කහවත්ත කොටකෙතන ග්‍රාමයේ සිදු වූ කාන්තා ඝාතන රැල්ල කහවත්තේ වැසියන්ගේ මතකයෙන් තවමත් පහව ගොස් නැති තරම්ය. 2008ත් 2015ත් අතර කාලය තුළ කතුන් 19 දෙනෙකු දූෂණය කර මරා දැමුණු සැබෑ දාම ඝාතකයාව 2015 වසරේ නොවැම්බරයේදී කොටුකර ගන්නා තුරුම කහවත්තේ කතුන් සිටියේ මර බියෙන් මිරිකෙමිනි..
එදා කොටකෙතනේ කාන්තා ඝාතනයක් සිදු වන විට පොලිසිය කළේ සැකපිට යැයි කියා කවුරුන් හෝ බෙල්ලෙන් අල්ලා ගෙන ගොස් කූඩු කර වැඩේ අවසන් කිරීමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාසය එකල තරගයට කොටකෙතනේ ඝාතකයන් ඇල්ලුවේය. ඒ අතර ඝාතකයන් බවට සැකයට ලක් වන පුද්ගලයින් අභිරහස් ලෙස අතුරුදන් වන්නට පවා ගත්තේය. අදටත් ඒ අයට සිදු වූ දෙයක් සොයා ගන්නට නැති තරම්ය. ඒ හැරුණු කොට නාඳුනන කණ්ඩායම් විසින් කාන්තා ඝාතනයේ සැකයට ලක් වූ පුද්ගලයන්ට පහර දෙන්නට ද ගත්තේය. මහා පාරේ කැපුම් කෙටුම්වලට ලක්ව මියගිය අය ද ඒ අතර නැතුවාම නොවේ. කහවත්තේ භීෂණය භීෂණයෙන් මැඬලීමට ඇතැම්හු උත්සාහ දැරුවේ එසේය.
අවසානයේදී සැබෑ ඝාතකයා කොටුකර ගන්නා විට අතුරුදන්වූ සහ ඝාතනය වූ අය පමණක් නොව, විටෙන් විට පොලිසිය ද අල්ලා සිරගත කරනු ලැබූ අය පවා මෙම කාන්තා ඝාතන රැල්ලේ සැබෑ අපරාධකරුවන්මදැයි විමසා බලන්නට පවා පොලිස් බලධාරීන්ට සිදු වූයේය.
නැවතත් කහවත්තේ එම කාන්තා ඝාතන රැල්ල මතකයට නැඟෙන්නේ වැල්ලදුර වෙලේවත්තේ පසුගිය 13 වෙනිදා සිදු වුණු 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනයත් සමඟිනි. හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වූ විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගේ සහෝදරියක් වූ ඇය විනීතා ජයසුන්දර ය. ඇයගේ වැඩිමහල් දරුවා ගුවන් විදුලි මාධ්‍යවේදියකු ලෙස නමක් දිනා සිටියෙකි. දැන් ඔහු සේවයේ නිරතව සිටින්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේය. සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ සන්නිවේදන නිලධාරියෙක් ලෙස ද කටයුතු කරන ඔහු නමින් ජානක සුනෙත් බණ්ඩාරය. මවගේ මරණය සිදු වන විට ඔහු සිටියේ කොළඹය. මවගේ මරණය කන වැකුණු සැණින් ඔහු වේදනාවෙන් කහවත්ත බලා යමින් සිටියේ සිය මවගේ මරණය ගැන. “මගේ ආදරණීය අම්මා මීට සුළු මොහොතකට පෙර (රත්නපුර දිස්ත්‍රික්කයේ වෙලේවත්ත, වැල්ලන්දුර, කහවත්ත ගමේ නිෙවසේ දී සාහසික ලෙස ඝාතනයට ලක් වී ඇති බවට සැකයකි. පරීක්ෂණ පැවැත්වේ.) අවසන් ගමන් ගියා. රටේ කිසිවකුට මේ අයුරින් ජීවිත නැති වීමට ඉඩ නොතැබීම අපේ පරම වගකීම. සැමට නිදහසේ ජීවත් විය හැකි රටක්, සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් තව තවත් මගේ අම්මාගේ නාමයෙන් කැපවෙමි. “ යනුවෙන් වූ මුහුණුපොතේ සටහනක් ද තබමිනි. සුනෙත්ගේ මව ඝාතනය වී ඇති බව ඔහුගේ සමීපතමයන් දැන ගන්නේ එම මුහුණු පොතේ සටහනෙනි. එම සමීපතයන් අතර මාධ්‍ය මිතුරන් ද බොහෝය. සිදුව ඇත්තේ කුමක්දැයි තොරතුරු දැන ගැනීමට ඒ අය සුනෙත්ව ඇමතීමට උත්සාහ ගත්ත ද එය එතරම් පහසු කටයුත්තක් නොවීය. ඒ වන විටත් සුනෙත් සිටියේ රත්නපුරය බලා ගමන් කරමිනි. දිගින් දිගටම ඔහුගේ දුරකතනය තිබුණේ ද කාර්යබහුලවය.
සුනෙත්ගේ බොහෝ මිතුරන් ඔහුගේ නැඟණිවරු දෙදෙනාව ද හොඳින් දැන හඳුනන්නේය. වැඩිමහල් නැඟණිය වෛද්‍යවරියක් වූවාය. රසිකා චන්ද්‍රමාලි නම් වූ ඇය සේවයේ නිරතව සිටියේ මාතර රෝහලේය. බාලයා මේනකා සංජීවනීය. ඇය සේවයේ නිරතව සිටියේ කහවත්ත ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ලෙසිනි. මව සමඟ ළඟින්ම සිටියේ ඇයය. අවිවාහක තැනැත්තියක් වූ 38 හැවිරිදි ඇයගෙන් මවට සිදු වූයේ කුමක්දැයි විමසන්නට වූ ඇතැම් මාධ්‍ය මිතුරන්ට ඇය දොස් නඟන්නට වූයේ සිය මව ඝාතනය වී තිබියදී ඒ ගැන කනගාටු වෙනවා වෙනුවට ප්‍රවෘත්ති පළ කිරීමට දක්වන උනන්දුව ගැන කියමිනි. ඇය එසේ දොස් නඟන්නට වූයේ ද දරුණු ලෙසිණි. ඒ ගැන මාධ්‍ය මිතුරන් ඇය කෙරෙහි අහිතක් සිතුවේ නැත. ඒ අය සිතුවේ සිය මවගේ මරණය ගැන ලොකු වේදනාවකින් ඇය පෙළෙන බැවින් එසේ හැසිරෙන්නට ඇති බවය. ඇය එදා එසේ හැසුරුණේ සැබෑ ලෙසම මවට ඇති ළෙන්ගතුකම හෝ ඇගේ මරණයේ වේදනාවෙන්දැයි ඒ හැමෝටම ගැටලු ගෙන දෙන්නට වූයේ සිය මවගේ ඝාතනය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය ඇයව අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. ඒ 5 වෙනිදා මවගේ දේහය පිළිබද අවසන් කටයුතු පවා සිදු කිරීමෙන් අනතුරුවය.
කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇය සේවයේ නිරතව සිටියේ බහුකාර්ය සංවර්ධන සහායකයන් භාර නිලධාරිනිය ලෙසිනි. ඇය පොලිසිය සමඟින් ද ඉතා කිට්ටුවෙන් සම්බන්ධකම් පවත්වා ගෙන ගියාය. කහවත්ත පොලීසියේ ඇය නොදන්නා නිලධාරියෙක් නැති තරම්ය. සිය මව ඝාතනය වී සිටින බව පවා කහවත්ත පොලිස් ස්ථානාධිපති සුමිත් කරුණාරත්නට දුරකතන ඇමතුමක් ගෙන කීවේ ද ඇයය. ඒ වන විටත් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ද මෙම මරණය ගැන පණිවුඩයක් පොලිසියට ලැබී තිබුණේය. ඒ සවස 4.40ට පමණය.
මේනකාගෙන් ඇමතුම ලැබෙන විටත් පොලිස් ස්ථානාධිපතිවරයා සිටියේ පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 06ක් පමණ දුරකින් පිහිටි ඇගේ නිවෙස බලා පොලිස් කණ්ඩායමක් රැගෙන ගමන් කරමිනි.
ඒවන විටත් මුළු ගම්මානයම පාහේ සිටියේ එම නිවෙස ඉදිරිපිටට රැස්වීය. පොලිස් කණ්ඩායම එහි ළඟාවනවාත් සමඟ 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ නිලධාරින් ද එහි ආවේය. සුවසැරියට පවා දුරකතන ඇමතුම් දී තිබුණේ මේනකාය. නිවෙසේ පිළිකන්නේ පැත්තට වැටී සිටි විනීතා ජයසුන්දරගේ සිරුර පරීක්ෂා කර බලා ඇය මියගොස් සිටින බව කියන්නේ ද සුවසැරියේ පැමිණි නිලධාරින්ය. වීනීතා මියගොස් ඇතැයි පැවසීමත් සමඟ පොලිස් ස්ථානාධිපති සුමිත් කරුණාරත්න වහාම ක්‍රියාත්මක වෙමින් මෙම මරණය ගැන දැනුම්වත් කරනු ලබන්නේ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධනවය. පැයක් හමාරක් යන්නට මත්තෙන් මහේස්ත්‍රාත්වරයා ද එහි පැමිණ නිරීක්ෂණ සටහන් තබමින් මූලික සාක්ෂි සටහන් කර ගැනීමක් ද කරනු ලැබුවේ මළ සිරුර කහවත්ත රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝගයක් ද දෙමිනි.
එම නියෝගයට අනුව කහවත්ත රෝහලට විනීතා ජයසුන්දරගේ දේහය රැගෙන යන්නේ රත්නපුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරින් ද එහි පැමිණ මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුවය. එහිදී ඇගේ සිරුර තිබුණු ස්ථානයේ ඡායාරූප ගොන්නක් ද එම නිලධාරින් විසින් ලබා ගත්තේය. ඇගේ දෑතට ඔවුන් පොලිතින් බෑග් දෙකක් පවා දමන්නට වූයේ ඇතැම් විට ඇය ඝාතකයා සමඟ පොර බදන විට දෑතේ හෝ නියපොතු අතර සියුම් සාක්ෂි සැඟවී තිබෙන්නට හැකි බැවින් එම සාක්ෂි ආරක්ෂා කර ගන්නටය.
විනීතාගේ මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු වන්නේ පසු දිනය. අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින්ට අමතරව එදා රත්නපුර පොලිසියට අනුයුක්තව සේවයට යොදවා සිටින මාෂි නැමති පොලිස් නිල සුනඛයාව ද එහි ගෙන්වා ගැනීමට පොලිස් ස්ථානාධිපති සුමිත් කරුණාරත්න වගබලා ගත්තේය. අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් පෙර දිනයේ විනීතා ජයසුන්දරගේ මළ සිරුර අසල තිබී සොයාගත් කාන්තා අත්ඔරලෝසුවක් ඉවකළ මාෂි ගමන් කරන්නට වූයේ ඇගේ සිරුර තිබුණු පිළිකන්නේ සිට නිවෙසේ ඉදිරිපස පෝටිකෝ කොටසටය. මාෂි නිවෙස තුළට ඇතුළු වන්නේ ප්‍රධාන දොරිනි. අනතුරුව මාෂි ස්ථාන කිහිපයක් ඉවකර අවසානයට නතර වන්නේ සාලය මැදය.
මාෂි ඒ ලබා දුන්නේ යම් ඉඟියකි. එය තේරුම් ගත් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් එම ස්ථානය සියුම් ලෙස පරීක්ෂා කරන්නට වූයේ පොඩි දේවල් ලොකු කර බලන පරීක්ෂණ කාචවල ද සහාය ඇතිවය. සෝදා පිරිසිදු කර ඇතත් සේදී නොගිය ලේ පැල්ලම් කිහිපයක් පොළොවේ තැන තැන විසිරී ඇති ආකාරයක් අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරින්ට නිරීක්ෂණය වන්නේ එහිදීය. අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් විනීතාගේ සිරුර තිබුණු ස්ථානයේ සිට මාෂි සාලය තුළට පැමිණි ගමන් මඟ ද සියුම් ලෙස පරීක්ෂා කරන්නට වූයේ සේදී ගිය ලේ පැල්ලම් එම මාර්ගයේ ද තැන තැන ඇති බව ද නිරීක්ෂණය වන්නට වූ බැවිනි.
ඒ තුළින් ගෙන දුන්නේ විනීතාගේ ඝාතනය සිදු වී ඇති ආකාරය ගැන සාක්ෂි ගොන්නකි. මෙහිදී පොලිස් විමර්ශකයන්ගේ අවධානය යොමු වන්නට වූයේ විනීතාගේ සිරුර අසලින් හමුවූ අත්ඔරලෝසුවේ හිමිකරු කවුරුන්දැයි කියාය. එම ඔරලෝසුව වෙන කිසිවකුගේ නොව, අගේ තනි නොතනියට සිටි බාල දියණිය මේනකාගේ බව තහවුරු වන්නේ එවිටය.
මේ අතර විමර්ශකයන්ට කැණින් කොනින් අසල්වැසියන්ගෙන් ඇසෙන්නට වූයේ ඝාතනය වූ මව හා දියණිය අතර නිතර සිදු වන අඬදබර ගැනය. ඒත් එක්කම විමර්ශන නිලධාරීන්ට යම් සැකයක් මතු වන්නේ සිය මව ඝාතනය පිටුපස දියණියගේ යම් සම්බන්ධයක් තිබේදැයි කියාය. මෙහිදී විමර්ශකයන්ගේ අවධානය යොමු වන්නේ එදා මෙම ඝාතනය සිදු වූ දින මේනකාගේ දින චර්යාව කෙරෙහිය. වෙනදාට උදෑසන හත අටවන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයට වාර්තා කරන ඇය එදින සේවයට වාර්තාකර තිබුණේ පෙරවරු 11.00න් පසුවය. ඇය සේවය නිමවා කාර්යාලයේ සිට පිටත්ව ඇත්තේ සවස 3.30ට පමණය. ඇය නිවෙසේ සිට කාර්යාලය බලා ගමන් ගන්නා මඟ දෙපස ඇති ආරක්ෂක කැමරා පවා මෙහිදී පොලිසිය පරීක්ෂා කරන්නට වූයේ යම් වැදගත් හෝඩුවාවක් ඒ තුළින් ලැබේවිදැයි කියාය. එහිදී පෙනී යන්නේ ඇය එදා ප්‍රමාද වී කාර්යාලය වෙත ගිය ද විනාඩි පහක් හයක් තුළ කාර්යාලයට පැමිණ ඇති බවය. ඒ ඇයට අයත් යතුරුපැදියේ නැඟීය. එහෙත් ඇය කාර්යාලයේ සිට නිවෙසට පැමිණීමට එදා විනාඩි 20කට වැඩි කාලයක් ගතකර ඇති බව ද එහිදී පෙනී ගොස් තිබුණේය. සිය මව ඝාතනය වී ඇති බව ඇය විසින් කෑගසා අසල්වාසීන්ට කියන්නේත් පොලිසියට දුරකතන ඇමතුම් දෙන්නේත් නිවෙසට පැමිණි පසුවය.
කහවත්ත රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරින් දිසානායක විසින් මෙම මරණය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මරණය සිදුව ඇත්තේ ගෙල කැපීමකිනි. ඇගේ හිසෙහි තැළීම් සලකුණත් තිබුණ ද එය මරාන්තික එකක් නොවන බව වෛද්‍ය නිගමනය වී ඇත.
එම වෛද්‍ය නිගමනයන්ට අනුව පොලිස් විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ ඇගේ ගෙල කැපීමෙන් අනතුරුව බිම වැටෙන විට හිස බිමෙහි වැදීමෙන් එම තැළීම ඇතිවී තිබෙන බවය. එසේම ඇගේ ගෙල කපා ඇත්තේ නිවෙසේ සාලයේ බව ද පරිවේශනීය සාක්ෂිවලින් ඒ වන විටත් තහවුරු වී තිබුණේය. ඇය සාලය මැද මියගියේ නම් සිරුර මුළුතැන්ගෙය පිටුපස පිළිකන්නට ගියේ කෙසේදැයි ගැටලුවට පවා පොලිස් විමර්ශකයන් පිළිතුරු සෙවුවේය. බිම දිගේ සිරුර ඇදගෙන යාමක සලකුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය නොවූ බැවින් පොලිසියේ සැකය වී ඇත්තේ ඝාතකයා විසින් ඇයව ඔසවා ගෙන ගොස් ඇති බවය. සාලයේ සිට ඇයව ඔසවා ගෙන ගොස් ඇත්තේ නිවෙසේ ප්‍රධාන දොරෙනි. පොටිකෝවේ සහ නිවෙසේ ඉදිරිපස කොටසේ සිට පිළිකන්න දෙසට විහිදී ගිය ලේ පැල්ලම් ඊට සාක්ෂි සපයනු ලැබීය. ඒ අනුව ඇයව මරා දැමුවේ කවුරුන්දැයි සොයා බලමින් සිටි පොලිසියට සැකය දිගින් දිගටම එල්ල වන්නට වූයේ ඇගේ බාල දියණිය වෙතය. එම සැකය වඩාත් තීව්‍ර වන්නේ ඇය එදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන විටත් නැවත පැමිණෙන විටත් හැද සිටි සාරිය මවගේ සිරුර හමුවන විට ගලවා වෙනත් ඇඳුමකින් සැරසී සිටීම හේතුවෙනි. ඒ වන විටත් සාරිය තිබෙන්නේ වැලක වේලෙන්නට දමාය. රැකියාවට ගොස් නිවෙසට පැමිණෙන විට සිය මව පිළිකන්නේ ලේ විලක් මැද මියගොස් සිටියදී ඇඳුම් මාරු කර ගන්නට තරම් දියණියකට වේලාවක් හෝ අදහසක් මතු වන්නේදැයි ඒ පොලිස් විමර්ශකයන්ට ගෙන දෙන්නට වූයේ බරපතළ සැකයකි.
මෙහිදී විමර්ශකයන්ගේ අවධානය යොමු වන්නේ විනීතගේ මරණය සිදුවන්නේ දියණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්නට මත්තෙන්දැයි කියාය. එදා ඇය සේවයට යන්නේ ප්‍රමාද වී බැවින් විමර්ශකයන් සැක කරන්නට වූයේ මව ඝාතනය කිරීමෙන් අනතුරුව ඇය ලේ සොදා නිවෙස ද පිරිසිදු කර කාර්යාලයට යන්නට ඇතැයි කියාය. එහෙත් එම සැකය සැකයක් පමණක් බවට පත්වන්නේ විනීතා එදා දහවල් 12.00ට පමණ සිය දියණියගේ ඇඳුම් කිහිපයක් සෝදා වැලේ වනමින් සිටිනු අසල්වාසීන් කිහිප දෙනකුම දැක තිබුණු බැවිනි. ඒ අනුව ඇගේ ඝාතනය මධ්‍යහන 12.00න් පසුව සිදුවී ඇති බව විමර්ශකයන්ට පෙනී ගියේය. සවස 3.30ට සේවා ස්ථානයෙන් පිටත් වූ මේනකා නිවෙසට එන්නේ තරමක් ප්‍රමාද වෙමිනි. ඇය සවස 4.00 වන විට ඒ අනුව සිටිය යුත්තේ නිවෙසේය. ඇය පොලිසියට පවසා තිබුණේ නිවෙසට පැමිණි තමන් මව කොහේදැයි සොයා බලන විට ඇගේ සිරුර පිළිකන්නේ තිබුණු බවය. අසල්වැසියන් පවසන්නේ නිවෙස දෙසින් මේනකාගේ කෑ ගැසීමේ හඬක් ඇසී පැමිණ බැලීමේදී විනීතා පිළිකන්නේ ලේ විලක් මැද වැටී සිටි බවය. මේ දේවල් සිදු වන්නේ සවස 4.00 පසුවී බොහෝ වේලාවකට පසුවය. 119 හදිසි ඇමතුම් අංශයට මෙන්ම පොලිස් ස්ථානාධිපති සුමිත් කරුණාරත්නගේ දුරකතනවලට මේ ගැන පණිවුඩ මේනකා විසින් ලබා දෙන්නේ ද සිරුර හමුවී ඉතා කෙටි කාලයක් තුළදීය. මේනකා විසින් සිය මව මරා දැමූ බවට පරිවේශනාත්මක සාක්ෂි ඔස්සේ සැකයට ලක් කරමින් පොලිසිය ඇයව 15 වෙනිදා අත්අඩංගුවට ගත්ත ද ඝාතනය සිදු වූයේ සවස 4.00ත් 4.30ත් අතර කාලය තුළදී ද නැතිනම් ඇය සේවා ස්ථානයේ සිට කිසිවකුටත් හොරා කල්වේලා ඇතිව නිවෙසට පැමිණ මව මරා දමා නැවත සේවා ස්ථානයට ගොස් සිටියේද? යන්න ගැන තවමත් ඇත්තේ විමර්ශන මට්ටමේය. ඇගේ ජංගම දුරකතනය තවමත් විශ්ලේෂණය කෙරන්නේ ඒ ගැන තොරතුරු හෙළි කර ගැනීමටය. ගෙල කපා මව මරා දැමීමෙන් අනතුරුව ඇගේ සිරුර ඇය විසින් ඔසවා ගෙන ගොස් මුළුතැන්ගෙය පිටුපස පිළිකන්නට දැමුවේ නම් විනීතාගේ ගෙලින් වැහැරුණු රුධිරය මේනකා හැඳ සිටි ඇඳුම්වල අනිවාර්යයෙන්ම ගෑවිය යුතුය. වැලේ දමා තිබුණු සාරියේ නම් බැලූ බැල්මට ලේ පැල්ලමක් සොයා ගැනීමට නොවීය. මේ වන විටත් එම සාරිය ඇත්තේ විද්‍යාගාර පරීක්ෂණයක් සඳහා යොමු කර බව පොලිසිය පැත්තෙන් ඇසෙන කතාවකි.
විනීතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය ඇගේ බාල දියණිය පරිවේශණීය සාක්ෂි පදනම් කරගෙන අත්අඩංගුවට ගත්ත ද තවමත් මෙම ඝාතනය පවතින්නේ විමර්ශන මට්ටමේය. සිය මව සමඟ තමා ගැටුම් ඇත්කර ගනු ලැබුවේ ජීවත් වෙන ගේ දොර අතහැර වැඩිමහල් සහෝදරියගේ නිවෙසට යාමට මව අකමැත්තෙන් සිටි බැවින් ඒ සම්බන්ධයෙන් බව මේනකා පොලිසියට කියා තිබුණාය. ගම හා නිවෙස දමා යාමට මව දැක්වූ අකමැත්ත හේතුවෙන් අඬදබර ඇති වූවත් මව මරා දැමුවේ තමා නොවන බව ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබුණේ එකහෙළාය. එහෙත් ඇගේ ප්‍රකාශවලට වඩා විමර්ශන නිලධාරින් ඒ වන විට සොයාගෙන තිබුණු පරිවේශනීය සාක්ෂිවල බවත්කම නිසා පොලිසිය ඇයව අත්අඩංගුවට ගත්තේය. එහෙත් ඇය විසින් මවගේ ගෙල කැපූ බව කියන ආයුධය නම් මෙම සටහන තබන සිකුරාදා සවස් කාලය වනතුරුම සොයා ගෙන නොතිබුණි.
“ මෙම ඝාතනය ගැන අපි බොහෝ තොරතුරු හෙළි කරගෙන අවසන්. සුවිශේෂි කරුණු කිහිපයක්ම අපි මේ වන විට විශ්ලේෂණය කරමිනුයි සිටින්නේ. වැඩි දවසක් යන්නට මත්තෙන් එම තොරතුරු අපි අධිකරණය හමුවේ හෙළි කරනවා. එවිට බලා ගන්න පුළුවන් වේවි “ යැයි විමර්ශන නිලධාරියෙක් සිළුමිණට කියා සිටියේ මෙම ඝාතනයේ කොයි කවුරුත් නොසිතපු පැතිකඩක් එහිදී එළියට එනු ඇතැයි ඉඟියක් ද පළ කරමිනි.
ඡායාරූප – කහවත්ත නිරෝෂන් පෙරේරා