Home » ජනමාධ්‍යවේදීන් අබිසෙස් ගැන්වූ විශිෂ්ටයන්ගේ වර්ණවත් රාත්‍රිය

ජනමාධ්‍යවේදීන් අබිසෙස් ගැන්වූ විශිෂ්ටයන්ගේ වර්ණවත් රාත්‍රිය

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment
ජනමාධ්‍ය සම්මාන ලැබූ සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදීන් වන වජිර ලියනගේ, තාරක වික්‍රමසේකර, ටානියා මෝසස්, සුභාෂිණී ජයරත්න සහ ෆවුස් මොහොමඩ් මෙහි වමේ සිට

– පුවත්පත් ආයතන 7කින් අය­ැදුම්පත් 354ක් අත­ුරින් අදාළ ක්ෂේත්‍රවල විශිෂ්ට ජනමාධ්‍යවේදීන් තෝරා ගනු ලැබුවේ 13 දෙනකුගෙන් යුතු ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසිනි.
– වසර 2020, 2021 සහ 2023 යන වසරවල පැවති ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළවලදී සිංහල පුවත්පත් අතර අඛණ්ඩව වැඩිම විශිෂ්ට සම්මාන ගණනකට හිමිකම් කියූයේ සිළුමිණ පුවත්පතයි.
– සිංහල දිනපතා සහ සති අන්ත පුවත්පත් අතර වැඩිම විශිෂ්ටතා සම්මාන සිළුමිණට
– මෙවර අලුත් සම්මාන ඉසව් දෙකක්

පුවත්පත් මාධ්‍යයේ විවිධ ප්‍රවේශ පිළිබඳ ගවේශනය කළ වි‍‍ශේෂිත ගවේශකයකු වන මාර්ක් ට්වේන් අපූරු ප්‍රකාශයක් කර තිබේ. ඔහු පවසන්නේ පුවත්පත් කලාවේදියා කළ යුත්තේ ඔහුට නිවැරැදි යැයි සිතෙන දේ කියා ය.

මාධ්‍යවේදියා යනු රටේ මහජනයා වෙනුවෙන් පොදු මතයක් ප්‍රකාශ කළ හැකි, අසාධාරණයත් සත්‍යයත් වෙනුවෙන් මේ සමාජය ඉදිරියේ පෙනී සිටිය හැකි පුද්ගලයෙකි. ඒ අනුව ජනමාධ්‍ය මුළුමහත් සමාජය වෙනුවෙන් ම පෙනී සිටිනවා ය යන්න පොදු බලාපොරොත්තුවකි. ඒ බලාපොරොත්තුව කුළු ගැන්වීමට නම් ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය පිළිිබඳ නිසි ඇගයීමක් හා වටිනාකමක් සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. වෘත්තීය මට්ටමෙන් එහා ගිය සමාජ වගකීමක නිරත පුවත්පත් කලාවේදීන් අගය කිරීම වෙනුවෙන් සම්පාදිත උලෙළක සිරි අසිරිය ලියන්නට අප පූර්විකාව සපයා ගන්නේ ඒ අනුව ය.

24 වැනි වාර්ෂික ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන රාත්‍රිය දෙසැම්බර් 12 වැනිදා අඟහරුවාදා ගල්කිස්ස හෝටලයේ එම්පයර් බෝල් රූම් ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූයේ මේ සමාජ වගකීමේ බර කරට ගත් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ මූලිකත්වයෙනි. මෙම වාර්ෂික සම්මාන රාත්‍රිය ජනමාධ්‍යයේ වෘත්තීය ප්‍රවීණත්වය හඳුනා ගැනීම සහ එහි විශිෂ්ටත්වයට පත් වූවන්ට සම්මාන පිරිනැමීම අරමුණු කරගෙන පැවැත්වෙන්නෙකි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම හා ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා එකම ජනමාධ්‍ය සම්මාන උලෙළ වන මෙහි, ප්‍රධාන ආරාධිතයා වූයේ විජය පුවත්පත් සමාගමේ සභාපති සහ ශ්‍රී ලංකා පුවත්පත් සංගමයේ සභාපති රංජිත් විජයවර්ධන ය. ජයසක් සහ මඟුල් බෙර හඬ මධ්‍යයේ ආරාධිත අමුත්තා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් උත්සව ශාලාවට පැමිණි අතර, චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මිය ගිය මාධ්‍යවේදීන් සිහිකර විනාඩියක නිහැඬියාවක් පැවැත්වීමෙන් පසු සම්මාන ප්‍රදානය ආරම්භ කෙරිණි.

24 වැනි වාර්ෂික ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී ජනමාධ්‍යවේදීන් තිස් හය දෙනෙක් සම්මාන ලැබූ අතර 16 දෙනෙක් කුසලතා සහතික ලැබූහ. ඒ සමඟ සිය වෘත්තීය ජීවිතයේ දීර්ඝ සේවාව වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මාන, ස්ටැන්ලි සමරසිංහ, එච්. එල්. ඩී. මහින්දපාල, සීතා රංජනී, එස්. තිලෙයිනාදන් සහ ඒ. එල්. එම්. නලීම් යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වෙත පිරිනැමිණි.

“ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන – 2022” උලෙළේදී සති අන්ත හා දිනපතා පුවත්පත් අතරින් වැඩිම විශිෂ්ටතා සම්මාන ගණනකට හිමිකම් කියූයේ සිළුමිණ පුවත්පතයි.

ඒ අනුව වසරේ හොඳම පරිසර වාර්තාකරණය සඳහා සිළුමිණ පුවත්පතේ විශේෂාංග කර්තෘ සුභාෂිණී ජයරත්න ද, වසරේ හොඳම සමාජ සිදුවීම වාර්තාකරණය වෙනුවෙන් වන සුබ්‍රමනියම් චෙට්ටියාර් සම්මානය සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදිනී ටානියා මෝසස්ට ද, වසරේ හොඳම උණුසුම් පුවත වාර්තාකරණය වෙනුවෙන් වන සම්මානය සිළුමිණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ තාරක වික්‍රමසේකරට ද, වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා ලෙස සිළුමිණ පුවත්පත වෙනුවෙන් මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්ට ද වසරේ හොඳම විශේෂාංග රචනය සඳහා වන උපාලි විජයවර්ධන සම්මානයේ කුසලතා සහතිකය සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී වජිර ලියනගේට ද හිමි විය. වසරේ හොඳම නිර්මාණශීලී පුවත්පත සඳහා වන කුසලතා සහතිකය මෙවර දිනමිණ පුවත්පතට හිමි වූ අතර, ඒ අනුව ලේක්හවුස් ආයතනයට විශිෂ්ටතා සම්මාන 4ක් සහ කුලසතා සහතික 2ක් හිමිවීම විශේෂත්වයයි.

මේ අනුව, වසර 2020, 2021 සහ 2022 යන වසරයන්හි දක්වා පැවැති ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළවලදී සිංහල පුවත්පත් අතර අඛණ්ඩ ව වැඩිම විශිෂ්ටතා සම්මාන ගණනකට හිමිකම් කියූයේ සිළුමිණයි.

මෙවර සම්මාන උලෙළ සඳහා පුවත්පත් ආයතන 7කින් අයැදුම්පත් 354ක් අතරෙන් අදාළ ක්ෂේත්‍රවල විශිෂ්ට ජනමාධ්‍යවේදීන් තෝරා ගනු ලැබුවේ 13 දෙනකුගෙන් යුතු ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසිනි. ඉන් සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් වූ අයැදුම්පත් සංඛ්‍යාව 158කි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් 107කි. දෙමළ මාධ්‍යයෙන් 89කි.

මාර්ගගත පුවත්පත් සඳහා තෝරා ගැනීම් සිදු කළේ සිවු සාමාජික විනිශ්චය මණ්ඩලයක ක්‍රියාකාරීත්වයෙනි. ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන වැඩසටහනේ කැඳවුම්කරු වන සුකුමාර් රොක්වුඩ් විසින් මේ සියල්ල සම්බන්ධීකරණය කරන ලදී.

මෙවර සම්මාන උලෙළේ දී වසරේ හොඳම මාධ්‍යවේදියාට හිමි සම්මානය දිනා ගත්තේ සිලෝන් ටුඩේ පුවත්පතේ සුලෝචනා රාමයියා මෝහන් විසින් වන අතර, හොඳම කාටූන් ශිල්පියාට හිමි සම්මානය (සිංහල) දිනා ගත්තේ අද පුවත්පතේ අවන්ත ආටිගල විසිනි. වසරේ හොඳම ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය සති අග අරුණ පුවත්පතේ එස්. අබේසිරිවර්ධනට හිමි වූ අතර, වසරේ හොඳම තීරු ලිපි රචකයාට හිමි බී. ඒ. සිරිවර්ධන විශේෂ සම්මානය දිනා ගත්තේ ඉරිදා දිවයින වෙනුවෙන් එම්. ඒ. නිමල් ෆ්‍රැන්සිස් ය. 2022 වසර වෙනුවෙන් හොඳම ගවේශනාත්මක වාර්තාකරණය වෙනුවෙන් මෙවර සම්මානය දිනා ගත්තේ දිවයින පුවත්පත වෙනුවෙන් ජේ. කේ. කේ. ලලිත් චාමින්ද වන අතර, හොඳම විශේෂාංග රචනය වෙනුවෙන් උපාලි විජේවර්ධන සම්මානය දිනා ගන්නා ලද්දේ ඉරිදා දිවයින පුවත්පත වෙනුවෙන් එච්. තරංග රත්නවීරයි. වසරේ හොඳම මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් සම්මානය දිනා ගත්තේ මව්බිම පුවත්පතේ ඩබ්ලිව්. ඒ. වී. ප්‍රමේෂ් වික්‍රමසිංහ විසින් වන අතර, හොඳම ප්‍රවෘත්ති විශේෂාංගය වෙනුවෙන් වන සම්මානය අද පුවත්පත වෙනුවෙන් රහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් හිමි කර ගන්නා ලදී. හොඳම පිටු සැකැස්මට හිමි සම්මානය සිංහල මාධ්‍ය වෙනුවෙන් ලංකාදීප පුවත්පතට සම්මානය හිමි විය.

වසරේ තරුණ ජනමාධ්‍යවේදියා සම්මානය ලබන්නාට ලක්ෂ්මන් කදිරගාමර් පදනම විසින් පිරිනැමෙන ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ශිෂ්‍යත්වය මෙවර හිමි වූයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනී තරුෂි වීරසිංහට ය. ඒ අනුව ඉන්දියාවේ කේරළයේ මනෝරාමා සමූහය විසින් පාලනය කරනු ලබන ප්‍රමුඛ පෙළේ ජනමාධ්‍ය විද්‍යායතනයක් වූ MASCON හි උසස් මට්ටමේ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට ඇයට අවස්ථාව හිමි වේ.

සිංහල මාධ්‍යයෙන් පුවත්පත් විශිෂ්ටතා සම්මාන 4ක් සිළුමිණට ද, ලංකාදීපයට සහ ඉරිදා දිවයිනට විශිෂ්ටතා සම්මාන 3න බැගින් ද, අද පුවත්පතට විශිෂ්ටතා සම්මාන 2ක් ද, මව්බිම සහ සති අග අරුණ පුවත්පතට විශිෂ්ට සම්මාන 1ක බැගින්ද මෙහිදී හිමිව තිබිණි.

මෙවර සම්මාන ඉසව් දෙකක් අලුතෙන් හඳුන්වා දීම ද විශේෂත්වයක් විණි. ඒ අනුව මාර්ගගත පුවත්පත් අංශ වෙනුවෙන් හොඳම නිර්මාණශීලී සැලසුමෙන් යුතු පුවත් වෙබ් අඩවිය සහ හොඳම වීඩියෝ කතා පුවත පැවසීම යන අංශ වෙනුවෙන් ද සම්මාන පිරිනැමිණි.

මෙම උලෙළේ ප්‍රධාන අනුග්‍රාහකයන් වූයේ, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, එයිට්කන් ස්පෙන්ස්, ඩයලොග් ආසියාටා පීඑල්සී, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ඕලු වෝටර් බොට්ල්ස් යන ආයතනයි. ගල්කිස්ස හෝටලය සත්කාරක භාවය පිරින­ැමීය.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය මඟින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ඊට සම්බන්ධ වෘත්තීය සමිති, ශ්‍රී ලංකා පුවත්පත් සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යන සංගම්වල සහයෝගය ඇතිව ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ අති උත්කර්ෂවත් ව සංවිධානය කර තිබිණි.

මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන්, ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති හා විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ ඇතුළු ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සාමාජිකයන් වන කර්තෘවරුන් ඇතුළු මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ, ඇතුළු පුරවැසි කණ්ඩායම් වල නායකයින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සියල්ලන් අගයා, සියල්ලන්ගේ ප්‍රශ්න විවෘත වේදිකාවකට යොමු කර නිහඬවම සිය වෘත්තියේ නිරත වන මාධ්‍යවේදීන් ඇගැයීම වෙනුවෙන් සංවිධානය කෙරුණු මේ වර්ණවත් රාත්‍රියේ මතක සටහන් බොහෝය. පුවත් ලොව දැවැන්තයන්ගේ සිට ආධුනිකයන් දක්වා එක ම වේදිකාවක අගැයුම් කොට අබිසෙස් නැංවීම ම විශේෂිත ය. ලංකාව පුරා විසිරී සිටින පුවත්පත් කලාවේදීන් එකම තැනක සතුටු සාමිචියේ යෙදෙමින් සිය වෘත්තීය අත්දැකීම් සොඳුරු ව හුවමාරු කරගන්නා අයුරු මම පසෙකින් හිඳ බලා සිටියෙමි. සම්මාන ඇතැත්තෝ මෙන් ම සම්මානිත නොවූවෝ ද එකසේ ප්‍රීතියෙනි. සොම්නස් වුවනින් යුතු ය. එක ම තැනක, එක ම වහලක් යට හෝරා කිහිපයක් ලංකාවේ ම මාධ්‍යවේදීන් එක් රැස් කිරීම සුළුපටු කරුණක් නොවේ. ඒ සොඳුරු සුයාමය සුන්දර කරන්නට චන්දන වික්‍රමසිංහ නර්තනායතනයේ සොඳුරු නර්තන කණ්ඩායම සමත් වූ බව නොරහසකි.

දිනපතා සහ සති අග සිංහල පුවත්පත් අතර වැඩිම විශිෂ්ටතා සම්මාන ගණනක් දිනා ගත් පුවත්පත වශයෙන් සිළුමිණෙහි අබිමන ඉදිරියෙන් ම තිබූ බව නොකියා බැරි ය.

සුමුදු චතුරාණී ජයවර්ධන, ඡායාරූප නිශ්ශංක විජේරත්න, ගයාන් පුෂ්පික

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division