Home » මාස 10ක් තිස්සේ ඔස්ට්‍රේලියාවේ කොටු වුණු ධනුෂ්කගේ නඩු විභාගයේ මෙතෙක් හෙළි නොවූ රහස්

මාස 10ක් තිස්සේ ඔස්ට්‍රේලියාවේ කොටු වුණු ධනුෂ්කගේ නඩු විභාගයේ මෙතෙක් හෙළි නොවූ රහස්

by gayana
September 23, 2023 12:40 am 0 comment

දෙස් විදෙස් මාධ්‍ය අතර වැඩි අවධානයට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය අවසන් විය. දින හතරක් පුරා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු සාරා හගේට් විසින් විභාගයට ගනු ලැබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 28 වැනිදාය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් පසුගිය වසරේ අගභාගයේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ගිය 32 හැවිරිදි මේ වමත් පිතිකරුවා ඔස්ට්‍රේලියානු කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමේ චෝදනාවට හසුවීම නිසා 2022 නොවැම්බර් 6 වැනිදා අත්අඩංගුවට පත්වූ දිනයේ සිට මේ දක්වා මාස 10කට වැඩි කාලයක් තිස්සේ සිඩ්නි නුවර රැඳී සිටීමට සිදු වූ අතර, ලබන 28 වැනිදා ඔහුට තීරණාත්මක දිනයක් බවට පත් වී තිබේ.

පළමුව සිඩ්නි නුවර පොලිස් සිර මැදිරියෙත්, පසුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකත් රාත්‍රීන් 11ක් ගත කිරීමෙන් පසු දෙවතාවක්ම අධිකරණයට ඉදිරිපත් කළ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප වුව ද, තුන්වැනි වාරයේදී ඔහු මුදා හැර තිබුණේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්කෝටි හැත්තෑ දෙලක්ෂයක ඇප මුදලක් තැන්පත් කිරීමෙන් පසුවය.

ඔහුට ඇප නියම වූයේ දැඩි කොන්දේසි මත ය. නඩු විභාගය අවසන් වනතුරු රටින් පිටවීමත්, අතවරයට ලක් වූ බව කියන 29 හැවිරිදි කාන්තාව සමඟ ඇසුරක් ගොඩ නඟා ගත් ‘ටින්ඩර්‘ නමැති මිතුරු මිතුරියන් ඇසුරු කිරීමේ වෙබ් අඩවියට පිවිසීමත් තහනම් වූ අතර, සමාජ මාධ්‍යජාලයේ ඔහුගේ පෞද්ගලික ගිණුම්වලට පවා ප්‍රවේශ වීම අධිකරණය විසින් තහනම් කරනු ලැබීය. එපමණක් නොව ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇති නිශ්චිතව රැඳී සිටින ලිපිනය සඳහන් නිවෙසින් දිනපතා රාත්‍රී 9.00 සිට උදෑසන 6.00 දක්වා කාලය ඇතුළත පිටතට යෑම ද තහනම් කෙරිණි. දෛනිකව ආසන්තම පොලිස් ස්ථානයට වාර්තා කළ යුතුව තිබිණි. ඔස්ට්‍රේලියාවෙන් පිටව යෑමේ දේශසීමා හෝ ගුවන්තොටුපොළ පිහිටි ප්‍රදේශ කරා යෑමත්, අතවරයට ලක්වූ බව කියන කාන්තාවගේ නිවෙස පිහිටා ඇති පළාතට යෑමත් සපුරා තහනම් කෙරිණි. ඔහුගේ ජංගම දුරකතන සහ ගුවන්ගමන් බලපත්‍රය ද අධිකරණය භාරයට ගෙන තිබිණි.

පසුකාලීනව වරින් වර ධනුෂ්ක සිය නීතිඥ මුරුගන් තංගරාජ්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීම් සලකා බලමින් එම ඇප කොන්දේසි වරින්වර ලිහිල් කර තිබූ අතර, සතියකට දින 3ක් පොලිසියේ පෙනී සිටීම සහ එක් ජංගම දුරකතනයක් පමණක් භාවිත කිරීම වැනි කොන්දේසි තවමත් ක්‍රියාත්මකය.

පසුගිය ජනවාරි මාසයේදී මුලින්ම විභාගයට ගත් ධනුෂ්කගේ නඩුවට පොලිසිය විසින් චෝදනා 4ක් ගොනු කරනු ලැබූ අතර, පසුව අතවර කිරීමෙන් පසු පහරදීම සහ ගෙල සිර කිරීම ඇතුළු චෝදනා තුනක් ඉවත් කරගැනීමටත්, නිව්සවුත්වේල්ස් නීතිය යටතේ සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකෙන අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනාව නොඑසේ නම් ලිංගිකව එක්වීමේදී කාන්තාවගේ අනුමැතියකින් හෝ අනුදැනුමකින් තොරව උපත්පාලන කොපුව ඉවත් කිරීම සම්බන්ධව නඩු විභාගය ඉදිරියට පවත්වා ගෙන යන බවටත් පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණයට දන්වා තිබිණි.

වරින් වර කල් ගිය නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මේ මස 28 වැනිදාට නියම වූයේ පසුගිය 17 වැනිදා සිට අඛණ්ඩව දින 4ක් පුරා විභාගයට ගැනීමෙන් පසුවය. එය විභාගයට ගනු ලැබුවේ අදාළ චෝදනාව ධනුෂ්ක තරයේම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

ධනුෂ්ක සමඟ අධිකරණයට පැමිණියේ ඔහුගේ පෙම්වතියද?

විනිසුරු සාරා හගේට් ඉදිරියේ නඩුව විභාගයට ගත් පළමු දිනයේදී ධනුෂ්ක අධිකරණයට පැමිණියේ තොරතුරු අනාවරණය නොවන සුදු ජාතික තරුණියක් සමඟ අතිනත පටලාගෙනය. මේ පියකරු කාන්තාව කවුරුන්දැයි විදෙස් මාධ්‍ය දැඩි අවධානය යොමු කර තිබූ අතර, නඩු විභාගය නිමාවට පත්වීමෙන් පසුවත් ඇය පිළිබඳ තොරතුරු අනාවරණය නොවීය. කෙසේ වෙතත් කවුරුත් අනුමාන කරන්නට වූයේ ඇය ධනුෂ්කගේ නව පෙම්වතිය වන්නට ඇති බවය. ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජ් සහ තවත් හැඩි දැඩි සිරුරකින් යුතු පුද්ගලයකු ද ධනුෂ්ක සමඟ අධිකරණයට පැමිණ සිටි අතර, එම පුද්ගලයා ධනුෂ්කගේ ආරක්ෂාවට පැමිණි අයකු බවට අනුමාන කෙරේ.

අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළ පැමිණිල්ලේ නිතීඥ ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් කියා සිටියේ ‘ටින්ඩර්‘ නමැති පෙම්වතුන් සඳහා වෙන් වූ වෙබ් අඩවියක් ඔස්සේ එකිනෙකා දැන හැඳින ගැනීමෙන් පසු ඔක්තෝබර් 31 වැනිදා සිට ඇය ඔහු සමඟ වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ වීඩියෝ ඇමතුම් හරහා කිහිප වතාවක්ම කතාබහ කර ඇති බවය. අනතුරුව දින කිහිපයකට පසු එනම්, නොවැම්බර් මස 2 දා සිඩ්නි නුවර ‘ඔපෙරා බාර්‘ අවන්හලේදී ඇය 32 හැවිරිදි ධනුෂ්ක පළමු වරට මුණ ගැසී ඇතැයි නීතිඥ ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් අධිකරණයේදී ප්‍රකාශ කර තිබිණි. එදින රාත්‍රී 11.00ට පමණ ඇය සමඟ එවකට ඇය පදිංචිව සිටි නිවෙසට යෑමෙන් පසු මේ බලහත්කාර ලිංගික එක්වීම සිදුවූ බවත් නීතිඥ ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් වැඩිදුරටත් කරුණු දක්වා තිබිණි. අනතුරුව එය තහවුරු කිරීමට දෙදෙනා පළමුවරට සිඩ්නි නුවර ඔපෙරා බාර් අවන්හලේදී මුණ ගැසෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කෙරිණි. එම වීඩියෝ පටයෙන් පෙන්නුම් වූයේ ධනුෂ්ක හා අදාළ කාන්තාව ඔපෙරා අවන්හලේදී පළමුවරට මුණ ගැසුණු විට සිප වැලඳගත් බවය. එමෙන්ම ඇගේ නිවෙසට යෑමට බෝට්ටුවක් එනතුරු බලා සිටියදීත් දෙදෙනා අතර හාදු හුවමාරු වන අයුරු එම වීඩියෝවේ සටහන් වී තිබිණි.

මේ අතර විත්තිකාර ධනුෂ්කගේ උප්පරවැට්ටියට තමා හසුවුණු බවත්, ඔහු තමාට නොදැනුවත්ව උපත් පාලන කොපුව ඉවත් කරමින් ලිංගිකව හැසිරුණු බවත්, පසුව ඒ සම්බන්ධව විරෝධය දැක්වීමේදී ඔහු තම උගුර සිර කිරීම හේතුවෙන් ජීවිතය පිළිබඳ දැඩි බියක් ද ඇති වූ බවත් දූෂණයට ලක්වූ බව කියන 29 හැවිරිදි කාන්තාව අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළාය. නීතිමය හේතු මත එම කාන්තාවගේ නම ආරම්භයේ සිටම ප්‍රසිද්ධියට පත් නොවීය.

නිදන කාමරයට යෑමෙන් පසු උපත් පාලන කොපුව පලඳින ලෙස තමා ධනුෂ්කගෙන් ඉල්ලා සිටි බවත්, උපත් පාලන කොපු භාවිතයට තමා අකමැති බව ඔහු කියා සිටි බවත් කාන්තාව සිය සාක්ෂියේදී ප්‍රකාශ කර තිබිණි. තමාට ගැබ් ගැනීමට හෝ ලිංගික රෝගවලට ලක් වීමට අවශ්‍ය නැති බව ඔහුට පැවසූ මොහොතේ ඔහු ගැබ් නොගන්නා බවට සහ ලිංගිකව එක්වීමෙන් සම්ප්‍රේෂණය වන රෝග කිසිවක් නොවැලඳෙන බවට සහතික වන බව තමාට කීවේ යැයි එම කාන්තාව අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි. ධනුෂ්කගේ සිරුරේ බර තමාගේ සිරුර මතට පතිත වී තිබූ බැවින් තමා බලරහිත පුද්ගලයකු බවට පත්වී සිටි බවත් ඇය වැඩිදුරටත් සිය සාක්ෂියේදී ප්‍රකාශ කර තිබිණි.

ලිංගිකව එක්වීමේදී ලිංගික අතවර හෝ දූෂණයක් ලෙස සලකා නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන අනුදැනුමකින් තොරව හෝ අනුමැතියකින් තොරව උපත් පාලන කොපු ඉවත් කිරීමේ සිදුවීම හැරුණු විට ධනුෂ්කට එරෙහිව වෙනත් චෝදනාවක් නැති බවත්, ඔහු සහ අදාළ කාන්තාව අතර ලිංගික හැසිරීම එකඟතාවකින් තොරව සිදුවූ බවට නිගමනය නොවන බවත් අධිකරණයට පැහැදිලි වූ බව ද කියැවේ.

එදින මධ්‍යම රාත්‍රී 12.45ට පමණ ඇය ධනුෂ්කට කුලී රථයක් ගෙන්වා දී ඇති අතර, ඔහු පිටත්ව යෑමෙන් පසු අතිශයින්ම කම්පනයට පත්ව සිටි බව ද අධිකරණයට කරුණු ඉදිරිපත් විය.

අනතුරුව ගත වූ දින කිහිපයේදී අදාළ කාන්තාව දැඩි මානසික ආතතියකට පත්ව සිටි බවත්, පාලනය කරගත නොහැකි අයුරින් ප්‍රසිද්ධියේ හඬා වැටුණු බවත් අධිකරණයට වාර්තා වූ අතර, පැවැති තත්ත්වය මත මනෝ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ද ඇයට සිදුවූ බව වැඩිදුරටත් වාර්තා වී තිබේ.

පැමිණිලිකාරිය කෙසේ ප්‍රකාශ කළ ද, ඇගේ කැමැත්තට එරෙහිව ධනුෂ්ක එවැන්නක් සිදු කළ බව ඇය විසින් ඔප්පු කළ යුතුව ඇතැයි මෙහිදී ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජ් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර, ඒ සඳහා නිදසුන් ගෙන හැර පාමින් ඔහු සඳහන් කර ඇත්තේ ධනුෂ්ක උපත් පාලන කොපුව ඉවත් කළේදැයි තමා නොදන්නා බවක් ඇය විසින් පසුව ඇගේ මිතුරියකට කළ ප්‍රකාශයකි.

තම සේවාදායකයා පොලිසිය හමුවේ පළමුවරට පැය දෙකක පමණ ප්‍රකාශයක් දෙනු ලැබුවේ කිසිදු නීතිඥවරයකුගේ ද සහාය නොමැතිව බවත්, ඔහු සෑම අවස්ථාවකදීම පොලිසිය සමඟ ඉතා මිත්‍රශීලීව කටයුතු කර ඇති බවත් මුරුගන් තංගරාජ් මෙහිදී අධිකරණයට ප්‍රකාශ කළේය. එමෙන්ම පැමිණිලිකාරියගේ සාක්ෂි කිසිදු විශ්වාසයකින් තොර බවට ද ඔහු අධිකරණය හමුවේ තර්ක කර තිබිණි.

නඩු විභාගයේ පළමු දිනය එසේ අවසන් වූයේ දෙපාර්ශ්වයම හැකි උපරිම අයුරින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුවය.

නිදන කාමරයට ධනුෂ්ක රැගෙන ගොස් ඉටිපන්දම් දල්වලා

දෙවැනි දිනයේදී වැඩිදුරටත් සාක්ෂි දුන් අදාළ කාන්තාව අධිකරණයේදී හඬා වැටී ඇති අතර, ධනුෂ්ක ගුණතිලක ලිංගික එක්වීමේදී සත්වයකු මෙන් හැසිරුණු බවත්, සිය නිදන කාමරය වෙත යෑමෙන් පසු ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

සිඩ්නි නුවරදී දෙදෙනා මුණ ගැසීමෙන් පසු පීට්සා ආහාරයට ගෙන රාත්‍රී 11.00ට පමණ නගරයේ බෝට්ටු සේවයෙන් ඇගේ නිවෙස කරා යමින් සිටියදී ඔහු බලහත්කාරයෙන් ඇගේ දෙතොල් සිපගත් බවට සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බව පැවසුව ද, බලහත්කාරයෙන් දූෂණය කිරිමට පෙර තම නිදන කාමරයට ඔහු කැටුව ගොස් එහි ඉටිපන්දම් දැල් වූ බව ඇය අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.

බෝට්ටු සේවයට ගොඩ වීමට පෙර ඔහුට ආපසු යන ලෙස පැවැසීමට හැකිව තිබූ බව ද ඇය පිළිගෙන ඇති අතර, ඒ වෙනුවට තම නිවෙසට පැමිණෙන ලෙස ඇරයුම් කර ඔහුට වයින් පිළිගැන්වූ බවත්, ඔහු ඉදිරියේ ගිටාරය වාදනය කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

තමා ගිටාරය වැයීම ධනුෂ්ක සිය අවසරයකින් තොරව ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝගත කිරීම නිසා ගිටාරය වැයීම නතර කළ බව ඇය ඊට පෙර පොලිසියට ප්‍රකාශ කර තිබිණි. මෙහිදී ධනුෂ්කගේ ජංගම දුරකතනයේ ගබඩා කර තිබූ එම වීඩියෝ පටය අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කර ඇති අතර, ඇය ගිටාරය වැයීම නවත්වා වීඩියෝ කැමරාවට සිනාසෙන අයුරු එහි පටිගතව තිබූ බව වාර්තා වේ.

පෙර කී සියල්ල සිදුවීමෙන් පසුව ද ඇය ඔහු නිදන කාමරයට කැටුව ගියේ දැයි ධනුෂ්කගේ නීතිඥවරයා ඇසූ හරස් ප්‍රශ්නයකට ඇය ‘ඔව්‘ යනුවෙන් පිළිතුරු දී තිබේ.

අදාළ කාන්තාව ධනුෂ්ක ගුණතිලක සිය නිදන කාමරයට කැටුව ගොස් ඉටිපන්දම් දැල්වූයේ මන්දැයි මෙහිදී ඔහුගේ නීතිඥවරයා ප්‍රශ්න කර ඇත.

ධනුෂ්ක නිදන කාමරයට කැටුව යෑමට ගත් තීරණය ඊට පෙර සිදු වූ සියල්ලට සම්පූර්ණයෙන්ම එකඟතාව පළ කිරීමක් බවට නීතිඥවරයා යෝජනා කිරීමේදී ඇය ඊට විරෝධතාව පළ කර තිබේ.

අදාළ කාන්තාව විසින් ඊට පෙර පොලිසියට දුන් කට උත්තරයට අනුව ධනුෂ්ක එක් අතකින් ඇගේ ගෙල සිර කර අනිත් අතින් ඇගේ පසුපසට පහර දී ඇතැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ධනුෂ්කගේ නීතිඥවරයා, එවැනි තත්ත්වයත් තුළ උපත් පාලන කොපුව ඉවත් කරන්නේ කෙසේදැයි ඇගෙන් ප්‍රශ්න කර තිබිණි.

‘ඔහුට එසේ කළ නොහැකි බවට ඔබ එකඟ ද? නීතිඥ මුරුගන් තංගරාජ් එසේ විමසා තිබේ.

‘නෑ. ඔහුට උපත් පාලන කොපුව ඉවත් කිරීමට අවස්ථාව තිබුණා‘ අදාළ කාන්තාව ඊට පිළිතුරු දී ඇත්තේ එලෙසිනි.

‘නෑ. කිසිම අවස්ථාවක ධනුෂ්ක ඔබ සමඟ අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදිලා නෑ.‘ නීතිඥවරයා තරයේම එසේ ප්‍රකාශ කර ඇත.

‘නෑ. ඒක වැරදියි‘ ඇගේ පිළිතුර එය විය.

‘දවස් ගාණක් ආලවන්තකම් පාමින්, පසුව නිවෙසට එක්කරගෙන ගොස් වයින් පානය කිරීමට දී ගිටාරය වයා ගීත ගායනා කර, ඊළඟට නිදන කාමරයට එක්කරගෙන ගිහින් ඉටිපන්දම් දැල්වීම ලිංගික හැසිරීමට උත්තේජනයක් ලබා ගැනීමක් බවට මම යෝජනා කරනවා‘ නීතිඥ මුරුගන් තංගරාජ් එසේ ප්‍රකාශ කළ විට ඇය එම යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබිණි.

දෙවැනි දිනයේ නඩු විභාගය නිමාවට පත්වූයේ එවැනි පසුබිමක් නිර්මාණය කරමිනි.

පොලිස් නිලධාරිනිය පැමිණිල්ල කුණු කූඩයට දැමුවේ ඇයි ?

නඩු විභාගයේ තුන්වැනි දිනයේදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට පත්වූ මොහොතේ පොලිසියට දුන් ප්‍රකාශය අධිකරණයේදී ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබිණි. එසේ විනිසුරුවරිය ඉදිරියේ ප්‍රචාරය වූයේ ධනුෂ්ක පසුගිය වසරේ නොවැම්බර් මස 6 වැනිදා අලුයම අත්අඩංගුවට පත්වීමෙන් පැයකට පසු එනම්, අලුයම 4.36ට පොලිස් නිලධාරීන් හමුවේ දුන් පැය දෙකහමාරක ප්‍රකාශයේ හඬපටයයි. ලිංගිකව එක්වීමෙන් පසු අදාළ කාන්තාව පෙර ආත්මයක් ගැන කතා කිරීමට පටන් ගත් බවත්, දෙදෙනා පෙර ආත්මයේදී අසල්වාසීන් ලෙස තායිලන්තයේ ජීවත්ව සිටි බවටත් ඇය ප්‍රකාශ කළ බව ද එම හඬපටයෙන් අනාවරණය වේ.

සිඩ්නි නුවර ඔපෙරා බාර් අවන්හලේදී එම කාන්තාව මුණ ගැසීමෙන් පසු රාත්‍රී පීට්සා ආහාරයට ගෙන පසුව ඇගේ නිවෙසට ගිය බව ධනුෂ්ක පොලිසියට ප්‍රකාශ කළ අයුරු එම හඬ පටයේ සඳහන් වන අතර, අලුයම 3.00ට පෙර ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලයට නැවත යා යුතුව ඇතැයි එම කාන්තාවට කියා සිටි බව ද ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

දෙදෙනා ලිංගිකව එක්වීමෙන් පසු කතාබහ කරමින් කාලය ගත කළ බවත්, එහිදී තමාට යම්කිසි බලයක් ඇතැයි ඇය කියා සිටි බවත් ධනුෂ්කගේ පොලිස් ප්‍රකාශයෙන් හෙළිදරවු විය. තමාට අනාගතය දැකිය හැකි බව ඇය ප්‍රකාශ කිරීමෙන් පසු දෙදෙනා අතර ආගමික කරුණු සම්බන්ධව සංවාදයක් සිදු වූ බවත්, තමා බෞද්ධයකු බැවින් ඒ පිළිබඳ තමා තුළ උනන්දුවක් හටගත් බවත් ධනුෂ්කගේ ප්‍රකාශයේ සඳහන් වේ.

මාස තුනකට වතාවක් සිය මව තමාගේ කේන්දරය බලන බව මෙහිදී ධනුෂ්ක පොලිසියට ප්‍රකාශ කර ඇති අතර, ඒ මොහොතේ මව ගැන සිහි වී ධනුෂ්ක හඬා වැටී ඇතැයි ද අධිකරණයේදී අනාවරණය විය. පසුව එම වීඩියෝ පටයේ කොටසක් මාධ්‍යයට නිකුත් කර තිබිණි.

තමාට බලයක් ඇතැයි එම කාන්තාව පැවැසීම සිනහවට කරුණක් වූව ද, තමාගේ පෙර ආත්මය ගැන යමක් පවසන ලෙස ඇගෙන් ඉල්ලා සිටි බවත් ධනුෂ්ක පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් කර ඇති අතර, ඔවුන් දෙදෙනා අසල්වැසියන් ලෙස තායිලන්තයේ ජීවත්ව සිටි බව සිය දෑස් වසා ගනිමින් ඇය පැවසූ බවත් ඔහුගේ හඬපටයේ සඳහන් වේ.

‘අපි දෙන්නා උපන්නේ තායිලන්තයේ බව ඇය කීවා. ඊට පස්සේ මට ටිකක් බය හිතුණා. මොකද ඇය අමුතුයි කියලා මට දැනුණා. ඒ නිසා මම කිව්වා මට ආපහු හෝටලයට යන්න ඕනා මොකද ක්‍රීඩකයන්ට පනවා ඇති අලුයම 3.00ට කලින් හෝටලයට පැමිණිය යුතු වීමේ කොන්දේසිය කඩන්න මට අවශ්‍ය නෑ කියලා.‘ ධනුෂ්ක පොලිසියට දුන් ප්‍රකාශයේ එසේ සඳහන් වේ.

අනතුරුව කුලී රථයක් ඇණවුම් කරන ලෙස ඔහු ඇයට ප්‍රකාශ කර තිබේ.

‘අපි දෙන්නා ඊළඟ දවසේ ‘බොන්ඩි‘ මුහුදු වෙරළේදී මුණ ගැහෙන්න කතා කරගත්තා. ඊට පස්සේ මම ඇයට හාදුවක් දීලා ආපහු හෝටලයට ගියා.‘ ධනුෂ්කගේ ප්‍රකාශයේ එසේ සඳහන් වී තිබේ.

ධනුෂ්ක අවසන් වරට ඇයට යවනු ලැබූ කෙටි පණිවුඩය වූයේ ‘ස්තූතියි‘ යන්න බව ද අනාවරණය විය. ඔහු එසේ සටහන් කර යවනු ලැබුවේ ඇය විසින් ඔහුට නැවත හෝටලයට යෑමට කුලී රථයක් ඇණවුම් කර එම කුලී රථයේ විස්තර ඔහුට කෙටි පණිවුඩයක් ලෙස යැවීමෙන් පසුවය.

‘ඊට පස්සේ අපි දෙන්නා අතර කිසිම පණිවුඩයක් හුවමාරු වුණේ නෑ.‘ ධනුෂ්ක පොලිසියට එසේ ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වුවද අධිකරණයේදී ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජ් ඇගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී පෙර ආත්මයක් ගැන කී කතාව ඇය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.

ධනුෂ්කගේ සොහොයුරියගෙන්, හිටපු පෙම්වතියකගෙන් සහ සමීපතම මිතුරකුගෙන් ද ඊයේ සාක්ෂි කැඳවා තිබූ අතර, එහිදී ඔවුන් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ ඔහු කිසි දිනෙක කාන්තාවන්ට හිරිහැර හෝ අගෞරව කරන පුද්ගලයකු නොවන බවය. ඔහු මෘදු හදවතක් ඇති ඉතා හොඳ පුද්ගලයකු බවත් ඔවුන් අධිකරණයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ධනුෂ්කගේ හඬපටය ප්‍රචාරය කිරීමට පෙර අධිකරණයට වාර්තා වූ පරිදි අදාළ කාන්තාව තමාට සිදු වූ ලිංගික අතවරය මුලින්ම පැමිණිලි කර ඇත්තේ රෝස් බේ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරියක වන කත්රිනා ලැකඩිස්ට බව හෙළි වී තිබේ. පොලිස් කොස්තාපල්වරිය අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ පොලිස් සටහන් පොතක් ඒ මොහොතේ තමා සතුව නොතිබූ බැවින් ඇගේ පැමිණිල්ල කඩදාසි කිහිපයක සටහන් කරගත් බවය.

ධනුෂ්ක තමාට ලිංගික වද හිංසා සිදු කළ බව එම කාන්තාව පැවසූ බවත්, පසුව එම පැමිණිල්ල සටහන් කරගත් කඩදාසි කිහිපය ඡායාරූප ගත කර විමර්ශන නිලධාරියකුට යැවූ බවත් පොලිස් කොස්තාපල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය. එම පැමිණිල්ල සටහන් කරගැනීමට වඩා පටිගත කරගැනීම වැදගත් යැයි නොසිතන්නේදැයි මෙහිදී ධනුෂ්කගේ නීතිඥවරයා පොලිස් කොස්තාපල්වරියගෙන් විමසා තිබේ.

ඔබ මේ සටහන් තැබුවේ කඩදාසි කැබලිවල නේදැයි සහ ඉන් පසුව ඔබ ඒවා කුණු කූඩයට දැමුවා නේදැයි නීතිඥවරයා ඇගෙන් විමසූ විට මහත් අපහසුතාවට පත්වූ කොස්තාපල්වරිය අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ එම සටහන් විසි කිරීම නොකළ යුතුව තිබූ දෙයක් පිළිගෙන තිබේ.

‘ඔබව ස්ථානගත කර ඇත්තේ ස්ථානීය රාජකාරි ඉටු කිරීමටයි. දුරකතනයට පිළිතුරු දීම වගේම බරපතළ පැමිණිලි ඇතුළුව මහජනතාවගේ පැමිණිලි සටහන් කරගැනීම ඊට ඇතුළත්‘ යැයි කියමින් මෙහිදී ධනුෂ්කගේ නීතිඥවරයා දිගින් දිගටම පොලිස් කොස්තාපල්වරිය අපහසුතාවට ලක් කර තිබිණි.

දෙපාර්ශ්වයම අධිකරණයෙන් පිටව ගියේ පසුදින නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙනි.

ධනුෂ්ක වරදකරු කරන්නැයි පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලයි

ධනුෂ්කගේ නඩු විභාගයේ සිවුවැනි හා අවසන් දිනයේදී ඔහුට එරෙහිව අදාළ කාන්තාව දුන් සාක්ෂි අභියෝගයට ලක් කරමින් ඇය ප්‍රබන්ධයක් හෝ ගොතනු ලැබූ කතාවක් ප්‍රකාශ කරන බවට ඔහුගේ නීතිඥ මුරුගන් තංගරාජ් අධිකරණයට යෝජනා කරද්දී පැමිණිල්ලේ සාක්ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට පිළිගත යුතු කියමින් පැමිණිල්ල මෙහෙය වූ නීතිඥවරිය ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් විනිසුරු සාරා හගේට්ගෙන් ඉල්ලා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක වරදකරු කරන ලෙසටය.

දෙදෙනා අතර ලිංගික හැසිරීමේදී ධනුෂ්ක ඇගේ එකඟතාවකින් තොරව උපත් පාලන කොපුව ඉවත් කිරීමේ සත්‍යය හැර වෙනත් තාර්කික නිගමන නැති බවට විනිසුරුවරියගේ අවධානය යොමු විය යුතු යැයි ද පැමිණිල්ල මෙහෙය වූ නීතිඥවරිය අධිකරණයේදී වැඩිදුරටත් පෙන්වා දී තිබිණි. එදින රාත්‍රිය අදාළ කාන්තාව අපේක්ෂා නොකළ වෙනස් රාත්‍රියක් වූ බවත්, ක්‍රිකට් ක්‍රීඩකයා රළු ආකාරයෙන් හා කාන්තාවගේ ඉල්ලීම් සහ සීමා කිසිවක් කෙරෙහි සැලකිල්ලක් හෝ ගෞරවයක් නොදැක්වූ බවත් නීතිඥවරිය වැඩිදුරටත් අධිකරණයට ප්‍රකාශ කර තිබේ.

ධනුෂ්ක සහ එම කාන්තාව අතර අවසන් දිනයේ සිදුවීමට පෙර හුවමාරු වූ කෙටි පණිවුඩවල රසවත්භාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එය දෙදෙනා අතර හමුවීමකට පෙලඹීමක් වූ බවත්, ධනුෂ්ක ගුණතිලක ඉතා නිර්දය ලෙස කාන්තාව ලුහුබැඳ යෑම දක්වා එය විහිදී ගිය බවත් ඇය සඳහන් කර තිබේ.

උපත් පාලන කොපු පැලඳීමට තමා අකමැති බව ධනුෂ්ක අත්අඩංගුවට පත් පළමු දිනයේදී පොලිසිය හමුවේ කළ ප්‍රකාශයේ සඳහන් වූ බව සිහිපත් කළ නීතිඥවරිය, දෙදෙනා අතර ලිංගික හැසිරීමේදී ඔහු එය පැලඳීම හුදෙක් කාන්තාව රැවටීමට පමණක් සිදු කළ බවට අධිකරණයට යෝජනා කර ඇතැයි ද වාර්තා වේ. එම රාත්‍රියේදී පැමිණිලිකාරිනිය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව සිටි බවටත්, සම්පූර්ණ බලය ඔහු සතුව තිබූ බවටත් නීතිඥවරිය කරුණු දක්වා තිබේ.

විත්තිකාර ධනුෂ්කගේ නීතිඥ තංගරාජ් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ පැමිණිලිකාරිනිය චෝදනාවට ගැළපෙන ආකාරයට හැඩ ගැසුණු ප්‍රබන්ධයක් ඉදිරිපත් කර ඇති බවය. ඔහු වැඩදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කාන්තාව පොලිසියට දුන් සාක්ෂිය සහ අධිකරණයේදී ලබා දුන් සාක්ෂිය අතර පරස්පර විරෝධී බවක් පෙන්නුම් කෙරෙන බවය. ඇගේ ප්‍රබන්ධනාත්මක සාක්ෂිය ශක්තිමත් අයුරින් ගොනු කිරීමට ඇය අසමත් වී ඇතැයි පැවසූ නීතිඥ මුරුගන්, ලිංගික හැසිරීමේදී ඇගේ අනුදැනුමකින් තොරව ඔහු උපත් පාලන කොපුව ඉවත් කළ බවට පිළිගත හැකි කිසිදු පදනමක් එම සාක්ෂි තුළ ගැබ්වී නොතිබුණු බව අධිකරණය හමුවේ අවධාරණය කර තිබේ.

එමෙන්ම පැමිණිලිකාරිනිය හිතාමතාම සිය සාක්ෂිවල යම් යම් කරුණු අතහැර දමා තිබේදැයි ප්‍රශ්න කළ නීතිඥ මුරුගන්, ඇය මේ සිදුවීම පළමුව සිය මිතුරන් සමඟ ප්‍රකාශ කරද්දී ධනුෂ්ක උපත් පාලන කොපුව ඉවත් කිරීම අවිනිශ්චිත බව සඳහන් කිරීම අධිකරණයේ අවධානයට යොමු කර තිබේ.

බොහෝ අවස්ථාවන්හිදී ඇගේ ප්‍රබන්ධය හා බැඳුණු කරුණු ඇයට අමතකව ගොස් තිබූ බවක් දිස්වන්නේ යැයි කී ධනුෂ්කගේ නීතිඥවරයා, ඔහු තමාට අවශ්‍ය දේ කරන, කිසිදු ගරුසරුවක් නැති පුද්ගලයකු බවට කියැවෙන ප්‍රකාශ සහ පැමිණිලිකාරිනියගේ සාක්ෂි ප්‍රතික්ෂේප කරන බව අධිකරණයට තරයේම දන්වා සිටියේය.

ධනුෂ්ක ගුණතිලක සමඟ විසිත්ත කාමරයේ සිටියදී ඔහු තමා පසුපසට තල්ලු කර බලහත්කාරයෙන් සිපගත් බව නඩු විභාගයේ පළමු දිනයේදී සාක්ෂි දෙමින් ප්‍රකාශ කළද, පසුව ඇය ඔහු සිය නිදන කාමරයට කැඳවා ගෙන ගොස් එහි ඉටිපන්දම් දල්වා නිරුවත් වූ බව අධිකරණයේදී ප්‍රකාශ කර ඇතැයි ද නීතිඥ තංගරාජ් අවධාරණය කළේය.

ඇය ප්‍රකාශ කරන පරිදි විසිත්ත කාමරයේදී මේ සියල්ල සිදු වූ බව සම්පූර්ණයෙන්ම තර්කානුකූල නොවන බව පෙන්වා දුන් නීතිඥ තංගරාජ්, ‘අපි මගේ කාමරයට ගිහින් ඉටිපන්දම් දල්වමු යැයි පසුව ඇය ධනුෂ්කට පැවැසීම අධිකරණයේ අවධානයට යොමු කර තිබේ.

මේ අතර කාන්තාව මුණ ගැසුණු පළමු දිනයේදී ලිංගික හැසිරීමකට අවස්ථාවක් නැතැයි සිතමින් තමා උපත් පාලන කොපු රැගෙන නොගිය බව අත්අඩංගුවට පත් වූ දිනයේදී ධනුෂ්ක පොලිසියට ප්‍රකාශයක් කරමින් කියා සිටිය ද, ඔහු එම කාන්තාව හමුවීමට යෑමේදී රැගෙන ගොස් ඇති උරහිසේ එල්ලා ගන්නා කුඩා ගමන් මල්ලේ තිබූ ඔතන ලද උපත් පාලන කොපු දෙකක් පොලිසිය විසින් පසුව සොයා ගනු ලැබීම ද අධිකරණයේ අවධානයට ලක් වී තිබේ.

ඒ සම්බන්ධව ඔහුගේ නීතිඥවරයාගේ තර්කය වී ඇත්තේ පැමිණිලි පාර්ශ්වය කියන පරිදි තම සේවාදායකයා උපත් පාලන කොපු භාවිතයට අකමැති පුද්ගලයකු නම් ඔහු ඒවා රැගෙන ගියේ මන්දැයි යන්නය. එබැවින් පැහැදිලිවම තම සේවාදායකයා උපත් පාලන කොපු භාවිත කිරීමට සූදානමින් සිටි බව ඔහුගේ තර්කය වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ දඬුවම බරපතළයි

නඩු විභාගය නිමාවට පත්වූයේ එලෙසිනි. දැන් ඇත්තේ තීන්දුව ලැබෙනතුරු බලා සිටීමේ දින 4ක කාලසීමාවකි. දෙස් විදෙස් ක්‍රිකට්ලෝලීන් බලා සිටින්නේ එම තීන්දුව කුමක් විය හැකිදැයි යන්න ගැනය. තීරණය ඇත්තේ විනිසුරුවරිය සාරා හගේට් අතය. ධනුෂ්කට එල්ල වී ඇති චෝදනාවේ බරපතළකම ගැන මෙරට ජනතාවගෙන් දන්නේ නිසැකවම අතළොස්සක් පමණි. ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව රටවල් රැසක විවිධ අවස්ථාවලදී කාන්තා දූෂණය සම්බන්ධ නීතිරීති සංශෝධනයට ලක්වීම පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් ධනුෂ්කට එල්ල වී ඇති චෝදනාවේ බරපතළකම ගැන වැඩි දෙයක් අවබෝධ කරගත හැකි වනු ඇත.

ලිංගිකව එක්වීමේදී කාන්තාවගේ අනුදැනුමකින් තොරව උපත් පාලන කොපුව ඉවත් කිරීම stealthing යෙදුමෙන් හඳුන්වා දී ඇති අතර, ඒ සඳහා බොහෝ රටවල නීති සම්මත කරගෙන තිබේ. එම යෙදුම සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වුව ද, නීතිමය වශයෙන් එය හඳුන්වනු ලබන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසින්මය. මෙය අපරාධ චෝදනා යටතේ දඬුවම් ලැබෙන වරදක් බවට පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල නීති පොතට ඇතුළත් විය. ක්වීන්ස්ලන්ඩ්, දකුණු ඔස්ට්‍රේලියාව, බටහිර ඔස්ට්‍රේලියාව වැනි අධිකරණ බල ප්‍රදේශවල මේ වන විට එම නීතිය මේ වන විටත් ක්‍රියාත්මකය. වැඩිදුරටත් කියන්නේ නම් ටස්මේනියාව, ධනුෂ්කගේ නඩුව විභාගයට ගත් සිඩ්නි අගනුවර කරගත් නිව්සවුත්වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත ද ඒ අතර වේ.

එම නීතියට අනුව යම්කිසි පුද්ගලයකු කාන්තාවක් සමඟ ලිංගික හැසිරීමකදී ඇගේ අනුදැනුමකින් තොරව හා අකමැත්තෙන් උපත් පාලන කොපුව ඉවත් කළ බවට අධිකරණයේදී තහවුරු වී වරදකරු වන්නේ නම් ඒ සඳහා උපරිම දඬුවම වන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමය. අවම වසර 10ක් බවත් එරට නීතිය සම්බන්ධ වෙබ් අඩවිවල සඳහන් ය. පසුගිය දෙවසර තුළ ඔස්ට්‍රේලියානුවන් අතර බෙහෙවින් විවාදයට ලක් වූ එම නීතිය එරට බොහෝ ප්‍රාන්තවල සම්මත වූයේ ධනුෂ්ක ගුණතිලක ලිංගික අතවර චෝදනාවට අත්අඩංගුවට පත් වූ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීමය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division