Home » ඇයි, බී ලූනු මෙච්චර ගණන්

ඇයි, බී ලූනු මෙච්චර ගණන්

by gayan
December 23, 2023 12:32 am 0 comment

ලොකු ලූනු මිල මේ වන විට පාරිභෝගිකයාට දරාගත නොහැකි ආකාරයෙන් ඉහළ යමින් තිබේ. මෙනිසා ආර්ථික දරිද්‍රතාවෙන් බැටකන ජනතාවට මෙම මිල ඉහළ යාම කිසිසේත් දරාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ලූනු මිරිසක් සමඟ රොටියක් කා වේල දෙවේල සරිකරගත් මිනිස්සුන්ට දැන් සිදුව ඇත්තේ ලූනු නැති මිරිස් කන්නටය.

ඉකුත් දා කොළඹ තොග වෙළෙඳ පොළ හා සිල්ලර වෙළෙඳ පොළේ අප කළ විමර්ශනයේදී තොග වෙළෙඳුන් හා සිල්ලර වෙළෙඳුන් පවසා සිටියේ ඉදිරියේදී නව බදු සංශෝධනය සමඟ මෙම මිල ගණන් මීටත් වඩා ඉහළ යා හැකි බවය. සාමාන්‍යයෙන් මෙරට පරිභෝජනය සඳහා වසරකට ලොකු ලූනු මෙට්‍ර්ක් ටොන් 300,000 ක් පමණ අවශ්‍ය වන අතර, මාසික පාරිභෝජනය සඳහා ලොකු ලූනු මෙට්‍රික් ටොන් 25,000ත් 28000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඉන් සියයට 86ක් පමණ සපුරාලනු ලබන්නේ ආනයනික ලූනු වලිනි. ඒ අනුව ලොකු ලූනූවල ස්වයංපූරිත අනුපාතය වාර්ෂික අවශ්‍යතාවෙන් සියයට 14ක් පමණය. මේ වසර තුළ මෙරට නිෂ්පාදිත ලොකු ලූනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000කි. ගොවි ජනතාව පවසන ආකාරයට තොග වෙළෙඳුන් විසින් මෙම ලූනු තොග පසුගිය කාලයේ අස්වනු නෙළීමත් සමඟ කිලෝවක් රුපියල් 240ට පමණ මිලකට මිලදී ගෙන මේ වන විට ගබඩා කර සඟවා තබාගෙන සිටින බවයි. මෙම මිල ගණන් ඉහළ ගියේ ඒ හේතුවෙන් බවයි.

2023 දෙසැම්බර් මස තුන්වන සතිය වන විට ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 580-625 අතර මිලකට අලෙවි වෙමින් පැවති අතර එහි තොග මිල සඳහන් වූයේ රූපියල් 480ත් 500ත් අතර අගයකිනි. මෙලෙස මිල ඉහළ යාම සම්බන්ධයෙන් අප දේශීය ලූනු ගොවින් දෙදෙනකුගෙන් විමසීමක් කළෙමු.

80 දශකයේ ලොකු ලූනු වගාව මෙරටට හඳුන්වාදීමත් සමඟ ලොකු ලූනු වගාවට පිවිස මේ දක්වා අඛණ්ඩව ලොකු ලූනු වගාව සිදු කරන මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි රජකු ලෙස විරුදාවලිය ලැබූ ගලේවෙල ‘ශක්ති’ ලොකු ලූනු සමිතියේ ලේකම් එස්. ඒ. රත්නපාල (58) සිළුමිණට පවසා සිටියේ “ 1984 ඉඳන් තමයි මේ රටේ ලූනු වගාව පටන් ගත්තේ. ඊට වසරකට පසුව 1985දී මම මේ වගාවට යොමු වුණා. මුලින්ම පොඩි ප්‍රමාණයකින් වගාව ආරම්භ කළා. ඒ වගාව දිගින්දිගට කරගෙන යද්දී වැඩි දියුණු වෙලා 2013 -15 පමණ කාලය වෙද්දී මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 3,500ක් පමණ වගා කරන තත්ත්වයට පත් වුණා. ඊට පස්සේ වගාව එන්න එන්න අඩු වෙලා, ගිය අවුරුද්දේ සිට මේ අවුරුද්ද දක්වා බැලුවොත් හෙක්ටයාර 400 සිට 150 දක්වා අඩු වී තිබෙනවා. මේ තත්ත්වයට උදාවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ 2022 වසරේ අනපේක්ෂිත වර්ෂා පතනය සමඟ ලූනු වගාව එහෙම්පිටින්ම විනාශ වීමයි. ඒ වගේම අනෙක් බරපතළ කාරණය අපේ අස්වැන්න නෙළන කාලයට අපට නිෂ්පාදන වියදමවත් පියවා ගන්න බැරි විදියට ඉන්දියාවෙන් විශාල ලෙස ලූනු තොග ගෙන්විම. මේ විදියට ගේන ලූනු සඳහා රජය බද්ධක් නියම කළාට හරියට සීනි මාෆියාව වගේ, ඒ වෙනකොට ඒ අය ඒක දැනගෙන ලූනු පිටරටින් ගෙන්නලා ගබඩා කරලා තියා ගන්නවා. රජය බද්ධ රුපියල් 50න් වැඩි කළාට රුපියල් 20න් තමයි මිල වැඩි වෙන්නේ. ඒක ගොවියට මදි. ඒකෙ වාසිය ගන්නෙත් ලූනු ගෙන්වන වෙළෙන්දන්. ඒ වගේම මේ අවුරුද්දේ වගාව අඩු වෙන්න බලපාපු තවත් හේතුවක් තමයි ලූනු ආනයනය කරන වෙළෙඳුන් විසින් ගෙන ගිය ප්‍රචාරය. ඒ තමයි මොරගහකන්ද වැව බැඳපු හින්දා මේ ප්‍රදේශය සීත දෙශගුණය සහිත වර්ෂාපතනය වැඩි ප්‍රදේශයක් වෙනවා කියල ගෙන ගිය කට කතාව. මේ මිථ්‍යා මතයට අහුවෙලා ලූනු වගා කරන ගොවියන් වෙනත් භෝග වගාවන්ට යොමු වුණා.

නමුත් මම එදා ඉඳල මේ දක්වා එකම විදියට වගා කරගෙන එනවා. ඒ නිසා මේ පාරත් මම අක්කර අටක් දහයක් ලොකු ලූනු වගා කළා. ඒකෙන් හොඳ අස්වැන්නක් මට ලැබුණා. මං මගේ ලූනු කල් තබා ගන්න ක්‍රමවේද සකස් කරල තිබුණ නිසා ඒ අස්වැන්න ගබඩා කර ගත්තා. නත්තල් වෙද්දි රුපියල් 600-700ට ලූනු මිල ඉහළ යාවී. නමුත් පාරිභෝගිකයා ගැන හිතලා මං ලූනු කිලෝවක් රුපියල් 400ට 420ට වෙළෙඳ පොළට නිකුත් කරනවා. මම තනිව වසරකට ලූනු කිලෝ ලක්ෂ 05ක් පමණ වෙළඳ පොළට යවනවා. ලොකු ලූනු වගාව ගැන මම ඉන්දියාවට ගිහින් විශේෂ පුහුණුවක් ලබාගත්තා. ඒ දැනුම උපයෝගී කරගෙන කාබනික පොහොර සමඟ රසායනික පොහොර යොදාගනිමින් ලූනුවලින් ඉතාම සාර්ථක අස්වැන්නක් නෙළා ගන්නවා.

ඒ වගේම මේ වෙද්දි නිෂ්පාදන මිල ඉතාම වැඩියි. පිටරටවලින් මේ අය අඩුවට ලූනු ගෙනත් දෙන නිසා තමන් වියදම් කරපු මිලවත් නොලැබේවි කියලා ගොවියෝ බය වෙනවා. ඒ විදියට ලූනු ගොවියන් අධෛර්යමත් කරන වැඩපිළිවෙළකුත් මේ හරහා සිදු වෙනවා. මම නම් පොහොර සහ කෘෂි රසායනික ගොවියට නිකන් දෙන්න කියල කියන්නේ නැහැ. මොකද ලූනු ගොවියා ශක්තිමත්. මේ තත්ත්වයට විසඳුමක් ලබා දෙන්න නම්, අගෝස්තු මාසේ සිට අස්වැන්න ලැබෙන කාලය වෙනකොට තොග වෙළෙන්දන් පිටරටින් ලූනු ගෙනැවිත් ගබඩා කර තබා ගැනීම නතර කිරීමට පියවර ගන්න ඕන. වෙනත් විදියකට කිව්වොත් මේ කාලයේ ලූනු ගෙන්වීම සීමා කරන්න ඕන. ඊට පස්සේ ලූනු ගලවන කොට බද්දක් අය කරලා රුපියල් 150-200ත් අතර මිලකට තක්සේරු කරලා මේ ලූනු මිලදී ගන්න වැඩපිළිවෙළක් හදන්න ඕන. ඒවගේම ගබඩා කරන ලූනුවලට රුපියල් 300ක් ගෙවන්න ඕන. එහෙම කළොත් පාරිභොගිකයාත් ගොවියාත් රැකගෙන මේ ගමන ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම ගොවීන්ට යම් සහනයක් ලබාදී දිය හැකි නම් ලොකු ලූනු කිලෝව රුපියල් 200ට අඩුවෙන් ලබාදිය හැකි තත්ත්වයක් රට තුළ නිර්මාණය කළ හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

රත්පාල පවසන ආකාරයට ලොකු ලූනු කල්තියා ගැනීමට ඔහු අනුගමනය කරන්නේ වවුනියාව යාපනය වැනි දිස්ත්‍රික්කවල රතු ලූනු ගොවීන් අනුගමනය කරන පුඩි ක්‍රමයයි. මේ ක්‍රමයට ලූනු ගබඩා කර තැබීමෙන් ලූනුවල බර අඩු නොවන අතර ලූනු ගස සමඟම මෙලෙස එල්ලා තැබීමෙන් ලූනු ගෙඩිය තවත් ලොකු වන නිසා වියළී යාම නිසා අඩුවන බර ඉන් මඟහැරේ. මේ පුඩි ක්‍රමය ලූනු ගබඩා කිරීමට ඇති හොඳම ක්‍රමය බවයි ඔහු පවසන්නේ.

2014 වන විට මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, සීගිරිය, දේවහුව, නාවුල, ගොවිජනසේවා බල ප්‍රදේශ තුළ ලොකු ලූනු වගා කරන ගොවි පවුල් 9,000ක් පමණ සිට ඇති ඇති අතර, ඔවුන් විසින් හෙක්ටයාර 3,500 පමණ වගා කර තිබුණි. දැන් ඉතිරි වී සිටින්නේ ඉන් ගොවි පවුල් 200ක් පමණි. මේ සියලු දෙනා එක්ව මේ වන විට වගා කර ඇත්තේ හෙක්ටයාර 130ක් පමණය. හෙක්ටයාරයකින් ලූනු කිලෝ 20,000ක් 22,000ක් අතර ප්‍රමාණයක් ලබා ගත හැකි අතර, රත්නපාල ගොවි මහතා ඒවගේ දෙගුණයක් හෙක්ටයාරයකින් උපයා ගැනීමට සමත්ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇළහැර බකමුණ ජී. ජී. කරුණාරත්න සිළුමිණට පවසා සිටියේ “මම වසර පහක කාලයක පටන් ලූනු වගාවේ නියැළෙනවා. මෙවර කන්නයට මම අක්කර පහක් පමණ වගා කළා.

නමුත් අපි අස්වැන්න නෙළනකොටම තොග වෙළෙන්දන් පිටරටින් ලූනු තොග ගෙනැවිත් ගබඩා කර තිබුණු නිසා අපේ මිල ගණන් අඩු වුණා. අපෙන් ඒ අය ලූනු කිලෝවක් මිලදී ගත්තේ රුපියල් 240කට. ඒ මිලට ලූනු ටොන් 50ක් විතර විකුණුවා. දැන් තොග මිල ලූනු කිලෝ එකකට රුපියල් 480ක් 500ක් විතර. එහෙම බැලුවත් තොග වෙළෙන්දන්ගෙ ශුද්ධ ලාභය රුපියල් 240ක් 260ක් විතර වෙනවා. අපි දුක් විඳලා හරි හම්බ කරද්දී ඒ අය කෝටි ප්‍රකෝටි ගණන් නිකන් ඉඳන් හම්බ කර ගන්නවා. මේක මාෆියාවක්. රජය වුණත් බදු ගැහුවේ වෙළෙන්දන්ට අපේ ලූනු කුණු කොල්ලයට ගන්න ඉඩ සලස්වලා. ඒ දේවල් වලට ගොවිජන සේවා නිලධාරීනුත් සම්බන්ධයි. ඔවුන්ට වෙළෙන්දන්ගෙන් ඒවට සංතෝසම් ලැබෙනවා. ඒ අය ගොවියන් වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. අපි රජයෙන් ඉල්ලන්නේ කෘෂිකර්මාන්තය කරගෙන යන්න පුළුවන් පරිසරයක් හදල දෙන්න කියලයි. මේ තෙල් බෙහෙත්වලට යන වියදම වැඩියි. මේකෙන් ගොවියන් අඩපණ වෙනවා. අපි නිකන් දේවල් රජයෙන් ඉල්ලන්නේ නැහැ . ඒත් කිසියම් සහනයක් ගොවියන් වෙනුවෙන් තියෙන්න ඕන. අනෙක් අතට මේ මිල වැඩිවීම බීජවලටත් බලපානවා. අපි බීජ හැදුවත් ඒක සාර්ථක නැහැ. මාත් එක්ක ගොවි පවුල් 50ක් 60ක් වැඩ කරනවා.

යලකන්නේ මැයි මාසේ බීජ තවාන් දාල පටන් ගත්තහම මාස තුනහමාරක් හතරක් යනවා අස්වනු නෙළන්න. ඒ කාලය තුළ විශාල වියදමක් දරන්න ඕන. සැප්තැම්බර්වල ලූනු අස්වැන්න නෙළුවාම අපි ඒවා ගබඩා කරල තියාගන්න ක්‍රමවේද සකස් කර තිබෙනවා. ස්ථාවර මිලක් නියම කරලා ගොවින්ගෙ අස්වැන්න ගන්න සැලැස්වුවොත් ලංකාව පුරාම ඉන්න ගොවියන්ට පුළුවන් එකතු වෙලා අපේ රටට අවශ්‍ය ලූනු ටික සපයන්න.

දැන් කියනවා ලබන මැයි වෙනකම් ලූනු ගෙන්නන්න දෙන්නෙ නැහැ කියලා. එහෙම වුණොත් ලූනු මිල තවත් ඉහළ යාවි. එකේ වාසියත් යන්නේ තොග ගබඩා පවත්වා ගෙන යන වෙළෙඳුන්ට. ඒ නිසා මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වෙලා ස්ථී‍රසාර වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

මේ වන විට පාකිස්තානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු මිල ගණන් රුපියල් 650 දක්වා ඉහළ ගොස් ඇති අතර වෙළෙන්දන් කියා සිටියේ දේශීය ලොකු ලූනු තොග නොමැති නිසා ආනයනික ලොකු ලූනු මිල මෙලෙස ඉහළ ගොස් තිබෙන බවය. මේ වන විට ලංකා සතොස ශාඛා ජාලය තුළ ආනයනික ලොකු ලූනු කිලෝවක් රුපියල් 400 කට අලෙවි කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ. නමුත් පාරිභෝගිකයන් පවසන්නේ බොහෝ ලංකා සතොස ශාඛාවල ලොකු ලූනු අලෙවි කිරීමට නොමැති බවය. වෙළෙඳ පොළ තුළ ලොකු ලූනු මිල මේ ආකාරයෙන් ඉහළ යෑම උපක්‍රමිකව සිදු කළ කටයුත්තක් බව කරුණු අනාවරණය වෙමින් ඇත. ලොකු ලූනු ඉන්දියාව, පාකිස්තානය, තුර්කිය වැනි රටවලින් ආනයනය කර ගබඩා කර ඉන් සීමිත ප්‍රමාණයක් වෙළෙඳ පොළට මුදා හැර ඇත. ඒ්වා රුපියල් 600 බැගින් විකුණන ලෙස ඉන්දියාවේ සිට ලොකු ලූනු ආනයනය කරන ව්‍යාපාරිකයන් විසින් තමන් දැනුම්වත් කළ බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග අලෙවිකරුවෝ පවසති. ඉන්දියාවෙන් ගෙන්වා ඇති ලොකු ලූනු තොගවල අයිතිකරුවන් ඉන්දියාවේම ව්‍යාපාරිකයන් බවත් එම ව්‍යාපාරිකයන් පවසන මිලට පමණක් තමන්ට ලූනු අලෙවි කිරීමට සිදුව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. මෙම ඉන්දීය ව්‍යාපාරිකයන් තවදුරටත් ලොකු ලූනු මිල ඉහළ දමන ලෙස බලපෑම් කරන බව ඔවුන් පෙන්වා දෙති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ මෙන්ම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙන්ම අවට ප්‍රදේශවලින් විශාල වශයෙන් තොග ගබඩාවලින් විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකු ලූනු ගබඩා කර ඇති බවත්, ඉන් කුඩා ප්‍රමාණයක් වෙළෙඳපොළට මුදා හැර වෙළෙඳ පොළේ ලොකු ලූනු හිඟයක් කෘතිමව ඇති කර ඉතා සූක්ෂ්ම ලෙස මෙරට ව්‍යාපාරිකයන් කීපදෙනෙකු සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් කීපදෙනෙකු එක්ව ලොකු ලූනු මිල ඉහළ දමා ජනතාව සුරාකෑමට ලක් කරන මාෆියාවක් ක්‍රියාත්මක වන බව ලොකු ලූනු තොග වෙළෙන්දෝ පෙන්වා දෙති.

මෙය ජාවරම්කරුවන් විසින් දේශීය ලොකු ලූනු වගාව සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට පසුබිම සැකසූ ක්‍රියාවලියක් බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පෙන්වා දෙයි. මේ වන විට ඉන්දියාවේ සහ ලංකා ව්‍යාපාරිකයන් කීප දෙනෙකු එක්ව මුළු රටේම ලොකු ලූනු මිල තීන්දු කරමින් මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් ඇති බවත් ආණ්ඩුව සහ වගකිවයුතු ඇමැතිවරුන් ඒ දෙස නිහඬව බලා සිටීමෙන් හැඟී යන්නේ මින් යම් වාසියක් ඔවුන්ට අත්වෙනවා දැයි සැකයක් මතුවන බවය. එසේ නොවේ නම් මේ ලොකු ලූනු සඟවා ගෙන අලෙවි කරන ජාවාරම්කරුවන්ට නිසි දඬුවම් දෙන්නැයි ඔහු රජයෙන් ඉල්ලා සිටී. ලොකු ලූනු තොග සඟවාගෙන සූක්ෂ්ම ලෙස මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී රේණුක පෙරේරා පවසන්නේ, එවැනි තොග සඟවා ඇති බවට කිසිම තොරතුරක් මේ වනතුරු තමන් වෙත ලැබී නැති බවයි. එසේ වුවත් මේ පිළිබඳව වහා සොයා බැලීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, ලොකු ලූනු සඳහා ගැසට් එකකින් මිලක් පාලනය කර නොමැති අවස්ථාවක තමන්ට ඒ පිළිබඳව රාජකාරියක් කිරීමට හැකියාවක් ද නොමැති බවයි. එසේ වුවත් යම් ආකාරයකින් මෙලෙස ලූනු තොග සඟවා තැබීම ගැන සොයා බැලීමට පියවර ගන්නා බව හෙතෙම පවසයි.

ලොකු ලූනු කොමිස් පිට අලෙවි කරන ප්‍රජාව කියා සිටියේ මේ වන විට ලොකු ලූනු මිල පාලනය කිරීම අතළොස්සක් වූ ව්‍යාපාරිකයන් කීපදෙනෙකු විසින් සිදු කරන බවය. ඕනෑ තරම් ගබඩාවල සඟවා ගෙන ප්‍රසිද්ධියේ මෙය කරන බව ද මේ පිරිස චෝදනා කරති.

එසේම ලොකු ලූනු අලෙවි කරන ව්‍යාපාරිකයකු වූ ෆසිල් පවසා සිටියේ දඹුල්ල අවට පමණක් පිටරටවලින් ගෙන්වූ ලොකු ලූනු කිලෝ ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් සඟවා ගෙන ඉතා සූක්ෂ්ම ලෙස අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවයි.

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පාකිස්තානය, ඉන්දියාව සහ තුර්කිය රටවලින් ගෙන්වා ඇති ලොකු ලූනු කිලෝවක් රුපියල් 420 සිට 600 දක්වා තොග මිල ගණන් යටතේ අලෙවි කරන බව ද ව්‍යාපාරිකයන් පවසති. මේ ලොකු ලූනු වැඩි මිල ගණන් යටතේ ගෙන්වා නොතිබූ බවත් උත්සව සමය ඉලක්ක කරගෙන ලොකු ලූනු මිල ඉහළ දැමීම ජාවාරම්කරුවන් විසින් සිදු කරන බවත් ඒ පිළිබඳව සොයා බලා මේ ජාවාරමට තිත තබන්නැයි එම වෙළෙන්දන් රජයෙන් ඉල්ලීමක් ද කරයි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division