Home » ආදම්ගේ පාලම යළි ඉදි කිරීමට ශ්‍රී ලංකාව හා ඉන්දියාව සූදානම්

ආදම්ගේ පාලම යළි ඉදි කිරීමට ශ්‍රී ලංකාව හා ඉන්දියාව සූදානම්

-ජනපති හා අගමැති මෝඩි අතර ඇති වූ සාකච්ඡාවේදී එකඟතා 16ක් ගැන අවධානය යොමු වෙයි

by sachintha
April 20, 2024 12:50 am 0 comment

“මහාභාරත“ වීර කාව්‍යයට අනුව රාවණා රජු විසින් සීතා දේවිය පැහැර ගෙන ආ පසු ඇය බේරා ගැනීමට රාම එන්නේ හනුමන්තා විසින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් ඉදි කළ පාලමකින් එතෙර වෙමිනි. වාල්මිකිගේ රාමායණයෙහි ද මේ ගැන සඳහනක් ඇත. ඉතිහාසයේ තවත් තැනක ආදම්ගේ පාලමක් ගැන සඳහන් වන්නේය. ආදම්ගේ පාලමේ සැලකිය හැකි කොටස් අදටත් මන්නාරම් දුපත් හා ඉන්දියාවේ රාමේෂ්වරන් අතර පිහිටා ඇත.

අතීතයේදි මෙන් වර්තමානයේදී ද ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලමක් ඉදි කිරීම ගැන කතාබහක් යළිත් හටගෙන තිබේ. මෙම කතාබහ මුලින්ම පැමිණියේ 2001 වර්ෂයේ පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේය.

එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය දුන් එක් වැඩසටහනක් වූවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් ඉදිකොට රටවල් දෙක සම්බන්ධ කිරීමය. අගමැති රනිල්ගේ ඉන්දීය සංචාරයේදි එවක ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි අතර පැවැති සාකච්ඡාවේදී මේ ගැන එකඟතාවකට පැමිණියේය. ඒ අනුව මූලික ශක්‍යතා අධ්‍යයනයන් සිදු වූවේය.

පාලමක් සෑදීමේ පරමාර්ථය වූවේ ඉන්දියාවේ භාණ්ඩ ලංකාවට ගෙනවිත් කොළඹ වරාය භාවිත කරමින් අපනයනය කිරීමටය. බහාලුම් රථ උපයෝගි කර ගනිමින් කොළඹ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ අතර ඒ වෙනුවෙන් අධිවේගි මාර්ගයක් ඉදි කිරීමට ද සැලසුම් සකස් විණි. ඒ වන විට විශාල නෞකා ළඟා විය හැකි වරායන් ඉන්දියාවේ නොතිබීම නිසා ඉන්දියාව සිය භාණ්ඩ කුඩා නැව් මඟින් කොළඹ වරායට ගෙනවිත් එහි සිට ඔවුන්ගේ භාණ්ඩ අපනයනය කළෝය. නෞකා ගාස්තු ඉතිරි කර ගැනීම වෙනුවෙන් ගොඩබිම් මාර්ගයක අවශ්‍යතාව ඔවුනට ද පැන නැඟී තිබිණි.

එහෙත් 2004 ආණ්ඩු පෙරළියත් සමඟ එම ව්‍යාපෘතිය ඇන හිටියේය. ඉන් පසු 2015 දි යළි යහපාලන රජය බලයට පත්වූ විගස අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව සමඟ මේ ගැන සාකච්ඡා කළ ද ඔවුන් එම අවස්ථාවේ විශ්වාසය තැබුවේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතියටය. ඉන්දියාව ඒ වන විට ආදම්ගේ පාලම අවසන් කරමින් බෙංගාල බොක්ක හරහා නැව් මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි.

සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ඉන්දියාවේ අසාර්ථක ව්‍යාපෘති ලැයිස්තුවට යන විට අදානි සමාගම විසින් ලෝකයේ ලොකුම නෞකා ළඟාවිය හැකි වරායක් ඉන්දියාවේ ඉදි කළේය. එවන් පසුබිමක 2022 ජුලි මාසයේදි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමත් සමඟ ඉන්දියාව සමඟ යළිත් සාකච්ඡා පටන් ගත්තේ දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම වෙනුවෙනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මුණ ගැසුණු අවස්ථාවේදී කරුණු 16 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

එම සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ වගකීම පැවරුණේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා වෙතය. ඒ අනුව ඔහු ඇතුළු කණ්ඩායමක් අප්‍රේල් මුල් සතියේ ඉන්දියාව බලා පිටත්ව ගියේ මේ ගැන ඉන්දීය බලධාරීන් හා සාකච්ඡා කිරීමටය.

ඉන්දීය විදේශ ලේකම් විනෙයි ක්වත්‍රා මුණ ගැසුණු දූත පිරිස ජනපති හා අගමැති මෝඩි අතර ඇතිවූ එකඟතා 16 සම්බන්ධයෙන් එකිනෙක සාකච්ඡා කළෝය. එම කරුණු 16 මෙසේය.

භුමියට අදාළව ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම (Economic Land Corridor), දෙරට විදුලි බල ජාල අතර අන්තර් සම්බන්ධයක් ඇති කිරීම (Power Grid Interconnection), බහුවිධ නිෂ්පාදන ඇතුළත් ඉන්ධන නළ මාර්ගයක් ඉදිකිරීම (Multi-product Oil Pipeline), එල්.එන්.ජි බලාගාර ඉදිකිරීම, සාම්පූර් සූර්ය බලාගාර ව්‍යාපෘතිය, ත්‍රිකුණමාලය ආර්ථික සංවර්ධන සැලසුමට මුල පිරීමේ අවබෝධතා ගිවිසුම, පුනර්ජනනීය බලශක්ති අවබෝධතා ගිවිසුම, කන්කසන්තුරේ වරාය ප්‍රතිසංවර්ධනය කිරීම, කිරි නිෂ්පාදන වැඩසටහන්, එට්කා ගිවිසුම, ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය, ධීවර කර්මාන්තය, විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය (SLUDI Project), ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීම (Development of Upper Tank Farm (UTF) in Trincomalee), දෙරට අතර නාවුක මගී ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරීම මෙම කරුණු 16 අතර වේ.

මෙහි පළමු යෝජනාව අනුව දෙරට අතර ගොඩබිම් මාර්ගයක් ඉදි කිරීම දෙරට අතර ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමකි. එහි පළමු පියවර වන්නේ දෙරට අතර මගී ප්‍රවාහන පාලමක් ඉදි කිරීමය. මෙම ගොඩබිම් මාර්ගය ඉදිකිරීම තුළ ලංකාවට වාසි රැසක් අත්වේ. පාලම ඉදි කිරීමෙන් පසු ගමන් පහසුව මෙන්ම කාලය ද යහමින් ඉතිරි කර ගැනීමට හැකියාව පවතියි.

දකුණු ඉන්දියාවේ සිට පහසුවෙන් බහාලුම් රථවලට අඩු වියදමකින් මෙරටට ළඟා විය හැකිය. එය නෞකාවකින් බහාලුමක් ප්‍රවාහනය කරනවාට වඩා වියදම් අඩු ක්‍රමයකි. භාණ්ඩ හුවමාරුව වෙනුවෙන් ගතවන කාලය ද ඉතිරි වේ. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන භාණ්ඩවල ප්‍රධාන වෙළෙඳ නැවතුම් පොළ වන්නේ කොළඹ වරායයි.

එම කටයුත්ත වෙනුවෙන් මන්නරාමේ සිට දඹුල්ලටත් ඉන් පසු එය කුරුණෑගල දක්වාත් අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට යෝජිතය. දෙවන පියවර ලෙස දඹුල්ල සිට ත්‍රීකුණාමලය දක්වා අධිවේගී මාර්ගයක් ඉදිවෙනු ඇත.

ප්‍රති අපනයන වෙළෙඳ කටයුතු මෙන්ම සේවාවන් ද ප්‍රමාණාත්මකව අඩු වන්නේ සෘජු අපනයන්ට ඉඩ සැලසෙන බැවිනි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉදිවෙන පාලම දුම්රිය මාර්ගයකින් ද යුක්ත වීම ප්‍රවාහන ගාස්තු තවත් අඩු කිරීමට හේතුවක් වනු නොඅනුමානය. ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවට යාමටත් ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවට පැමිණිමටත් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට ද දුම්රිය භාවිත කිරීමට හැකියාව පවතියි.

භාණ්ඩ ප්‍රවාහනයත් මගී ප්‍රවාහනයත් එකම සේවාවකින් ලබා ගැනීම තුළ සේවා ගාස්තු 50% කින් පමණ අඩු වනු ඇත. ලංකාවට වැඩිපුරම එන්නේ ඉන්දීය සංචාරකයන්ය. එසේම මෙරටින් දඹදිව වන්දනාවේ යන නඩ ද සිටිති. ඔවුන්ට ගුවනින් යනවාට වඩා අඩු වියදමකින් හා පහසුවකින් දෙරටට ළඟා වීමේ හැකියාව නව පාලම ඉදි කිරීම තුළ උදාවනු නියතය. ගුවන් ගමන් මිල අධික වුවද දුම්රිය ගමන් ඉන් හරි අඩකටත් වඩා අඩුය.

ඉන්දියානු රජය පසුගිය කාලයේ මැදපෙරදිග ආර්ථික කොරිඩෝවක් වෙනුවෙන් ගිවිසුම් ගත වූවේය. දෙරට අතර ඉදි කෙරෙන පාලම තුළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට ද මැද පෙරදිග ආර්ථික කොරිඩෝවට ඇතුළු වීමේ පහසුකම හිමිවේ. එය ශ්‍රී ලංකාව ලබනා ජයග්‍රහණයක් බව කිව යුතුය. පාලම ඉදිකිරීම තුළ ලැබෙන තවත් වාසියක් වනුයේ දැනට මුහුද හරහා එන සයිබර් කේබල් නැතිනම් අන්තර්ජාල සබඳතා පාලම ඔස්සේම රැගෙන ඒමේ පහසුකම හිමිවීමය.

දැනට මෙම සබ්මැරීන් කේබල් එලා ඇත්තේ මුහුද මැදිනි. බොහෝ වේලාවට මේවා නැංගුරම්වල පැටලීමත්, ධීවරයන්ගේ කටයුතු නිසාත් හානිවන අවස්ථා එමටය. මේවා ප්‍රතිසංස්කරණය වෙනුවෙන් විශාල වියදමක් දැරීමට පවා සිදු වේ. එහෙත් පාලම මතින් මේවා රැගෙන ඒමෙන් සබ්මැරීන් කේබල්වලට හානි වීම ඉතා අවම මට්ටමක පවත්වා ගෙන යාමට හැකියාව උදා වේ. ඉන්දීය පාර්ශ්වයෙන් මේ වන විට පාලම අදාළව ඇස්තමේන්තුවක් සකස් කර ඇති අතර ඩොලර් බිලියන 4 ක හෝ 5 ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. ධනුෂ්කොඩි හරහා රාමේෂ්වරන් වෙත පැමිණ එහි සිට මන්නාරම ඔස්සේ ශ්‍රී ලංකාව වෙත මෙම පාලම සම්බන්ධ කිරීමට නියමිතය. ධනුෂ්කොඩි සිට පැමිණෙන මෙම මාර්ගය අධිවේගි මාර්ගයක් ලෙස මන්නාරමේ සිට කොළඹටත් ත්‍රිකුණාමලය වරායටත් සම්බන්ධ වීමට සැලසුම් සකස් කර තිබේ.

දුම්රිය හා වාහන යන ද්විත්ව මාර්ගයක් ලෙස මෙම මාර්ගය ඉදිකිරීමට යෝජිතය. රටවල් දෙක පාලම හරහා සම්බන්ධ වීමෙන් පසු කොළඹ සිට ගොඩබිමින් යුරෝපය දක්වා ගමන් කිරීමට හැකියාව උදාවනු නියතය.

ඉන්ධන නළ මාර්ගය මෙන්ම විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ද නව පාලම මතින්ම දෙරට අතර හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිත කිරීමේ හැකියාව ද මෙමඟින් උදාවනු ඇත. සයිබර් රැහැන් පද්ධති, විදුලිය රැහැන් පද්ධති හා තෙල් නළ මාර්ගය ද පාලම ඔස්සේ ඉදි කිරීමෙන් ආරක්ෂාව මෙන්ම පහසුව ද ඇතිවන බව නොරහසකි.

ඉන්දීය රජයේ පාර්ශ්වයෙන් ඉදිරි කටයුතු ගැන ඔවුන්ගේ මූලික අධ්‍යයනයන් ලබාදීමෙන් පසු ලංකාවේ අධ්‍යයන වාර්තා ලබාදී ඉක්මනින් පාලමේ කටයුතු ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරයි.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළදී මෙම කටයුතු ආරම්භ කොට අවසන් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇතුළු කණ්ඩායම කැපවී ඇත. වසර දෙකක පමණ ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ගැනීම ඉන්දියාවට සාපේක්ෂව ලංකාවට විශාල වාසි රැසක් අත් කර දෙන්නකි.

අතීතයේදි ශ්‍රී ලංකාව ගොඩබිමින් සම්බන්ධව තිබූ බවට ලිඛිත සාක්ෂි තවමත් හමුවී නැතත් ජනප්‍රවාදයන් හි පවතී. එසේම හැත්තෑව දශකයේදී තලෙයිමන්නාරම තොට දක්වා දුම්රියෙන් ද එහි සිටි පාරුවකින් ද ඉන්දියාවට ගිය පුවත් ගැන අතීතය සිහි කරන්නෝ පවසති. ඔවුන් කොළඹ දුම්රිය ස්ථානයෙන් ලබා ගන්නා ටිකට් පතකින් ඉන්දියාවට ගිය බව කියති.

එහෙත් 80 දශකයෙන් පසු කණ්ඩායමට එම අවස්ථාව මඟ හැරුණේ යුද්ධය ඇතුළු නොයෙකුත් සාධක හේතුවෙනි. නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට හා සාගල රත්නායක මඟ හැරුණු අවස්ථාව යළි රටට උදාකර දීමට උත්සාහ කරන්නේ නව ක්‍රමයක් ඔස්සේය. ඒ පාලමක් ඉදි කිරීම හරහාය. එම අවස්ථාව සාර්ථක වුවහොත් එය රටට සෙතක් වනු නොඅනුමානය.

එල්. පී. සුරංග

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division