Home » ‘ජනපතිවරු හතක් සමඟ වැඩ කළ මම ඔස්ටින්’

‘ජනපතිවරු හතක් සමඟ වැඩ කළ මම ඔස්ටින්’

by gayan
December 9, 2023 12:30 am 0 comment

ම්මාගේ වාසගමත් තාත්තාගේ වාසගමත් එකක් වීම දැකගත හැක්කේ කලාතුරකිනි. අප පසුගියදා නාරාහේන්පිට නිවාස සංකීර්ණයකදී මුණගැසුණ අමුත්තාගේ අම්මාගේ නම හෙලේනා ප්‍රනාන්දුය. තාත්තා සයිමන් ප්‍රනාන්දුය. අප මේ සොයා ගිය විශිෂ්ට රාජ්‍ය නිලධාරියා ‘ඔස්ටින් ප්‍රනාන්දු’ ය.

“අම්මාගේ වාසගමත් තාත්තාගේ වාසගමත් ප්‍රනාන්දු නිසා මම ‘ඩබල් ප්‍රනාන්දු’ කෙනෙක්. ඔහු අප සමඟ සංවාදයට එක්වූයේ සිනාමුසුවය. ඔස්ටින් ප්‍රනාන්දු උපන්නේ 1942 ජුනි 12 වැනිදාය.

“මම මුලින්ම ගියේ හික්කඩුව සිංහල විදුහලට. පසුකලෙක එය හික්කඩුව කුමර විදුහල වුණා. පහේ පන්තියේ ඉඳන් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන්. හිටපු ඇමැති අමරසිරි දොඩංගොඩ, වාසුදේව නානායක්කාර, චමල් රාජපක්ෂ, දකුණු පළාතේ හිටපු සංස්කෘතික ඇමැති අයි. විජේවන්ත, හිටපු අගමැති ලේකම් වී.කේ. නානායක්කාර ඇතුළු බොහෝ පිරිසක් අපේ කාලයේ රිච්මන්ඩ් විදුහලේ ඉගෙන ගත්ත උදවිය.

පරිපාලන සේවයට බැඳීමට පෙර ඔස්ටින් බද්දේගම නාගොඩ විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කරන ලදි. ඔහු ඉගැන්වූයේ ආර්ථික විද්‍යාව, භූගෝලය හා ලංකා ඉතිහාසයයි.

ඒ කාලේ ඉගෙන ගත්ත ගෝලයේ එහෙම කව් ද? මම අසා සිටියෙමි.

“මට අමතක නොවෙන එක ගෝලයෙක් තමයි ගුණදාස කපුගේ. හැබැයි ටික කාලයයි ඉස්කෝලෙ හිටියෙ”

ඔස්ටින් පේරාදෙණිය සරසවියට ඇතුළු වන්නේ අමුතුම වාසනාවක් පෑදීම නිසාය. මෙන්න ඒ ‘වාසනාව’ ගැන ඔහුගේ වචනයෙන්. “ඔය කියන කාලයේ පේරාදෙණියට ගත්තේ විෂයන් හතරම සමත්, ලකුණු එකසිය අසූවකට වැඩියෙන් ගත්තු අයයි. නමුත් හැටේදි පේරාදෙණියට ගන්න සිටි ළමයින්ගේ හිඟයක් තිබුණා. මේ නිසා විෂයයන් තුනක් සමත් අයත් ගත්තා. ඒ අවස්ථාව නිසා මටත් යන්තමින් සරසවියට යන්න ඉඩ හම්බුණේ නූලෙන් බේරිලා.”

ඔස්ටින් කියන පරිදි 1967දී ඔහු ලංකා පරිපාලන සේවයට එක්වනතුරුම ලංකා සමසමාජයේ සාමාජිකයෙකි.

“ඒත් මම මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරි භාර ගන්නවාත් එක්කම සමසමාජ පක්ෂයෙන් අයින් වුණා. පරිපාලන සේවයේ මුල්ම පත්වීම ලැබුවේ මඩකලපුව සහකාර මැතිවරණ කොමසාරිස් විදිහට.”

ඔස්ටින් ප්‍රනාන්දු රාජ්‍ය සේවයේ දරන ලද තනතුරු නාමාවලියක් ලෙස පෙළගැස්වීමට මහත් වෙහෙසක් ගත යුතු විය. හෙට අනිද්දට එයට තවත් තනතුරු කීපයක් එකතුවේදැයි මම අසා සිටියෙමි. ළඟදිත් මට තනතුරු කීපයක් භාරගන්න කිවුවා. ඒත් මට ගැළපෙන්නේ නැති නිසා මම ප්‍රතික්ෂේප කළා.

ඔස්ටින් ප්‍රනාන්දු දැරූ තනතුරු සැකෙවින් ගොනු කර ගැනීමට අපට පසුව හැකිවූයේ ඔහුගේ නිරවුල් මතකය නිසාය. ඒ අතරින් මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස්, පොලොන්නරුවේ අතිරේක දිසාපති, දිසාපති, නුවරඑළිය දිසාපති, සමූපකාර කොමසාරිස්, පුනරුත්ථාපන අමාත්‍යාංශයේ ලේකම්, මහා භාණ්ඩාගාරය, මැණික් සංස්ථාව, තැපැල්පති, ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තනතුරු රැසක් දැරුවා. එමෙන්ම ඔහු දැරූ නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාර ධුරය කැපී පෙනේ. ඊට අමතරව ඔහු ගරු සේවයක් ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදේශක ධුරයක් ද කලක් උසුලන ලදි.

ඔස්ටින් ප්‍රනාන්දු විසින් ලියන ලද නවතම කෘතිය වන්නේ මම ඔස්ටින්ය. මෙම ග්‍රන්ථයේ ඇති පරිච්ඡේද ගණන 27කි. එහි පළමු පරිච්ඡේද දහය පෙළගස්වා ඇත්තේ මගේ ළමා කාලය – රිච්මන්ඩ් කන්දෙන්, හන්තාන කන්දෙන්, නාගොඩට – ගුරු වෘත්තියෙන් පරිපාලන සේවයට – මනමේ මඩලපුවට ආ වගයි! – රජයේ ඉඩම්වලට අධිගෘහිත දෙවිවරු – ප්‍රජාතන්ත්‍රවාදය කරපින්නා ගැනීම – බලය හීනවීමේ සන්තෑසිය – ඩයස් අබේසිංහ, අතුරු මැතිවරණ හා මැතිවරණයෙන් නික්මීම – මැතිවරණවලින් එහා! සහ මාතලේ මට වැදගත්ය යන මාතෘකාය.

මෙම ඔස්ටින් ග්‍රන්ථයේ 11 වැනි පරිච්ඡේදයේ සිට 20 වැනි පරිච්ඡේදය සඳහන් කොට ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනුවෙනි. මෙම ග්‍රන්ථයේ 11 වැනි පරිච්ඡේදය ආරම්භ වන්නේ,

පුලතිසිපුර සර්ව බලධාරී දෙවියා ලෙස. ඊටපසු කළගුණ දත් පොලොන්නරුව වැසියෝ, 1978 නොවැම්බර් 23 දින සුළි සුළඟ, නුවරඑළියේ සර්වබලධාරී දෙවියෝ, සමූපකාරික අත්දැකීම්, ජනාධිපති කැමැත්තෙන් පුනරුත්ථාපන අමාත්‍යාංශයට, පුනරුත්ථාපනෙන් කැබිනට් අමාත්‍යාංශ ලේකම් ධුරයට, ස්වදේශ හා පළාත් සභා අමත්‍යාංශයට, ආරක්ෂක ලේකම් ලෙස නැවතත් රාජ්‍ය සේවයට සහ මෛත්‍රීපාල සිරිසේන සමඟින් යනුවෙන් හිටපු ජනපති මෛත්‍රීපාල යුගය ගැන සඳහන්ව ඇත. ජනපති මෛත්‍රීපාලත් ඔස්ටිනුත් අතර ඇත්තේ පුදුමසහගත බැඳීමකි.

මම පොලොන්නරුවේ දිසාපතිව රාජකාරි කරන කාලයේ මෛත්‍රීපාල සිරිසේන ග්‍රාම සේවක කෙනෙක්. දිනක් ඔහු මාව මුණගැහෙන්න ඇවිත් කීවා “සර් දේශපාලන වැඩසටහනකට යන්න නිවාඩු දෙන්න” කියලා.

මම මෛත්‍රීගේ ලිපිය අරගෙන ඉල්ලා අස්වීම භාර ගතිමි කියලා ලියලා අත්සන් කරලා දිනෙත් දාලා ඔහුට යන්න කීවා.

එහෙව් මෛත්‍රීපාල ජනාධිපති වුණාම මෛත්‍රීපාලගේ අතින්ම මට ජනපති උපදේශක තනතුරේ පත්වීමේ ලිපිය භාර දුන්නා.

මෙම ග්‍රන්ථයේ 21 වැනි පරිච්ඡේදය ආරම්භ වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනා ලෙසය. ඉන්පසු ජනාධිපති ලේකම්ව අවිනිශ්චිත තීරණාවලියට මැදිවීම, නැඟෙනහිර ආණ්ඩුකාර ධුරය දෙස හැරී බලමි, මහ බැංකු දූෂණ කොමිසමින් පාඩම්, මරන්නට අපහසු මා!, ජනාධිපති ලේකම් ධුරයෙන් තානාපති ධුරයට සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස මෙම ග්‍රන්ථයේ සමාප්තිය දැකිය හැකිය.

චන්ද්‍රිකා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඔස්ටින්ව දරමින් සිටි ලේකම් ධුරයෙන් පහකරන ලදී. අප ඒ ඉතිහාසය ගැන අසන්නට අමතක කළේ නෑ.

“1966 අවුරුද්දේ චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මාව ලේකම්කමින් අස්කරලා පූල් එකට දැම්මා. ඒ කියන්නේ සයිබීරියාවටනේ. ඇත්තටම ඇය මට කළේ බලවත් වරදක්. කිසිම වග විභාගයක් නැතුව මාව අස්කිරීම ජනාධිපති කෙනකුට තරම් නොවන ක්‍රියාවක්. කොහොම වුණත් මගේ පෞද්ගලික විශ්වාසය චන්ද්‍රිකා වේගයෙන් ඉහළට ආව නිසා එයා දේශපාලනයෙන් තෙම්පරාදු වුණේ නෑ. ජේ.ආර්. ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ වගේ චරිත හොඳට තෙම්පරාදු වෙච්ච නිසා තමයි ඒ ගොල්ල ලේසියෙන් රවට්ටන්න, තම්බන්න අමාරු. ගෝඨාභයට නම් දේශපාලනයේ තෙම්පරාදු වෙන්න හම්බුණේම නැහැ.”

ඔස්ටින් ප්‍රනාන්දු නාමය මෙරට බොහෝ දෙනා කතාබහ කරන චරිතයක් වූයේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වූ පසුවය. එම තනතුර ලැබුණ හැටි ඔස්ටින්ගේ වචනයෙන්ම දැනගත යුතුය.

“සරත් ගුණවර්ධන හික්කඩුවේ හිටපු මන්ත්‍රී කෙනෙක්. පුංචි කාලේ ඉඳල අපි එකට සෙල්ලම් කරපු අය. මගේ රැකියාව නැති වුණාට පස්සේ සරත් රනිල් වික්‍රමසිංහට මගේ ගැන කියලා ලියුමක් ලියලා තියෙනවා. ඒ ලියුමට අනුව රනිල් මට එන්න කිවුවා. මාත් එක් පැය භාගයක් විතර කතා කර කර ඉඳලා අන්තිමට මගෙන් ඇහුවා, යම් කිසි දවසක අපි බලයට ආවොත් ඔස්ටින් නැවත රාජ්‍ය සේවයට ඇවිත් අපිත් එක්ක වැඩ කරන්න සූදානම් ද කියලා. මම ඔව් කිවුවා. 2001 දෙසැම්බර් රනිල් වික්‍රමසිංහ බලයට පත් වෙනවා. මුලින්ම කතා කරගත්තු දේට කැමති ද කියලා අහන්න අපේ ගෙදරට පණිවිඩයක් එවලා තිබුණා. ඒ පණිවිඩකාරයා තමයි චරිත රත්වත්තේ.

මෙහි දෛවෝපගත සිදුවීම වන්නේ ඔස්ටින් ආරක්ෂක ලේකම් ලෙස පත්වත්දී ආණ්ඩුවේ ජනාධිපතිවරයා වූයේ චන්ද්‍රිකා කුමාරතුංග නොහොත් ඔස්ටින්ව සයිබීරියාවට යැවූ ජනාධිපතිවරියම වීමය.

ඔස්ටින් ප්‍රනාන්දු 1971 වසරේ ගුරුවරියක වූ සිල්වියා දෙල්පවිත්‍ර මෙණෙවිය සමඟ විවාහ වන්නේ සරසවියේදී බැඳී මිතුදම පසුකලෙක ආදරයක් දක්වා පරිවර්තනය වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඔහු හට දියණියන් තිදෙනෙකි. එම තිදෙනාම විවාහ දිවියට ඇතුළත්ව සිටින අතර මුනුබුරන් හා මිනිබිරියන් පස් දෙනෙකු මේ වන විට පවුලට එක්ව හිඳීම ද විශේෂත්වයක්.

“ඉස්කෝලේ යන කාලේ මම ක්‍රීඩාවලට හරි කැමතියි. ටේබල් ටෙනිස් වගේ ක්‍රීඩාවන්ට මම හරි උනන්දුයි. අදත් උදේට ව්‍යායාම කරනවා. නීරෝගිකමට එය හේතුවක් වෙනවා. ඊට අමතරව මගේ රාජකාරී ජීවිතයයි, පෞද්ගලික ජීවිත අත්දැකීමුයි එක්කරලා පොතක් කරන්න බලාපොරොත්තු වෙලා මේ මම ඔස්ටින් පොත ලියන්න පටන් ගත්තේ 2012දි. මගේ පළමු පොත “My Belly is White” 2008 වසරේ එය ප්‍රසිද්ධ කළා.

පරිපාලන සේවයේ මෙවැනි ඉහළ තනතුරු දැරූ පුද්ගලයන් අතරින් මෑත අතීතයේ පළවූ කෘතියක් නම් ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ විශ්‍රාමික යුගයේ ලේකම්වරයා වූ ප්‍රේමතිලක මාපිටිගම ලියූ ඒක දිග ගමනක් කෘතියයි. එය ඉංගිරිසියෙන් The Longest day’s නමින් පළ විය. මම ඔස්ටින් ග්‍රන්ථය එළිදැක්වෙන දින උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන ‘සරත් අමුණුගම’ ගැන පවා තොරතුරු එම ග්‍රන්ථයේ ඇත්තේ ලංකාවේ පරිපාලන සේවයේ කදිම පැතිකඩක් ලෙසය.

මෛත්‍රීපාල ජනපති යුගයේ මහ බැංකු බැඳුම්කර සිදුවීම ගැන මම ඔස්ටින් කෘතියේ කදිම සටහනක් ඇත්තේ මෙසේය. නීතියේ ප්‍රතිපාදන ශක්තිමත් කළ යුතු යැයි අදහස් කළ රාජ්‍ය සේවකයන් වූ අප කිහිප දෙනෙක් එහි තරයේ එල්බ සිටියෙමු. මාත්, යසන්ත කෝදාගොඩ, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න හා නීතිපති ජයන්ත ජයසූරිය ඒ සඳහා උත්සාහ ගත් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ලෙස හඳුන්වා දුනහොත් නිවැරදිය යනුවෙන් මම ඔස්ටින් ග්‍රන්ථයේ කතුවරයා ලෙස සටහනක් තබා ඇත.

ඔස්ටින් ප්‍රනාන්දුගේ විශේෂත්වය වන්නේ මෙරට විධායක ජනාධිපතිවරුන් සියල්ලන් සමඟ ඔහු තම රාජකාරි කටයුතු ඉටු කර තිබීමය. ඔහු ඒ අතීතය සිහිපත් කරන්නේ මෙසේය.

“ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් හත්දෙනා එක්කම මම වැඩ කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ මම වැඩ කරලා නැතත් ඊට පෙර වැඩ කළා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමහර අවස්ථාවල අසම්මත දෙයක් කරන්න කිවත්, කී විදිහක් තිබුණා. වැරදිලාවත් ඒක කරන්න බෑ කිවුවොත් තර්ක විතර්ක කරනවා. ඒ තර්ක කිරීමේදී පවා කළ යුතුම බව සීමාව ඉක්මවලා අණ කරන්නේ නෑ. මම නම් කියන්නේ නැහැ. එහෙත් සමහර නායකයන්ට ප්‍රතිඋත්තර බඳින්න පවා බෑ. මම සමුපකාර කොමසාරිස්ව හිටපු කාලයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අසම්මත දෙයක් කරන්න කියා නියෝගයක් නිකුත් කළා සමූපකාරයට අයිති බියර් හලක් දෙන්න කියලා. මම බෑ කීවා. මේක ගන්න බලාගෙන එක්තරා චරිතයක් හිටියා. ඔහු තමයි ජනාධිපති ලඟට ගිහින් මට ඇමතුමක් අරන් තිබුණේ. ජේ.ආර්. ඇහුවේ ඒ චරිතය එක්ක මම අරියාදුවක් තියෙනවද කියලා. මම කිව්වා මේක සමුපකාරයට අයිති, ජනතාවට අයිති දේපළක් නිසයි දෙන්න බැරි කියලා. මුලින් ජනාධිපතිවරයා වාද කළා. අන්තිමේ ඇහුවා හරි, දැන් මම නීතිය වෙනස් කළොත් තමුන්නැහේ මොකද කරන්නේ කියලා. මම කිව්වා සර් මම අකුරටම ඒ නීතිය ක්‍රියාත්මක කරන්නම් කියලා. ඒ සිදුවීමට වසරකට පස්සේ ලැයිස්තුවේ පහළ හිටපු මා උඩට අරන් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් බවට පත් කළා.

ඔස්ටින් ප්‍රනාන්දුට ඇති එක් ප්‍රධාන චෝදනාවක් නම් ඔහු එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට උපන් දිනේට ‘පිස්තෝලයක්’ තෑගි දුන් බවය. ඔහු ඒ ගැන මතකය අවදි කළේ මෙසේය.

“එල්.ටී.ටී.ඊ යුද්ධය ඉවර වුණාට පස්සේ කොළඹ මහවැලියේ තිබුණු රැස්වීමකදී ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා කියලා තිබුණා අපි ප්‍රභාකරන් මරපු තැන තිබිලා සේරම දේවල් හොයා ගත්තා. හොයා ගන්න බැරි වුණේ එකයි. ආරක්ෂක ලේකම්වරයා ඔස්ටින් ප්‍රභාකරන්ට ගිහින් දුන් ඩෙසර්ට් ඊගල් කියන පිස්තෝලේ කියලා. මේක පත්තරේ වැටුණා. ටී. වී. එකෙත් ගිහින් තිබුණා. මම ඒ වෙලාවේ හිටියෙ ලන්ඩන්වල. එතකොට මගේ දුව ඉගෙන ගන්නවා. ඒකටත් කියලා තිබුණා මම රටින් පැනලා ගිහිල්ලා කියලා. මම ලන්ඩන් ගිහින් ටික දවසකින් මගේ අම්මා නැති වුණා කියලා දැන ගත්තා. මම හණික අනිත් පැත්තට ලංකාවට ආවා. මළගෙදර ගියාම හැමෝම ඇවිත් මට බණින්න පටන් ගත්තා. ‘මොකක්ද මේ කරපු වැඩේ’ කියලා. යාළුවො මගෙන් ඇහුවා. ‘උඹ මේ දේ කළා ද’ කියලා. මම කිවුවා පිස්සුද බං මං එහෙම දේවල් කරනවාද කියලා. මම මේක අහන්න ඩලස් ඇමැතිතුමාට කී පාරක් කෝල් ගත්තා ද ෆෝන් එකට ආවේ නෑ. අන්තිමට මම ඒ ප්‍රවෘත්තිය පළ කරපු පත්තරේට නිවැරැදි කිරීමක් ඇරියා. ඒත් ඒක අද වෙනකම් පළ කළේ නැහැ.’

ජාත්‍යන්තර ප්‍රකාශකයන් නම් ඔස්ටින් ප්‍රනාන්දු වැනි චරිත අධ්‍යයනය කොට ඔවුන්ගේ ජීවිත කතා පොත් වශයෙන් පළ කරන්නට පියවර ගන්නේ එය හුදෙක් රාජ්‍ය නිලධාරියකුගේ රාජකාරි ජීවිතයේ හුදු ඕපාදූප ගොඩක් පමණක් නොව එය රටක දේශපාලන, සමාජීය ඉතිහාසය ගැන කදිම ලිඛිත ප්‍රායෝගික සටහනක් වන නිසාය.

මේ ලිපිය අවසානයට මේ කෘතියේ පසුවදනින් කොටසක් උපුටා ගන්නේ ඒ නිසාමය.

සමකාලීන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථාන කිහිපයකදී, සංකීර්ණ භූමිකාවල නිරත වූ ඔස්ටින් ප්‍රනාන්දු, සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ 2001 – 2003 සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය හා 2017 – 2018 සමයේ ජනාධිපති ලේකම් ධුරය දරමින් රාජ්‍ය සේවයේ නියැළුණේය. ඒ හැරෙන්නට, රාජ්‍ය සේවයේ උසස් වගකීම් රැසක් දරා ඇති ඔහු, පෞද්ගලික හා අන්තර්ජාතික ආයතනික කාර්යභාරවල නියැළීම හේතුවෙන් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඇතැම් මතභේදාත්මක සිදුවීම්වල ජීවමාන සාක්ෂිකරුවකු බවට ද පත්වේ.

ඔහු සිය දීර්ඝකාලීන අත්දැකීම් දෙස මැදිහත් සිතින් කළ අවලෝකනයකි, “මම, ඔස්ටින්” කෘතිය. ලාංකේය දේශපාලන හා පරිපාලන ක්ෂේත්‍ර පිළිබඳව ජන මාධ්‍යයෙහි හෝ අන් තැනක ලේඛනගත නොවූ සත්‍යය සහ සංකීර්ණතා වටහා ගැනීමට මේ කෘතිය කවුළුවක් විවර කර දෙයි. ඒ තුළින් පාඨකයාට රාජ්‍ය තන්ත්‍රය හා රාජ්‍ය තාන්ත්‍රිකයන් ගැන මෙන් ම දේශපාලනය සහ සමාජය තුළ ගැබ් වී ඇති මිනිස් ස්වභාවයේ විශිෂ්ටත්වය ද, දුර්වලත්වය ද, සංකීර්ණත්වය ද දැකිය හැකිය. “මම, ඔස්ටින්” කෘතිය ස්වයං අපදානයක් මෙන් ම කාලෝචිත සමාජ කතිකාවතකි.

ඡායාරූප – මාලන් කරුණාරත්න

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division