Home » පරිසරයට වින කරන අපේ නොවී අපේ වුණු සතුන් සහ ශාක

පරිසරයට වින කරන අපේ නොවී අපේ වුණු සතුන් සහ ශාක

by gayan
December 9, 2023 12:30 am 0 comment

සෑම ජීවියකුටම උපන් භූමියක් ඇත. එය මිනිසුන්ට මෙන්ම සතුන් සහ ශාකවලට ද පොදු නියමයකි. එහෙත් යම්කිසි ජීවියකු හෝ සත්ත්වයකු තමන් ස්වාභාවිකව පැතිරුණු හෝ ව්‍යාප්ත වීමේ සම්භාවිතාව ඇති ප්‍රදේශයෙන් පිටත ව්‍යාප්ත වී සිටී නම් එම ජීවියා ආක්‍රමණශීලි ආගන්තුක ජීවියකු ලෙස හඳුන්වනු ලබයි. සරලව පෙනුණ ද මෙය බරපතළ සංකීර්ණ කරුණක් බව පරිසරවේදී විශේෂඥයන්ගේ අදහසයි. ඒ, ආගන්තුක ආක්‍රමණශීලි ජීවීන් ජෛව විවිධත්වයට හානි කරන ප්‍රධාන දෙවැනි හේතුව බව හඳුනා ගෙන ඇති නිසාය.

එවැනි ආගන්තුක ආක්‍රමණශීලි සතුන් සහ ජීවීන් ඔබේ ගෙවත්තේ ද සිටින බව ඇතැම් විට ඔබ ද නොදන්නවා විය හැකිය. එහෙත් ඔවුන්ගෙන් පරිසරට සිදු වන හානිය බරපතළය. වසර 2017දී පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය විසින් ආක්‍රමණශීලි ආගන්තුක ජීවී විශේෂ හඳුනා ගැනීමේ රූපමය මාර්ගෝපදේශකය නිකුත් කරනු ලැබුවේ එම ජීවීන්ගෙන් පරිසරයට සිදු වන බරපතළ හානිය සැලකිල්ලට ගනිමිනි. එම මාර්ගෝපදේශකයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව ආක්‍රමණශීලි ආගන්තුක සත්ත්ව විශේෂ 8ක් සහ ශාක විශේෂ 20ක් ඇති බව අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්) පද්මා අබේකෝන් සඳහන් කළාය. එම ආක්‍රමණශීලි ආගන්තුක ජීවී විශේෂ හඳුන්වා දීම සහ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, උපායමාර්ග හා ක්‍රියාකාරී සැලැස්මක් පරිසර අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ආක්‍රමණශීලි ආගන්තුක ජීවී විශේෂ පාලනය සම්බන්ධයෙන් මහජනතාවගේ දැනුම්වත්භාවය ඉතා අත්‍යවශ්‍ය බව ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුජීවා ප්‍රනාන්දු අවධාරණය කළාය.

ශාක පිළිබඳ විද්‍යාත්මක දැනුම් සහ අත්දැකීම් සම්භාරයකින් සන්නද්ධ හිටපු උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ, මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසන්නේ සෑම ශාකයකටම භූගෝලීය ඉතිහාසයක්, රටාවක් පවතින බවය.

අපේ රටේ ප්‍රධාන ආර්ථික බෝග, රසවත්ම පලතුරු, සෙවණ දෙන ගස්, අලංකාරය සඳහා වවන මල්, ප්‍රධාන එළවළු මේ සියල්ලම අපේ රටට හඳුන්වා දුන් ශාකයි. අපි ඉතාම පූජනීයත්වයෙන් සලකන වැඳුම් පිදුම් කරන ශ්‍රී මහා බෝධීන්වහන්සේත් අවුරුදු දෙදහස් ගාණකට කලින් ඉන්දියාවෙන් අපේ රට හඳුන්වා දුන් ශාකයක්. සමහර ශාක පිටරටින් අපේ රටට ඇවිත් අපේ රටට ස්වාභාවික වී තිබෙනවා. ඒ කියන්නේ ඒ ශාක අපේ නොවුණත් දැන් අපේ බවට පත් වෙලා තියෙනවා. එවැනි ශාක දෙසියයක් පමණ තිබෙනවා. මේ වන විට දේශීය ශාක 3,100ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව අපේ රටේ සම්භවය සහිත, ඒක දේශීය ශාක 853ක් තිබෙනවා. ලෝකයේ විවිධ සතුන් සහ ශාක සඳහා ජෛව භූගෝලීය කලාප වෙන්වී තිබෙනවා. එහෙම වෙන්වී තිබෙන්නේ එම කලාප අතර තිබෙන බාධක නිසයි. නමුත් මිනිස් සංචරණ සහ වාණිජකරණය නිසා දැන් එවැනි බාධක බිඳ වැටී තිබෙනවා. ගුවනින්, සාගරය හරහා සිදු වන සංචරණ නිසා භූගෝල කලාප අතර තිබෙන විවිධත්වය නැතිවෙලා තිබෙනවා. ආක්‍රමණශීලි ආගන්තුක ශාක ප්‍රචාරණයට එයත් හේතුවක්. ආක්‍රමණික කියන්නේ සතුරු ආකාරයකින් යම් භූමියක් හෝ ප්‍රදේශයක් ආක්‍රමණය කිරීම.

ඇතැම් ශාක අපේ රටේම විවිධ ප්‍රදේශවල ශීඝ්‍රයෙන් පැතිරී තිබෙනවා. නමුත් එය පිටරටකින් පැමිණි ශාකයක් නෙවෙයි. එය පරාස ප්‍රසාරණය වැනි තත්ත්වයක්. ආක්‍රමණශීලි සහ ආගන්තුක ශාක ලෙස නිර්වචනය කළ හැක්කේ හඳුන්වා දීම හෝ ව්‍යාප්තිය නිසා ජෛව විවිධත්වයට හානි සිදු කරන ශාක විශේෂයි.

වේගවත් වර්ධනය, ශීඝ්‍ර ප්‍රජනනය, වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව, සරු නැති බිම්වල පවා වැඩීම, පොහොර සහ ජලය නොමැතිව වැඩීම, ඕනෑම පාරිසරික තත්ත්වයකට ඔරොත්තු දීමේ හැකියාව, පවතින බාහිර තත්ත්වයන්ට අනුකූලව වර්ධක අවස්ථා වෙනස් කිරීමේ හැකියාව, ආහාර වර්ග ගණනාවක් මත යැපීමේ හැකියාව සහ සාර්ථකව ආක්‍රමණය කිරීමේ හැකියාව ආක්‍රමණශීලි සහ ආගන්තුක ශාකවල දැකිය හැකි විශේෂිත ලක්ෂණ බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

එවැනි ආක්‍රමණශීලි ශාක දේශීය ශාකවලට පළමුව මල් පුබුදන බැවින් එම මල් වෙත රොද බඳින බමරු දේශීය ශාකවල මල් වෙත නොපැමිණෙන බැවින් එම මල්වල පරාගනයක් සිදු නොවේ. එහෙත් බමරුන්ගේ වැඩි ආකර්ෂණය ලක්වන ආක්‍රමණශීලී ශාක පරාගනය වැඩි වශයෙන් සිදු වෙමින් එම ශාකවල ව්‍යාප්තියට මඟ සලසයි.

ජෛව විවිධත්වයට අහිතකර බලපෑම් එල්ල කරන එවැනි ආක්‍රමණශීලි ශාක විශේෂ රැසක් අප අවට පරිසරයෙහි වේ. ආක්‍රමණශීලි ජීවී කළමනාකරණය පියවර ගණනාවක් ඔස්සේ සිදු කළ යුත්තක් බව විද්වත් අදහසයි.

ආගන්තුක හැම ජීවියෙක් සහ ශාකයක්ම නිතරම ආක්‍රමණශීලි වන්නේ නැහැ. කොස්, පොල්, රබර්, තේ පවා අපේ රටට ආවේණික ශාක නොවෙයි. එවැනි ශාක නිසි කලමණාකරණය යටතේ අපට ආක්‍රමණශීලි නොවී පවත්වාගෙන යා හැකියි. ඇතැම් ශාක සහ සතුන් අප කළමනාකරණය නොකළත් ආක්‍රමණශීලි වන්නේ නැහැ. වැදගත්ම කරුණ රට ඇතුළට එන ශාක ආක්‍රමණශීලි විය හැකි ආකාරය හඳුනා ගැනීමයි. එසේ හඳුනාගත් විට ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි. සමහර ඒවා පාලනය කළ හැකියි. ඇතැම් ශාක සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුයි. ඒ, අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්) පද්මා අබේකෝන් මතු කළ තවත් අදහසකි. ආක්‍රමණශීලි ආගන්තුක ජීවීන් පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පැවසුවේ ආක්‍රමණශීලි තත්ත්වයට පත්වන්නේ හඳුන්වා දුන් සතුන් හෝ ශාක බැවින් එම හඳුන්වා දීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතු බවයි. මෙරට රැගෙන ආවට පසු අවදානම වළක්වා ගැනීමට කටයුතු කරනවාට වඩා හඳුන්වා දෙන ශාක හා සතුන් මෙරටට ගෙන ඒමට ප්‍රථම අවදානම් තක්සේරුවක් සිදු කොට අවදානම් රහිත හා ඉතා අඩු අවදානමක් තිබෙන ජීවීන් පමණක් ගෙන ආ යුතු බව ද හෙතෙම පැවසීය.

කුමන ක්‍රමවේද භාවිත කළත් ආක්‍රමණශීලි ආගන්තුක සතුන් සහ ශාක නැවත නැවත ස්ථාපනය වීම විශාල ගැටලුවක්. ආක්‍රමණශීලි සතුන් බොහෝ දෙනෙකුට විලෝපිකයන් නැහැ. ඒ නිසා ඔවුන් වේගයෙන් පැතිරෙනවා. ඇතැම් ආක්‍රමණශීලි සතුන් සහ ශාක අපේ සතුන් සහ ශාක විදිහට බාර අරගෙන ඔවුන් පාලනය නොකර ඉන්න උත්සාහ කිරීමත් ඒවායේ වර්ධනයට තවත් හේතුවක්. ආක්‍රමණශීලි ආගන්තුක ජීවීන් වෙනුවෙන් පෙනී සිටින විදේශ රටවල සිටින විද්‍යාඥයන් ඇතැම් සමාගම් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ආක්‍රමණශීලී සතුන්ගෙන් හානියක් නැහැ කියන මතය සමාජගත කිරීමටත් උත්සාහ කරනවා. එය ඉතා අදූරදර්ශී කටයුත්තක්. වසර 2016දී සකස් කළ ආක්‍රමණශීලි ආගන්තුක ජීවින් පිළිබඳ ප්‍රමුඛතා ලැයිස්තුව කඩිනමින් යාවත්කාලීන විය යුතුව තිබෙනවා.

උදාහරණයක් විදිහට අපි කවුරුත් එතරම් තැකීමක් නොකරන ගප්පියා 1929දී හඳුන්වා දුන්නේ විසිතුරු මත්ස්‍යයෙක් විදිහටයි. 1931දී මදුරු මර්දක මාළුවෙක් විදිහට හඳුන්වා දුන් ගප්පියා ඉතා දරුණු ආක්‍රමණිකයෙක්. ජලජ පරිසයේ ජීවත්වන මත්ස්‍ය පැටවු, බිත්තර සහ අපට අවේණික උභය ජීවින්ගේ ඉස්ගෙඩි අවස්ථා සහ බිත්තර විනාශ කරනවා.

එම නිසා එම මත්ස්‍යයන් ඇති කරන අයට දැඩි නිර්නායක දෙන්න, එම මත්ස්‍යයන් ස්වාභාවික පරිසරයට මුදා හැරීම තහනම් කරන්න කියලා මම යෝජනා කළා. නමුත් පසුකාලීනව ගප්පියා මඩ පොකුණු ආශ්‍රිතව ඇති කරපු අයත් හිටියා. ගුරාමි විශේෂ 10ක් පමණ ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන්ගේ චර්යාවන් කෙසේ වෙයිද කියලා අපි දන්නෙ නැහැ. යෝධ ගුරාමියා සම්පූර්ණයෙන් ශාක භක්ෂකයෙක්. ඔවුන් ආක්‍රමණිකයො වුණොත් අපේ ජලජ ශාකවලට විශාල තර්ජනයක් විය හැකියි. එම නිසා පූර්ව ආරක්ෂක මූලධර්මය අනුව නිතරම විමසිල්ලෙන් සිටීම වැදගත්. ඊට හේතුව පරිසර තත්ත්වය වෙනස්වන විට එම ආගන්තුක සතුන්ගේ හැසිරීම වෙනස් විය හැකියි.

මෙහිදී ආචාර්ය ජගත් ගුණවර්ධන තවත් සුවිශේෂී කරුණක් අනාවරණය කළේය. ඒ බොහෝ දෙනා නිවෙස්වල හුරතලයට ඇති කරන බළලුන් සහ සුනඛයන් ගැනය.

බොහෝ දෙනෙක් බළලා හඳුනන්නේ ඉතාම සුරතල් සතෙක් විදිහට. නමුත් මිනිස් ඇසුරෙන් ගිහින් අයිතිකාරයෙක් නැතිව වන වැදුණු බළලුන් හඳුන්වන්නේ ලොව දරුණුම ආක්‍රමණික සතෙක් විදිහටයි.

එවැනි බළලුන්ගෙන් ජෛව විවිධත්වයට විශාල විනාශයක් සිදු වෙනවා. ඊට හේතුව බළලා ඉක්මනින් බෝවන සතෙක්. සුනඛයාට සාපේක්ෂව බළලා සම්පූර්ණයෙන්ම මිනිසාට හීලෑ නොවූ ආක්‍රමණශීලි සත්ත්වයෙක්. ඔහු තුළ දඩයම්කාරී ලක්ෂණ බහුලව තිබෙනවා. නිවෙස්වල ඇති කරන බළලාගෙන් කාටවත් කරදරයක් නොවුණට නාගරික, ග්‍රාමීය පරිසරයෙන් ඈත්වෙලා වෙනම ජීවත් වෙන බළලුන් ගැන අවධානයෙන් සිටිය යුතුයි. ඒ වගේම මිනිස් ඇසුරෙන් මිදිලා වනගත වෙන සුනඛයන් වනගත වුණාම රංචු හැදිලා දඩයම් කරනවා. මේ හැම සතෙක්ම තමන්ගෙ පරිසරයෙන් එළියට ගියාම හානිකර විය හැකියි. ආක්‍රමණශීලි ආගන්තුක ජීවීන් මැඬලීම සඳහා ඇති නීතිමය ප්‍රතිපාදන පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පරිසරවේදී, නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පැවසුවේ එවැනි ජීවීන් ලංකාවට ගෙනඒමට පෙර හඳුනා ගැනීම වඩා වැදගත් වන බවයි. ඊට හේතුව ගෙන ආවට පසු පාලනය කිරීම සංකීර්ණ සහ දුෂ්කර කාර්යයක් වන නිසාය. සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත, වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත, රේගු ආඥා පනත, ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණ පනත සහ ශාක ආරක්ෂණ පනත යන පනත් පහ යටතේ මේ පිළිබඳ නීතිමය ප්‍රතිපාදන සලසා ඇත.

විශේෂයෙන් ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණ පනත යටතේ සහ ශාක ආරක්ෂණ පනත යටතේ සිදුවිය යුතු සංශෝධන සම්බන්ධයෙන් ද ආචාර්ය ජගත් ගුණවර්ධන වැඩිදුරටත් අදහස් දැක්වීය.

ශාක ආරක්ෂණ පනතේ 12 වැනි වගන්තිය යටතේ යම්කිසි ශාකයක් ළඟ තබා ගැනීම, ප්‍රචාරණය සහ බෝ වීම තහනම් කිරීම, පාලනය කළ හැකියි. ඒ වගේම තමා හිතාමතාම නොවූවත් තමාට අයිති වත්තක හෝ බදු අයිතිය තිබෙන පරිශ්‍රයක එවැනි ශාකයක් හමුවුණොත් එය විනාශ කරන්න ඔහු බැඳී සිටිනවා. මීට පෙර තිබුණු 1924 අංක 10 දරන ශාක ආරක්ෂණ පනත යටතේ ජපන් ජබර සහ සැල්වීනියා තමන්ගේ පරිශ්‍රය තුළ තබාගැනීම තහනම් කළ ශාකයක් බව බොහෝ අයට අමතකයි.

ඇතැම් අය ජපන්ජබර ශාකය මාළු ටැංකිවල හදනවා. පනතේ හැටියට එය වරදක්. එම නිසා අතීතයට ගිහින් මේ නියෝග එළියට අරන් නැවත ක්‍රියාත්මක කළ යුතු බව සහ ජනතාව දැනුම්වත් කළ යුතු බව මගේ අදහසයි. ඒ වගේම 2007 අංක 12 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනතේ 2,3 වගන්ති අනුව තමන්ගේ පරිශ්‍රයේ හිස්ටියා හෙවත් දියගෝවා, දියපරඬැල් ශාකය තබා ගැනීමත් තහනම්. එම ශාකය මදුරු කීටයන් බෝවීමට හොඳ උපස්තරයක් සකස් කරනවා. මෙවැනි කාරණා ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.

එමෙන්ම දැනට මේ සම්බන්ධයෙන් පවතින කිසිදු පනතක අවදානම් තක්සේරුවක් කළ යුතු බව සඳහන් නොවීම ද අඩුපාඩුවක් බව ආචාර්ය ජගත් ගුණවර්ධනගේ අදහසයි.

ශාක ආරක්ෂණ පනත යටතේ යම්කිසි ශාකයක් ගෙන ඒමේදී අවදානම් තක්සේරුවක් ඉල්ලීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ආක්‍රමණශීලි, ආගන්තුක ජීවීන් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති යටතේ ද අවදානම් තක්සේරුවක් ඉල්ලා සිටීමට නීතියෙන් අවස්ථාව ලැබී තිබෙනවා. එම අවදානම් තක්සේරුව නීතිගත කළොත් නීතිමය තත්ත්වය මීට වඩා ශක්තිමත් වෙන නිසා එයත් ගෙන ආ යුතුයි. ඒ වගේම තහනම් ලේඛනය යාවත්කාලීන කර අදාළ ආයතනවලට ලබා දී ප්‍රකාශයට පත්කිරීම සහ දැනට ස්ථාපනය වී ඇති ආක්‍රමණශීලී ආගන්තුක ශාක හා සතුන් ව්‍යාප්ත වීම වැළැක්වීමත් යම් කිසි සතෙක් හෝ ශාකයක් මුදා හැරීමක් සිදු වී ඇති විටෙක ඒ පිළිබඳ කටයුතු කඩිනම් කිරීමේ සැලසුමක් නීතිගත කිරීමටත් මම යෝජනා කරනවා.

විශේෂයෙන් යම්කිසි ශාකයක් ලංකාවට ගෙනාවට පසු පාලනය කරන ආකාරය ගැන පනතේ සඳහන් වුවත් එහිදී සතුන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතේ හෝ ධීවර සහ ජලජ සම්පත් පනතේ සඳහන් කර නැහැ. එයද සපුරාලිය යුතු නීතිමය අඩුපාඩුවක්.

නීතිමය කරුණු කාරණා එසේ වුව ද ජෛව විවිධත්වයට හානි කරන ආක්‍රමණශීලි ශාක සහ සතුන් මැඬලීම මහජනතාවට ද විශාල වගකීමක් ඇති බව විද්වත් අදහසයි. ඔබේ ගෙවත්තේ මෙතෙක් දැක නැති අලුත් පැලෑටියක් පැළ වී තිබෙනවා නම් ඒ පිළිබඳ දැනුම්වත් වීම සහ අදාළ ආයතන දැනුම්වත් කිරීම වැදගත්ය.

ඔබ කිසියම් ජලාශයක ආගන්තුක පැළෑටියක් දුටුවහොත් ඒ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ මහවැලි අධිකාරියටත් පරිසරයේ යම් කිසි තැනක ආගන්තුක පැළෑටියක් දුටුවහොත් පරිසර අධිකාරියට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකි බවත් අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්)පද්මා අබේකෝන් සඳහන් කළාය.

ඡායාරූප මාලන් කරුණාරත්න

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division