Home » රතු මුහුදේ මෙහෙයුම් සහ භූ දේශපාලනික අවදානම්

රතු මුහුදේ මෙහෙයුම් සහ භූ දේශපාලනික අවදානම්

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

භූ දේශපාලනික අවදානම් යනු ජාත්‍යන්තර කටයුතුවලට කිසියම් ජාතියක් සම්බන්ධ වීමේදී මතුවිය හැකි දේශපාලන, ආර්ථික, යුදමය සහ සමාජීය අවදානම් ලෙස සරලව නිර්වචනය කළ හැකිය.

භූ දේශපාලනික අවදානම් එක් අතකින්, ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයට හේතු විය හැකි අතර, එය ප්‍රචණ්ඩත්වයට හා ගැටුම්වලට තුඩු දිය හැකිය. අනෙක් අතට, රටවල් අවදානම් අවම කිරීමට උත්සාහ කරන විට ඔවුන්ට නව්‍යකරණයන් සහ නිර්මාණශීලීත්වය වඩාත් දිරිමත් කළ හැකිය. කෙසේ වෙතත්, භූ දේශපාලනික අවදානම් පුරෝකථනය කිරීම බොහෝ විට දුෂ්කර වන්නේ අවදානමට රටවල් ප්‍රතිචාර දක්වන ආකාරය මත එය මුළුමනින්ම පාහේ රඳා පවතින බැවිනි.  

ඊශ්‍රායල-හමාස් යුද්ධය පුළුල් කලාපීය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් හෝ හවුතිවරු ඔවුන්ගේ ප්‍රහාර ඉන්ධන ප්‍රවාහන නෞකා සහ යකඩ, ධාන්‍ය සහ දැව වැනි තීරණාත්මක අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන තොග නෞකාවන්ද ඉලක්ක කර ගැනීමට තීරණය කළහොත් ගෝලීය ආර්ථිකයට වඩාත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇත. “ගැටුම් උග්‍ර වන පසුබිමක, බලශක්ති සැපයුම ද සැලකිය යුතු ලෙස කඩාකප්පල් විය හැකි අතර, බලශක්ති මිල ඉහළ යාමට තුඩු දෙනු ඇත” යනුවෙන් ලෝක බැංකු වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. “මෙය අනෙකුත් භාණ්ඩ මිල ගණන්වලට සැලකිය යුතු ලෙස බලපානු ඇත.”

කවුද මේ හවුතිවරු?

රතු මුහුද ආශ්‍රිතව දිග හැරෙමින් පවතින මෙම ගැටුමේ ස්වභාවය මනාව අවබෝධ කරගැනීමට නම්, හවුතිවරුන් යනු කවුරුන්දැයි යන්න නිශ්චිතව වටහා ගැනීම වැදගත් ය. “හවුති” යනු යේමනයේ අන්සාර් අල්ලාහ් හෙවත් දෙවියන්ගේ ආධාරකරුවන්ගේ ව්‍යාපාරය සඳහා යොදා ගන්නා වූ අන්වර්ථ නාමයකි. එය අනූව දශකයේ දී හුසේන් අල්-හවුති විසින් ආරම්භ කරන ලද අතර, 2004 දී ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ සහෝදරයා වන අබ්දුල් මලික් අල්-හවුති විසින් මෙහෙයවනු ලැබීය. හුසේන් දක්ෂ කථිකයකු වූ අතර ඔහුගේ පණිවිඩය යේමනයේ නොසලකා හරින ලද සහ දිළිඳුකමේ ගැලී සිටින උතුරු සදා පළාතේ බොහෝ අනුගාමිකයන් අතර ප්‍රචලිත විය. සදාහි බොහෝ වැසියෝ ෂියා ඉස්ලාම් ආගමේ සයිඩි නිකායට අයත් වූවෝ වෙති. හවුති සහෝදරයෝ සයිඩි ආගමික පුනර්ජීවනයක් අපේක්ෂා කළ අතර, යේමනයේ මධ්‍යම ආණ්ඩුවට එරෙහි ස්ථාවරයක පිහිටා ක්‍රියා කළ අතර සහ ඊශ්‍රායලයට වෛර කරන ලෙස තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියහ. ඔවුන්ගේ ජනප්‍රියම තේමා ගීතය වන්නේ “අමෙරිකාවට මරණය, ඊශ්‍රායලයට මරණය, යුදෙව්වන්ට ශාප කරන්න, දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි” යන්නයි.

2011 දී, අරාබි වසන්ත විරෝධතා හමුවේ යේමනයේ රජය බිඳ වැටුණු විට, හවුතිවරු සදා පළාතේ පාලනය අල්ලා ගත්හ. ඉන්පසුව, 2014 දී, ඔවුන් බලයෙන් පහ කරන ලද ආඥාදායක පාලක අලි අබ්දුල්ලා සාලේ සමඟ එකතු වී ජාත්‍යන්තරව පිළිගත් අබ්දු රබ්බු හාඩිගේ සංක්‍රාන්ති රජය පෙරළා දැමීය. සාලේගේ උදව්වෙන් ඔවුන් මාස දෙකක් වැනි කෙටි කාලසීමාවක් ඇතුළත උතුරේ තම මව්බිමේ සිට දකුණු යේමනයේ ඒඩන් දක්වා ඉදිරියට පැමිණියහ. අනතුරුව හවුතිවරු සාලේ වෙත තම විරෝධය එල්ල කරමින් ඔහු ඝාතනය කළහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය හවුතිවරුන්ගේ මෙම කුමන්ත්‍රණය සහ මානව හිමිකම් කඩකිරීම් හෙළා දුටු අතර, ඔවුන් සතු අවි ආයුධ රාජසන්තක කිරීම සඳහා යේමනය බලා යන යාත්‍රා පරීක්ෂා කිරීමට ද අවසර දුන්නේය.

හවුතිවරු වර්තමානයේ යේමනයේ බොහෝමයක් ප්‍රදේශ නාමිකව පාලනය කරති. සැබෑ ලෙසම, රටේ බොහෝ ප්‍රදේශ පාලනය කරන්නේ ප්‍රාදේශීය ගෝත්‍රික නායකයන් සහ යුද අධිපතිවරුන් විසිනි. බහුජාතික නාවික අවහිරය සිය ආහාර, ඉන්ධන සහ ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන ජාතියකට ඉමහත් පීඩාවක් ගෙන දී ඇති අතර හවුතිවරුන් පාලනය කරන වරායන්හි දූෂණය ඉහවහා ගොස් ඇති අතර විදේශ ආධාර ලබා දීම ද දුෂ්කර කර ඇත. සටන්, රෝග සහ මන්දපෝෂණය හේතුවෙන් යේමන වැසියන් දහස් ගණනක් මරණයට පත්ව ඇත; මිලියන ගණනකට නිවාස අහිමිවී ඇති අතර රැකියා විරහිත කර ඇත. යේමන ජනතාවට අනවශ්‍යයම දෙය නම් තවත් යුද්ධයකි.

හවුතිවරුන් ඉරානයේ නිර්මාණයක් නොවන නමුත්, ඔවුන් සෙසු ෂියා මුස්ලිම්වරුන් පිරිසක් ලෙස පිළිගනිමින්, දිගු කලක් මුළුල්ලේ එම ව්‍යාපාරයට අරමුදල්, ආයුධ, පුහුණුව සහ උපදෙස් ලබා දුන් බවට චෝදනාවක් පවතී. දශකයකට වැඩි කාලයක් තිස්සේ ඉරානය ආක්‍රමණශීලී ලෙස හවුතිවරුන් මෙන්ම – ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ලෙබනනයේ හිස්බුල්ලා ඇතුළු අනෙකුත් අතුරු හමුදා – අරාබි අර්ධද්වීපයේ සිය බලපෑම පුළුල් කිරීමට සහ එහි තම සාම්ප්‍රදායික ප්‍රතිවාදීයා වන සෞදි අරාබිය අඩපණ කිරීමට බළල් අතක් ලෙස ලෙස භාවිතා කරන බවට බටහිර චෝදනාවක් පවතී.

එහෙත් සෞදි අරාබිය සමඟ දිගුකාලීන ආරක්ෂක හවුල්කාරිත්වය පවත්වා ගැනීමට අසමත් වීම හේතුවෙන් අද හවුති අර්බුදයට වොෂින්ටනය ද කිසියම් ප්‍රමාණයකට වගකීමක් දැරිය යුතුය. 2015 දී යේමනය හවුතිවරුන් අතට පත්වීම වැළැක්වීමට සෞදි අරාබිය උත්සාහ කළේය. එසේ කිරීමට ඔවුන්ට බොහෝ හේතු තිබුණි: ඔවුන්ට අවශ්‍ය වූයේ තම දකුණු දේශසීමාව හරහා ආයුධ, මත්ද්‍රව්‍ය සහ මිනිසුන් ප්‍රවාහනය කිරීම සීමා කිරීමට ය. හවුතිවරුන්ට එරෙහිව සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් 10 කින් සමන්විත සන්ධානයක් 2015 වසරේ සිට යේමනයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරනුයේ මෙවැනි පසුබිමක් තුළ ය. සෞදි ප්‍රයත්නය බොහෝ දුරට අ‍ෙමරිකානු අවි, ඉන්ධන පිරවීම සහ බුද්ධි තොරතුරු මත යැපෙන ගුවන් මෙහෙයුමකට පමණක් සීමා විය. මෙම බෝම්බ හෙළීමේ මෙහෙයුම්වලදී සාමාන්‍ය වැසියන්ට හානි සිදු විය. රියාද් පාලනය වෙත ප්‍රහාර සම්බන්ධයෙන් එල්ල වන ජාත්‍යන්තර විරෝධය හමුවේ, එක්සත් ජනපද හමුදා ආධාර අවසන් කිරීමටත්, අවසානයේ යුද මෙහෙයුම් නතර කිරීමටත් හේතු විය.

ඒ අතරම, රතු මුහුදේ යාත්‍රා කිරීමේ නිදහස ආරක්ෂා කිරීම එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ කැමැත්තෙන් සිටින හවුල්කරුවන් කිහිප දෙනෙකුගේ පමණක් වගකීමක් විය යුතු නැත. සූවස් ඇළ හරහා ගමන් කරන භාණ්ඩ බොහොමයක් යුරෝපයට සහ ආසියාවට මිස එක්සත් ජනපදයට හෝ මහා බ්‍රිතාන්‍යය කරා ගමන් නොකරයි. චීනය, ජපානය, කොරියාව සහ ජර්මනිය ඇතුළු බොහෝ ජාතීන් වාණිජ නැව් ගමනාගමනයට එල්ල කෙරෙන හවුති ප්‍රහාරවලින් තම වෙ‍ෙළඳාම කඩාකප්පල් වනු දැකීමට කැමති නැත. හවුතිවරුන් මුලිනුපුටා දැමීම සඳහා දියත් කෙරෙන මහා පරිමාණ යුද්ධයකින් ඔවුන්ගේ බලශක්ති සැපයුම කඩාකප්පල් කිරීමට ද ඔවුන්ට අවශ්‍ය නැත. හවුති ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් සෙවීමට ඔවුන්ට ඉතා ප්‍රත්‍යක්ෂ උනන්දුවක් ඇත්තේ එබැවිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division