Home » නාන තටාකයෙත් නිධන් සෙවූ ජාවාරම්කාරයෝ

නාන තටාකයෙත් නිධන් සෙවූ ජාවාරම්කාරයෝ

by thanushika
March 16, 2024 12:30 am 0 comment

මෙරට බොහෝ පුරාවිද්‍යා වටිනාකම් සහිත ප්‍රදේශවල විවිධ ජාවාරම්කරුවන්, නිධන් හොරුන් මෙන්ම විවිධ අපරාධකරුවන් පුරාවස්තු කැණීම් කර එම ස්ථාන විනාශයට පත් කිරීමේ සිද්ධින් මාධ්‍යවලින් නිරන්තරයෙන්ම අසන්නට, දකින්නට ලැබේ. එවැනි ජාවාරම්කරුවන් අදාළ ස්ථානවල පුරා වස්තු කැණීම් කරන මොහොතේදීම හෝ ඒවා විනාශයට පත් කරන අවස්ථාවේදීම එකී ජාවාරම්කරුවන් පොලිසියට කොටුවන අවස්ථා ද අප්‍රමාණය.

පසුගිය කාලය පුරාවට මෙරට වටිනා පුරාවස්තූන් කැණීම් සිදු කර, විනාශයට පත් කළ ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම විවිධ තරාතිරමේ උසස් නිලධාරීන් නීතියේ රැහැනට කොටුවූ අවස්ථාද වාර්තා වී ඇත.

අනුරාධපුරය, පොලොන්නරුව, මඩකළපුව ඇතුළු පුරාවස්තු වැඩි වශයෙන් පිහිටා තිබෙන ප්‍රදේශවල ජාවාරම්කරුවන් නිරන්තරයෙන් මෙම පුරාවස්තු නිධන් ගැනීමේ අරමුණින් විනාශ කරන අතර, කුමන හෝ ආකාරයෙන් ඔවුන් අත්අඩංගුවට පත්ව දඬුවම් ලැබූ අවස්ථාවන් ද එමටය.

ඒ අයුරින් පොලොන්නරුවේ, ඉසිපතන මාවතේ මහා පරිමාණයෙන් පුරාවස්තු කැණීම් කළ පිරිසක් සහ කැණීම් කිරීමට යොදාගත් උපකරණ මෙන්ම ඔවුන් පැමිණි නවීන පන්නයේ සුඛෝපභෝගී වාහන කීපයක් පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ පසුගියදාය.

පොලොන්නරුව, ඉසිපතන මාවතේ, වකුගඩු රෝහල පිටුපස පිහිටා ඇති මෙම හෝටල් භූමියේ පුරාවස්තු කැණීම් කිරීම සඳහා වසර ගණනාවක සිට මෙම සැකකරුවන් සැලසුම් කර තිබේ. ඒ අනුව සැකකරුවන්ගේ කුරුමානම වූයේ හෝටල් භූමිය තුළ පිහිනුම් තටාකයක් තනන මුවාවෙන් අඩි දහයක් පමණ ගැඹුරට වළක් කපා සියලුම පුරාවස්තු ගොඩ ගැනීමයි. ජාවාරම්කරුවන්ගේ කුරුමානමත්, ඉලක්කයත් වැරදීමට ගත වූයේ පැය කිහිපයක් පමණි.

පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ එම නිලධරයන් සිදු කරන ලද එම වැටලීමේදී දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කළමනාකාරවරයකු, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදි පුරාවස්තු කැණීම් කිරීමට යොදාගත් උපකරණ තොගයක් සහ ඔවුන් පැමිණි ඇති බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා වාහන, මෝටර් රථ, වෑන් ඇතුළු වාහන කීපයක් මෙන්ම පූජා භාණ්ඩ විශාල ප්‍රමාණයක් සහ එළුවකු, පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් මඟින් අත්අඩංගුවට ගැනිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල, ගිරිඋල්ල, මාකොළ, මහරගම, සියඹලණ්ගමුව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු හතළිහ සහ හැට අතර වයස්වල පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ඒ. ටී. බණ්ඩාර අප කළ විමසීමකදී සඳහන් කළේය.

පුරාවස්තු කැණීම් සිදුකළ ඉඩම දඹුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් මීට වසර කිහිපයකට පෙර මුදලට ලබාගෙන තිබේ. එම පුද්ගලයා සමඟ අත්අඩංගුවට පත්ව සිටින පිරිසක් පිහිනුම් තටාකයක් හදන මුවාවෙන් කැණීම් සිදුකර තිබෙන බවත්, ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ඊට කිසිම අවසරයක් ලබාගෙන නොමැති බවට පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් තහවුරු කරගෙන ඇත.

පූජාව පැවැත්වීමට සූදානමින් සිටි කපුවා ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙහි සියලු තොරතුරු පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඉදිරියේ පාපොච්චාරණය කර තිබේ.

මෙම ජාවාරම්කරුවන්ගේ ‘උපක්‍රමශීලී පිළිවෙත’ පිළිබඳ තවදුරටත් සොයා බැලීමේදී අදාළ හෝටලයේ පිහිනුම් තටාකයක් ඉදිකිරීමට පොලොන්නරුව මහ නගර සභාවෙන් කිසිම අවසරයක් ලබාගෙන නොමැති බවද අනාවරණය විය. පුරාවිද්‍යා සහකාර කොමසාරිස්ගේ වාර්තාවකට අනුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියකට අනුව මෙම භූමිය කැණීම් සිදු කර තිබෙන බවද දැනගන්නට තිබේ.

පුරාවස්තු කැණීම් කිරීමේදී පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට කොටුවූ සැකකරුවන් අතර මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටිමින් මෙරටට වාහන ගෙන්වා අලෙවි කරන පුද්ගලයෙකු ඇතුළු මහා පරිමාණ ව්‍යාපාරිකයින් කීපදෙනෙකු ද සිටිති.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් පරිදි පොලොන්නරුව සහකාර ‍පොලිස් අධිකාරී චානක ද සිල්වාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ.පී.ආර්.කේ. ජාගොඩගේ මෙහෙයවීමෙන් පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ඒ. ටී. බණ්ඩාර, සැරයන්වරුන් වන (42229) රංග, (71750) චින්තක, (68973) අතාවුද, කොස්තාපල්වරුන් වන (84707) කුලතුංග, (65610) සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කළහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ඇතුළු වාහන, අනෙකුත් උපකරණ, පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පොලොන්නරුව මහේස්ත්‍රාත් අංක 1 යු.ඒ.එස්.කේ. වික්‍රමරත්න විසින් නියෝග කෙරිණි.

මනම්පිටිය නිමල් ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division