Home » ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි එයා මගේ බිරිය කරගැනීම

ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි එයා මගේ බිරිය කරගැනීම

ගයාන් වික්‍රමතිලක

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

– නිදහසේ රඟපාන්න ලැබෙනව කියන එකම හරි වටිනවා
– වෙන රංගන ශිල්පිනියන් එක්ක මම ඉන්නවට නම් එයා කැමැතිම නෑ

ධනුෂ්ක රත්නායකගේ “මන්දාරම් කතාවේ” පෙම්වතා ලෙසින් මේ දිනවල ඔබ හමුවට එන ඔහු රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නිර්මාණයේ මුදල සහ බලය පාවිච්චි කරමින් ධීවර ජනතාවට හිරිහැර කරන වීරවර්ණ මුදලාලිය. ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නිර්මාණයේ සීසර් වසන්ත කියන්නේ පාතාල නායකයෙකි. ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණය ඉටු කරන ඔහු දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකය.

වීරයාගේ චරිතය මෙන්ම විලන් චරිතයත් සාර්ථකව ගොඩනඟන ඔබ ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා සිටින රංගන ශිල්පියෙක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ආර්ටිස්ට් කෙනෙක් වුණහම ඕනෑම චරිතයක් කරන්න හැකියාව තියෙන්න ඕන. වීරයට වගේම විලන් චරිතයටත් එක විදිහටම ප්‍රතිචාර ලැබීම වාසනාවක්. මේ වෙද්දි වැඩිපුරම ආරාධනා ලැබෙන්නෙ විලන් චරිතයට වුණත් මං නිතරම උත්සාහ කරනවා එක රාමුවකට කොටු නොවී දෙපැත්තම සමබරව කරගෙන යන්න. වීරයාගේ චරිතයටත් වඩා කළු චරිතවලට ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරේ කරනවා. අදටත් පාරෙ යද්දි ‘ආහ්… වීරවර්ණ මුදලාලි‘කියනව වගේම ‘කොහොමද වසන්ත අයියේ‘ කියල අහන ප්‍රේක්ෂකයොත් ඉන්නවා. ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නිර්මාණයේ සීසර් වසන්ත කියන්නෙ මගේ ජීවිතේ විශේෂ සන්ධිස්ථානයක්.

සීසර් වසන්තගෙ චරිතය බාරගනිද්දි දෙගිඩියාවක් තිබුණෙ නැද්ද?

‘කියා දෙන්න ආදරේ තරම්’අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායකගෙන්මයි මට ඒ සඳහා ආරාධනා ලැබුණේ. එතැනදි ඔහුගේ අදහස් වගේම මගේ අදහසුත් අනෙක් අයගේ අදහසුත් එකතු කරලා තමයි මේ චරිතය නිර්මාණය කරගත්තේ. මට නිදහස ලැබුණා ඒ චරිතයට සාධාරණයක් කරන්න. නිදහසේ රඟපාන්න ලැබෙනවා කියන එක හරියට වටිනවා. තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චිත් ඒ චරිතය ගොඩනඟාගන්න ලොකු සහායක් දුන්නා. ඒක විලන් කැරැක්ටර් එකක් වුණත් අදටත් ප්‍රේක්ෂක ආදරය ලබන චරිතයක්.

මේ වෙද්දි ආදරණීය චරිත වගේම විලන් චරිතවලටත් ආදරය කරන්න ප්‍රේක්ෂකයන් පෙළඹිලා. ඒකට හේතුව විදිහට ඔබ දකින්නෙ මොකක්ද?

ඉස්සර විලන් කැරැක්ටර්වලට ගන්නෙ කළු, උස, මහත ටිකක් රළු පෙනුමක් තියෙන අය. වීරයයි විලනුයි පැහැදිලිව හඳුනගන්න පුළුවන්. ධනුෂ්ක ඒක ටිකක් වෙනස් මඟකට යොමුකළා කියල මට හිතෙනවා. දැන් දැන් විලන් කැරැක්ටර් එකටත් වීරයා වගේම පෙනුමෙන් ආකර්ෂණීය දක්ෂ ශිල්පීන් යොදා ගන්න නිර්මාණකරුවන් උත්සුක වෙනවා. අද වෙද්දි විලන් කැරැක්ටර්ස් ප්‍රේක්ෂක ආකර්ෂණීය චරිත බවට පත්වෙලා ප්‍රධාන චරිතය වගේම ප්‍රතිචාර ලබනවා. ඒක හොඳ උත්සාහයක් විදිහටයි මං නම් දකින්නෙ. චරිතය තුළ මට යමක් කරන්න තියේනම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියල හිතෙනව නම් චරිතය කළු ද සුදු ද කියන එක මං හිතන්නෙ නෑ.

රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නිර්මාණයේ වීරවර්ණ මුදලාලි කියන්නෙ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් සම්බන්ධ වුණු චරිතයක්. ඒ වගේ චරිතයකට අතරමඟදි සම්බන්ධ වීම අභියෝගයක් වුණේ නැද්ද?

රංගන ශිල්පියෙකුට ලැබෙන හැම චරිතයක්ම අභියෝගයක් තමයි. ඒත් මං තව කෙනෙකුට සාපේක්ෂව චරිතයක් අභියෝගයක් විදිහට භාර ගන්නෙ නෑ. වැදගත් වෙන්නෙ ඒ චරිතය එක විදිහටම පවත්වා ගැනීම. මුලින් ඒ චරිතය නිරූපණය කළ බිමල් ජයකොඩි කියන්නෙ මං ගොඩක් ගරු කරන අතිදක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු නිරූපණය කළ විදිහයි මං නිරූපණය කළ විදිහයි කොහොමත් එකක් වෙන්න බෑ. ඔහු බිමල් ජයකොඩි. මං ගයාන් වික්‍රමතිලක. අපි දෙන්නට ආවේණික වුණු චරිත ලක්ෂණ කීහිපයක් හරහා තමයි අපි වරිතයට විවිධ වර්ණ එකතු කළේ. මමත් උත්සාහ කළා යම් තරමකට ගොඩදාගන්න. එක පාරට වුණු පෙරළිය මුලදී ප්‍රේක්ෂකයන්ට ගැටලුවක් වෙන්න ඇති. ඒත් දැන් ලැබෙන ප්‍රතිචාර බැලුවම මං සාර්ථකයි කියලා හිතෙනවා.

ගයාන් ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ රංගනය ගැන හැදෑරීමකුත් එක්කමයි. ඒ ගැනත් මතක් කරමු?

2003 දි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වෙළෙඳ දැන්වීමක් හරහා. ඒ මීට දශක දෙකකට කලින්. ඊට පස්සේ මහේන්ද්‍ර පෙරේරා අයියගෙ වර්ක් ෂොප්වලට සම්බන්ධ වුණා. මුලින්ම සිනමාව ස්පර්ශ කරන්නේ හාර්ට් එෆ්එම් චිත්‍රපටය හරහා. ජයලත් මනෝරත්නයන්ගේ ‘මගේ කවිය මට දෙන්න’ ටෙලි නිර්මාණයෙන් පුංචි තිරයට පිවිසෙන්නත් අවස්ථාව ලැබුණා. බොඳ මීදුම්, ජීවිතය ලස්සනයි, නිල් අහස, කියාදෙන්න ආදරේ තරම්, රැල්ල වෙරළට ආදරෙයි, මන්දාරම් කතාව වගේ ගොඩක් ජනප්‍රිය වුණු ටෙලි නිර්මාණවලට දායකවෙන්න හැකියාව ලැබුණේ ඒ හරහා. මෑතකාලීනව සම්බන්ධ වුණු “කාලි” සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. ඊට අමතරව ඉදිරියේ දී අලුත් නිර්මාණ දෙකකට සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා.

ඔබට චතුරිකාව මුණගැහෙන්නෙත් ඒ කාලෙම නේද?

මං ඇයව මුලින්ම දකින්නෙ 2003 වසරේ මහේන්ද්‍ර පෙරේරාගේ වර්ක් ෂොප් එකකදී. එදා නම් මහේන්ද්‍ර අයිය එක්ක කතා කරල ගියා මිසක් අපි දිහා බැලුවෙවත් නෑ. පස්සෙ දවසක මහේන්ද්‍ර අයියා චතුරිකාට මාව හඳුන්වල දුන්නේ මෙයා අලුත් කෙනෙක්. ඔයාගේ ඊළඟ ටෙලි නිර්මාණයේ ප්‍රධාන නළුවා මෙයා, පොඩ්ඩක් උදවු කරන්න කියන ඉල්ලීමත් එක්ක. හරි බලමුකෝ කියල එදා ගියත් ඇය මට ලොකු සහායක් දුන්නා. දිව්‍යා ටෙලි නිර්මාණයේ දී ඒ විදිහට දැන හඳුනාගත් ඇය සමඟ සේපාලිකා ඇතුළු නිර්මාණ ගණනාවකට සම්බන්ධ වුණා. ඒ හඳුනාගැනීමට දැන් වසර 12කටත් වැඩියි. අද ඇය මගේ ආදරණීය බිරිය. මගේ ආදරණීය දෝණිගෙ අම්මා. අද මගේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඒ දෙන්නත් එක්ක. අපි සතුටින් ජීවත් වෙනවා. මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි එයා මගේ බිරිය කරගැනීම. කිසිම වෙලාවක මාව සැක කරන්නෙ නෑ. අනවශ්‍ය විදිහට කිසිම දෙයක් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. කවදාවත් මගේ ෆෝන් චෙක් කරන්නෙ නෑ. මට උපරිම නිදහස දීල තියෙනවා. හැම දෙයක්ම හොයල බලල කරන්නෙ එයා. එයා මට වගකීමක් ලොකුවට දැනෙන්න දෙන්නෙම නෑ. ඊට එහා තව මොනවද ඕන. එයා මට වාසනාවක්. දෝණිත් වෙලාවකට අම්ම කෙනෙක් වගේ. චතුරිකාගෙ අඩි පාරෙමයි යන්නෙ. එයාට දැන් අවුරුදු පහයි. ගොඩක් වෙලාවට ගෙදර ඉවුම් පිහුම් කරන්නෙ මං නිසා එයාට බඩගිනි වුණහම අප්පච්චි කියාගෙන මගේ ළඟට තමයි එන්නෙ. වෙන රංගන ශිල්පිනියන් එක්ක මම ඉන්නවට නම් එයා කැමැතිම නෑ. මායි චතුරිකයි දෙන්නම ඉන්න තැනක එයා නෑ කියල දුක් වෙනවා. ඒ නිසා පුළුවන් වෙලාවලට එයත් එක්ක යනවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division