Home » මට හිතුණ තව ටිකක් එළියට එන්න ඕන කියල

මට හිතුණ තව ටිකක් එළියට එන්න ඕන කියල

by thanushika
February 10, 2024 12:30 am 0 comment
 අනුෂා රණසිංහ

අමන්දා පෙරේරා කියන්නේ හිරු ස්ටාර් සීසන් 2 හරහා අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ගායන ශිල්පිනියක්. අද වෙද්දී පුංචි තිරයේ නිමවෙන ටෙලි නිර්මාණ බොහොමයක තේමා ගීතය ගයන්නේ ඇය. හිරු ස්ටාර් හරහා ඇය බොහෝ දෙනා හඳුනා ගත්තත් ඇය සංගීතයට ගීතයට ඇලුම් කරන්නේ පෙර පාසල් අවදියේ සිට. ජිවිතේ එකින් එක හීන හිමින් හිමින් ඉටු කර ගත් අමන්දා පෙරේරා සමඟයි මේ කතා බහ.

අමන්දා මේ දවස්වල මොකද වෙන්නේ?

විදෙස් සංචාර කිහිපයකට ලෑස්ති වෙලා ඉන්නේ. මේ හත් වෙනිදා යනවා දකුණු කොරියාවට. ආයෙම 14 බහරේන් යන්න තියෙනවා. අලුත්ම සින්දුවක් රිලීස් කරන්න වැඩ කටයුතු ලෑස්ති කරන් යන ගමන් ඉන්නේ.

ප්‍රේක්ෂකයින්ට ඔබව මතක හිරු ස්ටාර් වේදිකාවෙන් බිහි වුණු කෙනෙක් විදිහට, හැබැයි ඊට පෙර අතීතය මතක් කළොත්?

මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ ආචාර්ය සමන් පනාපිටිය හරහා. එතුමා තමා මගේ පළවෙනි ගීතය නිර්මාණය කළේ. ITN එකේ සමනල උයන වැඩසටහනට මම 2006දී ගීත ගායනා කළා. පෙර පාසල් යන කාලේ ඉඳන් රූපවාහිනී නාළිකාවල වැඩසටහන්වලට ගිහින් තියෙනවා. මාත්‍රා ජන ගී කණ්ඩායමේ අවුරුදු තුනක් විතර හිටියා. රන්වල බළකාය එක්කත් හිටියා. ඒවත් එක්ක ක්ෂේත්‍රයේ අය එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. අවුරුදු 18ක් විතර කාලයක් නිර්මාණවලට දායකත්වය ලබා දෙමින් හිටියා. ඔය අතරේ මට හිතුණා තව ටිකක් එළියට එන්න ඕනේ කියලා. ඒ අනුව තමයි මම වේදිකාව තෝරා ගත්තේ.

කොහොමද හිරු ස්ටාර් වේදිකාවේ අත්දැකීම?

ජීවිතේ වෙනස් කරපු තැන කිවුවොත් හරියටම හරි. ඒ කාලය හරිම සුන්දරයි. ගොඩක් බාධක තිබුණා. ඒ බාධක මැදින් ලස්සන ගමනක් එන්න ලොකු හයියක් වුණා මට ආදරේ කරපු ප්‍රේක්ෂකයින්. ඒ ආදරේට තාමත් මම ආදරෙයි. එදා ඒ අය දුන්නු හයිය අදටත් මතකයි. සීයට සීයක් සජීවී වැඩසටහනක් නිසා හරිම පරිස්සමෙන් ගත කළ කාලයක්. බොහෝ දෙනෙක් එක්ක වැඩ කරන්න ලැබුණු නිසා ලැබුණු අත්දැකීම් නම් කියා නිම කරන්න බැහැ. ජීවිතේ වෙනස් කර ගන්න පුළුවන් හොඳ වේදිකාවක්. හිරු මාධ්‍යයේ සියලු දෙනාම ආදරෙන් මතක් කරනවා.

මේ වෙද්දී ගීත කීයක් කරලා තියෙනවද?

මම ටෙලි නාට්‍යය ගීත විතරක්ම 700කට එහා ගායනා කරලා තියෙනවා. මම හිතන්නේ ඒක වාර්තාවක් වෙන්න ඕනේ. ඒ ගැන දවසක මම කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සිහින ගෙනෙන කුමාරියේ, අහස් මාලිගා, හුස්මක් තරමට, මහවිරු පණ්ඩු, වැනි ගොඩක් නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. මට ඒ අවස්ථා දුන්නු ආදරණීය හිරුට ගොඩක් ස්තුතියි. ගොඩක් ගීතවල සංගීතය අශාන් ප්‍රනාන්දු සහ ශෙවෝන් ප්‍රනාන්දුගේ. බොහෝ ගීත ලිව්වේ දුමින්ද අල්හෙන්ද්‍ර සහ සජිත් වී චතුරංග. ඒ වගේම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන නිවන්ත ප්‍රසාර සහ කසුන් තරින්ද මේ හැමෝම ගොඩක් ආදරෙන් මතක් කරනවා.

වැඩිම ප්‍රතිචාර ලැබුණු ගීතය මොකක් ද?

‘රුං ගානේ‘ කියන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ තේමා ගීතය. ඒක වයස් භේදයකින් තොරව බොහෝ දෙනා ආදරෙන් වැලඳ ගත්තා.

ගායිකාවක් නොවුණා නම් කවුරු වෙන්න තිබ්බද?

එහෙම නම් මම මෙඩිසින් පැත්තෙන් ඉස්සරහට යන්න ඉඩ තිබුණා. මම හරි ආසයි, මගේ පවුලේත් ගොඩක් වෛද්‍යවරු ඉන්නවා. මම හරි ආසයි සහ ගරු කරනවා වෛද්‍ය වෘත්තියට.

හිරුස්ටාර් වේදිකාවෙන් තමා ජීවන සහකරු මුණ ගැහෙන්නේ, ඔහු ගැන කිවුවොත්

ඔව්. හිරු ස්ටාර් හි කැමරා කණ්ඩායමේ දී තමයි ඔහුව මට මුණගැහුනේ. මට මගේ ගමන යන්න ලොකු සහයෝගයක් ඔහු නිරතුරුවම ලබා දෙනවා.

රංගනයට ඇරයුම් ලැබිලා නැද්ද?

ඇරයුම් නම් ලැබිලා තියෙනවා. මේ වෙනකම් මම භාර ගත්තේ නැහැ. ටිකක් වෙනස් දෙයක් කරන්න ලැබුණොත් මම ඒක භාර ගන්න ඉඩ තියෙනවා. මම තාම ඒකට සුදානම් වෙලා නැහැ. මොකක් හරි එක දෙයක් කරන්න ආසාවක් තියෙනවා.

රංගනයට එනවට සැමියා අකමැතිද?

එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මට කැමැති දේ කරන්න නිදහස දීලා තියෙනවා.

අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

නිහතමානී සතුටක් තියෙනවා. ලොකු කැපකිරීම් කරලා ආව ගමනක්. මම හිතන්නේ මම විතරක් නෙවෙයි. ක්ෂේත්‍රයේ අද තැනක ඉන්න හැමෝගෙම ජීවිතවල ආව ගමන හරිම කටුකයි සහ දුක්බරයි වගේම හරිම සංවේදියි. ඒ කට්ට කාපු කෙනෙක් තමයි ස්ථාවරව ඉන්නේ. හැම ජයග්‍රහණයක් පිටුපසම දුකක් කැපකිරීමක් තියෙනවා. තවත් ඉදිරියට යන්න නම් තව කැපකිරීම් කරන්න ඕනේ. අපේ ප්‍රවීණ ජේ්‍යෂ්ඨයින් එක්ක බලද්දී අපි තාම ඉන්නේ ගමනේ මැද. ජීවිතේ දවසින් දවස අපි දේවල් ඉගෙන ගනිමින් ජීවිතේ අලුත් කර ගන්න ඕනේ. ඉන්න තැනින් තව තවත් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.

ප්‍රේක්ෂකයන්ට මොනාද කියන්න තියෙන්නේ?

මගේ හැකියාවන්ට මගේ හඬට වටිනාකමක් දුන්නේ ප්‍රේක්ෂකයන්. ඒ ප්‍රේක්ෂකයන්ට මම හැමදාමත් ආදරෙයි. මම නිර්මාණයක් එළියට දෙන්න කාලයක් ගන්නෙත් ප්‍රේක්ෂකයන් ගැන වැඩියෙන්ම හිතන නිසා. ලස්සන හොඳ නිර්මාණයක් දෙන්න මම හැමදාම උත්සාහ කරන්නේ. මගේ පොස්ට් එකකට ලයික් කරද්දී ඒක ඒ අය ශෙයා කර ගද්දි මට දැනෙන ආදරේ තවත් වැඩියි. හැමදාම ආදරෙන් ඉල්ලන්නේ දිගටම මා එක්ක ඉන්න කියලා.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division