Home » යට මහලට තෝසේ කෑල්ලක් හෝ දෙනු

යට මහලට තෝසේ කෑල්ලක් හෝ දෙනු

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

පරාටේ ඇස්කිසිය සඳහා පොලු පහරක් ලබාදෙන තැනට ආණ්ඩුව කටයුතු කරන ලද්දේ, ආර්ථික අර්බුදය හමුවේ මහා පරිමාණ සිට සුළු සහ මධ්‍යම යන ව්‍යාපාරික තෙඅංශයම තුන් මුණින් වැටී සිටීම නිසාය.

යම් දේපළක් සම්බන්ධයෙන් වු උකසක් මත බැංකුවක් ණයක් ලබාදී ඇති විටක, එම ණය මුදල ගෙවීම පැහැර හරිනු ලබන අවස්ථා දකින්නට ලැබේ. ණයක් කියන්නේ එහෙම එකකි. ණයක් ගන්නා හැම අයෙක්ම සිහින දෙකක් දකිති. එකක් ළඟ ළඟ වැඩේ ෂේප් කර ගැනීමය. තමන් හිරවී ඇති තත්ත්වය මත්තේ වෙන කරන්න දෙයක් නැති හෙයින් අතමාරුවක් රැගෙන වැඩේ ගොඩ දාගැනීම අවශ්‍යය. ඊළඟ අදියරේදී ලැබෙන දෙයකින්, එම හිරවීම ගොඩ දා ගත හැකි බව ණය වෙන්නාගේ බලාපොරොත්තුව වේ.

කීයක් හෝ අප කාගෙන් හෝ ඉල්ලා ගත් වන සේම කා වෙත හෝ අප ණයක් ලබාදුන් සඳ වෙන්නේ ඔය ටිකය. බැංකුවක් ණය දෙන්නේ ඇපකරයක් තබාගෙනය. ණය නොගෙවීමේ අවදානම සඳහා ඇති පිළිසරණ එයය. ණය නොගෙවූ කල්හි, අධිකරණ ක්‍රියාවලියකින් තොරව, ණය මුදල ආපසු ලබා ගැනීම සඳහා උකස් කර ඇති දේපළ අදාළ බැංකුවට ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා දැමීමේ හැකියාව පවතියි. මේ බලය සඳහා දී ඇති නම පරාටේය.

පරාටේ බලය මේ අවස්ථාවේදී සුපුරුදු ආකාරයෙන් පවත්වා ගැනීමට ඉඩ දුන්නා කියන්නේ ව්‍යාපාර බොහොමයක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීම සඳහා අවස්ථාව උදා වෙන බවය. ව්‍යාපාරයක් එහෙම ලංසු තබා වෙන්දේසියේ දැම්මා කියන්නේ එක් මිනිසෙක්ගේ ආදායම් මාර්ගයක් බිමට වැටෙනවා පමණක් නොවේ; ඒ ව්‍යාපාරයේ සේවය කරන බර ගාණකගේ මාසික ආදායම අහිමි වේ. කළමනාකරණ නොහැකියාව වැනි දේ මේ අවස්ථාවේ අදාළ නැත. ආර්ථික අර්බුදය කරකැවෙන්නේ, වටේ ඇති දෑ ද කපාගෙනය. එහෙම දැති රෝදයක් සමඟ මෙම අවස්ථාවේදී ව්‍යාපාර කරනවා යන්න අසීරු කාරණයක් හෙයින් රටේ ආර්ථිකය හුස්ම ගන්නා තෙක් පරාටේ ඇස්කිසිය සඳහා සහනයක් ලබා දුන්නාට කවුරුත් සැලියුට් ගසන්නේය.

එහෙම වූවා කියා ගමේ ඇති ණය ප්‍රශ්නය සඳහා පරාටේ සේවය කරන්නේ නැත. ග්‍රාමීය ජනතාව ණයක් ගන්නේ, ගෙවල් හැදීමට හෝ ව්‍යාපාරයක් කරගෙන යෑම ආදිය සඳහාට වඩා රෝල ගෙන යෑම සඳහාය. අපේ රටේ පහළ මධ්‍යම පන්තියේ සිට අඩියට යන තෙක්ම මාසයේ ‘රන් එක’ ගසනුයේ රෝල මඟිනි. පඩිය ස්ථිර දෙයක් වෙතත් වියදම් අවිනිශ්චිතය. දැන් ලැබෙන පඩියෙන්, මාසය රෝල් කර ගැනීමට වඩා ගල් රෝලකට යටවීම සැප සනීපය. මේ නිසා රෝල හිරවෙන්නේය. බිල් ආදිය ගොඩ ගැසෙන්නේය. ගෙදර වියදම සඳහා මාසයේ මැද සිට අතේ වත නැත. එවිට සිහියට නැඟෙන්නේ, පොලී මුදලාලිගේ වතය.

මේ සඳහා ගෙදර ඔප්පුවේ සිට ගෙදර ඇති ත්‍රීවිලය, බයික් එක ආදිය හරහා බ්ලේන්ඩරය යන සියල්ල උකසට තැබීම සිද්ධ වන්නේය. ඒ ආකාරයට හිරවූ ගමේ පිරිස සදහා සහතික හෝ ඔප්පු කළ හැකි කිසිවක් නැත. ගිනි පොලියට සල්ලි දෙන්නේ බැංකු නොවේ. ළඟ පාත සිටින කෙනාය. ඒවා මුල්‍ය ආයතන නොව දඩුවම් මුදලාලි, සක්විති පන්නයේ පුද්ගලික සහ සම්බන්ධතාය. ඔය ආකාරයට හිරවූ විට, මුදලාලිගේ මර්සි කණ්ඩායම පැමිණ අදාළ උකස සින්න කර ගන්නේය.

මෙරටේ කාන්තාවන් ලක්ෂ 24කට වැඩි පිරිසක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවී ඇති බව ආසන්න දත්ත කියා පාන්නේය. සිකුරාදා කාන්තා දිනය සැමරුවා කියා මේ කතුන් වෙත ලැබුණු දෙයක් නැත. ණය කන්දක් වෙත යටවී සිටින ඒ දනෝ වෙනුවෙන්, පෙරේදා පිරිසක් එක්ව විකල්පයක් යෝජනා කළහ.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා අවිධිමත් මූල්‍ය ආයතන වෙතින් ණය ලබා ගත් දිළිඳු ජනතාවට සාධනීය විසඳුමක් ලබා දෙන්නැයි පාරට බැස හඬ නඟන ලද්දේ නව ජනතා පෙරමුණය. එහි මධ්‍යම කාරක සභා සාමාජිකයෝ මේ ගැන අවධාරණය කරමින්, පොලිස්පති හා මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් ඉල්ලීමක් කළහ.

පසුගිය දෙවසරක කාලසීමාව ශ්‍රී ලාංකික ජනතාවට සෑම ආකාරයෙන්ම පීඩා ගෙන දුන් බවත්, ඉන් මිදීමට ජනතාව මෙම අවිධිමත් ණය ගත් බව සඳහන් කරන ඔවුහු, අධික පොලී අනුපාත හරහා ගනුදෙනුකරුවන් සූරාකෑම, ආචාරශීලී නොවන අයකිරීමේ ක්‍රම භාවිතයෙන් මහජනතාවගෙන් මුදල් එකතු කිරීම, විධිමත් නොවන ක්‍රම හරහා මහජනතාවගේ දේපළ රඳවා තබා ගැනීම හා සාවද්‍ය පරිහරණය කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර මෙම ගිනි පොලියට ලබා දුන් ණය අය කිරීම වහාම අත්හිටුවන ලෙස ඉල්ලා සිටියහ. ඇත්ත ඇත්තේ එතැනය. උඩු මහලට පරාටේ දුන්නා කියා යට මහල දන්නේ නැත. එතැනට ද ‘තෝසේ කෑල්ලක්’ හෝ ඔය ‘සයිවර් කඩයෙන් ‘ ලබාදිය යුතුමය.

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනතින් පැවරී ඇති බලතල සහ 1989 අංක 30 දරන සමාජ සේවා සංවිධාන පනත මඟින් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ආයතන නියාමනය විධිමත් කරන ලෙස, නව ජනතා පෙරමුණ ඉල්ලා සිටින්නේ සාධනීය නෛතික කාරණා රැසක් ඉදිරිපත් කරමිනි. ඒවා ක්‍රියාවට නංවන තෙක්, ආණ්ඩුව වහාම තීරණයක් ගෙන, ගමේ ජනතාව සඳහා අදාළ ණය නොගෙවීම මාස හයකට අත්හිටුවන ලෙස ඒ ඉල්ලීමේ සඳහන්ව තිබුණි.

මේ තීරුව ඔය මතය වෙනුවෙන් පෙනී සිටින්නේය. අසරණ බවේ පතුල බලා වැටී සිටින මේ රටේ ග්‍රාමීය ජන පදනම සඳහා ක්ෂණික සහනයක් ලෙස එහෙම ක්‍රියාමාර්ගයක් මේ මොහොතේ අත්‍යවශ්‍යය. උඩට පරාටේ යටට කරාටේ යන්න සඳහන් බෝඩ් රැගෙන, ගම් තුලානේ ජනී ජනයා පාරට බසින තුරු අප බලා සිටිය යුත්තේ නැත. ණය හිමියා සමඟ සමථකරණය සඳහා ප්‍රාදේශීය මට්ටමෙන් යන්ත්‍රණයක් ඉදි කර ගන්නාතුරු, ගමේ අසරණයාගේ ඔප්පුව සහ වස්තුව බේරා ගැනීම සඳහා නීතියෙන් යම් සෙවණක් ලබාදිය යුත්තේය. ඒ සඳහා දෙන සහන කාලය අද හෙටම ලබාදී, ප්‍රශ්නය බේරුම්කරණය දක්වා රැගෙන ආ විට, වැඩේ ලයින් වන්නේය. එසේ නැතිනම් මේ සිංහල අවුරුද්දේ ලිපි ගිනි මෙලෙවීම, පපුව මත්තේ ගල් තුනක් තබා කළ හැකි මට්ටමට ගමේ ජනයා පත්වෙනවා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division