Home » ඩුබායි සිට මෙහෙයවූ කොකේන් ජාවාරම යුක්තියෙන් කොටු කළේ මෙහෙමයි!

ඩුබායි සිට මෙහෙයවූ කොකේන් ජාවාරම යුක්තියෙන් කොටු කළේ මෙහෙමයි!

by thanushika
February 10, 2024 12:30 am 0 comment

මෙරට පාතාල අපරාධකාරයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදෙස් රටවල සිට නිරුපද්‍රිතව කටයුතු කරන බව හැමදෙනාම පාහේ දන්නා කරුණකි. මේ පාතාලයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එසේ ක්‍රියාත්මක වන්නේ මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ඝාතන සිදු කරමිනි.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරවන ජාවාරම්කරුවන් අතරින් ‘පෑලියගොඩ කළණට’ හිමිවී ඇත්තේ සුවිශේෂි ස්ථානයකි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින ‘පෑලියගොඩ කළණ’ ආරක්ෂක අංශවලින් බේරීම සඳහා මෙරටින් පිටවී ඩුබායි රාජ්‍යය බලා ගොස් ඇත්තේ මීට ටික කලකට පෙරදීය. ‘කළණ’ ගැන පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පසුගිය කාලයේ සෝදිසියෙන් සිටියද ඒ වනවිටත් ඔහු ඩුබායි රාජ්‍යය බලා පිටව ගොස් සිටියේය.

ඩුබායි රාජ්‍යයට පලා යන කළණ එහි ගොස් නිකම් සිටියේද නැත. මත්ද්‍රව්‍ය ජාවාරම ඔහුට හුරුපුරුදු හොඳම රැකියාවයි. එයින් ගලා එන සල්ලි කන්දරාව ගැන ද කළණ හොඳින් සිතා බලන්නට ඇත. ඔහු ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නට පිඹුරුපත් සකසන්නේ ඒ අනුවය.

බොරලැස්ගමුවේ ‘බෙන්සි’ ද පෑලියගොඩ කළණගේ ගජමිතුරෙකි. ඒ වාගේම හොඳ ගෝලබාලයෙකි. ‘කළණට’ බෙන්සි හොඳහැටි විශ්වාසය. ඒ විශ්වාසය නිසාම ඔහු බෙන්සිට භාර දෙන්නේ සුවිශේෂී රාජකාරියකි. ඒ කොකේන් මත්ද්‍රව්‍ය බොරලැස්ගමුව සහ ඒ අවට ප්‍රදේශවල මත්ලෝලීන්ට බෙදා හැරීමයි.

බෙන්සි ද තම ප්‍රධානියා වන පෑලියගොඩ කළණ ඩුබායි සිට දෙන උපදෙස් අකුරටම පිළිපදිමින් කොකේන් මත්ද්‍රව්‍ය මත්ලෝලීන්ට අලෙවි කළේය. ඒ අතර ඔහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ ද නිරත වූයේ තවත් මුදල් හරිහම්බ කරගැනීමේ අරමුණෙනි.

බෙන්සි මේ නිසාම සිය ආරක්ෂිත නවාතැන ලෙස තෝරාගෙන තිබුණේ පිළියන්දල ‘ගැමුණු මාවතේ’ බෝඩිමක කාමරයකි. එහි සිටින අතරේ ඔහු ඉතාම රහසිගතව මේ ජාවාරම කරගෙන යන්නේ පෑලියගොඩ කළණගේ උපදෙස් අකුරටම පිළිපදිමිනි.

‘යුක්තිය මෙහෙයුම’ පටන්ගත් දා සිට බෙන්සි වඩාත් ප්‍රවේසම් වූයේ කොයි මොහොතක හෝ තමන්ටත් ‘ආණ්ඩුවේ බෝඩිමේ’ ළඟින්ට වේදැයි සිතමින් වන්නට ඇත.

යුක්තිය මෙහෙයුමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල අපරාධකරුවන් බුරුතු පිටින් පොලිසියට කොටුවෙද්දී බෙන්සිගේ දෑතට ද විලංගු වැටෙන දින ක්‍රමයෙන් ළං විය. එහෙත් බෙන්සි ඒ බව දැන සිටියේ නැත.

පිළියන්දල ගැමුණු මාවත, අලුත් පාරේ බෝඩිමක කාමරයක් කුලියට ගෙන සිටින පුද්ගලයකු ඉතා සූක්ෂමව කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරගෙන යන බවට ඉතාම විශ්වාසදායක එමෙන්ම ඉතාම රහසිගත තොරතුරක් පිළියන්දල පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මුදිත කරුණාරත්නට ලැබෙන්නේ ඔය අතරය.

මේ තොරතුරු ලැබෙනවාත් සමඟම කලබල නොවූ උප පොලිස් පරීක්ෂකවරයා මුලින්ම කරන්නේ මේ ගැන තවදුරටත් තොරතුරු සොයා බැලීමයි.

එලෙස තමන්ට ලැබුණු තොරතුර සියයට සියයක්ම සත්‍ය බවත් කොකේන් ජාවාරම සිදු කරන්නේ ‘බෙන්සි‘ නමැති ජාවාරම්කරුවා බවත් උප පොලිස් පරීක්ෂකවරයා සොයා ගන්නේ ඉන් අනතුරුවය.

සිය කණ්ඩායම සූදානම් කරගත් උප පොලිස් පරීක්ෂකවරයා පිළියන්දල, ගැමුණු මාවත, අලුත් පාරේ පිහිටි ‘බෙන්සි’ගේ බෝඩිම් කාමරය වටලන්නේ ‘බෙන්සි’ බලාපොරොත්තු නොවූ මොහොතකය.

පොලිසිය බලාපොරොත්තු වූවා සේම බෙන්සිගේ මත්ද්‍රව්‍ය තිප්පොළ බෝඩිම් කාමරයේම පවත්වාගෙන ගොස් තිබුණු බව හෙළි වූයේ මේ වැටලීමේදීය. රුපියල් තිස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය පොලිසිය විසින් සොයා ගන්නේ බෙන්සිගේ බෝඩිම් කාමරයට යාබද නාන කාමරයේ සඟවා තිබියදීය. ජංගම දුරකතන හයක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා උපයෝගී කරගන්නා බවට සැක කරන ඉටි කවර රෝලක්, ටේප් රෝලක් ද සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවන්නේ ඔන්න ඔය අතරය.

මේ අවස්ථාවේදී සිදු වූ සුවිශේෂීම සිද්ධිය වුයේ බෙන්සිගේ බෝඩිම් කාමරයට යාබද බෝඩිමේ සිටි පුද්ගලයකුද අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට කොටුවීමයි. මේ පුද්ගලයා එලෙස පොලිස් අත්අඩංගුවට පත්වන්නේ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදීය. ඔහුද එම අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගන්නේ බෙන්සිගෙන් වන්නට ඇතැයි පොලිසියේ සැකයයි.

පිළියන්දල පොලිසියට රැගෙනවිත් සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු හෙළි කර ගැනීමට හැකිවිය.

බෙන්සි පොලීසියට හෙළි කරන ලද තොරතුරුවලට අනුව ඩුබායිහි සැඟව සිටින පෑලියගොඩ කළණ වට්ස්ඇප් ජාලය ඔස්සේ බෙන්සි සම්බන්ධ කරගෙන ඔහුට මත්ද්‍රව්‍ය බෙදා හැරීම ගැන උපදෙස් ලබා දෙන බව අනාවරණය විය. ‘කළණ’ නම් කරන ලද පුද්ගලයන්ට පමණක් එලෙස කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ගොස් භාරදීම බෙන්සිගේ රාජකාරිය වී තිබිණි. බෙන්සි ඊට අමතරව මුදල් උපයා ගැනීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමද සිදු කර ඇති බව හෙළි විය.

ඡායාරූප – බන්ඩාරගම බිමල් ජයසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division