Home » හේනේගම හිමිනම ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ රහස්

හේනේගම හිමිනම ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ රහස්

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment
සැකකරුවන් පලා යන අයුරු CCTV දර්ශන, ඝාතනයට ලක් වූ කලපළුවාවේ ධම්මරතන හිමි සහ ගිනි තබා තිබූ මෝටර් රිය

මත්කුඩු ජාවාරම සහ පාතාලය මෙරටින් තුරන් කිරීමේ අභිලාශයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙසින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් “යුක්තිය“ මෙහෙයුම ආරම්භවී මාසයක් ඉක්ම යන විට පෙර නොවූ විරූ ලෙස රට තුළ පාතාල අපරාධවල ඉහළ යාමක් පෙන්නුම් කරන්නේ අසාමාන්‍ය ලෙසිනි. යුක්තිය ආරම්භයේදීම පාතාලය වැඩ අල්ලන්නේ හංවැල්ල තුන්නා ප්‍රදේශයේදී ටී 56 අවියකින් වෙඩි තබා දෙදෙනෙක් මරා දමමිනි. අනතුරුව තැන තැන හුදෙකලා වෙඩි පත්තුවීම් සිදුවන්නට වූයේ රටේම පොලිසිවල නිලධාරීන් පාරට බැස සිටියදී මෙසේ පාතාලය සක්‍රීය වන්නේ කෙසේදැයි සිතා ගන්නට බැරි තරමටය. එහි උච්චතම අවස්ථාව පසුගිය 22 වෙනිදා බෙලිඅත්තෙන් වාර්තා වන්නේ පස් දෙනෙක්ට එක පොදියට වෙඩි තබා මරා දමමිනි.

ගම්පහ හේනේගම විහාරස්ථානයක වෙඩි පත්තු වන්නේ එහි උණුසුම පහව යන්නටත් මත්තෙන් ඊට පසුදිනය. කහටාන ශ්‍රී ඝණාරාම විහාරස්ථානයේදී එදා වෙඩි පත්තු වන්නේ එහි වැඩ සිටි හිමිනමක් වන කලපලුවාවේ ධම්මරතන හිමියන් අපවත් කරවමිනි. 45 හැවිරිදි වියේ පසු වූ උන්වහන්සේව අපවත් කරවනු ලබන්නේ ටී 56 අවියකින් වෙඩි තබාය.

CAQ 0345 අංකය දරන කළු පැහැයට හුරු මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙක් විහාරස්ථාන භූමියට ඇතුළු මෙම හිමියන්ට වෙඩි තබා අපවත් කරවන්නේ උන්වහන්සේ දානෙ වළඳමින් සිටි වේලාව තුළදීය.

දහවල් 11.50ට පමණ විහාරස්ථානයට පැමිණෙන සිව්දෙනකුගෙන් සමන්විත මේ කල්ලිය විහාරස්ථාන භූමියට ඇතුළු වෙමින් විමසා සිටින්නේ “වෙලාවල් බලන හාමුදුරුවෝ ඉන්නවද“ යැයි කියාය.

වෙලාව බලන හාමුදුරුවෝ යැයි කියා විමසන්නේ කලපලුවාවේ ධම්මරතන හිමියන් ජ්‍යෙතිෂ්‍ය කටයුතුවල නිරතව සිටින හිමිනමක් වූ බැවිනි. ඒ හැරුණු කොට හදි හූනියම් යන්ත්‍ර මන්ත්‍ර වැඩ පවා උන්වහන්සේ කළේය. මේ කටයුතු බොහෝමයක් උන්වහන්සේ අතින් සිදුවූයේ වැලිවේරිය කෙහෙල්කන්දේ පිහිටි උන්වහන්සේට අයත් “කුසුම් සඳහන් සෙවණ“ විහාරස්ථානය තුළදීය. එම විහාරස්ථානයේ නිර්මාතෘ මෙන්ම විහාරාධිපති ලෙස වැඩ සිටියේ උන්වහන්සේය. සිය ජ්‍යෙතිෂ්‍ය වැඩ කටයුතු හැම දෙයක්ම සිදු කරනු ලැබුවේ එහි සිටය. උන්වහන්සේ විහාරස්ථානය අතහැර තමන් වහන්සේ දන්නා කියන හිමිනමක් විහාරාධිපතිධූරය දරන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ නවාතැන් ගැනීමට එන්නේ යැයි පැවසෙන්නේ අසල්වැසියෙක් සමඟ පැවති ඉඩම් ආරවුලක් මුල්කරගෙන ඇතිවන හිත්තැවුලකිනි. ඒ හැරුණුකොට උන්වහන්සේ සිය විහාරය අතහැර සැඟවී වැඩ වාසය කිරීමට ශ්‍රී ඝණාරාම විහාරස්ථානයට ආවේ ඇයි දැයි දන්නේ උන්වහන්සේත්, දුකට සැපට දෙකටම උන්වහන්සේ සමීපයේ සිටින ආවතේවකරුත් පමණි. උන්වහන්සේ ජ්‍යෙතිෂ්‍ය කටයුතුවලින් මෙන්ම වෙනත් කටයුතුවලින් උපයාගත් හැම සතයක්ම පාහේ තිබුණේ ද අනුර නැමැති එම ආවතේවකරු සතුවය.

මෙම හිමිනම ශ්‍රී ඝණාරාමයේ වැඩ සිටියත් උන්වහන්සේගෙන් ජ්‍යෙතිෂ්‍ය කටයුතු කරගැනීමට දන්නා කියන අය සොයාගෙන මෙම විහාරස්ථානයට ද ආවේය. ඒ අයව උන්වහන්සේ ආපසු හරවා යැවුවේ නම් නැත. සිය සේවය ඒ පැමිණි සෑම අයෙකුටම ලබා දුන්නේය. උන්වහන්සේ මෙම විහාරස්ථානයේ අප්‍රසිද්ධියේ ගත කළත් දිනකට දහ පහළොස් දෙනෙක් පමණ ජ්‍යෙතිෂ්‍ය වැඩ කර ගැනීමට ආවේ ගියේය.

විහාරස්ථානයට එදා මෝටර් රථයෙන් ආ පිරිස හැසුරුණේ උන්වහන්සේගෙන් ජ්‍යෙතිෂ්‍ය කටයුත්තක් කරගන්න පැමිණි අය ලෙසිනි. “වේලාව බලන හාමුදුරුවෝ ඉන්නවා“ දැයි කියා කළ විමසීමෙන්ම විහාරස්ථානයේ වැඩ සිටි හිමිවරු එසේ සිතුවෝය.

ඒ වන විට ධම්මරතන හිමියෝ සිටින්නේ දන් වළඳා අවසන්ව පැන් පානය කිරීමට ශීතකරණය අසලට ගොසිනි. වේලාව බලන හාමුදුරුවෝ සොයාගෙන ආගන්තුකයන් පිරිසක් පැමිණ ඇතැයි දාන ශාලාවට පැමිණ පවසන්නේ ද විහාරස්ථානයේම වැඩ සිටින හිමිනමකි.

“කෙහෙන්ද“ යැයි එම හිමියන් විමසන්නට වූයේ දානය වැළඳීමෙන් පසු ටික වේලාවක් විවේක ගන්නා බැවිනි.

“තුන්දෙනෙක් ඇවිත් ඉන්නවා. ටිකක් දුර ඉඳල වගෙයි ඇවිත් ඉන්නේ“ යැයි එම හිමියෝ සඳහන් කළෝය.

“ එහෙම නම් එයාලට කියන්න උඩහට වෙලා ඉන්න කියලා. මම එනවා කියන්න“ යැයි ධම්මරත්න හිමියෝ පැවසූහ.

ඒත් එක්කම දාන ශාලාව පිහිටි ස්ථානයට බැම්මකින් පැන දිව එන්නේ පිස්තෝලයක් ඇතැතිව සිටි පුද්ගලයෙකි. ටීෂර්ටයකින් සැරසී සිටි ඔහු “ උඹල එකෙක්වත් නැඟිටින්නේ නැතිව හිටපං. දැඟලුවොත් උඹල ඔක්කෝටම වෙඩි තියෙනවා“ යැයි පිස්තෝලය දිගුකර කෑමොර දෙන්නට ගත්තේය.

දාන ශාලාවේ රැඳී සිටි හිමිවරුන්ට මේ සිදුවන්නේ කුමක් දැයි හිතා ගන්නටත් නොහැකිව බලාගත් අතේ බලා සිටියහ. හොරෙක් මංකොල්කාරයෙක් වූවත් මෙසේ භික්ෂූන්ට පරිභව කරන්නේ නැත. ඔවුන් භාවිත කළ භාෂාවට අනුව ඒ අය බෞද්ධයන් නොවන්නේ දැයි සැකයක් ද මතුවන්නට විය. ගිනි අවිය තමන් දෙසට එල්ලවී තිබීම නිසා දාන ශාලාවේ සිටි හිමිවරු ඒ අණට කීකරු වෙමින් සිටියේ කිසිදු හැල හොල්මනක් නොමැතිවය.

“ අපි සී.අයි.ඩී. යෙන්. “ මේ පිරිස තමන්ව හඳුන්වා දෙන්නට වූයේ එසේය. එතැනට ඒත් එක්කම ටී 56 අවියක් අමෝරාගත් අයෙක් ද ආවේය. එම අවිය තැන තැන මළකා තිබූවකි. එය ආරක්ෂක අංශයක නිලධාරීන් පරිහරණය නොකරන එකක් බව ඒ තුළින්ම කියා පෑවේය. ආරක්ෂක අංශ නිලධාරීන් සතු ගිනි අවි මළ බැඳෙන තරමට පැත්තකට දමා තිබෙන්නේ නැත. තුන් මාසයකට වරක් හෝ අවි ගබඩාවෙන් ඒවා පිටතට ගෙන ශ්‍රීස් තවරා ඔප මට්ටම් කරති. තැන තැන මළ කා තිබුණු එම අවියේ කාලයකින් ග්‍රීස් බිඳක් ගෑවී නැති බව බැලූබැල්මටම හිමිවරු මෙන්ම විහාරස්ථානයේ ඒ වන විට රැඳී සිටි කිහිප දෙනෙකුම දුටුවේය. ඒ අනුව පැහැදිලි වූයේ වලදමා හෝ මුල්ලක දමා සඟවා තිබූ ගිනි අවියක් රැගෙන සී. අයි. ඩී. වෙසින් කිසියම් පිරිසක් මෙහි කඩා වැදී ඇති බවය.  

ඒ අය සොයන්නට වූයේ ධම්රතන හිමියන්වය. එම හිමියන්ව ඔවුන් මුහුණින් දැන හඳුනා ගෙන සිටි බවක් හැසිරීමෙන් දක්නට නොවීය. ධම්මරතන හිමියන්ව මේ අය දැන හඳුනා ගෙන සිටියේ නම් “වෙලාව බලන හාමුදුරුවෝ“ සොයන්නේ නැත. ඒ අය හාමුදුරුවෝ සොයා විහාරස්ථානයේ රැඳී සිටි තරුණයකුට ද එම අවස්ථාවේදී පහර කිහිපයක් ද එල්ල කර තිබුණේය. ඒ ධම්මරත්න හිමියන් වැඩ සිටින කාමරය පෙන්වන්නැයි කියාය.

ධම්මරතන හිමියන් ඒත් එක්කම උන්වහන්සේ සිටි තැනින් එළියට පැන්නේය. එහිදී උන්වහන්සේව අල්ලා ගත් තුවක්කුකරුවන් “ බඩු කෝ“ යැයි කියා කියා ප්‍රශ්න කරන්නට ගත්තේ ය. “පුළුවන් නම් මට වෙඩි තියල මරල දාපන්“ යැයි එහිදී උන්වහන්සේ එම තුවක්කුකරුවන් හමුවේ කෑමොර දෙන්නට වූයේ ඒ පැමිණි අය කවුරුන් දැයි හඳුනා ගෙන විය හැකිය. එහිදී උන්වහන්සේ දෙසට ටී 56 අවිය අමෝරා බිය ගන්වා යමක් උන්වහන්සේගෙන් ලබා ගැනීමට ඔවුන් දැඩි උත්සාහක නිරත වන්නට විය. එහිදී උන්වහන්සේ ඔවුන් සමඟ පොර බැදුවේ තුවක්කුවට බිය නොවීය. එහිදී උඩට වෙඩි දෙකක් තබන්නේ උන්වහන්සේව පාලනය කිරීමටය. ඒත් එක්කම උන්වහන්සේ “අම්මෝ“ යැයි කියාගෙන බිම ඇද වැටෙන්නේ ඒ තැබූ වෙඩිල්ලක් උන්වහන්සේට වැදීය.

වෙඩි වැදී උන්වහන්සේ ලේ විලක් මැද බිම ඇද වැටෙන විට පන්සලේ ඝණ්ටාරය ද එක දිගට නාද වන්නට ගත්තේ ගම්වැසියන් විහාරස්ථානයට කැඳවමිනි. ඒත් එක්කම කලබල වන තුවක්කුකරුවන් ඔවුන් පැමිණි මෝටර් රථයේ නැඟී වේගයෙන් විහාර භූමියෙන් පිටව යන්නට වූයේ ගම්වැසියන් රැස්වුවහොත් තමන්ට පැන ගැනීමට ඉඩක් නොලැබෙන බව දැනගෙනය.

කහටානේ පිහිටි විහාරස්ථානයේ සිට ඔවුන් ගමන් කර තිබුණේ හේනේගම දෙසටය. මල්වතු හිරිපිටිය පොලිසියට මෙම වෙඩි තැබීම ගැන තොරතුරු දැන ගන්නට ලැබෙන විට වෙඩි වැදුණු ධම්මරතන හිමියන් සිටියේ ගම්පහ රෝහලට ඇතුළත් කරය. ඒ වන විටත් උන්වහන්සේ සිටියේ අපවත්වය.

මල්වතුහිරිපිටිය පොලිසියේ නිලධාරීන් පැමිණ සිය විමර්ශන ආරම්භ කරනු ලබන්නේ ආරක්ෂක කැමරා පරීක්ෂා කරමිනි. විහාරස්ථානයේ ඇති ආරක්ෂක කැමරාවල ද ඒ පැමිණි පිරිස මෙන්ම ඔවුන්ගේ මෝටර් රථය සටහන්ව තිබුණේය. පොලිස් නිලධාරීන් ආරක්ෂක කැමරා පිරිස්සමින් එදා බියගම දක්වාම ගමන් ගත්තේය. කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ කැලෑවට ගිය පාළු ස්ථානයක මෝටර් රථයක් ගිනි ගන්නා බවට තොරතුරක් කඩුවෙල පොලිසියට ලැබෙන්නේ මේ අතරතුරදීය. පොලිසිය එම ස්ථානයට යන විටත් මෝටර් රථය තිබෙන්නේ ගිනි ගෙන තහඩු ගොඩක් බවට පත්වය. විමර්ශනයේදී පෙනී යන්නේ එසේ ගිනි ගෙන තිබුණේ ධම්මරතන හිමියන්ට වෙඩි තැබූ වෙඩික්කරුවන් ගමන් කළ මෝටර් රථය බවය. ඒ අවට ආරක්ෂක කැමරා පරීක්ෂාවේදී පවා ඒ බව තහවුරු වන්නේ මෝටර් රථය අතුරු මාර්ගයක් ඔස්සේ ගොඩැල්ල පාරේ ගමන් කර ඇති බවය. මඳ වේලාවකට පසු දෙදෙනෙක් කලබලයෙන් මෙන් ගොඩැල්ල පාර ඔස්සේ දිව යන අයුරු එම ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණේය. ඒ අනුව පැහැදිලි වන්නේ එසේ දිව යන්නේ මෝටර් රථය එම ස්තානයට රැගෙන ගොස් ගිනි තැබූවන් බවය. ඔවුන් දෙදෙනා මාර්ගයේ දිව යන්නේ හිස් අතින් බැවින් පොලිසියේ අනුමානය වන්නේ සිව් දෙනාගෙන් දෙදෙනෙක් ගිනි අවිය ද රැගෙන අතර මඟින් බැස ඇති බවය.

මෝටර් රථය ගිනි තබා තිබුණේ ජනාකීර්ණ ප්‍රදේශයක ජනශූන්‍ය කොටසකය. මෙම ස්ථානය ගැන දැන සිටිය යුතු වූයේ ඒ පැත්තේ නිතර කරක් ගසන අයකුය. එසේ නොමැතිව මෙවැනි ස්ථානයකට ගොස් වාහනයක් ගිනි තැබීමට තරම් අවදානමක් කිසිවකුත් ගන්නේ නැත. වාහනය ගිනි ගෙන ඇති ආකාරයට අනුව පෙනී ගොස් ඇත්තේ වාහනය ගිනි තබා ඇත්තේ එහි ඇතුළට පවා ඉන්ධන දමා බවය. වාහනයේ පිටත මෙන්ම ඇතුළත ද එහෙම් පිටින්ම ගිනි ගෙන විනාශ වී ඇත්තේ එබැවිනි.

මෙසේ වාහනය ගිනි තබා ඇත්තේ එහි ගමන් කළ වෙඩික්කරුවන්ගේ ඇඟිලි සලකුණු ඇතුළු සාක්ෂි විනාශ කිරීමට විය හැකි බව පොලිසියේ සැකයයි. ඒ තුළින් කියා පාන්නේ මෙම අපරාධයට සම්බන්ධ වූවන්ගේ ඇගිලි සලකුණු ඇතැම් විට පොලිස් අපරාධ ලේඛනාගාරයේ ලේඛනගතවී ඇති බවය. ඒ අය අපරාධකරුවන් ද නැති නම් ආරක්ෂක අංශයකට සම්බන්ධ අයදැයි මෙතෙක් පැහැදිලිවම තහවුරු වී නැත. එහෙත් ගිනි අවි අත දරා විහාරස්ථානයට කඩා වැදුණු මෙම අපරාධකරුවන් සිව්දෙනාගේ හැසිරීම හා කතාබහට අනුව ඒ අය අතර පොලිසියේ හෝ හමුදාවට සම්බන්ධ එක් අයෙක් හෝ සිටිය යුතුය. ඇඟිලි සලකුණු සමඟ සාක්ෂි විනාශ කිරීමට මෝටර් රථය ගිනි තබා ගිනි තබන්නට යෝජනා කර ඇත්තේ ද ඔවුන් විය හැකිය. මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉදිරියේදී මේ හැම දෙයක්ම හෙළිවනු ඇත. දැනට ඇත්තේ සැකයන් සහ අනුමාන කිරීම් පමණි.

ධම්මරත්න හිමියන්ට වෙඩි තැබූ වෙඩික්කරුවන් පැමිණ CAQ 0345 අංකය දරණ ගිනි තැබූ මෝටර් රථයේ හිමිකරුවන් කවුරුන් දැයි සොයා බැලීමට ද පොලීසිය මෙහිදී අමතක නොකළේය. එහිදී අනාවරණය වන්නේ එම අංකය සහිත මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරු සිටින්නේ ගලෙන්බිඳුණු වැව බවය. ගුරුවරයකුට අයත් එම අංකය දරන මෝටර් රථය ඒවන විටත් ගලෙන්බිඳුණු වැව එම ගුරුවරයා සතුව ඇති බව පොලිසිය තහවුරු කර ගත්තේය. එම වාහනය සුදු පැහැති එකකි.

ඒ අනුව පොලිසිය සැක කරන්නට වූයේ එම වාහනයේ අංකයෙන් වෙනත් වාහනයක් මෙම අපරාධයට යොදාගෙන ඇති බවය. එය තහවුරු කර ගැනීමට කඩුවෙල පොලිසියේ නිලධාරීන් ගිනිගත් වාහනයේ එංජින් අංකය සහ චැසි අංකයට අනුව එහි ලියාපදිංචි අංකය සහ හිමිකරු කවුරුන්දැයි සොයා බැලුවේය. පොලිස් නිලධාරීන් පවා පුදුමයට පත්වන්නේ එවිටය. ඒ එම වාහනයේ චැසි අංක සහ එංජින් අංක මෙන්ම ලියාපදිංචි අංකය ද ගලෙන්බිඳුණු වැව ඇති මෝටර් රථයට සමාන වීම හේතුවෙනි. මෙහිදී පොලිසියට පෙනී යන්නේ ගිනිගත් වාහනය කොටස් එකලස් කර ගලෙන්බිඳුණුවැව ඇති වාහනයේ ඇංජින් අංකය හා චැසි අංකය කොටා එම වාහනයේ අංකයෙන් ධාවනය කර ඇති එකක් බවය. එසේ නොමැති නම් සොරාගත් වාහනයක ඇංජින් අංකය සහ චැසි අංකය මසා අලුතින් චැසි හා ඇංජින් අංක කොටා මෙම අපරාධයට යොදාගෙන ඇති බවය.

මේ හැම විමර්ශන තොරතුරකින්ම පෙනී යන්නේ ධම්මරතන හිමියන්ට වෙඩි තබා අපවත් කරවීම සංවිධානාත්මකව සිදු වූවත් බවය. මෙසේ සංවිධානාත්මකව ක්‍රියා කිරීමට සාමාන්‍ය අපරාධකරුවකුට හැකියාවක් සහ හයියක් තිබේ දැයි ඇත්තේ ද ගැටලුවකි.

මෙතරම් සැලසුම් සහගතව මෙම හිමිනම වෙඩි තබා අපවත් කරවීමට තරම් මේ පැමිණි වෙඩික්කරුවන්ට තිබුණු උවමනාව කුමක් දැයි මෙතෙක් පැහැදිලි නැත. ඒ නිසාම මෙම හිමිනමගේ අතීතය හාර අවුස්සන්නට ද පොලිස් විමර්ශකයන් අමතක නොකළේය. ඒ මෙම ඝාතනය හා බැඳුණු යමක් ඒ තුළ ගැබ්වී තිබේ දැයි දැන ගැනීමටය.

ධම්මරත්න හිමියන්ගේ මවත් පියාත් දෙදෙනාම මේ වන විට ජීවතුන් අතර නැත. උන්වහන්සේගේ පියා ගැන වැඩි යමක් අනාවරණය වන්නේ ද නැත. එහෙත් උන්වහන්සේගේ මව රාජගිරිය පොලිස් වසමේ පිහිටි ගොතටුව අඹගහහන්දියට කිට්ටුව පාත ස්ථානයක කාලයක් තිස්සේ ජ්‍යෙතිෂ්‍ය සේවා සපයන කාර්යාලයක් පවත්වා ගෙන ගොස් ඇත. මෙම හිමිනම කුඩා කල සිටම මවගේ ඇසුරේ වැඩුණු අයෙක් වූ බැවින් මව සතුව තිබුණු ජ්‍යෙතිෂ්‍ය දැනුමෙන් උන්වහන්සේ ද පෝෂණය වී තිබේ. ජ්‍යෙතිෂ්‍ය කටයුතුවලට අමතරව ඇය බලි තොවිල් කටයුතුවල ද නිරතවී තිබුණාය.

ධම්මරතන හිමියන්ගේ මව අකාලයේ මියැදෙන්නේ 2007 වසරේදීය. එකල ගිහියෙකුව සිටි ධම්මරතන හිමියන් මව නතර කළ තැනේ සිට ජ්‍යෙතිෂ්‍ය කටයුතු සහ බලිතොවිල් කටයුතු කරගෙන ගියේය. එහිදී ඔහුගේ සහයට සිටියේ අනුර නැමැති සමීපතයාය. ගිහි ජීවිතය කලකිරී උන්වහන්සේ කපලුවාවේ ධම්මරතන නමින් මහන දම්පුරන්නට යන්නේ 2013 වසරේදීය. ඒ අවුරුදු 34දීය. 2014 වසරේදී උපසම්පදාව ලබන ධම්මරත්න හිමි වැලිවේරිය කිරිකිත්තේ කෙහෙල්කන්ද ප්‍රදේශයෙන් අක්කරයක වැඩි ඉඩමක් මිලදී ගෙන “කුසුම් සහන් සෙවණ“ නමින් විහාරස්ථානයක් ඉදිකරනු ලබන්නේ අඹගහහන්දියේ පිහිටි ගේ දොර විකුණා දමාය. උන්වහන්සේගේ සහයට හෙවණැල්ල මෙන් ඒ හැම අවස්ථාවකදීම සිටියේ අනුරය. උන්වහන්සේගේ හැම දෙයක්ම දැන සිටියේද අනුරය. එහෙත් උන්වහන්සේට වෙඩි තබා අපවත් කිරීමට තරම් මුල් වූ සිදුවීම කුමක්දැයි අනුර තවමත් හරිහැටි යමක් කියන්නේ නැත. පොලිසිය පැත්තෙන් කියැවෙන ආකාරයට අනුව උන්වහන්සේ ජ්‍යෙතිෂ්‍ය කටයුතුවලින් මෙන්ම බලි තොවිල්වලින් උපයාගත් හැම සතයක්ම පරිස්සමට තබා ගැනීමට දී ඇත්තේ අනුරටය. උන්වහන්සේව සොයා සී.අයි.ඩී. වෙසින් පැමිණි වෙඩික්කරුවන් පවා උන්වහන්සේට තුවක්කුව දිගුකර ඉල්ලා සිටියේ “බඩු දීපන්“ යැයි කියාය. උන්වහන්සේ වැඩ සිටින කුටිය පවා පරීක්ෂා කරන්නට වෙඩික්කරුවන් සූදානම් වූයේ එබැවිනි. වෙඩි පත්තු වන්නේ ඊට පෙරය. ඒ අනුව පැහැදිලි වන්නේ යම් වටිනා කියන යමක් උන්වහන්සේ සතුව තිබී ඇති බවය.

එම වස්තුව උන්වහන්සේගේ මැදිහත්වීමකින් ගත් නිධන් වස්තුවක් දැයි ලොකු සැකයක් මේ වන විට මතුවී ඇත්තේ උන්වහන්සේ එවැනි කටයුතුවලට ද සම්බන්ධ වී ඇතැයි කියැවෙන බැවිනි. එය එසේ නොවන්නට ඉඩ ඇති බව මෙම විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය. ඒ උන්වහන්සේ නිදන් හෑරීම්වලට සම්බන්ධව ඇතැයි සාක්ෂි සහිතව මෙතෙක් හෙළිවී නොමැති බැවිනි. පොලිසියේ විශ්වාසය නම් අනුර නැමැති උන්වහන්සේගේ සහයකයා මේ ගැන යමක් දන්නා බවය. වැඩිකල් යන්නට මත්තෙන් ඔහුගේ මුවින්ම ඒ දේවල් එළියට එනු ඇතැයි පොලිසියේ විමර්ශන නිලධාරීහු විශ්වාස කරති.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division