය තුළ ඉතා කෙටි එකකි. නිදහස් පාකිස්තානයේ පළමු අග්‍රාණ්ඩුකාරවරයා ලෙස 1947 අගෝස්තු මාසයේ 14 වැනිදා සිට 1948 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා මෙලොවින් සමුගන්නා තුරුම සේවය කළ අලි ජින්නාගේ ප්‍රගතිශීලී දේශපාලනය ඔහුගේ අභාවයත් සමඟම අවසන් වූ බවට නිදසුන වන්නේ ඔහුගේ අවෑමෙන් පසු මේ දක්වා පාකිස්තානයේ දේශපාලන ගමන්මඟ ඉතා බරපතළ ආකාරයෙන් ජාතිවාදය දක්වා තල්ලු වී ගොස් තිබීමෙනි.

මුල් කාලීනව ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමීව කටයුතු කළ අලි ජින්නා ඉන්දියාවට ඩොමීනියන් තත්ත්වය ලබා ගැනීමට සෙසු ඉන්දීය ජන නායකයන් සමඟ එක්ව සටන් කළ අයුරු ඉන්දීය දේශපාලන ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි සිදුවීමක් බව ‘අලි ජින්නා‘ කෘතියෙන් කදිමට පෙන්නුම් කෙරේ. ඉන්දියාවේ එවකට සිටි ජන නායකයන් හින්දු ජාතිකත්වයෙන් යුතුව කටයුතු කිරීම සහ ඉන්දියාවට නිදහස ලැබෙන කාලවකවානුවේදී එරට උද්ගත වී තිබූ හින්දු- මුස්ලිම් එදිරිවාදිකම වෙනම රාජ්‍යයක් ලෙස පාකිස්තානයක් ගොඩ නැඟීම දක්වා අලි ජින්නා පොලඹවා ගැනීම සම්බන්ධයෙන් ද කෘතියට කරුණු රැසක් ඇතුළත්ය. එහෙත් ඔහු පාකිස්තානය ගොඩ නැඟුවේ හුදෙක් මුස්ලිම් ජාතිකයන්ගේ රාජ්‍යයක් ලෙස නොව සියලු ජාතීන්ට එක හා සමාන අයිතිවාසිකම් ලැබෙන දේශයක් ලෙස බව ඉස්මතු කර පෙන්වීමට ‘අලි ජින්නා‘ කෘතියේ කරුණු ප්‍රමාණවත් නොවේ. මේ කෘතියේ පළමු පරිච්ඡේදයෙන් චන්දන විජේකෝන් සඳහන් කර ඇති පරිදි අලි ජින්නා යනු ජාතිවාදී දේශපාලනඥයකු නොවන බව ඊළඟ පරිච්ඡේදවලින් තවදුරටත් විග්‍රහ කිරීමට කතුවරයා සමත්වූවා නම් අගනේය.

1947 අගෝස්තුවේ ඔහු පාකිස්තාන ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන ගැනීමෙන් පසු පැවැත් වූ ඓතිහාසික දේශනයේදී ප්‍රකාශ කළ පරිදි පාකිස්තානය ගොඩ නැඟුවේ සියලු ජාතීන්ට නිදහස් පරිසරයක් උදා කරදීමේ අරමුණින් යුතුවය. ඔහු ඉන්දීය භූමියේදී අපේක්ෂා කළේ ද එවැනිම රාජ්‍යයකි. ‘ඔබ ඕනෑම ආගමකට හෝ ඕනෑම ඇදහීමකට අයත් විය හැකියි. එය රාජ්‍යයක පැවැත්මට අයත් වූවක් නොවේ. හින්දු ජාතිකයන් හින්දු ජාතිකයන් ලෙසත්, මුස්ලිම් ජාතිකයන් මුස්ලිම් ජාතිකයන් ලෙසත් පැවැතීම රාජ්‍යයක පැවැත්මට බලපාන්නක් නොවේ. එය එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික විශ්වාසයයි. එහෙත් දේශපාලන වශයෙන් ගත් විට අපි ඒකීය රාජ්‍යයකට අයත් පුරවැසියන් වෙමු‘ අලි ජින්නා එදින කළ ඓතිහාසික දේශනයේ එසේ සඳහන් විය.

‘අලි ජින්නා‘ කෘතියෙහි අතිශය වැදගත් සටහන වන්නේ එහි සියලු පරිච්ඡේද අවසානයේ කතුවරයා විසින් සඳහන් කර ඇති ‘1940 දී ලාහෝර් නුවරදි මුස්ලිම් ලීගය ඉදිරියේ සාමාජිකයන් අමතා අලි ජින්නා විසින් සිදු කරනු ලැබූ දේශනය‘යි. එය අලි ජින්නාගේ දේශපාලන භූමිකාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙරට පාඨකයන් ලැබූ කදිම අවස්ථාවකි. පිටු 21කින් සමන්විත එය අලි ජින්නාගේ ලිබරල්වාදී දේශපාලනයත්, මානව හිතවාදිත්වයත් කැටි කළ විශිෂ්ට දේශනයකි. ඊටම නොදෙවැනි තවත් දේශන ත්‍රිත්වයක් කෘතියට ඇතුළත්ය. අලි ජින්නා වැනි ප්‍රගතිශීලී ජන නායකයකු ගැන සිංහල පාඨකයන්ට ඉතා වටිනා කරුණු රැසක් එමඟින් කියැවීමට හැකියාව ලැබී තිබේ. ඒ අතින් බැලූ විට මේ උදාර ජන නායකයාගේ භූමිකාව මෙරට පාඨකයන් අතරට ගෙන ඒමට ‘අලි ජින්නා – ආසියාවේ රිදී හඬ‘ කෘතියේ කතුවරයා ගත් උත්සාහය අගය කළ යුත්තකි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division