Home » නල්ලු

නල්ලු

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

කාර්යාල කාමරයට වී පුවත්පතක් සඳහා ලිපියක් සකසමින් සිටි මට, ඉස්තෝප්පුව දෙසින් කිසියම් පිරිමි කටහඬක් ඇසිණි. එහෙත් කරමින් සිටි කටයුත්ත අතරමඟ නතර කරන්නට සිදුවන බැවින්, මම නැඟිට යන්නට සිතුණේ නැත.

ඊළඟ මොහොතේ, මගේ බිරිය දමයන්ති මා අසලට පැමිණියාය.

“මනුස්සයෙක් ඇවිත් මිදුලෙ තණකොළ ගලවන්න… මල්පාත්ති සුද්ධ කරන්න තියෙනවද කියලා අහනවා.”

“ඉතින්?”

“පහුගිය ටිකේ එක දිගටම වැහැපු හින්දා මිල පුරාම වල් වැවිලා. ඒ මනුස්සයට කීයක් හරි දීලා, මිදුල සුද්ධ කර ගත්තොත් හොඳයි. ඒකට කමක් නැද්ද?”

“කමක් නැහැ… ඔයාගෙ කැමැත්තක් කරන්න.”

මගේ කටයුත්ත සඳහා අවශ්‍ය පොතක් තෝරා ගන්නට පොත් අල්මාරිය වෙත යද්දී, මට ජනෙල් පියන්පත අතරින්, අමුත්තා දැක ගන්නට හැකි විය.

ඔහු දෙපයේ වළලුකර ළඟට නැවූ කළු පැහැති දිග කලිසමකින් සහ අත්කොට කොටු කමිසයකින් සැරසී සිටියේය. ඔහුගේ හිස මත තොප්පියක් විය. දෙපය උස බූට්ස් වර්ගයේ පාවහන් යුගලකින් වැසී තිබිණ. අමුත්තා දුටු මොහොතේ මගේ මුවඟට සිනාරැල්ලක් නැඟී ආවේය. ඒ බටහිර චිත්‍රපටවල ඇතුළත් වූ කව්බෝයි කෙනකු පිළිබඳව මතකයට නැඟුණු බැවිනි. ඒ කෙසේ වෙතත් අමුත්තා මේ පළාතේ කෙනෙක් නම් නොවන බැව් මසිතේ සනිටුහන් වී තිබිණි.

එදා රාත්‍රි කෑම මේසයේදී දමයන්ති වෙනදාට වඩා උනන්දුවෙන් මා හා කතාවට එක්වූවාය.

“අද උදේ වැඩ කරන්න ආපු මනුස්සයා මේ පළාතෙ කෙනෙක් නෙමෙයි”

“මට හිතුණා”

“ඒ කොහොමද?”

“එකක්… මම එයාව මීට කලින් කවමදාවත් පාර තොටේදි දැකලා පුරුදු නැහැ. අනෙක් එක කලිසම් කමිස ඇඳලා තොප්පි දාලා වැඩ කරන කව්බෝයිස්ලා, අපේ පළාත්වල නැහැ. මෙහෙ ඉන්නෙ සරොම් අඳින අය”

“ඔයා හරි… ඒ මනුස්සයගෙ ගම මස්කෙළියෙලු”

“යාළුවෙක් හොයලා දුන්නලු බණ්ඩාරවත්ත පොල් මෝලෙ රස්සාවක්. ඒකෙ වැඩ කළාලු අවුරුදු කීපයක්. පහුගිය මාසෙක පොල් මෝලෙ වැහුණු හින්දා තමයි ඔය මොකක් හරි රස්සාවක් හොයාගන්න ඇවිත් තියෙන්නෙ”

“ඒ මනුස්සයා දෙමළ කෙනෙක් වගෙයි පෙනුමෙන් නම්”

“ඔයා හරි… එයා දෙමළ තමයි.. නම නල්ලු.. හැබැයි කසාද බැඳලා තියෙන්නෙ නන්දාවති කියලා සිංහල ගැහැනු කෙනෙක්වලු…”

“ළමයි එහෙම නැද්ද?”

“හතර දෙනෙක් ඉන්නවලු.

“ඇත්තද?”

“හැබැයි අපරාදෙ කියන්න බැහැ. මිදුල හරි අපූරුවට සුද්ධ කරලා තියෙනවා”

“ඔව් මාත් දැක්කා”

නල්ලු පිළිබඳ කතාබහ එතෙකින් නිමාවට පත්විය. ඔහු පිළිබඳ මතකය ද කෙමෙන් මසිතෙන් බැහැර වෙමින් තිබිණ.

කාලය සති කීපයකින් පෙරට ගලා ගියේය.

එක දවසක මා රැකියාව නිමවී නිවෙසට එනවිට නල්ලු පැමිණ සිටියේය. එහෙත් ඒ තනිවම නොවේ. ඔහු අසල සුදු පැහැති දුර්වර්ණ වී ගිය සාරියකින් සැරසුණු, හිසකේ සුදු පැහැගත්, කෙසඟ ගැහැනියක ද වූවාය. මා දුටු සැණෙන්, වාඩිවී සිටි මිටි බංකුවෙන් නැඟිටගත් නල්ලු හිස පහත්කොට කෘතඥතා පූර්වක බැල්මක් හෙළුවේය.

“මහත්තයා මේ මගෙ පවුල නන්දාවතී…” නල්ලු මට ඇය හඳුන්වා දුන්නේය.

මවෙත මඳ සිනාවක් පෑ නන්දාවතී, පහත්වී දෑත එක්කොට මට වඳින්නට සැරසුණාය.

“හා.. හා… වඳින්න ඕනෙ නැහැ. වාඩි වෙන්න…”

දෙදෙනාම පෙරළා බංකුව මත වාඩි වූහ. මම ද ඒ අසල වූ හාන්සි පුටුවට බර දුනිමි. අප අතර මොහොතක නිහඬ බවක් ඇති විය. ඒ නිහඬ බව බිඳින ලද්දේ මවිසිනි.

“නන්දාවතී මස්කෙළියට වෙලා මොකද කරන්නෙ?”

“දලු කඩනවා මහත්තයා..”

නන්දාවතීට හොඳින් සිංහල කතා කළ හැකි වුව ද, බොහෝ කාලයක් නල්ලු සමඟ ජීවත් වීමත්, අසල්වාසීන්ගෙන් වැඩිදෙනකු දෙමළ ජාතිකයන් වීමත් නිසාදෝ, යම් යම් අවස්ථාවලදී ඇය වචන හසුරුවන ලද්දේ දෙමළ ඌරුවටය.

එතැන් පටන් නල්ලු මෙන්ම නන්දාවතීත්, අප නිවෙසට ආගන්තුකයෝ නොවූහ. ඇතැම් දිනවල නල්ලු නොමැතිව වුව ද මෙහි පැමිණි ඇය මගේ බිරියගේ ඉවුම් පිහුම් කටයුතුවලට හවුල් වූවාය. නන්දාවතී සිරුරෙන් කෙසඟ වුව ද වැඩකටයුතුවල නිරත වන විට ඉතා කඩිසරය.

“නන්දාවතී ඇයි නල්ලුව බැන්ඳෙ, සිංහල එක්කෙනෙක් බඳින්නෙ නැතිව?”

නන්දාවතී මගේ බිරිය සමඟ කුස්සියේ වැඩ කරමින් සිටියදී, මම දොර අසලට ගොස් නිකමට මෙන් විමසුවෙමි. ඇය එක්වරම තිගැස්සී හිස හරවා මදෙස බැලුවාය.

“මහත්තයා… මට විහිළු කරනවා නෝනා..”

“විහිළුවට නෙමෙයි නන්දාවතී, මහත්තයා පොත් ලියන කෙනෙක්නෙ.. ඒ ලියන දේකට ඕනෙ කරන මොනවා හරි දැනගන්න වෙන්නැති”

නන්දාවතී යමක් පවසන්නට පෙර, දමයන්ති ඉස්සර වූවාය.

“අපි කෙල්ලො කාලෙ අපේ පැත්තෙ පිචර් හෝල් තිබුණෙ නැහැ. කූඩාරම් ගහලයි බයිස්කෝප් පෙන්නුවෙ. ඒවා හැම එකක්ම දෙමළ පිචර්.. අපි ගෙවල්වලට හොරෙන් කෙල්ලො කට්ටිය ඉස්කෝලෙ ඇරිලා එන ගමන් මේ කූඩාරම්වලට රිංගලා පිචර් බලනවා. මං හරි ආසයි පිචර් බලන්න. ඒ කාලෙ හිටපු අයගෙන් ඇම්.ජී. රාමචන්ද්‍රන්ට තමයි, මම වැඩිය කැමති. එයත් සමහර පිචර්වල කලිසම් කමිස ඇඳලා තොප්පියක් හෙම දාලා ඉන්නවා මම දැකලා තියෙනවා..”

“ඉතිං.. ඉතිං…?”

“ඔය කාලෙ තමයි කොළඹ වැඩ කර කර හිටිය නල්ලු නිවාඩුවකට ගමට ආවෙ. එයා හිටියෙත් දිග කලිසම්, කමිස ඇඳලා තොප්පියකුත් දාගෙන. මට නල්ලුව පෙනුණෙ හරියට දෙමළ චිත්‍රපට නළුවෙක් වගෙයි. අපේ යාළු කෙල්ලන්ටත් ඕනෙ වුණා, නල්ලුව යාළු කරගන්න. ඒත් මට තමයි එයාව යාළු කරගන්න පුළුවන් වුණේ. මමත් ඒකාලෙ ඇහැට කණට පේන්න හිටියනෙ..” නන්දාවතී ඊලඟ මොහොතේ යන්තමට හිනැහුණාය.

“ඉතින් නන්දාවතීලගෙ පැත්තෙන් විරුද්ධ වුණේ නැද්ද පිට ජාතියක කෙනෙක් බඳිනවට?”

“මොකෝ නැත්තෙ නෝනා… අපේ අප්පා කිව්වා මම නල්ලුව බැන්දොත් එහෙම මට පිහියෙන් ඇනලා මරලා, එයත් පිහියෙන් ඇනගෙන මැරෙනවා කියලා..”

“ඉතිං.. ඉතිං…?”

“මොනවා කරන්නද… මට නල්ලු අමතක කරන්න බෑ.. ඒ හින්දා, අපි දෙන්නා රාත්තිරියක පැනලා ගියා..”

“ඊට පස්සෙ?”

“අපි ටික කලක් පිට පළාතක කුලියට ඉඳලා, දුව හම්බ වුණාට පස්සෙ, ගමට ආවා.. එතකොට අප්පගෙ කේන්තිය තරමක් නිමිලා.

නන්දාවතීට දැන් අපේ නිවෙස අමුතු තැනක් නොවීය. එන්නට යන්නට වේලාවක් තිබුණේ ද නැත.

කාලය, මාස කීපයකින් ගෙවී ගියේය. ඒ කාලය තුළ නන්දාවතීගෙ වෙනස්කම් කීපයක් මට දැක ගන්නට ලැබිණි. මෙතෙක් කලක් තැනින් තැන සුදු පැහැ ගැන්වී ගිය ඇගේ කොණ්ඩය එක්වරම කළු පැහැ ගැන්වීම ම,සිත තරමක කුතුහලයකින් පුරවාලනු ලැබීය. එහෙත් මා එය එතරම් ගණනකට ගත්තේ නැත.

එක්තරා දවසක නල්ලු අප නිවෙසට පැමිණියේය. ඒ මොහොතේ මගේ බිරිය කඩ මණ්ඩියට ගොසිනි. ඔහුගේ මුහුණේ රැඳී තිබුණේ තරමක ශෝකාකූල බවකි.

“මොකද නල්ලු…?”

“නන්දාවතී ඉස්සර වගේ නෙමෙයි… දැන් හරි වෙනස් මහත්තයා..”

“මම කුලී වැඩ කරලා හම්බ කරන හැම සතයක්ම එයා ඉල්ල ගන්නවා…”

“මම හිතන්නෙ එයා පොතක දාලා සල්ලි ඉතුරු කරනවා ඇති හදිස්සියකට ගන්න..”

‘එහෙම කරනවා නම් හිත හදාගන්න පුළුවන්..”

“මං හිතන්නෙ පොඩි ගාණක් අර ආබාධිත ළමයටත් යවනවා ඇති.. එයාට රස්සාවක් කරගන්නත් බැහැනෙ…”

“මගෙ බාල පුතා ලාලන, හෝටලේක කොත්තු රොටි දානවා. එයා තමයි අයියට වියදම් කරන්නෙ. අනිත් පුතා සිරීපාදෙ කාලෙට පාර අයිනෙ පහන් තිර, හඳුන්කූරු විකුණනවා. නන්දාවතී ඒ අයට සල්ලි යවන්නෙ නෑ..”

“එහෙනං..?”

“එයාට රත්තරං මුද්දක් හදාගන්න ඕනෙ කියලා සල්ලි එකතු කරනවා.. සල්ලි නොදුන්න දවසට යක්ෂණී වගේ මාව කන්න හදනවා..”

නල්ලුගේ කටහඬෙහි සංතාපය කැටිවී තිබිණි.

“ගෑනු කොහොමත් රත්තරන් බඩුවලට කැමතියිනෙ.. කමක් නැහැ නල්ලු එයා සල්ලි එකතු කරගෙන මුද්දක් හදා ගත්තාවෙ. ඒ මොකද මුදල් හදිස්සියකදි බැංකුවක හරි තියන්න බැරියෑ…”

නල්ලු ඊට පෙරළා කිසිවක් පැවසුවේ නැත. මඳ වේලාවක් නිහඬව සිටි ඔහු, ඊළඟ මොහොත් කටහඬ අවදි කළේ බයාදු බැල්මක් හෙළමිනි.

“මහත්තයා මම අද ආවෙ මහත්තයගෙන් උදව්වක් ඉල්ලගන්නයි…”

“උදව්වක්… ඒ මොකක්ද…?”

“මම අර කලකට ඉස්සර බණ්ඩාරවත්තෙ පොල් මෝලෙ වැඩ කරපු එකේ අර්ථසාධකේ ගන්න ඕනෙ… මම පෝම් කොළයකුත් අරගෙනමයි ආවෙ මහත්තයට කියලා පුරවා ගන්න…”

මම ඔහුගෙන් ඉල්ලා ගත් ඉල්ලුම් පත්‍රය නිවැරදිව පුරවා දුනිමි. එතෙකිනුදු නොනැවතී කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කළ මගේ මිතුරකු හරහා, එය ඉක්මණින් ලබාගත හැකි පසුබිම ද සකස් කර දුන්නේ මේ අහිංසක මිනිසාට උපකාරයක් ලෙසිනි.

සති කීපයකට පසු යළිත් වතාවක් මා හමුවන්නට නල්ලු පැමිණියේය. ඒ මොහොතේ ඔහුගේ මුහුණේ අපූරු සිනාරැල්ලක් රැඳී තිබිණි.

“මහත්තයා… අර අර්ථසාධකේ සල්ලි බැංකුවට වැටිලා තිබිලා මම අරගත්තා.

දැන් කෝ සල්ලි…?”

“නන්දාවතී ඉල්ල ගත්තා… එයා තියා ගන්නම් කියලා…”

“මම නං කියන්නෙ ළඟ තියා ගත්තොත් වියදම් වෙන නිසා බැංකුවකට දාන්න කියලයි. ඒ සල්ලිවලට බැංකුවෙන් පොලියකුත් ලැබෙනවනෙ…”

“මම උත්සාහ කරලා බලන්නම්කො මහත්තයා…”

නල්ලු ආපසු හැරී යන්නට ගියේය. ඔහු පසු වූයේ බලවත් සිත් වේදනාවකින් බව මට හැඟිණි.

එදායින් පසු කලක් ගතවෙනතුරු නල්ලු අප නිවෙසට පැමිණියේ නැත. නල්ලු පිළිබඳ මතකය ම,සිතින් ටිකෙන් ටික ගිලිහී යමින් තිබිණි.

මාස කීපයකට පසු එක් දිනක් නල්ලු අප නිවසට කලබලයෙන් පැමිණියේය. ඔහු පසුවූයේ හැඬූ කඳුළිනි.

“මහත්තයා අපේ නන්දාවතීව, ගම්පහ ඉස්පිරිතාලෙට ඇතුළු කළා.. පෙරේදා…”

“ඒ මොකෝ…?”

“අනේ මන්දා මහත්තයා නරක වචනෙන් බනිනවා. ඇඳුම්වලම කැත කර ගන්නවා. මම දැනුත් ඒ රෙදි හෝදලා අව්වෙ වේළෙන්න දාලයි ආවෙ..”

“දොස්තර මහත්තරු මොකද කියන්නෙ…?”

“මොළයට විෂබීජයක් ගිහින්ලු…”

“එහෙමද…?”

එක්වරම නල්ලුගේ දෑසින් කඳුළු කැට දෙකක් කඩා හැළුණේය. ඊළඟ මොහොතේ ඔහු සුසුම්ලමින් වැලපෙන්නට විය.

“නල්ලු අර සල්ලිවලට මොකද වුණේ…?”

“ඒ සල්ලි ඔක්කොම නන්දාවතී රණ්ඩු කරලා මගෙන් බලෙන්ම ඉල්ල ගත්තා. එයාට චේන් පොටක් හදාගන්න කියලා…”

“හැබෑද…?”

“මම චේන් පොටක් ඇහැටවත් දැක්කෙ නැහැ…”

“ඉතින්… නල්ලු ඇහැව්වෙ නැද්ද…?”

“ඇහැව්වා..”

“එයා මොකද කිව්වෙ…?”

“සල්ලි වුවමනාවකට උකස් කළා කිව්වා…”

“ඉතිං…?”

“මම උකස් කරපු කොළේ බලන්න ඉල්ලුවාම මට බැන්නා. ගෑනියෙක් වගේ ලැජ්ජා නැතුව හැම දෙයක්ම හොයන්න එපා ඕයි කියලා.”

“ඔච්චර ලොකු මුදලක් එයා මොනවා කරලද..?”

“මට ඒ දවස්වල එහෙන් මෙහෙන් ආරංචි වුණා, නන්දාවතී ඉඳිගොල්ල ත්‍රීවීල් පාක් එකේ කොල්ලෙක් එක්ක යාළුයි කියලා. ඒත් මම ඒක විශ්වාස කළේ නැහැ. ඒ කොල්ලා නන්දාවතීව රවට්ට ගෙන සල්ලි ටික ඔක්කොම අරගෙනලු..”

ඊළඟ මොහොතේ නල්ලු දිගු සුසුමක් හෙළුවේය. එහි සංතාපය මුසුව තිබිණි.

මට නල්ලු ගැන විශාල අනුකම්පාවක් ඇති විය. ඔහු වසර ගණනාවක් රැකියාව කොට, අනාගතය වෙනුවෙන් ඉතිරි කරගත් මුදල නන්දාවතී කාබාසිනියා කොට ඇත.

පසුදා උදෑසනින් මගේ බිරිය දමයන්ති නල්ලු සමඟ රෝහලට ගියාය. ඒ ඇයට පොවන්නට සුප් බෝතලයක් සහ උදේ ආහාරය සඳහා කිරි හොදි, පොල් සම්බෝල සමඟ ඉඳිආප්ප රැගෙනය.

දමයන්තිට රෝහලේ සිට ආවේ පැය දෙකකට පමණ පසුය.

“දැන් නන්දාවතීට මොකද..?”

“නල්ලුට වාට්ටුවෙන් කියලා නැහැ. නන්දාවතීගෙ ජීවිතේ අවදානමේලු…”

“ඔයා කොහොමද දන්නෙ…?”

“මම වාට්ටුවෙ හිටපු වයසක මිසී කෙනෙකුගෙන් ඇහුවා නන්දාවතී ගැන…”

“ඉතින්…?”

“ඉතින්…?”

“ඊට පස්සෙ තමයි ඒ මිසී මට තේරුම් කරලා කිව්වෙ ලෙඩාගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න බෑ. එයාගෙ මුත්‍රා මාර්ගයේ පිළිකාවක්. දැනටමත් හැමතැනම පැතිරිලා කියලා…”

දමයන්ති පැවසුවේ බිඳුණු හඬකිනි.

පසුදා නල්ලු අප නිවෙසට පැමිණියේ නන්දාවතී ජීවිතයෙන් සමුගත් දුක්මුසු පුවත සැල කරමිනි. ඔහු වැඩ කළ නිවෙස් හිමියන්ගේ සහයෝගයෙන් ඇගේ අවසන් කටයුතු කරනු ලැබීය.

ඒ මොහොතේ එක්වරම මහා විලාප හඬක් ඇසිණි. අසලවූ මාරගසක් මුලට වී නල්ලු හඬා වැලපෙමින් සිටියේය.

“මට මොනවා කළත්… මොනවා කිව්වත්… මම ඔයා එක්ක තරහා නෑ නන්දාවතී… ඔයා මට දරුවො හතර දෙනෙක් හදලා දුන්නා… කෑම බීම හදලා දුන්නා… ඔයා නැතුව මට ජීවත් වෙලා වැඩක් නැහැ නන්දාවතී…”

නල්ලුගේ වේදනාබර හඬට, පැමිණ සිටි සියල්ලන්ගේම සිත් කම්පාවට පත් කරනු ලැබීය.

ලක්ෂ්මන් මල්ලවආරච්චි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division