Home » ලොව විශාලතම ස්තූපය ලෙස නම් ලද ජේතවනාරාමය

ලොව විශාලතම ස්තූපය ලෙස නම් ලද ජේතවනාරාමය

by gayan
November 18, 2023 12:30 am 0 comment

හින්දාගමනයෙන් මෙරටට ලැබුණු බුදු දහමට වරින් වර විවිධ ධර්ම කොටස් එක් වූ අතර එම ධර්ම කොටස් බුදු දහමේ මූලික හරයට ගැටලුවක් නොවීය. එහෙත් ගෝඨාභය රජුගේ රාජ්‍ය පාලන සමයේදී (ක්‍රිස්තු වර්ෂ 253-266) මහා විහාරයේ සහ අභයගිරියේ භික්ෂූන් අතර මතභේදයක් ඇති විය. මෙම මතභේදයට හේතු සාධක වූයේ වෛතුල්‍යවාදය නමින් හැඳින්වූ මහායාන ඌරුව ගත් ධර්මයක් නිසාය. මහා විහාරයේ ‍ථේරවාද ධර්මය හොඳින් දැන සිටි ගෝඨාභය රජු, වෛතුල්‍යවාදය වැලඳගත් භික්‍ෂූන් 60 නමක් අභයගිරියෙන් නෙරපා හැරියේය. එසේ නෙරපන ලද භික්ෂූන් වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ සංඝමිත්ත නම් හිමිනමක් තම ගුරු හිමියන්ට වූ අකටයුත්තට පළි ගැනීමට තීරණය කළේය. ඒ අනුව සංඝමිත්ත ඉන්දියාවට ගොස් කලකට පසුව යළි මෙරටට පැමිණ ගෝඨාභය රජුගේ සිත් දිනාගෙන රජුගේ පුතුන් දෙදෙනා වන මහසෙන් හා ජෙට්ඨතිස්සට ඉගැන්වීමේ කාර්යය පවරා ගත්තේය. ගෝඨාභය රජුගේ අභාවයෙන් ජෙට්ඨතිස්ස කුමරු රාජ්‍යත්වයට පත් වූ අතර ඔහු වසර 10ක් (ක්‍රි.ව. 266-276) රජකම් කළේය. ජෙට්ඨතිස්ස රජු සමඟ මහාවිහාර භික්ෂූන් සමීපව ඇසුරු කළ අතර එය දුටු සංඝමිත්ත යුවරජු වූ මහසෙන් හැකිතරම් මහාවිහාරයෙන් ඈත් කරන්නට විය.

ජෙට්ඨතිස්සගෙන් පසුව මහසෙන් රජකමට පත් විය. මහාවිහාරික භික්ෂූන්ට කිසිදු විනයක් නැති බවත්, අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේ පමණක් බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය අනුව කටයුතු කරන බවත් සංඝමිත්ත විසින් මහසෙන් රජුට ඒත්තු ගැන්වීය. ඒ අනුව මහසෙන් රජු විසින් මහාවිහාරික භික්ෂූන්ට දානය පිරිනැමීම පවා තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය. දානය පිරිනමන අයට දඬුවම් නියම කරන ලදි.

ඒ අනුව මහා විහාරික භික්ෂූහු රජරටින් බැහැර වුහ. ඉන් පසුව මහසෙන් රජු විසින් මහාවිහාරය බිමට සමතලා කර එහි උඳු වැවූ බව සඳහන්ය.

පසුව මහා විහාර සීමාව තුළම නව ආරාමයක් ඉදි කරවා ගත්තේය. ජේතවනාරාමය නොහොත් ජේතවන විහාරය ලෙස එය හැඳින්විණි. එහෙත් මහසෙන් රජුගේ බිසව මේ අකටයුත්ත ගැන හොඳින් දැන ගත්තේ මහ සෙනෙවියකු මඟිනි. පසුව ථේරවාදී බුදු සසුනට කරන මේ විනාශය දුටු බිසව උපක්‍රමශීලිව සංඝමිත්ත ඝාතනය කරවීය.

අනෙක් සියලු දාගැබ් ඉක්මවා යනු පිණිස ජේතවනාරාම ස්තූපය අඩි 400 (මීටර් 122) උසකට ඉදි කරන ලදි. එය ලොව ඇති උසම ස්තූපය ද වන්නේය. ස්තූපයේ වට ප්‍රමාණය අඩි 1,200 ක් පමණ වන අතර එහි වර්තමාන උස පවා අඩි 250ක් පමණ වේ. සලපතළ මළුව මත නැඟෙනහිර සිට බටහිරට සහ උතුරේ සිට දකුණට ආසන්න වශයෙන් අඩි 580 ක ගල් සහිත වේදිකාවක් මත රැඳී ඇති ජේතවනාරාමය අඩි 125 ක පළලින් යුත් වැලි මළුවකින් ද සමන්විතය.

මහසෙන් රජු ඔහුගේ පාලන සමයේදී (ක්‍රි.ව. 276 – 303) ජේතවනාරාමය ඉදිකිරීම ආරම්භ කළ අතර ඔහුගේ පුත් සිරිමේඝවණ්ණ රජු එය නිම කළේය.

මිහිඳු මහරහතන් වහන්සේ ආදාහනය කළ සෑය මත ස්තූපය ඉදි කර ඇතැයි සැලකේ.

එමෙන්ම ජේතවනාරාමය ඉදි කිරීම සම්බන්ධ තවත් ජනප්‍රවාදයක තිබෙන්නේ මහා විහාරය විනාශ කිරීම ගැන පසුව කනගාටු වූ රජතුමා විසින් ලොව විශාලම ස්තූපය ලෙසින් ජේතවනාරාමය ඉදි කළ බවයි.

බුදුරජාණන් වහන්සේගේ බඳ පටිය නිදන් කරමින් ස්තූපය ගොඩ නැංවූ බව ජනප්‍රවාදයේ සඳහන්ව තිබේ. ඒ අනුව ස්තූපය පාරිභෝගික චෛත්‍යයක් ලෙස හඳුන්වා දිය හැකිය. ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැඟිල්ල ද ජේතවනාරාමය වේ.

ස්තූපය ඉදි කිරීමට පිලිස්සූ ගඩොල් 93,300,000 ක් පමණ භාවිත කළ බවට අනුමාන කර තිබේ.

මහා විහාරය මෙන්ම ජේතවනාරාමය ද අධ්‍යාපනික ආයතනයක් විය. එයට විදෙස් රටවලින් පවා අධ්‍යාපනය පිණිස භික්ෂූන් වහන්සේ වැඩම කළ බව සඳහන්ය.

වර්තමාන ජේතවනාරාම පරිශ්‍රය පවා අක්කර 8 ක් පමණ භූමියකින් යුක්ත වන්නේය. බෞද්ධ භික්ෂූන් 3000ට වඩා වැඩ සිටීමට එහි පහසුකම් තිබී ඇත. ස්තූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා පළලින් යුතු පිය ගැට පෙළ අඩි 28 ක් පමණ එහි ස්ථාපිතය. එහි ඇති පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 ක් වන්නේය. ස්තූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට සකස් කර ඇති බව සොයා ගෙන ඇති අතර එය පිහිටි ගල මත ඉදි කර ඇත.

ජේතවනාරාමය භික්ෂූන් වහන්සේ නේවාසිකව වැඩ සිටි ආරාම සංකීර්ණයකි. ස්තූපය අවට නටබුන් රැසකි. ඒ අතර සංඝාරාමයකට අවශ්‍ය සියලු ගොඩනැඟිලි වෙයි. මහසෙන් රජු හා ඔහුගෙන් පසුව පැමිණි රජවරුන් විසින් ඒ ඉදි කිරීම් සිදු කර තිබේ.

මේ අතුරින් ජේතවනාරාම සන්නිපාත ශාලාවට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ජේතවන සභා ශාලාව නමින් ද හඳුන්වා ඇති එය භාවිත කර ඇත්තේ ජේතවනාරාම විහාරයේ භික්ෂූන් වහන්සේගේ රැස්වීම් පැවැත්වීම සඳහාය. ඒ උදෙසා සන්නිපාත ශාලාවේ සිවු දෙසින්ම දොරටු ස්ථාපිත කර ඇත. එමෙන්ම දීර්ඝ ගල් බංකු අසුන් ලෙස භාවිත කර ඇති ලකුණු තිබේ. ජේතවනාරාම විහාර සංකීර්ණයේ විවෘත ස්ථානයක මෙම සන්නිපාත ශාලාව ඉදිකර ඇති අතර එමනිසා ඕනෑම අයකුට ශාලාවට පහසුවෙන් ළඟා වීමේ ඉඩකඩ සලසා තිබේ. සිවුපස සියලු දොරටු අලංකාර කැටයමින් යුක්ත කර තිබී ඇති බවට සාක්ෂි අදටත් දක්නට ඇත‍.

ගරාදි වැට සහිත ජේතවනාරාම ගොඩනැඟිල්ල ජේතවන ආරාම සංකීර්ණයේ වටිනා ශෛලමය නිර්මාණයකි. විහාර සංකීර්ණයේ, සිවු දිශාවෙන් දොරටු සහිතව නිර්මාණය කළ චතුරස්‍රාකාර ගොඩනැඟිල්ල වටා නිර්මාණය කළ ශෛලමය වැට දැක ගත හැකිය.

මේ ශෛලමය වැට ඇතුළතින් ප්‍රතිමාවල පාදම්, ශෛලමය ආසන, ප්‍රතිමා කොටස් සහ ගන්ධාර සම්ප්‍රදායේ ඉදි කිරීම් සාධක ආදිය හොයාගෙන ඇත. එමෙන්ම මේ ස්ථානය දෙවෙනි අග්බෝ රාජ්‍ය සමයේ (ක්‍රි.ව 608 – 618) හෝ දෙවෙනි දප්පුල රාජ්‍ය සමයේ (ක්‍රි.ව 815 – 831) ඩදි කරන්නට ඇති බවට අනුමාන කෙරේ.

එසේම දියසෙන් පාය නමින් හැඳින්වෙන ජේතවනාරාම පොහොය ගෙය 5 වන මිහිඳු රජු විසින් ඉදි කරන ලද තවත් වැදගත් නිර්මාණයකි. පැරැණි ගල් කණු 176ක් එහි දක්නට ඇත. එහි පහළ මාලය උපසම්පදා කටයුතු සඳහා භාවිත කර ඇති ඉහළ මාලය නේවාසිකාගාරයක් ලෙස භාවිත කර තිබේ. පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ අභයගිරියේ පොහොය ගෙයට සමාන සැලසුමකට අනුව එය තනා ඇති බවයි.

ස්තූපය අසල ආවාස සංකීර්ණය මධ්‍යයේ පිහිටලා ඇති ශෛලමය මණ්ඩපය ජේතවනාරාම “ධර්ම සංගනී ගෘහය” හෙවත් ජේතවනාරාම ධර්ම මණ්ඩපය ලෙස හඳුනා ගෙන ඇත. වෘත්තාකාර වියනකින් එය සමන්විත වූ බවට, මණ්ඩපය වටා ඇති ගල් කණුවලින් හෙළිව ඇත.

එසේම ජේතවනාරාමයට සම්බන්ධ ප්‍රධාන පොකුණු දෙකක් අදටත් දැකගත හැකිය.

ස්තූපය පිටුපසට වන්නට ගල් පුවරු භාවිතයෙන් චතුරස්‍රාකාර හැඩයට නිර්මාණය කර ඇති පොකුණු අතර එක් පොකුණක් ආගමික වතාවත් උදෙසා ජලය ලබා ගන්නා ලද්දකි. එහි සිදු කළ කැණීම්වලින් ලක්ෂ්මි දෙවඟනගේ ලෝකඩ පිළිමයක් සහ ජලාශ්‍රිතව ජීවත් වන සත්ත්ව රූප සහිත ශෛලමය මංජුසාවක් සොයා ගෙන ඇත.

අනෙක් පොකුණ ජේතවනාරාම නැඟෙනහිර සීමා ප්‍රාකාරය ආසන්නයේ පිහිටා ඇත. එම පොකුණ ආසන්නයේ ජේතවනාරාම දාන ශාලාව පිහිටා තිබුණු හෙයින් එම පොකුණ දාන ශාලාවේ භික්ෂූන්ගේ ජල අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක් බව පැවසේ.

ජේතවනාරාම විහාර සංකීර්ණයට අයත් ප්‍රධාන පිළිම ගෙවල් දෙකක් ද දැකගත හැකිය.

ජේතවනාරාම විහාර සංකීර්ණයේ නැඟෙනහිර දිශාවට වන්නට ස්ථාපිත පිළිම ගෙය ජේතවනාරාම විහාර සංකීර්ණයේ පැරණිතම පිළිමගෙය ලෙස සැලකේ. එම පිළිමගෙය දෙපැත්තෙන් පරිවාර පිළිම ගෙවල් දෙකක නටබුන් දැක ගත හැකිය.

ජේතවනාරාම විහාර සංකීර්ණයේ භූමි මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි ස්ථානයේ මේ පිළිම ගෙය ස්ථාපිතය. ප්‍රාකාරය ඇතුළට පස් පුරවා මේ පිළිම ගෙය සහිත භූමිය පොළොව මට්ටමෙන් ඔසවා ඇති බව පැහැදිලිය.

ජේතවනාරාම ස්තූපයට ඇතුළුවෙන ප්‍රධාන පිවිසුමට, ප්‍රතිවිරුද්ධව දිශාවට වන්නට ඇති අනෙක් පිළිමගෙය ජේතවනාරාම විහාර සංකීර්ණයේ ප්‍රධාන බුදු මැදුර ලෙස පිළිගෙන ඇත. 9 වෙනි සියවසට හෝ ඊට පෙර කාලයට අයත් නිර්මාණයක් ලෙස මේ ගොඩනැඟිල්ල ගෙඩිගේ සම්ප්‍රදායට ඉදි කර ඇත. පිළිම ගෙය තුළ විශාල පද්මාසනයක් ද ඇත.

පිළිම ගෙයි ජනේල සහ ජනේල රාමු සුරක්ෂිතව ඇති අතර පිළිම ගේ වටා ප්‍රදක්ෂිණා පථයක් ද තිබුණු ලකුණු පැහැදිලිය.

පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ පිළිම ගෙය ගින්නකින් විනාශ වී ඇති බවයි. පිළිම ගෙයට ඇතුළුවන ස්ථානයේ දොරටුව අඩි 27ක උසකින් යුක්තය. අතීතයේ සධාතුක කරඬුව සහිත හස්තියා පිළිම ගේ තුළටම ගෙන යන්නට ඇති බවත් හස්තියාට ඇතුළු වන්නට හැකි ලෙසින් එය අඩි 27ක උසින් තනන්නට ඇති බවත් පුරාවිද්‍යාඥ මතයයි. ප්‍රධාන පිළිම ගෙයට අමතරව පරිවාර පිළිම ගෙවල් දෙකක් ද තිබෙන්නට ඇති බවත් සැලකේ.

ජේතවනාරාමයේ ප්‍රධාන පටිමාඝරය ස්තූපයට මුහුණලා එයට බටහිරින් පිහිටා තිබේ. අතිවිශාල හිටි බුදු පිළිමයක ආසනයේ කොටසක් හා එයට යටින් වූ ගර්භ පත්‍රය දැනට දක්නට ඇත. ගර්භ ගර්භපාත්‍රයේ ගර්භ 25 ක් පමණ ඇති අතර එහි විශාලත්වය අනුව පිළිමය ඉතා විශාල බව තීරණය කළ හැකිය. එතරම් විශාල ගර්භ පාත්‍රයක් වෙනත් තැනකින් හමුවී නැත.

අටවෙනි සියවසට පෙර කරවන ලද ස්තූපයට දකුණු පසින් බෝධිඝරය දක්නට ඇත. ගොඩනැඟිල්ලට ආසන්නව ඇති හතරැස් ගල් ගරාදි වැට සහිත ගොඩනැඟිල්ල ජේතවනාරාමයේ බෝධිඝරය ලෙස හඳුනා ගෙන තිබේ.

දෙවැනි දප්පුල රජු විසින් අටවෙනි සියවසේදී මෙහි රන් පිළිමයක් තැන්පත් කරවූ බව ද වාර්තා වේ. මෙහි දොරටුවේ කල්ප වෘක්ෂ සහිත කුලුනු වෙයි.

බෞද්ධ ගරාදි වැට නමින් ප්‍රසිද්ධ ගරාදි වැට ක්‍රමය මෙහිදී ද අනුගමනය කර ඇත. බෝධිඝරය පිහිටා ඇත්තේ ගරාදි වැට ඇතුළේය.

බෝධිඝරයට නැඟෙනහිරට වන්නට පිහිටා ඇත්තේ උපො­්සථාගාරයයි. ගල් කණු විශාල ප්‍රමාණයක් සහිත ජේතවනාරාමයේ උපෝසථගාරයේ සැලැස්ම අභයගිරි විහාරයේ රත්නප්‍රාසාදයේ සැලැස්මට සමානය. එහෙත් ගොඩනැඟිල්ල එතරම් විශාල නැත. මෙය සිවුවැනි මිහිඳු රජු කරවූ ‘දියසෙන්‘උපෝසථාගාරය යැයි අනුමාන කෙරේ.

ජේතවනාරාමයේ දාන ශාලාව ස්තූපයට නැඟෙනහිරට වන්නට පිහිටා ඇත. ප්‍රමාණයෙන් එය අභයගිරි විහාරයේ දාන ශාලාවට වඩා කුඩා වන අතර එහි සැලැස්මද අභයගිරි සැලැස්මට වඩා බෙහෙවින් වෙනස්ය.

ජේතවනාරාමයේ භික්ෂූන්ගේ ආවාස තනා ඇත්තේ පංචාවාස සහිතවය. ස්තූපය අවට ප්‍රදේශයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ එවැනි පංචාවාස සහිත සංඝාරාමයන්ගේ නටබුන්ය. එම ගොඩනැඟිලිවල දොරටු අලංකාර ලෙස තනා තිබේ. විවිධ සඳකඩපහණ, කොරවක් ගල්, මුරගල් හා පියගැටවලින් ඒවා අලංකාර කර තිබුණු බවට පැහැදිලි සාක්ෂ්‍ය ඇත.

රෝගාතුර වුණු භික්ෂූන් වහන්සේලාගේ ශරීරයේ ඖෂධ වර්ග, මැටි හා තෙල් වර්ග ආලේප කර උණු වතුරෙන් සහ හුමාල වාෂ්පයෙන් ස්නානය කරවූ ජේතවනාරාම ජන්තාගාරය ද මේ ආරාම සංකීර්ණයේ තවත් විශේෂිත ස්ථානයකි. ජන්තාගාර භූමිය පුරාවටම ගල් පුවරු අතුරා අපිරිසිදු වතුර ගලා යෑම පිණිස කානු පද්ධති ද සකස් කර ඇත.

බිත්ති ගඩොල්වලින් සමන්විත අතර අභ්‍යන්තර උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීම පිණිස ඊට සුදුසු පරිදි ජනෙල්, වා කවුළු සහ දොරවල් නිර්මාණය කර තිබේ.

එම ජන්තාගාරයේ භාවිත කළ බවට සැලකෙන ඖෂධ බඳුන්, හා ඒවා රඳවන ශිලා රඳවන ආදිය ද හමුව ඇත.

ජේතවනාරාම ධර්ම ශාලාව ද මේ ආරාම සංකීර්ණයේ තවත් විශේෂිත ස්ථානයකි. ධර්ම දේශනා කටයුතු වෙනුවෙන් භාවිත කළ මේ ශාලාවේ හරි මැදට වන්නට කැටයම් සහිත උස් ආසනයක් ස්ථාපිතව තිබී ඇති අතර ආසනයට උඩු වියනක් තිබුණු බවට සාධක භූමියේ දක්නට ඇත.

ධර්ම ශාලාවටද සිවු දිසාවෙන්ම පිවිසුම් දොරටු තිබුණු බවට සාධක පැහැදිලිය. සිලාකාල නම් රජු සමයේ (ක්‍රි.ව 522-535) වසරකට වරක් ඇතුළු නුවර සිට ජේතවනාරාමයට ගෙනා ධර්ම ග්‍රන්ථ තැන්පත් කිරීමට ද මේ ශාලාව ප්‍රයෝජනයට ගෙන තිබේ.

එසේම වත්මන් තාක්ෂණයට පවා අභියෝග කරන ජේතවනාරාම කැසිකිළිය ද අගනා නිර්මාණයකි. ජේතවනාරාම විහාර සංකීර්ණයේ කැසිකිළිය පිහිටා ඇත්තේ ආරාම සංකීර්ණය නිමාවට වන්නට වන අතර එහි එකතුවන සියලු අප ජලය පරිසරයට හානි නොවන ලෙසින් මුත්‍රා ගලේ සිදුරට යටින් අඟුරු, හුනු, අළු, වැලි වැනි පෙරහන් තුළින් යවා පිරිසිදු ලෙසින් භූමියට යවන්නට කටයුතු කර ඇති බව පැහැදිලිය.

එසේම විහාර සංකීර්ණයේ, ආවාස සංකීර්ණය ඇතුළත සහ කැසිකිළි ඉදිරිපස දක්නට ඇති ළිං ද විශේෂිත නිර්මාණයකි.

සියලු ළිංවලට බැසීම පිණිස පියගැටපෙළක් නිර්මාණය කර ඇති අතර විශාල ප්‍රමාණයේ ළිං වෘත්තාකාර හැඩයෙන් හා කුඩා ළිං සමචතුරස්‍රාකාර හැඩයකින් නිමවා ඇත.

ජේතවනාරාම දාන ශාලාවේ ද විශාල ප්‍රමාණයේ බත් ඔරු කිහිපයක්ම දැක ගත හැකිය. එම ශාලාවේද විශේෂ කානු පද්ධති නිමවා ඇත.

උතුරු ඉන්දීය ආක්‍රමණ හේතුවෙන් 11 වන ශතවර්ෂයේදී අනුරාධපුරය අගනුවර අත්හැර දැමූ විට, ජේතවනාරාමය ද අනෙක් ස්තූප මෙන් පරිහානියට පත් වූ අතර කැලෑවෙන් වැසී ගියේය. පොලොන්නරු යුගයේ දී, මහා පරාක්‍රමබාහු රජු විසින් ස්තූපය ප්‍රතිසංස්කරණය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එය උස අඩි 232 ක් උසට යළි ගොඩෙනංවන ලදී.

වර්තමානයේ ජේතවනාරාමාධිකාරි ධුරය දරන්නේ ඉහළ හල්මිල්ලෑවේ රතනපාල හිමියන්ය. අසනීප තත්ත්වයන් යටතේ වුවද උන් වහන්සේ ජේතවනාරාමයේ සියලු වැඩ කටයුතු අඩුවකින් තොරව ඉටු කරති.

ජේතවනාරාමයට ගමන් මාර්ගය

අනුරාධපුරයේ සිට පෞද්ගලික වාහනයකින් යන්නේ නම් ගමන පහසුය. නැත්නම් අටමස්ථාන මාර්ගයේ ගමන් කර ශ්‍රී භාරතින්ද්‍රිය මාර්ගයේ ගොස් ජේතවනාරාමයට ළඟා විය හැකිය. නිවාඩු දිනයන්හි දුම්රිය ස්ථානය අසලින්ම බස් රථයක් ජේතවනාරාමය ඇතුළු ස්ථාන වන්දනාව පිණිස යොදා ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division