Home » මුදලාලිලා රකිමින් පාස්කු ප්‍රහාරයට අලගු තැබූ – ජවිපෙ කිඹුල් කඳුළු

මුදලාලිලා රකිමින් පාස්කු ප්‍රහාරයට අලගු තැබූ – ජවිපෙ කිඹුල් කඳුළු

by sachintha
April 20, 2024 12:50 am 0 comment

ජවිපෙ ගම්මිරිස් ගොවියා ගැන කිඹුල් කඳුළු හලන්නට වූයේ සිය සගයාව මේ ආකාරයට සඟවාගෙනය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පවා මොහොමඩ් ඊබ්‍රාහිම්ට සුදු හුනු ගෑමට ජවිපෙ ඇතැම් දේශපාලනඥයන් උත්සාහ ගත් අයුරු අදටත් අන්තර්ජාලය පිරිස්සීමේදී දැක ගැනීමට හැකිය


කතෝලික දේවස්ථාන දෙකක් ද ක්‍රිස්තියානි දේවස්ථානයක් ද, තරු පන්තියේ සංචාරක හෝටල් තුනක් ද ඉලක්ක කරගෙන අන්තවාදී ආගමික ත්‍රස්තයන් පිරිසක් විසින් ජීවිත සිය ගණනක් බිලි ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලබන්නේ 2019 වසරේ අප්‍රේල් 21 වෙනි ඉරිදාය. පාස්කු දේව මෙහෙය පැවති අතරවාරයේදී දේවස්ථානවලට එල්ල වුණු මෙම ප්‍රහාරය හඳුන්වනු ලබන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ලෙසිනි.

වසර 05ක කාලයක් අද වන විට මෙම ප්‍රහාරය එල්ල කර ගතවී ඇතත් සමාජයේ ඒ ගැන ඇති ආන්දෝලනය තවමත් අවසන්ව නැත. ඒ මෙහි අනාවරණය වූ අපරාධකරුවන් මෙන්ම අනාවරණය නොවූ අපරාධකරුවන් පිරිසක් සිටින බව සමාජය තුළ මුල්බැස ගෙන ඇති බැවිනි. මේ නිසාම ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධාන වසර පහක් තිස්සේම පාස්කු ප්‍රහාරය සිය බඩගෝස්තරවාදී දේශපාලන ක්‍රියාවලියට යොදාගෙන ඇත්තේ ඒ තුළින් කතෝලික ජනතාව රැවටීමට ලක්කරමින් ඡන්ද ගොඩ වැඩිකර ගන්නටය. ඉතිහාසය පුරාවටම ඒ ගැන ඇති උදාහරණ බොහෝය. මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවා මෑතකදී ප්‍රසිද්ධියේම ඒ ගැන කියා තිබුණේය.

මේ කණ්ඩායම් අතරට අලුුුතින්ම එක්ව සිටින්නේ ජවිපෙ ප්‍රධාන කොටගත් ජාතික ජන බලවේගයයි. ඒ අය පාස්තු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම උදෙසා කරුණු 07කින් යුක්ත ප්‍රතිඥාවක් නිකුත් කරනු ලබන්නේ පසුගිය සතියේදීය. ඒ ඇතැම් විට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අතර 2015 වසරේ පැවති මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටි මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ දරුවන් දෙදෙනා සිටින බව අමතක වී ඇති නිසා දැයි ප්‍රශ්න කරන්නෝ බොහෝය. සහරාන් විසින් ගොඩනැඟූ අන්තවාදී ආගමික කල්ලිය නඩත්තු කරන්නට අරමුදල් සපයමින් පහසුකම් ලබා දුන්නේ ද ඔහුගේ දරුවන් දෙදෙනාය. ෂැංග්‍රිලා හෝටලයේදී සහරාන් සමඟ මරාගෙන මැරුණේ ඔහුගේ එක් දරුවෙක් වූ ඉල්හාම්ය. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ පුපුරවා ගත්තේ ඉන්ෂාෆ් නැමැති අනෙන් දරුවාය. එ් අය කුළු බඩු ව්‍යාපාරය තුළින් රටම හොල්ලා ගෙන සිටි මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතුන්ය. ජවිපෙ දේශපාලනය හා බැඳී සිටි මොහොමඩ් ඊබ්‍රාහිම් ප්‍රබල දේශපාලනඥයන් රැසක්ම සමීපව ඇසුරු කළ තැනැත්තෙකි. ඒ සිය ව්‍යාපාර දියුණුව උදෙසා දේශපාලන සම්බන්ධකම් නොමැති වූ බැවිනි. ඒ යැයි කියා ජවිපෙ දේශපාලනයේ ඔහු නිරතව සිටියේ ව්‍යාපාර අරමුණු වෙනුවෙන් ද සැබෑ ලෙසම ජවිපෙට තිබුණු ඇල්ම නිසාදැයි දන්නේ ඔහු පමණි.

මෙරට ගම්මිරිස් ගොවියාව හාන්සි කරමින් ඉන්දියාවෙන් ගම්මිරිස් ආනයනය කර ප්‍රතිඅපනයනය කරමින් කූට වෙළෙඳ උපක්‍රම ඔහු ක්‍රියාත්මක කරන විට ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළමින් රජයට එරෙහිව ජවිපෙ දේශපාලනඥයන් හඬ නැඟුවා මිස සිය සගයාට එසේ නොකරන්නැයි කිසිවිටකත් කීවේ දැයි ඇත්තේ ගැටලුවකි. ගම්මිරිස් ගොවියා හාන්සි කරමින් කූට ව්‍යාපාරයක නිරතව සිටින්නේ මොහොඩ් ඊබ්‍රාහිම් නැමැති තමන්ගේම සගයෙක් යැයි නොකියා ඒ චෝදනාව ඔවුන් එල්ල කරන්නට වූයේ රජය දෙසටය. ඒ සිය සගයාවත් ආරක්ෂා කර ගනිමින් ගම්මිරිස් ගොවියාවත් අන්දවමිනි. අදටත් ඇතැම් දෑ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ ද මේ න්‍යායයි.

එදා ගම්මිරිස් ගොවියා ගැන කිඹුල් කඳුළු හලන්නට වූයේ සිය සගයාව මේ ආකාරයට සඟවාගෙනය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පවා මොහොමඩ් ඊබ්‍රාහිම්ට සුදු හුනු ගෑමට ජවිපෙ ඇතැම් දේශපාලනඥයන් උත්සාහ ගත් අයුරු අදටත් අන්තර්ජාලය පිරිස්සීමේදී දැක ගැනීමට හැකිය. ඒ පුතා කළ වරද පියා නොදැන සිටින්නට ඇතැයි කියාය.

එසේ කියපු අය අය පාස්කු කොමිෂන් සභාව හමුවේ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ සාක්ෂිය විමසන වන විට කොමිෂන් සභා පරිශ්‍රයේ රැඳෙමින් ඊට හොඳින් ඇහුම්කන් දුන්නේ නම් පුතාලාගේ තරම තාත්තා නොදැන සිටියේදැයි හොඳින්ම වටහා ගන්නට තිබුණේය. වසර පහක් ගෙවී ගිය තැන පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ජවිපෙ පෙරටු කරගත් ජාතික ජන බලවේගයට මතක් වන්නේ මෙවන් පසුබිමක් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ද තිබියදීය.

පාස්කු කොමිෂන් සභාවේ සාක්ෂි විමසීමේදී මෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලින් හෙළි වන්නට වූ තොරතුරුවලට අනුව සහරාන්ගේ සමීපතමයන් අතර මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පිරිමි දරුවන් 06 දෙනා හා ගැහැනු දරුවන් 03 දෙනාගෙන් පිරිමි දරුවන් දෙදෙනකුම සිටියේය. ඒ එක් අයෙක් වූයේ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම්ය. සහරාන් විසින් ඔහුට නම් තබා තිබුණේ අබු බාරා යැයි කියාය. ඒ සංවිධානය විසින් ඔහුව හඳුන්වන්නට යෙදූ නාමයයි. පාස්කු ප්‍රහාර මාලාව සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු කිරීමටත් ප්‍රහාරයට අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රහාරකයන්ට අවශ්‍ය පහසුකම් වෙනුවෙනුත් කෝටි ගණනින් මුදල් වැය කරනු ලැබුවේත් ඉල්හාම්ය. ප්‍රධාන අරමුදල් සම්පාදකයා ලෙස හඳුනා ගත්තේ ඔහුවය. සහරාන්ගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ සිට රුපියල් මිලියන 200ක මුදලක් බෝට්ටුවකින් සිරියාවට යැවීමට ද සාකච්ඡා කර තිබුණේ යැයි හෙළි වන්නේ ඉල්හාම්ය. ඒ ඔහුගේ පවුගේ මුදල්වලින් කොටසක් අන්තවාදී සටන්කරුවන් පුහුණුව සඳහාය. සහරාන්ගේ දකුණු අත බඳුව සිටි ඔහු එදා ෂැංග්‍රිලා හෝටලයේදී 35 දෙනකු මරුතුරුලට රැගෙන යමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරනු ලබන්නේ සහරාන් සමඟිනි. ඉන්ෂාෆ් ඔහුගේ සහෝදරයාය. 22 දෙදෙනකුට මරු කැඳවමින් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන්නේ ඉන්ෂාෆ්ය.

ඉන්ෂාෆ්ට ද දේශපාලන සම්බන්ධකම් බොහෝය. වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවක් පවත්වා ගෙන ගියේ ඔහුය. ඒ සඳහා කාර්මික සංවර්ධන අධිකාරිය ඔස්සේ පැරණි ට්‍රාන්ස්පෝමර් සහ රාජ්‍ය ආයතනවලින් ඉවත දැමූ කාර්මික අපද්‍රව්‍ය අතර ඇති තඹ වැඩි හරියක් මිලදී ගත්තේ ඉන්ෂාෆ්ට අයත් සමාගම මඟිනි. ඒ සඳහා ඔහු සිය දේශපාලන හයිය උපරිම ලෙස යොදාගත් බව විමර්ශනවලින් පැහැදිලිවම එළියට ආවේය. අතයට ගනුදෙනු ඇති බවට සැකකරන තොරතුරු ද ඒ අතර බොහෝය. කාර්මික සංවර්ධන අධිකාරිය සෙසු කර්මාන්තකරුවන්ට වඩා ඉන්ෂාෆ් කෙරෙහි ඇල්මක් දක්වමින් ඔහුට අයත් වැල්ලම්පිටියේ පිහිටි කොලෝසස් නම් වූ තඹ කර්මාන්ත ශාලාවට අබිලි ලෝහ ලෙස ටොන් ගණන් තඹ සහ පිත්තල ලබාදී ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබුණේය.

එහිදී එවකට කර්මාන්ත අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයකු සමඟ ඉන්ෂාෆ්ට පැවති හිතවත්කම් හා සම්බන්ධකම් ගැන ද තොරතුරු එකින් එක එළියට ආවේය. ඒ යැයි කියා ඒ අය පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් තිබුණේ යැයි හෙළිදරව්වක් නොවීය. ප්‍රශ්නගත වන්නේ ඉන්ෂාෆ්ගේ තඹ කර්මාන්ත ශාලාව වෙත ඕනෑවටත් වඩා ළැදිකමක් දක්වමින් සෙසු කර්මාන්තකරුවන්ට වඩා වැඩි කඹ හා පිත්තල ප්‍රමාණයක් ලබාදීම ගැනය. පාස්කු කොමිෂන් සභාව තුළ සාක්ෂි විමර්ශනයේදී පවා ඒ ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණේය. ඒ එම ගනුදෙනු බැලූ බැල්මට ප්‍රශ්නගත වූ බැවිනි. අනාවරණය වී ඇති ආකාරයට අනුව එම කර්මාන්ත ශාලාවෙන් උපයාගත් ලාභයෙන් කොටසක් පවා වැය කර ඇත්තේ අන්තවාදය පෝෂණය කරන්නටත් පාස්කු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීමටත්ය. එම කර්මාන්ත ශාලාව තහනම් කරමින් මුද්‍රා තබන්නේත් එය රාජසන්තක කරන්නට පියවර ගෙන ඇත්තේත් එබැවිනි.

මෙසේ ඉන්පාගේ තඹ කර්මාන්ත ශාලාවට රජයේ ආයතනවල ඇති තඹ සහ පිත්තල තරගකාරී නොවන මිලකට රජයට සම්බන්ධ ආයතනයක් ඔස්සේම ලබා ගැනීමට ඉන්ෂාෆ්ගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම්ට ජවිපෙ නොවන දේශපාලන හයිහත්තිය ද බලපෑවා විය හැකිය. ඒ ගැන ඉඟි පවා විමර්ශනයේදී අනාවරණය වී තිබුණේය. ඒ ඔහු ජවිපෙ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස සිටියත් ව්‍යාපාරිකයෙක් ලෙස දේශපාලන ලෝකයේ හැම ලොකු අත්තක්ම පාහේ අල්ලාගෙන සිටි අයෙක් වූ නිසාය.

හැම පැත්තේම දේශපාලකයන් සමඟ කිට්ටු සම්බන්ධකම් ගොඩනඟාගෙන සුළු ව්‍යාපාරිකයන් පාගා වට්ටවා දමා වෙනම ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනඟාගෙන සහරාන්ගේ අන්තවාදී ආගමික සංවිධානය පෝෂණය කරමින් සිටි මෙම ව්‍යාපාරික පවුලේ පැටිකිරිය ලෝකය හමුවේ නිරාවරණය වන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟිනි.

එදා හිතා ගන්නත් බැරි වන ආකාරයට සිදු වූ පාස්කු ප්‍රහාරයේ සංචාරක හෝටල් කිහිපයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ වගකීම පැවරෙන්නේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි අද වන විට ඇල්පිටිය කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාටය. නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඔහු මුලින්ම යන්නේ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක්ම ඒ වන විට එල්ලවී තිබුණු ෂැංග්‍රිලා හෝටලයටය. එම ප්‍රහාර දෙකෙන් එකක් එල්ල කරනු ලබන්නේ සහරාන්ය. දෙවැන්න එල්ල කරනු ලබන්නේ මෙහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතකු වන මොහෙමඩ් ඉල්හාම්ය. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකෙන් ඒ වන විටත් මියගොස් සිටි පිරිස 35 දෙනෙකි. ඒ අතරින් 22 දෙනෙක්ම විදේශිකයන්ය. තුවාල ලබාසිටි ගණන 34 දෙනෙකි. ඒ අතර සිටි විදේශිකයන් ගණන 12දෙනෙකි.

ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු නිලධාරීන් බෝම්බ පිපුරුමෙන් විනාඩි පහක් ඇතුළත එදා ෂැංග්‍රිලා හෝටලයට ඇතුළුවී තිබුණේ බෝම්බ ප්‍රහාරයෙන් පිලිස්සීමෙන් තුවාල ලැබූවන් ඒ වන විටත් රෝහල් කරා රැගෙන යමින් සිටියදීය.

හානියේ තරම සියැසින් දුටු ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු නිලධාරීන් මෙහිදී පිපුරුම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කරමින් කාලය නිකරුණේ කාදැමීමෙන් පලක් නොවන බව වටහා ගනිමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කළ අය කඩිනමින් හඳුනා ගත යුතු යැයි තීරණය කරනු ලැබීය. ඒ බව දැන ගැනීමට නම් ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කළ යුතු බව ඉන්දික ලොකුහෙට්ටිට පෙනී ගියේය. ඒ සඳහා හෝටලයේ ආරක්ෂක කැමරා පද්ධතිය ඇති කුටියට ඇතුළුවීමට සූදානම් වූ අවස්ථාවේදී හෝටලයේ ආරක්ෂක අංශ ප්‍රධානියකුගෙන් ඊට එල්ල වන්නේ දැඩි විරෝධයකි. “අපිට විමර්ශනවලට බාධා කළොත් ඔක්කොම අය අත්අඩංගුවට ගන්නවා“ යැයි ඉන්දික ලොකුහෙට්ටි මහතා ගෝරනාඩුවක් දමන්නේ වෙන විකල්පයක් ඒ අවස්ථාවේදී කරන්නට නොවූ තැනය. ඒ හඬත් සමඟ හෝටල් ආරක්ෂක අංශ ප්‍රධානියා ආරක්ෂක කැමරා පද්ධතියේ දර්ශන පිහිටි කුටියේ දොරගුළු ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු නිලධාරීන්ට විවර කර දෙන්නේ සල්ලම් වෙමිනි.

ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු නිලධාරීන් බෝම්බකරුවන් දෙදෙනාව හඳුනා ගනු ලබන්නේ පිපිපුරුම වූ අවස්ථාවේදී සිට ආපස්සට වීඩියෝ දර්ශන පරීක්ෂා කරමිනි. එහිදී පෙනී යන්නේ බෝම්බකරුවන් දෙදෙනා රැඳී සිට ඇත්තේ හෝටල් කාමරයක බවය. එම කාමර වෙන් කරගෙන ඇත්තේ කවුරුන්දැයි කියා ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු නිලධාරීන් හෙළි කර ගන්නේ හෝටලයේ කාමර වෙන්කර ගන්නා අමුත්තන්ගේ සටහන් පොත පරීක්ෂා කර බලාය. එහි සඳහන් වන්නේ කොළඹ 09 මහවිල උද්‍යානයේ පිහිටි ලිපිනයක් ගැනය. 658/90 දරන ලිපිනය සඳහන් වූ මොහාමඩ් ඉල්හාම් නැමැති අයෙක් ගැන එහිදී තොරතුරු අනාවරණය වන්නට වූ බැවින් ඒ ගැන ඉන්දික ලොකුහෙට්ටි වහාම එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට දැනුම් දුන්නේය. එහිදී ඔහු උපදෙස් දෙන්නේ එම නිවෙසේ ජීවත් වන්නන් ගැන තොරතුරු සොයා බලා වාර්තා කරන ලෙසය. ඒ අනුව ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි යන විටත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ සිටින්නේ එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝගයකට අනුවය.

මේ කියන නිවෙසේ ජීවත් වන්නේ මෙරට අංක එකේ කෝටිපතියෙක් වන කුළුබඩු අපනයනයෙන් රටම අල්ලා ගෙන සිටින මොහොමඩ් ඊබ්‍රාහිම් බව ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු කිසිදු නිලධාරියෙක් දැන සිටියේ නැත. අඩුම තරමින් ෂැංග්‍රිලා බෝම්බකරුවන් අතර මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතෙක් සිටින බව පවා ඒ වන විට පැවතියේ රහසක් ලෙසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහවිල උද්‍යානයේ පිහිටි මොහොමඩ් ඊබ්‍රහිම්ගේ සුවිසල් නිවෙස වෙත යන විටත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිටියේ වැඩ පටන්ගෙනය.

“පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී මා අනුයුක්තව සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ. එදින මා දෛනික පෙරට්ටු රාජකාරියේ යෙදී සිටියදී නිවෙසක් පරීක්ෂා කරන්න කියලා උපදෙස් ලැබුණා. ඒ වෙද්දි කොළඹ සහ අවට බෝම්බ පිපිරීම් සිදුවෙලා තිබුණේ. මා පිටත් වුණේ උප පෙලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර සමඟයි. අපි ගියේ නො. 658/90 මහවිල උද්‍යානයහි දෙමටගොඩ යන ලිපිනයේ පිහිටි නිවෙස පරීක්ෂා කර බලන්නයි. අපි නිවෙසට ගොස් ගේට්ටුවට තට්ටු කළා. එහිදී වයස අවරුදු පනහක පමණ පුද්ගලයෙක් ගේට්ටුව ඇරියා. අපි පසුව දැනගත්තේ ඒ ඊබ්‍රහිම් හාජ්ජියාර් කියලා. අපි නිවෙසට ඇතුළුවන අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ලොකුහෙට්ටි මහත්තයා ඇවිත් හිටියා තවත් නිලධාරීන් කණ්ඩායමක් එක්ක. රෝහණ බණ්ඩාර මහත්තයා ඇහුවා ඒ කවුද කියලා. අපි මුලින්ම ගෙට ගියා. මමත් තවත් නිලධාරියෙකුත් බිම් මහල සෝදිසි කරමින් සිටියෙ. එහි සිටියේ ගැහැනු අය. ඔවුන් ගොඩක් අය අඬ අඬා හිටියේ. අපි පහළ සෝදිසි කරද්දි රෝහණ බණ්ඩාර මහත්තයා තවත් නිලධාරීන් දෙන්නකුත් එක්ක උඩු මහලට ගියා.මට ඇහුණා රෝහණ බණ්ඩාර මහත්තයා දොරකට තට්ටු කරලා “දොර අරින්න” කියලා කිහිප සැරයක් ම දොරට ගැහුවා. ඒත් එක්කම විශාල පිපිරුම් හඬක් ඇහුණා.“ මහවිල උද්‍යානයේ පිහිටි මොහමඩ් ඊබ්‍රාහිම්ගේ නිවෙසේ එදා බෝම්බ පිපුරුම සිදුවූ අයුරු එසේ කියන්නට වූයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට සේවයේ නිරතව සිටි සැරයන් වසන්ත කුමාරය. ඒ පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

මෙම පිපුරුම සිදුවන්නේ එදින සවස 2.30 පමණය. එම බෝම්බය පුපුරවා ගන්නේ ෂැංග්‍රිලා බෝම්බකරුවූ ඉල්හාම්ගේ බිරිඳය. ෆාතිමා මොහොමඩ් ජෙෆ්රි නම්වූ ඇය එදා නිවසේ කාමරයක් තුළ බෝම්බයක් පුපුරවා ගෙන මැරෙන්නේ තනිවම නොව, අවුරුදු තුනහමාරක්, දෙකහමාරක් සහ මාස නවයක් වයසැති සිය දරුවන් තිදෙනා සහ නූපන් දරුවා ද සමඟිනි. ඒ හැරුණු කොට එදා එම නිවෙසේ ඉහළ මහල පරීක්ෂා කිරීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනකුගේ දිවි ද එම බෝම්බ පිපුරුමෙන් අහිමි විය. මෙම නිවෙස තුළ දෙවැනි බෝම්බ පිපුරුම සිදු වන්නේ පළමු පිපුරුමෙන් විනාඩි 13කට පසුවය. එනම් සවස 2.53ට පමණය. එම බෝම්බය අටවා තිබෙන්නේ කාල බෝම්බයක් ලෙසිනි. ඒ පළමු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එතැනට රැස්වන පිරිස් ඉලක්ක කරගෙනය.

ඉල්හාමිගේ බිරිය දරුවන් තිදෙනා සහ නූපන් දරුවාත් මරාගෙන මැරෙන්නේ දේවස්ථාන හා හෝටල්වල පුපුරවා හැරිය ආකාරයේ බෝම්බයක් පුපුරවාගෙනය. තවත් බෝම්බයක් නිවෙස තුළ පුපුරවා හැරෙන්නේ එහි දිගුවක් ලෙසිනි. පළමු බෝම්බය ඇය විසින් පුපුරවා ගන්නා විට දෙවැනි බෝම්බයේ ටයිමරය ක්‍රියාත්මක කර ඇත්තේ ඇයය. එම පිපුරුමෙන් නිවෙසේ පළමු මහල බිමට කඩා වැටෙන්නේ නිවෙසම අබිලි ගොඩක් බවට පත්කරමිනි. මෙම බෝම්බ දෙක ඉල්හාම් විසින් ඇයට රැගෙනවිත් දෙන්නේ එදා අලුයම් කාලයේදීය. පෙරදින ෂැංග්‍රිලා හෝටලයේ කාමර වෙන් කරගත්ත ද ඔහු අලුයම් කාලයේදී බිරිය මුණ ගැසීමට පැමිණි බව විමර්ශනවලින් හෙළිවී තිබුණි. ඒ පැමිණ ඇත්තේ පුපුරා ගිය බෝම්බ ද රැගෙනය. එම බෝම්බ නිෂ්පාදනය කර තිබුණේ යැයි අනාවරණය වූයේ පානදුර පරන්ත පාරේ ෂරෙිෆ් මාවතේ පිහිටි කුලී නිවෙස තුළය. සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් සමඟ මෙම බෝම්බ නිෂ්පාදනය කිරීමට ඉල්හාම් ද හවුල් වූ බව කියැවෙති. අවසානයේදී ඉල්හාම් බෝම්බ දෙකක් නිවෙසට රැගෙන විත් බිරියට බාර දෙන්නේ ඇයත් ඒ වන විට අන්තගාමී තැනැත්තියක් බවට පත්ව සිටි බැවිනි. ඇය කොතරම් අන්තවාදයට ගොස් තිබුණේ දැයි කිවහොත් දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දුන්නේ නැත. රූපවාහිනිය නැරඹීමට, ගුවන් විදුලිය ඇසීමට ඉඩ දුන්නේ ද නැත. ඇය ද ඒ හැම එකක්ම අත්හරින්නට වූයේ සාද උත්සව පවා වර්ජනය කරමිනි. සිය සහෝදරයාගේ විවාහ උත්සවයට පවා ඇය නොගියේ අන්තවාදයේ උපරිමයට ගොසිනි. සිය ලේලිය සහ පුතා අන්තවාදයේ උපරිමයට ගොස් මහා විනාශයකට අරඅදින බව මොහොමඩ් ඊබ්‍රාහිම් දැන නොසිටියා යැයි යමෙක් පවසන්නේ නම් එය විහිළුවකි. මන්ද යත් ඊබ්‍රාහිම් පවා ඒ දේවල් පිළිගෙන ඇති බැවිනි.

ඒ බව වඩාත් තහවුරු වන්නේ නිවෙස තුළ මෙම බෝම්බ පිපුරුම් සිදුවන විට ආරක්ෂක අංශ සාමාජිකයන් පවා කලබලයට පත්ව සිටියත් මොහොමඩ් ඊබ්‍රාහිම්ට හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඒ ගැන වගේ වගත් නොමැතිව ක්‍රියාකිරීම හේතුවෙනි. පාස්කු කොමිසන් සභාවේ සාක්ෂි විමසිමේදී පවා ඒ ගැන තිබුණේ වැඩි අවධානයකි. මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ මුහුණෙන් කිසිදු බියක් කම්පනයක් පිළිබිඹු නොවූ බව විමර්ශන සටහන්වල ලියැවී ඇත්තේ පිටු ගණනින්ය. ඒ තුළින් කියාපාන්නට වූයේ මෙවැනි ප්‍රහාරයක් ගැන කල්තියා ඒ අයද අපේක්ෂාවෙන් සිට ඇති බවය. ඒ සිය දරුවන් අන්තවාදයට ගොස් ඇතැයි ඒ අයට රහසක් නොවූ නිසාය. ඒ බව ඔවුන් විසින් පාස්කු කොමිෂන් සභාවේ දී මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබාදී ඇති ප්‍රකාශවලින්ද තහවුරුවී හමාරය.

පාස්කු ඉරුදින එල්ල වුණු මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම පාස්කු කොමිෂන් සභාව විසින් කළ සාක්ෂි විමසීමේදී හෙළිවී ඇති තොරතුරුවලට අනුව අවසාන කාලයේදී සහරාන්ගේ නායකත්වය පිළිබඳව කණ්ඩායම අතර මතගැටුමක් ද තදින්ම උස්සන්න වී තිබී ඇත. එහිදී කණ්ඩායම දෙකඩ වී මොහොමඩ් නෞෆර්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වීමට යාමේදී ඊට දැඩිව එරෙහි වී ඇතැයි පැවසෙන්නේ ඉල්හාම්ය. එහිදී ඉල්හාම් පවසා ඇත්තේ මෙම සංවිධානයට තමා අරමුදල් සපයන ලද්දේ සහරාන් කෙරෙහි ඇති ගෞරවය නිසා බවය. ඒ අනුව නෞෂාඩ් සමඟ කැඩී යන පිරිසට ඔහු ලබාදීමට එකඟ වන්නේ එක් නිවෙසක් එක් වාහනයක් සහ එක් ආයුධයක් පමණි. ඒ අනුව ද පෙනී යන්නේ මෙම ප්‍රහාරය මුළුමනින්ම සංවිධානය වී ඇත්තේ ඉල්හාම්ගේ මුදල් බලයෙන් බවය. බෝම්බ සකස් කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මෙන්ම බෝම්බකරුවන්ට ආරක්ෂකව නවාතැන් ගැනීමට අවශ්‍ය නිවාස පවා ගන්නට මුදල් ලබාදී තිබුණේ ඉල්හාම්ය. මෙම ප්‍රහාර මාලාව වෙනුවෙන් සහ සංවිධානය ගොඩනඟන්නට ඉල්හාම් වියදම් කර ඇති මුදල කොපමණදැයි පැහැදිලිවම අනාවරණය නොවූවත් ඔහු සිය ජීවිතය පමණක් නොව, බිරිය හා දරුවන්ගේ ජීවිත පවා කැපකර ඇත්තේ මේ සඳහා බව දැන් පැහැදිලිය. ඒ අනුව මොහොමඩ් ඊබ්‍රාහිම්ට ද මේ තුළින් ගැලවිල්ලක් නැති තරම්ය. ඔහු සහ පුතුන් සතුව තිබුණු දේපොළ තවමත් පොලිස් භාරයේ තබාගෙන විමර්ශන සිදු වන්නේ එබැවිනි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division