Home » බෙලිඅත්තේදී 5ක් මරා ණයත් බේරා වෙඩික්කරු රටින් පැන්න හැටි

බෙලිඅත්තේදී 5ක් මරා ණයත් බේරා වෙඩික්කරු රටින් පැන්න හැටි

by gayan
February 3, 2024 12:30 am 0 comment

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා යමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්ත අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්න ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වී මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් හමාරය. මෙතෙක් තවමත් මෙම ඝාතනයේ මහා මොලකරුවන් මෙන්ම වෙඩික්කරුවන් කොටුකර ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නැත. එහෙත් ඒ සෑම අයෙක්ම නම් ගම් සහිතව හෙළි කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්කම් දක්වා හමාරය. ඒ මෙම පංච පුද්ගල ඝාතනයේ සැඟවුණු බොහෝ තොරතුරු ද සමඟිනි.

පාතාලය හා මත්කුඩු ජාවාරමට එරෙහිව දියත් කළ යුක්තිය මෙහෙයුමට අභියෝගයක් වෙමින් සිදු වූ මෙම ප්‍රහාරය කෙරෙහි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩි අවධානයක් යොමු කර තිබුණේ සැකකරුවන්ට කිසිදු සමාවක් නොදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට නිරන්තර උපදෙස් දෙමිනි. ඒ නිසාම වැඩ බලන පොලිස්පතිවරයා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු විමර්ශන කණ්ඩායම් භාර පොලිස් ප්‍රධානීන්ට ලොකු පීඩනයක් ගෙන දුන්නේය. ඒ සැකකරුවන් ඉක්මනින් හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීමටය. ජනවාරි 22 වෙනිදා සිදුවූ එම ප්‍රහාරයෙන් පැය 48ක් යන්නට මත්තෙන් වෙඩික්කරුවන් මෙම ප්‍රහාරයට පැමිණි ජිප් රථය සොයා ගනිමින් ඊට සම්බන්ධ බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ එබැවිනි.

ඒ අනුව මුලින්ම අත්අඩංගුවට ගන්නේ මෙම ප්‍රහාරයට පහසුකම් සපයා දුන් අකුරැස්ස බංගම පදිංචිකරුවෙකි. සමන් කුමාර නැමැති ඔහු මෙම ප්‍රහාරයේ මෙරට මෙහෙයවන්නා බව මුලදී හඳුනා ගත්ත ද දැන් එය එහෙම පිටින්ම වෙනස් වී හමාරය. ඒ ඔහුටත් උඩින් මෙම ප්‍රහාරය මෙහෙයවූ පිරිසක් සිටින බව විමර්ශනවලින් හෙළිවී ඇති බැවිනි. මෙතෙක් කර ඇති විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව මෙම ප්‍රහාරයේ මහ මොළය කොස්ගොඩ සුජීය. ඔහු රැඳී සිටින්නේ ඩුබායිවලය. මෙම ප්‍රහාරය ඩුබායි සිට මෙහෙය වන්නේ සුජීගේ සමීපතමයෙක් වූ හරේන්ද්‍ර ගුණතිලක නොහොත් බූස්සේ හර්ෂය. ඔහු නාවික හමුදාවේ සිටි සෙබළෙකි. මෙම ප්‍රහාරය සැලසුම් කිරීමේදී හර්ෂට අවශ්‍ය පහසුකම් සපයන්නේ කොස්ගොඩ සුජීගේ දකුණු අත බඳු ඌරගහ මයිකල්ය. ඔහුත් දැන් සිටින්නේ ඩුබායිවලය.

අකුරුස්සේ සමන් කුමාරව මෙම ප්‍රහාරයේ උදව්කාරයෙක් ලෙස සම්බන්ධ කරගන්නේ බූස්සේ හර්ෂය. ඒ ඔහු සමන් කුමාරව දැන හඳුනා ගෙන ඇත්තේ මෙරට රැඳී සිටින වකවානුවේදී මත්කුඩු සමග පොලිසියට හසුවී බන්ධනාගාරගතව සිටියදී ය. මෙම ප්‍රහාරය මුළුමනින්ම ඩුබායි සිට හර්ෂ සැලසුම් කර ඇත්තේ අකුරැස්ස කේන්ද්‍ර කරගනිමිනි. මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වෙඩික්කරුවන් ස්ථානගත කර තිබී ඇත්තේ අකුරැස්සේ හෝටලයක බවය. එසේම ගිනි අවි සහ ජිප් රථය පවා කල්තියා රැගෙන විත් තබා ඇත්තේ අකුරැස්සේය. ඒ සමන් කුමාරගේ නිවෙසේය.

බෙලිඅත්තේ ඝාතනයෙන් පැය 48ක් යන්නට මත්තෙන් ගාල්ලේ පිරිවෙන් රථ ගාලකින් වෙඩික්කරුවන් ගමන් කළ ජිප් රථය පොලිසිය විසින් සොයා ගත්ත ද එම රථයේ සැබෑ හිමිකරු සොයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව විමර්ශකයන් හෙළි කරගන්නේ එම රථය කටුගස්තොටින් කුලියට ගත් එකක් බවය. ඒ සඳහා මුදල් ගෙවීම් කර තිබුණේ මීගමුවෙනි.

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට පොලිසියේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයකුගේ සම්බන්ධයක් හෙළි වන්නේ ඒත් එක්කමය. රන්මුණි මහේෂ් හේමන්ත ද සිල්වා නැමැති මෙම පොලිස් පරීක්ෂකවරයා මෙම ප්‍රහාරයේ මෙරට මහ මොළකරු බවට සැක කරන තොරතුරු මුලින් පොලිසියට ලැබුණ ද විමර්ශනයේදී හෙළි වන්නේ ඔහු ද මෙම ප්‍රහාරයේ පහසුකම් සලසන්නෙක් බවය. මෙම පොලිස් පරීක්ෂකයා ගැන තොරතුරු එළියට එන්නේ වෙඩික්කරුවන් ගමන් ගත් ජිප් රථය සම්බන්ධයෙන් කළ විමර්ශනවලිනි. එහිදී හෙළි වන්නේ ජිප් රථය කුලියට ගැනීමේ අතරමැදියෙක් ලෙස සම්බන්ධව සිට ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයා බවය.

කොස්ගොඩ සුජීගේ සහ ඌරගහ මයිකල්ගේ සමීපතමයෙක් වන ඔහු වැඩ තහනමට ලක්ව ඇත්තේ ද පාතාලය සමඟ සමීපව ඇසුරු කිරීම හේතුවෙනි. එසේම මෙම නිලධාරියාගේ නමට අපරාධ චෝදනා ද නැත්තේ ම නැත. ඒ ඔහු මෙම පාතාල අපරාධකරුවන්ගේ අපරාධවල සැඟවුණු චරිතයක් ලෙස කටයුතු කරන්නෙක් වූ බැවිනි. කලකට පෙර වැඩ තහනම් කර ඔහුව පොලිසියෙන් නෙරපන්නේ ද එබැවිනි.

1983 උපත ලද පුද්ගලයෙක් වන ඌරගහ, මාකන්දන, පුවක්ගහවත්තේ පදිංචිකරුවෙක් වන මෙම පොලිස් පරීක්ෂකවරයා පොලිස් සේවයට එක්ව ඇත්තේ 2007 වසරේදීය. ඒ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසිනි. ඔහු පාතාලයට වැටෙන්නේ ඌරගහ මයිකල් සමග ඇසුරු කරන්නට ගොසිනි. ඒ මයිකල් ද ඔහුගේ ගමේ මිතුරෙක් වූ බැවිනි.

කොස්ගොඩ සුජී සහ සුජීගේ ප්‍රධාන ගෝලයෙක් වූ ඌරගහ මයිකල් සිදු කළ අපරාධ බොහොමයකට ආධාර හා අනුබල දුන් මහේෂ් හේමන්ත මෙවරත් බෙලිඅත්තේ ඝාතනයට සම්බන්ධ වන්නේ මයිකල්ගේ කීමටය. කටුගස්තොටින් කුලියට ගත් ජිප් රථය අකුරැස්සට පදවා ගෙන ගොස් ඇතැයි පැවසෙන්නේ ද මහේෂ් හේමන්තය. කොළඹ පොලිසියක රථවාහන අංශයක ස්ථානාධිපතිවරයකුගේ කුලුපග මිතුරෙක් වන මහේෂ් හේමන්ත මෑතකදී එම පොලිස් ස්ථානාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවෙසේ ද දින කිහිපයක් ගත කර ඇති බව ද කියැවෙයි. ඒ තමා දැඩි මානසික පීඩනයකින් සිටින බැව කියමිනි. පෙනී ගොස් ඇති ආකාරයට අනුව බෙලිඅත්තේ ප්‍රහාරයට ඔහු සම්බන්ධ වී ඇත්තේ මෙසේ මානසික පීඩනයකින් සිටින අතරතුරදීය.

වැඩ තහනමට ලක්ව සිටින මෙම පොලිස් පරීක්ෂකවරයා මෙම ප්‍රහාරයේ මෙරට මහ මොළය ලෙස මුලින් සැක කළත් පොලිසිය දැන් හෙළි කරගෙන ඇත්තේ මහ මොළකරු වන්නේ ඔහු නොව, පාතාලයට වැටුණු යුද හමුදාවේ නිලධාරියෙක් බවය. මේජර්වරයකු බව කියැවෙන ඔහු නිශාන්ත ඩයස්ය. සිංහ රෙජිමේන්තුවේ සාමාජිකයෙක් බව කියැවෙන මෙම මේජර්වරයා දැන් හමුදාවේ නැත. ඔහු දැන් කොස්ගොඩ සුජීගේ පදේට නැටවෙන පාතාලයේ සොල්දාදුවෙකි. සමන් පෙරේරා ඇතුළු පස් දෙනාට වෙඩි තැබූ ටී 56 ගිනි අවි දෙක අකුරැස්ස බංගම පිහිටි සමන් කුමාරගේ නිවෙසට වැගන් ආර් රථයකින් ප්‍රහාරයට පෙර දින රැගෙන ආවේ යැයි කියැවෙන්නේ මෙම හමුදා නිලධාරියා විසිනි. එදා ප්‍රහාරය එල්ල කළ දින ජිප් රථය පැදවූයේ යැයි කියැවෙන්නේ ද මෙම හමුදා නිලධාරියා ය. මෙම නිලධාරයා ගැන තොරතුරු ගවේෂණයේදී විමර්ශන නිලධාරින්ට පෙනී ගොස් ඇත්තේ ඔහු හමුදාවෙන් පැන්න අයෙක් බවය. මෙම හමුදා නිලධාරියාගේ ගම් පළාත ලෙස සැලකෙන්නේ තඹුත්තේගම පැත්තය.

කොස්ගොඩ සුජීලාගේ නම ගෑවුණු බොහෝ අපරාධ හා බැඳී සිටින මෙම හමුදා නිලධාරියා 21 වෙනිදා අකුරැස්සේ බංගමට පැමිණ සමන් කුමාරගේ නිවසේ ටී 56 අවි සගවා අනතුරුව සමන් කුමාර සමඟ ගොස් අකුරුස්සේ හෝටල් කාමරයක් වෙන්කර ඇති බව විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන ඇත. ඒ හෝටල් කාමරයේ එදා ගත කර ඇත්තේ වෙඩික්කරුවෙකි. හඳුනා ගෙන ඇති ආකාරයට එම වෙඩික්කරු ජයසේකර නොහොත් චූටි මල්ලි නැමැති පාතාලයේ කොන්ත්‍රාත් ඝාතකයෙකි. විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන ඇති තොරතුරුවලට අනුව ඔහු විශේෂ බලකායේ සෙබළෙකි. අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව අකුරැස්සෙන් ජිප් රථයෙන් බැස ඇත්තේ මෙම හමුදා සෙබළාය. ඔහුත් හමුදා සේවයෙන් නෙරපා ඇති අයෙකි.

එදා ප්‍රහාරය එල්ල කළ දින වෙඩික්කරුවන් ඉලක්කය වෙත රැගෙන ගියේ යැයි කියැවෙන්නේ නිශාන්ත ඩයස්ය. ජිප් රථයේ සුක්කානම රැඳී තිබී ඇතැයි කියැවෙන්නේ ඔහුගේ අතේය. ඒ විමර්ශකයන්ට මෙතෙක් කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුවය. විමර්ශන ප්‍රගතිය මත මේ අනාවරණය වන ඇතැම් තොරතුරු පවා වෙනස් විය හැකිය. දැනට හෙළිවී ඇති තොරතුරුවලට අනුව එදා බෙලිඅත්තේදී සමන් පෙරේරා ඇතුළු පිරිස වෙඩි තබා මරා දැමීමෙන් පසු නිශාන්ත ඩයස් අතුරුදන්ව ඇත්තේ ජිප් රථයෙන් යක්කලමුල්ලෙන් බැසය. දැන් ඔහු ඉන්නා ඉසව්වක් නිශ්චිතවම දන්නා කියන අයෙක් සොයා ගන්නට නැත. චූටි මල්ලී ද ජිප් රථයෙන් බැස අතුරුදන් වන්නේ අකුරැස්සෙනි. ඔහුත් කොහේ ගියාදැයි මෙතෙක් තොරතුරු නැත.

මෙම ප්‍රහාරයේ ප්‍රධාන වෙඩික්කරුවා ලෙස කටයුතු කර ඇතැයි පැවසෙන්නේ එදා කඹුරුපිටියෙන් ජිප් රථයෙන් බැස මාතර බලා යන බස් රථයක නැඟී අතුරුදන්වූ පුද්ගලයාය. ගුවන්තොටුපොළේ ස්ථාපිත කර ඇති මුහුණු මගින් පුද්ගලයන් හඳුනා ගන්නා දත්ත පද්ධතියට යොමුකරනු ලැබු බව පොලිසිය නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ මෙම වෙඩික්කරුගේ ඡායාරූපයකි.

නාවික හමුදාවේ වසර 22ක සේවයකින් පසු විශ්‍රාම ලබා සිටින සෙබළෙක් වන ඔහු චමිපික ප්‍රසන්න කුමාරය. පල්ලෙවෙල පොලිස් වසමේ පාතගම, මුද්දරගම පදිංචිකරුවෙක් වන ඔහුව මෙම ප්‍රහාරයට සම්බන්ධ කරගෙන ඇතැයි පැවසෙන්නේ බූස්සේ හර්ෂය. ඒ ඔවුන් දෙදෙනා නාවික හමුදා සේවයේ එකට සිටියදි ඇතිකරගත් මිත්‍රත්වය මුල් කරගෙනය.

විමර්ශනවලින් මේ වන විට හෙළිවී ඇති අකාරයට අනුව මෙම නාවික සෙබළා බෙලිඅත්තේ ප්‍රහාරයට සම්බන්ධ වී ඇත්තේ දැඩි අගහිඟකම්වලින් මිරීකී සිටි බැවින් එයින් මිදීමට මඟක් ලෙසිනි. ඒ හතර වටේටම ණය වී නිවෙසේ ඔප්පුව පවා උකසකට තබා ඇති පසුබිමකය. බූස්සේ හර්ෂ මේ වැඩේට ඔහුව සම්බන්ධ කරගෙන ඇතැයි පැවසෙන්නේ රුපියල් ලක්ෂ 20 මුදල් පොරොන්දුවක් මතය. ඒ ලද මුදල්වලින් ඔහු ග්‍රාමීය බැංකුවට ඔප්පුව උකසට තබා ලබාගත් ලක්ෂයකට ආසන්න හිග ණය මුදල ඇතුළු හතර වටේට තිබුණු ණය ගෙවා දමා තිබුණේය. ඒ තවදුරටත් ණයකරුවෙක් නොවීය.

ණය බරින් මිරිකී සිටි ප්‍රසන්න කුමාර ණය බරින් නිදහස් වෙමින් බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ වන්නට මුද්දරගම පිහිටි සිය නිවෙසින් පිටත්ව යන්නේ 21 වෙනිදා සවස් කාලයේදීය. මගී බස් රථ කිහිපයකට මාරු වෙමින් ඔහු කඹුරුපිටියට පැමිණ ඇත්තේ 22 වෙනිදා උදෑසනය. එදා ඔහුව ජිප් රථයට ගොඩ කරගත්තේ යැයි කියැවෙන්නේ ද කඹුරුපිටියෙනි. එදා ඔහු සිය බිරියට බෙලිඅත්තේ සිට දුරකතන ඇමතුමක් ගෙන පවසන්නේ තමාගේ දුරකතනය නැති වූ බවය. එම ඇමතුම පවා ඔහු ලබා ගත්තේ යැයි කීවේ ත්‍රීරෝද රථ රියදුරෙකුගෙනි. ප්‍රසන්න කුමාර සතුව ඒ වන විට දුරකතනයක් නොවූ බැවින් එතැන් පටන් ඩුබායි සිටි හර්ෂ වට්ස්ඇප් ඇමතුම් ඔස්සේ සම්බන්ධ වූයේ යැයි කියන්නේ ප්‍රසන්නගේ බිරිය සමගිනි. ප්‍රසන්න බිරියට ඇමතුම් ගෙන හර්ෂ ලබාදුන් පණ්වුඩ දැනගෙන ඇති බව විමර්ශකයන්ගේ පැත්තෙන් කියැවෙන කතාවකි. ඒ විමර්ශන තොරතුරුවලින් ඒ දේවල් හෙළිවී ඇති බැවිනි. ඒ අනුව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ මෙම පංච පුද්ගල ඝාතනයට ප්‍රසන්න කුමාරගේ බිරියගේ ද සක්‍රීය දායකත්වයක් ලැබී ඇති බවය. ඒ ගැන හැම තොරතුරක්ම හෙළිවන විට ප්‍රසන්න කුමාර රටෙත් නැත. ඒ ඔහු ඩුබායි බලා පලා ගොස් ඇති බැවිනි.

හෙළිවී ඇති තොරතුරුවලට අනුව සමන් පෙරේරා ඇතුළු පිරිස මරා දමා නැවතත් කඹුරුපිටියෙන්ම ජිප් රථයෙන් බසින ප්‍රසන්න කුමාර මගී බස් රථ කිහිපයකටම මාරු වෙමින් පැමිණෙන්නේ මීරිගම පිහිටි මිතුරකුගේ නිවෙසකටය. දින කිහිපයක්ම එම නිවෙසේ ගත කළ ඔහුට ඇඳුම් පැළඳුම් ගෙනවිත් දී ඇත්තේ බිරිය නිරෝෂනී විසිනි. මේ කාලය තුළ ඩුබායි හි රැඳී සිටින නිපුන නැමැති කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් විසින් ප්‍රසන්න කුමාර ඩුබායි ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළේය. ඒ ප්‍රසන්නගේ නීත්‍යානුකූල විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරුවලට අනුව ගුවන් ටිකට්පත් සහ වීසා බලපත්‍ර ද ලබා ගනිමිනි.

සියල්ල සූදානම් කර ගැනීමෙන් අනතුරුව මීරිගම මිතුරාගේ නිවෙසින් ඔහු පිටත්ව යන්නේ 28 වෙනිදාය. ඒ පාන්දර ජාමයේය. බිරියගේ සහෝදරයා විසින් රැගෙන ආ වෑන් රථයකින් මීරිගමින් පිටත් වූ ඔහු ඩුබායි බලා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගියේ යැයි කියැවෙන්නේ 29 වෙනිදාය. ඒ ඩුබායි බලා කටුනායකින් ගුවන්ගත වූ ගුවන් යානයක නැඟීය. ඒ එදින උදෑසන 9.40ට ඩුබායි බලා පිටත් වූ ගුවන් යානයක නැඟීය. ඊට පෙර ඔහු සිය බිරිය හා දරුවන් සමඟ කාලය ගත කර ඇත්තේ නිවෙසින් පිටතය.

ප්‍රසන්න කුමාර බෙලි අත්තේ ප්‍රධාන වෙඩික්කරුවෙක් බව හඳුනා ගන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි. මෙම කණ්ඩායම මෙම බෙලිඅත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබන්නේ විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් මතය. මෙම කණ්ඩාමේ අධික්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන්නේ බස්නාහිර පළාත් උතුරු කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්.සේනාධීරය.

විශේෂ කාර්ය බළකා නිලධාරීන් සියල්ල හෙළි කර ගැනීමෙන් අනතුරුව ප්‍රසන්නව කොටු කර ගැනීමට ඔහු පදිංචි මුද්දර නිවෙසට කඩා පනින විට ඔහු සිටියේ ඩුබායිවලය. විශේෂ කාර්ය බලකායට ප්‍රසන්නව මඟ හැරෙන්නේ සුළු ප්‍රමාදයක් මුල් කරගෙනය. දිනකට දෙකකට පෙර ප්‍රසන්න ගැන සියලු තොරතුරු රැස්කර ගැනීමට හැකියාව ලැබුණි නම් ප්‍රසන්න අද සිටිනේ පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවේය.

ප්‍රසන්න මෙරට නැතත් ඔහුගේ බිරිය විශේෂ කාර්ය බළකාය කොටු කර ගත්තේය. ඒ සිය සැමියා හා ඩුබායි සිටි හර්ෂ සමඟ මෙම ප්‍රහාරයේදී තොරතුරු හුවමාරු කිරීමේ අතරමැදියෙක් ලෙස ඇය කටයුතු කර ඇති බව හෙළි වන්නට වූ බැවිනි. එසේම ප්‍රසන්නගේ අවුරුදු 72ක් වන පියාව ද විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 350ක් සමඟිනි. මේ අය අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් හා විමර්ශනයේදී හෙළි වන්නේ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන දුලාජ් තරංගට සීනිගම දේවාලය අසලදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ සැලසුම පිටුපස සිටි කතකට ද මේ අය රැකවරණය දී ඇති බවය. රත්ගම විදුරගේ බිරියගේ සහෝදරයා වූ දුලාජ්ට වෙඩි තබන්නේ පසුගිය වසරේ ජුනි 17 වෙනිදාය. කොස්ගොඩ සුජීගේ සැලසුමකට අනුව ඔහුව එම ස්ථානයට ගෙන්වන්නේ දොඩම්දූව කටුදම්පේ ආරච්චිවත්තේ පදිංචි තරුණියකි.

දුලාජ්ට සීනිගම දේවාලය අසලදී වෙඩි තැබීමත් සමඟ කොස්ගොඩ සුජීගේ ගෝලබාලයන් ඇයව රැගෙන ගොස් ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළ වෙතය. එදින ඇය මාලදිවයින බලා පිටත්ව යන්නේ කොස්ගොඩ සුජීගේ කණ්ඩායමේ උපදෙස් මතය. ඇය වෙනුවෙන් මාලදිවයිනේ හෝටල් කාමරයක් ද වෙන්කර තිබී ඇත. ඇය එදින එහි ගතකර නැවත මෙරටට එන්නේ පසුදිනය. ඒ පැමිණි ඇයට නවාතැන් පහසුකම් සපයා ඇත්තේ කැලණියේ මංජු නැමැති අයකු හරහාය. ඔහුත් හර්ෂයේ නාවික හමුදාවේ සිටි මිතුරකු බව කියති. මංජුගේ නිවෙසේ දින දෙකක් ගතකර ඇති ඇයට කැලණිය වේවැල්දූව පැත්තෙන් බෝඩිමක් පවා සොයාදී ඇත්තේ මංජුය. පසුව ඇය එම බෝඩිමෙන් ඉවත්ව ගොස් හර්ෂගේ උපදෙස් මත නතරවන්නේ මුද්දරගම පිහිටි ප්‍රසන්නගේ නිවෙසේය. මාස 05ක පමණ කාලයක් එහි රැඳී සිටි ඇයට එම නිවෙසින් යන්නට සිදු වන්නේ ප්‍රසන්නගේ බිරිය නිරෝෂනීගේ සහෝදරයා සහ ඇය අතර අනියම් සම්බන්ධයක් තිබී හසුවීම හේතුවෙනි. නැවතත් ඇයට ඒ නිසා සිදු වන්නේ වේවැල්දූවේ බෝඩිමට යාමටය. මෙම මෙහෙයුමේදී ඇයත් විශේෂ කාර්ය බළකායට හසුවන්නේ ප්‍රසන්නගේ මස්සිනා සමග බෝඩිම් කාමරයේ රැඳී සිටියදීය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division