Home » කුජ ග්‍රහයාගේ සුබ සංයෝග

කුජ ග්‍රහයාගේ සුබ සංයෝග

by thanushika
September 23, 2023 12:44 am 0 comment

භූමි පුත්‍ර යන නමින් හඳුන්වන කුජ ග්‍රහයා පෘථිවියට සමාන ගතිගුණ ඇති බැවින් එහි සත්ත්ව වාසය ඇතැයි ද ඇතැම්හු සිතති. අඟහරු හෙවත් කුජ ජන්මියාට සෘජු ගතිය ආරෝපණය කරයි. ජ්‍යොතිෂයේදී කුජ පාප ග්‍රහයෙකු ලෙස පිළිගනී. ජන්මියාගේ ධෛර්යය, එඩිතර බව, ඔරොත්තු දීමේ හැකියාව, නිර්භීත බව, ඉදිරිපත් වීමේ හැකියාව සටන්කාමීත්වය වැනි ගුණාංග කුජට උරුමය.

කුජ කිසියම් කේන්දරයක බල සහිතව ලග්නයෙහි හෝ බලවත් ස්ථානයක සිටි විට ජන්මියා ධෛර්යවත්ය. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඉදිරිපත් වී කෙසේ හෝ ඉදිරියට ගොස් තම කාර්යය කරගැනීමේ හැකියාව, දක්ෂතාව ජන්මියාට ඇති වේ. කුජ බල රහිතව සිටි විට කුජගේ දැඩි බවේ වෙනසක් ඇති වේ. ජන්ම පත්‍රයේ කුජ ග්‍රහයා නරකට සිටි විට නොයෙක් අපහසුතාවලට මුහුණපාන්නට සිදු වේ. නොයෙක් රණ්ඩු දබරවලට, හදිසි අනතුරුවලට, උෂ්ණ ලෙඩ රෝගවලට මුහුණ දීමට සිදු වේ.

කුජ ග්‍රහයා සහෝදර කාරක වේ. යුද්ධයෙහි අධිපති වේ. ක්‍රියාවෙහි ඉක්මන් වේ. හොඳ හෝ නරක ප්‍රකටව දෙයි. ශරීරයේ නළල, නාසය, ලේ හා මස්පිඬුවලට කුජ අධිපති වේ.

කුජ ග්‍රහයා ලග්නයේ සිටියදී උපන් ජන්මියා ධෛර්යවත්ය. තමාගේ දියුණුව පිණිස කටයුතු කරන්නෙක් වෙයි. කුජ ග්‍රහයා දෙවැන්නේ සිටියදී උපන් ජන්මියා කෙසේ හෝ මුදල් උපයන්නෙක් වේ. වියදම් කිරීමේ ද දක්ෂයෙක් වේ. පවුලට හිතවත් පුද්ගලයෙක් වේ.

කුජ ග්‍රහයා තුන්වැන්නේ සිටියදී උපන් ජන්මියා සූර වීර අයෙකි. කුජ තුන්වැන්නට බලවත් වේ. ජන්මියා හික්මීමෙන් යුත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත් වේ. කුජ හතරවැන්නේ සිටි ජන්මියාට ඉඩම් ගෙවල් ලැබේ. කුජ බලවත් වූ විට ජන්මියාට ශුභ වේ.

කුජ පස්වැන්නේ සිටින ජන්මියාට වියදම් වැඩි වේ. මුදල් නාස්ති වේ. කුජ හයවැන්නේ සිටි විට සතුරු කරදර නැති වේ. කෑමබීමවලට වැඩි ඇල්මක් දක්වයි. කුජ හත්වැන්නේ සිටි විට විවාහය ඉක්මන් වේ. විවාහය ප්‍රමාද වීම එතරම් ශුභ නොවේ. කුජ අටේ සිටි විට එතරම් ශුභ නොවේ. හදිසි අනතුරු ඇතිවීමට ඉඩ තිබේ.

කුජ නවවැන්නේ සිටි ජන්මියාට බරපතළ හානියක් නොවේ. ආගමික පුද පූජාවලට වැඩි කැමැත්තක් දක්වයි. කුජට දසවැන්න ඉතාමත් හොඳ තැනකි. සියලු සැප සම්පත් ලැබේ. ජන්මියා ඉතා ධෛර්යසම්පන්න ක්‍රියාශූරී පුද්ගලයන් වේ. කුජ එකළොස්වැන්නේ සිටින ජන්මීන්ට ඛනිජ වස්තුන් ලැබීමට වාසනාව තිබේ. යහළු මිත්‍රයන් අඩුය. කුජ දොළොස්වැන්නට එතරම් ශුභ නොවේ. සතුරු කරදර ඇති වේ. සතුන්ගෙන් පවා පීඩා ඇති විය හැකි වේ.

ග්‍රහ ලොව සේනාධිපති ලෙස හඳුන්වන කුජ ග්‍රහයා අනිකුත් ග්‍රහයන් සමඟ එකතු වූ විට නැතිනම් සංයෝග වූ විට කේන්දර හිමියාට ලැබෙන සුබ අසුබ මෙසේය.

කුජ රවි සමඟ එක් වූ විට චිත්ත ධෛර්ය වැඩි වේ. බලය වැඩි වේ. ඔරොත්තු දීමේ ගතිය වැඩි වේ. ක්‍රියාශූර පුද්ගලයෙක් වේ.

කුජ සඳු සමග එක් වූ විට නිර්භීතව ඉදිරියට යන ගතිය ඇති වේ. ශරීර සෞඛ්‍ය යහපත් වේ. ශක්තිමත් ශරීරය ඇති කෙනෙක් වේ.

කුජ ග්‍රහයා බුධ සමග එක් වූ විට උද්‍යෝගිමත් වේ. ගණිතයට දක්ෂයි. ඥානවන්ත පුද්ගලයෙක් වේ. ඕනෑම දෙයක් දුටු විට එය නැවත නිර්මාණය කළ හැකි දක්ෂයෙක් වේ.

කුජ ගුරු සමඟ එක් වූ විට ඉගෙනීමෙන් මුදල් උපයන්නෙකු වේ. සෘජු ගති ඇති කෙනෙක් වේ. කිසි දෙයකට පසු නොබසින ඉදිරියටම යන පුද්ගලයෙක් වේ.

කුජ සිකුරු සමඟ එක් වූ විට කරුණාවන්ත සමාදානයට කැමති ධෛර්යවත් කෙනෙක් වේ. ව්‍යාපාරයන්හි දක්ෂ වේ. ධනවත් වේ.

කුජ ශනි සමඟ සිටි විට ශක්තිමත් වේ. නීරෝගි වේ. උනන්දුව ඇති වේ. ඕනෑම දෙයක් කිරීමේ ශක්තිය හැකියාව ඇති වේ.

ජ්‍යොතිර්වේදිනී චතුරිකා දිල්හානි ගමආරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division