Home » නිපුණතා අංක 6 හිමි පෙම්වතෙකුට හොඳින්ම ගැළපෙන්නේ අංක 2 හිමි යුවතියන්

නිපුණතා අංක 6 හිමි පෙම්වතෙකුට හොඳින්ම ගැළපෙන්නේ අංක 2 හිමි යුවතියන්

මෙවර නිපුණතා අංක 6ට අංක 1 - 2 - 3 - 4 - 5 - හිමි අයගේ ගැළපීම

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

මේ  ලිපි පෙළින් ඔබව දැනුම්වත් කරන්නේ අංක විද්‍යානුකූලව ඔබගේ නිපුණතා අංකයට අනුව හොඳ සබඳතාවක් සඳහා වඩාත් ගැළපෙන සහකරුවා, සහකාරිය හෝ හවුල්කරුවා හඳුනාගන්නා ආකාරය පිළිබඳවය.

ඔබේ සහ ඔබ ගැළපීම බලන අයගේ නිපුණතා අංකය සොයාගන්නා ආකාරය නොදන්නා අයගේ දැනගැනීම සඳහා සැකෙවින් දක්වමි. මේ සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය. උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ නිපුණතා අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව උදාහරණයෙන් පෙන්වන අයගේ නිපුණතා අංකය 1 වෙයි. මේ ආකාරයට ඔබගේ සහ ඔබ ගැළපීම බලන අයගේද නිපුණතා අංක සකස් කරගන්න. ඔබගේ අංකයට එම අංක කොතරම් දුරට ගැළපෙනවාද යන්න හඳුනා ගැනීමට පුළුවන.

ඒ අනුව මෙවර ඒ ඒ අංකවලට නිපුණතා අංක 6 අයගේ ගැළපීම කෙසේද යන්න බලමු.

නිපුණතා අංක 6ට නිපුණතා අංක 1 අයගේ ගැළපීම

මෙම අංක හිමියන්ගේ ගැළපීම ඉතා යහපත් මට්ටමක හොඳ සබඳතාවක් පවත්වාගෙන යාමට හැකියාව ඇති කරයි. අංක 1 පිරිමියා විශ්වසනීය යහපත් ගති ස්වභාවයෙන් යුක්තව කටයුතු කරන අතර අංක 6 ස්ත්‍රිය ආදරණීය බිරියක් ලෙස ගෙදර වගකීම් මනා ලෙස තේරුම්ගෙන කටයුතු කරයි.

අංක 6 ස්ත්‍රියගේ ප්‍රියමනාප කාරුණික ගතිය තරමක් දැඩි ගති ඇති අංක එක හිමි පිරිමියා අවනත කර ගැනීමට සමත් වෙයි. මෙහිදී පිරිමියා අංක 6 වී ස්ත්‍රිය අංක 1 වුවහොත් ස්ත්‍රියගේ සියලු කටයුතු වෙනුවෙන් පිරිමියාගේ උපරිම සහයෝගය ලැබෙයි. එමෙන්ම ඔහුගේ ආදරය සහ ආරක්ෂාවද මනාව ලැබේ.

එමෙන්ම අංක 1 ස්ත්‍රිය අංක 6 ස්වාමියාව නිතරම සතුටින් තැබීමටත් ඔහුගේ කටයුතු සොයා බලා කරදීමටත් උත්සාහ කරයි.

නමුත් මෙහිදී අංක එක පුද්ගලයාගේ ආත්මාර්ථකාමී ගතියත් අංක 6 කෙනාගේ පරාර්ථකාමී ගතියත් නිසා දෙදෙනා අතර යම් යම් මත ගැටුම් විටින් විට ඇතිවිය හැකියි. ගැටලු ඇතිවන අවස්ථාවේදී දෙදෙනා සාමකාමීව සාකච්ඡා කර විසඳා ගැනීම මත සබඳතා ඉදිරියට සතුටින් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙයි.

නිපුණතා අංක 6ට නිපුණතා අංක 2 අයගේ ගැළපීම

මෙවැනි දෙදෙනකුගේ ගැළපීම ද ඉතා හොඳ සම්බන්ධතාවයක් බව සඳහන් කළ හැකිය. ඉතා සතුටින් සම්බන්ධතාවය බොහෝ කල් පවත්වාගෙන යෑමේ හැකියාව පවතී. දෙදෙනාට දෙදෙනාගේ හැඟීම් දැනීම් තේරුම් ගැනීමේ හැකියාව ඇති කරයි. සිතුම් පැතුම් අදහස් සමානතාවක් දක්වන අතර දෙදෙනාම සමගියෙන් සාමයෙන් ජීවත්වීමට උත්සාහ කරයි.

අලුත් විදිහට නිර්මාණාත්මකව සිතීමේ හැකියාවක් ඇති අංක 6 හිමියන් සාමකාමී තැන්පත් ගති සහ නිවුණු සිතක් සහිත අංක 2 හිමියන් ට වඩාත් ප්‍රිය කරයි. අංක 6ට හිමි හැකියාවන් නිපුණතාවයන් සහ නිර්මාණශීලි චින්තන ශක්තීන්ගෙන් අංක 2 හිමියන්ට වඩා හොඳ සහයෝගයක් ලැබෙයි. අංක 2 හිමි පුද්ගලයා තුළ තිබෙන්නා වූ යම් යම් අඩුපාඩු හා දුර්වලතා අංක 6 හිමියන් ගණනකට නොගන්නා අතර සමාව දී වැරදි හදාගෙන ඉදිරියට යාමට ශක්තිය ලබා දෙයි.

නිපුණතා අංක 6ට නිපුණතා අංක 3 අයගේ ගැළපීම

මෙම අංක දෙක අතර ගැළපීමද ඉතා හොඳ සම්බන්ධතාවක් ලෙස සඳහන් කරන්න පුළුවන්.

දෙදෙනා තුළම සමාන ගුණාංගයන් පවතින නිසා ඉතා දීර්ඝ කාලයක් සතුටින් සම්බන්ධතාව පවත්වාගෙන යෑමේහැකියාව ඇති කරයි. මේ අංක දෙක තුළ යම් ආකර්ශනීය භාවයක් ඇති කරයි. අංක 3 පිරිමියා තම හැකියා දක්ෂතාවලින් ඉතා ඉහළින් කටයුතු කරන අතර අංක 6 ස්ත්‍රිය තුළින් පිරිමියාට හොඳ සහයෝගයක් ලබාදෙන අතර ඉතා හොඳ ගෘහණියක් විදිහටද කටයුතු කරයි.

අංක 3 තුළ තිබෙන මූල්‍ය කළමනාකරණයත් අංක 6 තුළ තිබෙන සකසුරුවම් භාවයත් නිසා ආර්ථිකමය වශයෙන්ද ශක්තිමත්භාවයක් ඇතිකර ගත හැකිය. මෙම අංක මාරුවී යෙදුණත් ගැටලුවක් ඇති නොවේ.

සතුටින් දීර්ඝ කාලයක් ප්‍රීතිමත් විවාහ ජීවිත ගත කිරීමේ හැකියාව ඇති කරයි.

නමුත් අංක 6 තුළ තිබෙන අධික කාර්යබහුලභාවය නිසා විවාහ ජීවිතය තුළ නිදහස අඩුවිය හැකි බැවින් ඒවා සීමා කර ගැනීම ඉතා යහපත් වෙයි.

නිපුණතා අංක 6ට නිපුණතා අංක 4 අයගේ ගැළපීම

නිපුණතා අංක 6 හිමි යම් අයෙක් වේ නම් ඔහුට නිපුණතා අංක 4 හිමි පුද්ගලයින් ඉතා හොඳින් ගැළපෙන බව සඳහන් කළ හැකිය. මේ දෙදෙනා අතර යහපත් සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමේ හැකියාව ඇතිකරයි. කරන කටයුතු බෙදා හදාගෙන සමගිසම්පන්නව ගෘහ ජීවිතය තුළ ඉතා යහපත් ආකාරයෙන් ජීවත් වීමේ හැකියාව මොවුන්ට ඇත. මොවුන්ගේ විශේෂයෙන්ම වැරදි පිළිගන්නා ගතිය සහ වරදට සමාව දීමේ ස්වභාවයන් දැකිය හැකිවෙයි.

එමෙන්ම සෑම විටම විශ්වාසනීභාවය ප්‍රමුඛ කොට සලකයි. උත්සාහවන්තබව සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම දෙදෙනා තුළම මනාව පවතී.

මුදල් කළමනාකරණයේදී දෙනාම ඉතා ප්‍රවේසම්සහගතව කටයුතු කරයි. දෙදෙනාම දියුණු වීමේ ආසාවෙන් කටයුතු කරන හෙයින් සාර්ථකත්වය උදාකර ගැනීම අපහසු නැත. අංක 4 හිමියා තරමක් ආවේගශීලි ඉක්මන් තීන්දු තීරණ ගන්නා අයෙකු වුවද අංක 6 හිමියා සතු විනෝදශීලි සෑම දෙයක් කෙරෙහිම සුබවාදී හැඟීමකින් යුතුව බැලීමේ ආකල්පය නිසා යම් මතභේද ඇති වුවද ඒවා සමථයට පත්කර ගැනීමේ හැකියාව ඇති කරයි.

එකිනෙකාට අවංකව දෙදෙනාම කටයුතු කිරීම හේතුවෙන් ඉතා සාර්ථක දීර්ඝ සබඳතාවක් පවත්වාගෙන යෑමේ හැකියාව පවති.

 නිපුණතා අංක 6ට නිපුණතා අංක 5 අයගේ ගැළපීම

නිපුණතා අංක 6 ට නිපුණතා අංක 5 කෙනෙක් සමග ගොඩනැ­‌ෙඟන්නේ සාමාන්‍ය සම්බන්ධතාවයකි.

මුල් කාලසීමාව තුළ තරමක් දෙදෙනා අතර යම් යම් මතභේද ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතී. නමුත් කල්ගත වන විට මේ තත්ත්වය වෙනස් වී දෙදෙනා අතර යම් අවබෝධයක් තේරුම් ගැනීමේ හැකියාවක් වර්ධනය වන අතර සබඳතාව යහපත් අතට පරිවර්තනය කර ගැනීමේ හැකියාව ඇති කරයි. අංක 5 හිමියා තරමක් කාර්යබහුල ජීවිතයක් ගෙවන අතර ඔහුට තිබෙන කාලය ඉතා සීමිත වෙයි. එමෙන්ම ඉවසීමේ සීමාව ද ඉතා ඉක්මනින් අවසන් වෙයි.

නමුත් අංක 6න් උපන් කෙනාට මේ තත්ත්වයට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරයි. ඒ අංක 6ට ඇති තැනට සුදුසු තීරණ ගැනීමේ හැකියාවත් බුද්ධිමත්ව ක්‍රියාකිරීමේ ගුණයත් නිසාය.

අංක 6 හිමි ස්ත්‍රියක් කිසිම වෙලාවක අංක 5 ස්වාමියා සමඟ ගැටුම් ඇති කරගන්නට යන්නේ නැත.

ඔහු ගැන ඇය හොඳින් දන්නා නිසා තමන් ස්වයං පාලනයක් ඇති කර ගත යුතු යැයි ඇය සිතයි.

අංක 5 හිමි පිරිමියෙක් වුවත් ස්ත්‍රියක වුවත් ලිංගිකත්වය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දැක්වීම ස්වභාවය වෙයි. මෙම සබඳතාවයේ දී බොහෝ විට අංක 6 හිමි පුද්ගලයාට සමහර දේවල් දුකින් වේදනාවෙන් වුවත් අකමැත්තෙන් වුවත් දරාගෙන සිටීමට සිදුවනු ඇත. මෙම අංක දෙක ස්ත්‍රී පුරුෂ වශයෙන් කොයි ආකාරයෙන් යෙදුණත් මේ කාරණයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි.

ඔබට මෙවැනි සබඳතාවක් තිබේ නම් මෙම තත්ත්වයන් හොඳින් තේරුම් ගෙන කටයුතු කිරීම තුළ සාර්ථකව සබඳතාවය ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව ඇතිකරයි.

නිපුණතා අංක 6ට නිපුණතා අංක 6, 7, 8, 9 අයගේ ගැළපීම ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division