Home » පුංචි තිරයේ පුංචි තාරකාවිය සශායා දෙව්නාවි

පුංචි තිරයේ පුංචි තාරකාවිය සශායා දෙව්නාවි

by Mahesh Lakehouse
April 20, 2024 12:30 am 0 comment

සශායා දෙව්නාවි අප්සරා නම මෙන්ම ඇය ද හුරුබුහුටිය. රංගනයට, නර්තනයට මෙන්ම නිවේදනයට ද හපන්කම් දක්වන ඇය කලාවට පා තබන්නේ දිදුල නාළිකාවේ ළමා නිවේදිකාවක් ලෙසිනි. සිරස නාළිකාවේ විකාශය වූ අරුණ ජයවර්ධනගේ සක්කාරම් ටෙලි නිර්මාණයෙන් කුලුඳුල් රංගන අත්දැකීම ලැබූ ඇය මේ වන විට නිර්මාණ රැසකට රංගනයෙන් දායකවී ඇත. සුමිත් කුමාරගේ සුබා තෙරණියෝ සිනමාපටය ඔස්සේ සිනමාව ද ස්පර්ශ කළ ඇය ඉදිරියේ දී තිරගත වීමට නියමිත උදයකාන්ත වර්ණසූරියගේ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයට මෙන්ම අනුර ප්‍රේමලාල්ගේ අමුතු ගුරුකම චිත්‍රපටයට ද රංගනයෙන් දායක වූවාය. 30කට අධික වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයකට දායකත්වය සපයා ඇත. කලා අඹරට පෑයූ මේ පුංචි තාරකාව ගැනයි අද අපේ කතාබහ.

“අරුණ ජයවර්ධන මාමගෙ සක්කාරම් ටෙලි නාට්‍යයේ මම රඟපෑ ජයවතී කියන චරිතයට ගොඩක් දෙනා ආදරය කළා. ඒකෙන් පස්සෙ සුමිත් කුමාර මාමගෙ සුබා තෙරණියෝ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒකත් එක්කම මට වෙළෙඳ දැන්වීම්වලට ගොඩක් ආරාධනා ලැබුණා. ඉස්කෝලෙ වැඩවලට බාධාවක් නොවෙන්න ඒවටත් සම්බන්ධ වුණා. ස්වර්ණවාහිනියේ විකාශය වුණු ටෙලි චිත්‍රපට දෙකකට ප්‍රධාන චරිතවලින් දායක වුණා. දෙරණ නාළිකාවේ විකාශය වුණු සංජුල දිවාරත්න මාමගේ සිත් ටෙලි නාට්‍යයේ පාරමීගේ චරිතය නිසා ගොඩක් දෙනාගෙ ආදරය ලැබුණා. ඒක ඇවිදගන්න බැරි රෝද පුටුවක ඉන්න ළමයෙක්. මෑතකදී සම්බන්ධ වුණේ උදයකාන්ත වර්ණසූරිය මාමගේ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයට. එතැනදී ගොඩක් ප්‍රවීණ නැන්දල මාමල එක්ක වැඩකරන්න ලැබුණා. එයාල හරිම ආදරෙන් බොහෝ දේ මට කියා දුන්නා.“

සශායා කලාවට පිවිස තිබුණේ ළමා වියේදීමය.

“දිදුල නාළිකාවේ ටීවී ප්‍රසන්ටර් කෙනෙක් විදිහට තමයි මං කලාවට පිවිසෙන්නේ. ඊට පස්සෙ මැලිබන් බිස්කට් වෙළෙඳ දැන්වීමට සම්බන්ධවීමත් එක්ක දිගින් දිගටම වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. මේ වෙද්දි දැන්වීම් 30කට විතර සම්බන්ධ වෙලා තියෙනවා. මං ඉගෙන ගන්නෙ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ. පාසලේ හැමෝම මගේ නිර්මාණවලට කැමැතියි. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පුංචි කාලෙ ඉඳන් මට නර්තන හැකියාවත් තියෙනවා. පාසලේදී උඩරට නර්තනය හදාරනවා. ෆ්‍රී ස්ටයිල් හිපොප් නර්තනය ලලිත් පැරකුම් සර්ගෙන් ඉගෙන ගන්නවා. අනාගතේ නර්තන ගුරුවරියක් වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.“

රටක් ආදරය කරන දියණියගේ දක්ෂතා ගැන සශායාගේ මව පැවසුවේ මෙවැන්නකි.

“ගෙදරදී දුව පාඩුවේ ඉන්න අහිංසක ළමයෙක්. එයා හැමෝටම ආදරෙයි. සතුන්ට විශේෂයෙන්ම ආදරෙයි. කවදහරි පශු වෛද්‍යවරියක් වෙනව කියලත් කියනවා. මගෙ දුව ‘අරලිය පවුර‘ කියලා පදනමක් හදාගෙන ඉන්නෙත් සමාජ සේවය කරන්න. ඒ හරහා දැනටමත් ඇය සමාජ සේවාවන් කිහිපයක් කරල තියෙනවා. ලංකාවෙ හැම පැත්තෙන්ම වගේ දුවට කතා කරනවා. අනුරාධපුරේ පිරිසක් දුවට නිතරම කතා කරනවා. අප්‍රේල් 15 වැනිදා දුවගෙ උපන්දිනේ තිබුණා. ගිය අවුරුද්දෙ අපි අනුරාධපුරේ ගියා. එක ගෙදරකින් දුවට කතා කරලා එන්න කියලා දුවගෙ උපන්දිනේට උත්සවයක් ලේස්ති කරල තිබුණා. මුළු ගමම වගේ ඇවිත් දුව එක්ක කතා කළා. මේ අවුරුද්දෙත් එන්න කියලා කතා කළා. හැමදේම හොඳින් කරගෙන අනාගතේ රටට වැඩදායී දරුවෙක් වෙන්න ලැබෙන්න කියලා තාත්තත් මාත් මල්ලිත් සුබ ප්‍රාර්ථනා කරනවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division