Home » මම එහේ ජීවිතේට ආස නැහැ  ඒක මට දැනෙන්නෙ නෑ

මම එහේ ජීවිතේට ආස නැහැ  ඒක මට දැනෙන්නෙ නෑ

by thanushika
December 16, 2023 12:30 am 0 comment

චමත් පෙරේරා මේ නම එතරම් සමාජය තුළ හුරු නැහැ. ඒත් මේ රූපය දුටු සැණින් ප්‍රවිණ ගායක මිල්ටන් පෙරේරාගේ මුනුපුරෙකු විය හැකි බවට කෙනෙකුට අනුමාන කරන්න පුළුවන්. ඒ රුව හා ඒ කටහඬ හා සමාන චමත් චලක චමුපති පෙරේරාගේ පුතණුවනුයි මේ චමත් පෙරේරා කියන්නේ. රසට ගයන්න පුළුවන් ඔහු ගැන මේ දිනවල බොහෝ දෙනෙක් හොයනවා. කාගේ කවුද කියලා. ඒ නිසා ඔහු ගැන මේ විදිහට රසඳුන අතරට ගෙන එන්න හිතුවා. මේ චමත් ගැනයි

මේ දවස්වල චමත් ගැන හොයන පිරිස වැඩියි කියලා හිතන්නේ නැද්ද ..?

මම පහුගියදා රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ඒ නිසා මේ චමත් පෙරේරා කියන්නේ මිල්ටන් පෙරේරාගේ මුනුපුරා කියලා දැනගත්ත පිරිසක් ඇති වුණා. ඒ හැරුණම මාව එහෙම දන්නෙ නැහැ. ඒකත් මගේ සීයා නිසා මාව දැනගත්තේ කියලයි මම හිතන්නේ

ප්‍රවිණ ගායක මිල්ටන් පෙරේරාගේ මුනුපුරා වගේම චලක චමුපතිගේ පුතණුවන් ඔබ. සංගීත ගමන දැන් ආරම්භ කළොත් හොඳයි කියලා හිතන්නේ නැද්ද ..?

එහෙම අදහසක් ආව නිසා තමයි මම ගීතයක් කරන්න ඕන කියලා හිතුවේ. එහි පද තේනුක වරාගොඩගේ. සංගීතය දිල්මින් පෙරේරාගේ. මේක වෙනස්ම ගීතයක්. සීයාගේ හඬ හා සමාන හඬකින් නෙමෙයි ගායනා කරන්නේ. අලුත් අවුරුද්දේ මුල එය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දෙසැම්බර් 7දා මගේ ශ්‍රී සංගීත කණ්ඩායමේ වැඩ ආරම්භ කළා. දැන් සංගීතය එක්ක තමයි මගේ ඉදිරි ගමන යන්න හිතාගෙන ඉන්නේ.

සංගීත පසුබිමක් තියෙද්දිත් ප්‍රමාද වුණේ ඇයි හැකියාවෙන් වැඩක් ගන්න…?

මට එහෙම සංගීතය පැත්තට යොමු වෙන්න ඕන කියලා හිතුණේ නැහැ. සීයා වෙනුවෙන් ප්‍රසංගයක් කළා. එතකොට මගේ වයස අවුරුදු 16යි. එදා තමයි මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවක සින්දු කිව්වේ. එදා වචනත් අමතක වුණා. ඒත් කොහොම හරි මම සීයගේ ගීත තුනක් කිව්වා. ඊට පස්සේ කොන්සට් කිහිපයකට සම්බන්ධ වුණා. මම ඉගෙන ගත්තේ කොළඹ මහානාම විද්‍යාලයෙන්. පාසලේවත් මම කිසිම සංගීත වැඩසටහනකට සම්බන්ධ වෙලා නැහැ. නමුත් මම සංගීතය හදාරලා තියෙනවා. සංගීතය හැදෑරුවෙත් සංගීතයට සම්බන්ධ වෙලා වැඩ කරන්න නෙමෙයි. ලොකු කැමැත්තක් නොතිබ්බ නිසා සංගීත වැඩවලට සම්බන්ධ නොවී ඉගෙන ගත්තා. ඒ වගේම ආසාවෙන් සම්බන්ධ වුණේ ක්‍රීඩා කටයුතුවලට තමයි

ඔබේ පියා එක්ක ගීතයක් කරන්න අදහසක් නැද්ද ..?

තවම නම් එහෙම හිතිලා නැහැ. අපි දෙන්නගෙම කටහඬ ටිකක් එක වගේ නිසා මම හිතනවා ඒක ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් මායි තාත්තයි කොන්සට්වලට එකට සින්දු කියලා තියෙනවා

පියාගේ බලපෑමටද සංගීතයට එන්නේ..?

මගෙ තාත්තා චලක චමුපති. මගේ අම්මා පද්මි රණසිංහ මේ දෙන්නම මට කවදාවත් බල කරලා නැහැ සින්දු කරන්න කියන්න කියලා. කැමති නම් කැමති දේ කරන්න කිව්වේ. දැන් මගේ වයස 22යි. දැන් තමයි ඒ පැත්තට යොමු වෙන්න ඕන කියලා ආස හිතුණේ. ඒකට මට පවුලෙන් උදව් ලැබෙනවා. මම දැන් මියුසික්වලට සම්බන්ධයි. ඒත් මගේ අක්කා අංජනා දසුනීට තාලේ අල්ලන්නවත් බැහැ. එයා බර ව්‍යාපාර පැත්තට.

ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ මුණුපුරන් එක්ක චමත් ඇසුර ලබන කෙනෙක් ද..?

මම වැඩිපුර ඉන්නේ නදිමාල් අයියලගේ ගෙදර. ඒ වගේම සනුක, සජිත් දිල්මින් හා වික්ටර් රත්නායක මහතාගේ මුනුපුරා විනුජ අයියලා එක්ක සමීපව කටයුතු කරනවා.

ඔබ එංගලන්තයේ ජීවත් වුණේ, දැන් දිගටම ගයනවද එංගලන්තය ට නැවත යන්නද කල්පනාව..?

අම්මයි තාත්තයි නැවත ලංකාවට එනවා. මම එහේ ජීවත් වෙන්න ආස නැහැ, එහේ ජීවිතේ දැනෙන්නේ නැහැ. ඒ නිසා ආයෙමත් එහෙ යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දිගටම ලංකාවේ ඉදලා සංගීත වැඩවලට සම්බන්ධ වෙනවා. සංගීත ප්‍රසංග සඳහා මැදපෙරදිග රටවලින් ආරාධනාවක් ලැබුණා, ඒවටත් සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා.

පාසල් කාලෙදි ඔබ මිල්ටන් පෙරේරාගේ මුනුපුරා කියලා දැනගෙන ප්‍රතිචාර දැක්වූ අය හිටියද..?

මගේ පාසලේ ගුරුවරු, මගේ ක්ලාස් එකේ ළමයි හා එයාලගේ දෙමවුපියෝ දැනගෙන ප්‍රතිචාර දැක්වුවා. පන්තියේ දි සින්දුවක් කියන්න කිව්වොත් මම සින්දුවක් කියනවා. මිල්ටන් පෙරේරා ගේ මුහුණු හුරුව හා කටහඬ තියෙනවා කියලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල මට ආඩම්බරයක් දැනිලා තියෙනවා. ඒත් මම කවදාවත් මගේ සීයාවවත් තාත්තා අහවලා කියලාවත් කියන්න ගිහින් නැහැ, දැන හඳුනාගෙන කතා කළ අයට ප්‍රතිචාර දැක්වුවා මිසක්.

ඔබ ඔබේ සීයාව දැක නැහැ, නමුත් ඔහු ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්, ඔබට ඔහු ගැන දැනෙන හැගීම ..?

සීයා නැති වෙලා අවුරුදු 35ක් විතර වෙනවා. මම ඉපදිලාවත් නැහැ එතකොට. ඡායාරූප හා ඔහු ගැන කියපු කතා එක්ක තමයි මම සීයා ගැන දන්නේ. සීයාට බොහෝ දෙනෙක් තවමත් ආදරේ කරනවා කියලා දැනෙනවා. සීයත් හිටියා නම් කියලා හිතුණු අවස්ථා තිබ්බා. මම ආසයි සීයා ගොඩ නගාගත් ප්‍රතිරූපය විනාශ නොකර ඔහුගේ නම රැකගෙන දිල්මින් අයියා වගේම සීයගේ ගීත රැකගන්න, මම සීයාගේ මුනුබුරු කියලා අහන්න ආසයි. ආඩම්බරයි. ඒත් සංගීතයේ ගමනක් යනවා නම් චමත් පෙරේරා කියන අනන්‍යතාව හදාගන්න ආසයි. ඒ නිසා රැල්ලට දුවන්නෙ නැතුව හොඳ ගීත කරන්න බලාපොරොත්තු වෙනවා.

 හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division