Home » ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය ලැබීම අනාගතයට සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය ලැබීම අනාගතයට සුබ ආරංචියක්

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

ද්වි පාර්ශ්වීය ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව කලක් තිස්සේ බලා සිටි ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට ප්‍රංශයේ පැරිස් නුවරදී පසුගියදා පැවැති 2024 පැරිස් සංවාදයේදී ශ්‍රී ලංකාව සහ නිල ණය හිමි කමිටුව සාර්ථකව එකඟතාව හිමි කර ගෙන තිබේ.

මෙලෙස ඇති කර ගත් එකඟතාව ශ්‍රී ලංකාවට කුමනාකාරයේ වාසි අවාසි අත්කර දෙන්නේ දැයි අප අධ්‍යාපනඥයන්ගෙන්, ප්‍රකට බැංකුකරුවන්ගෙන්, වාණිජ මණ්ඩල සහ ආනයන අපනයන සම්බන්ධ තොග වෙළෙඳාමේ නිරතවූවන්ගෙන් කරුණු විමසා බැලුවෙමු. එහිදී ඔවුන් අප සමඟ දැක්වූ අදහස් මෙසේය.

ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන සීමා ලිහිල් වීම අප ලැබූ විශාලතම අස්වැසිල්ලක්
– වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ (සභාපති මහජන බැංකුව)

ශ්‍රී ලංකාවේ බැංකුකරුවෝ ලෙස අප ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී මෑත ඉතිහාසයේදී ඔවුන් අපට විවිධ සීමා පැනවීම් සිදු කොට තිබුණා. විවිධ කොන්දේසිවලට අවනත වන ආකාරයට ක්‍රියා කරමින් තමයි ඔවුන් සමඟ අපට ගනුදෙනු කිරීමට සිදු වුණේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප රටක් ලෙස විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීමෙන් පසු වසර 2023 මාර්තු සිට නැවත අපේ රටට යම් ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුණා. එය තවත් වටයකින් ශක්තිමත්ව තහවුරු කිරීමක් මෑතකදී සිදු වුණා. ඒ තමයි ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එකඟතාව පළවීම. මේ දේ ඉටුකරගන්න අපි රටක් ලෙස බොහෝ කාලයක් බලා සිටියා. අපි බලාපොරොත්තු වූ දේ ඉටුවීම සතුටක්. මේ ද්විපාර්ශ්වික ණය ආපසු ගෙවීමට අපට යම් යම් සහන හිමි කරදීම වැදගත්. මෙහිදී ද්විපාර්ශ්වික ණය හිමියන් හා ශ්‍රී ලංකා රජය යම් පිළිගත් එකඟතාවකට පැමිණීම පැති කිහිපයකින් වටිනවා.

අපට බැංකුකරුවෝ ලෙස ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී මතුවී තිබූ යම් යම් සීමා ඉවත්වීම බැංකුකරුවෝ ලැබූ විශාලතම අස්වැසිල්ලයි. අපි බැංකුවක් ලෙස ලෝකය පුරා විසිරී ඇති විවිධ බැංකු 900 අධික සංඛ්‍යාවක් සමඟ ගනුදෙනු කරනවා.

අප කාලයක් ජාත්‍යන්තර ණයවර ලිපියක් නිකුත් කිරීමට පවා නොහැකි තත්ත්වයකයි සිටියේ. අපි ණයවර ලිපි විවෘත කර ගන්න බැරිව සිටියා. නමුත් අද වන විට ඒ අවාසනාවන්ත තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම අප මිදී තිබෙනවා.

මට මේ අවස්ථාවේ අපේ බැංකුව මහජන බැංකුව පාර්ශ්වයෙන් සතුටින් කියන්න පුළුවන් කතාවක් තිබෙනවා. ඒ තමයි අපි වසර 2023 මැද භාගය වන විට අප සමඟ විවෘත කර තිබූ සෑම විදේශ ණයවර ලිපියකටම අදාළ සියලු ගෙවීම් සිදුකර අවසන් කර තිබීම.

මහජන බැංකුව සමඟ පෞද්ගලික හා රාජ්‍ය හිමිකාරිත්වය සහිත සමාගම්වලට ණයවර ලිපි හා ඇපකර නිකුත් කරමින් රටේ ආනයන – අපනයන කටයුතු සඳහා විශාල දායකත්වයක් අප ලබා දෙනවා. ඒ කටයුතුවලටත් දැනටත් වඩා වැඩි කාර්යක්ෂමතාවකින් පුළුල් ලෙස ඉටු කිරීමට මේ විදේශීය ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඉවහල් වෙනවා.

රජයේ වියදම් මනාව කළමනාකරණය විය යුතුයි
– හේමකුමාර ගුණසේකර මහලේකම් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සම්පූර්ණ වාසිය අප රටටත්,ජනතාවටත් හිමි විය යුතුයි. මේ වැඩපිළිවෙළින් කිසි වාසියක් නැතැයි ඇතැම් පිරිසක් කියනවා. නමුත් එය පිළිගැනීමට බැහැ.

ණය ආපසු ගෙවීම කල්දැමීම, පොලිය ප්‍රතිශත අඩු කිරීම රටට වාසියි. මේ නිසා ණය ගෙවීමට තිබෙන මුදල් රටේ සංවර්ධන වැඩවලට යොදා ගත හැකිය‍ි. මේ තුළින් ජනතාවට ආර්ථික දියුණුව ඇතිකරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට හැකියි. එය පොදුවේ ගත් විට කාටත් වාසියක්.

අප අපනයන ආදායම් වැඩිකර ගැනීමට කටයුතු කළ යුතුයි. ඒවා පිළිබඳ වාද බේද නැතිව සියලු දේශපාලන පක්ෂ නායකයන් එක් මතයක සිට කටයුතු කළ යුතුයි. තවත් ඉතා වැදගත් කරුණක් තමයි අපි රටක් ලෙස රාජ්‍ය මූල්‍ය කටයුතු වඩාත් විනයානුකූලව, විද්‍යාත්මකව පවත්වා ගත යුතුයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉතාමත්ම ඉහළ විධිමත් ක්‍රමවේදයක් අනුව සකස් කර ගත යුතුයි. දැඩි රාජ්‍ය මූල්‍ය විනයක් ඔස්සේ රජයේ වියදම් මනාව කළමනාකරණය විය යුතුයි.

මේ වන විට ධන ආර්ථික වර්ධනයක් කරා පිවිස සිටිනවා 
– ධම්මික සමරවික්‍රම (උපදේශක – කර්මාන්ත අමාත්‍යාංශය ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක‍්ට්‍රොනික් අංශය)

ශ්‍රී ලංකාව වඩාත් වේගවත්ව ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීමට පියවර ගත යුතුය. එකදිගට කාර්තු හයක් තිස්සේ ඍණ ආර්ථික අගයන් වාර්තා කළ ශ්‍රී ලංකාව මේ වන විට ධන ආර්ථික වර්ධනයක් කරා පිවිස සිටිනවා. එය සුබවාදී ගමනක ආරම්භයයි. නමුත් අපි අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා වහාම යොමු විය යුතුයි. නිදහසින් පසු ශ්‍රී ලංකාව වේගවත් ආර්ථික වර්ධනයක් කරා පිය නැඟීමට උත්සාහ දරා සිටිනවා. සමහර අවස්ථාවල සාර්ථක වී තිබෙනවා. පසුබැස තිබෙනවා. වසර 2022 දී අපට සිදුවූ ආර්ථික කඩාවැ‍ටීම තුළ අප පාඩමක් ඉගෙන ගත යුතුය. නැවතත් එවැන්නක් ඇති නොවන්නට වග බලා ගත යුතුයි.

මේ අවස්ථාවේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඉතා වැදගත්. ඒ වගේම සතුටට හේතුවක්. නමුත් ඒ තුළ අපට ඉදිරියට යාමක් නැහැ. තවදුරටත් එක එක්කෙනාගෙන් මුදල් ලබාගෙන ණයට කාබී ජීවත්වීමට අපට නොහැකියි. අප ස්වෝත්සාහයෙන් නැඟී සිටිය යුතුයි. දේශීය කර්මාන්තකරණයත් වාගේම සේවා සැපයීමේ විශාල ආදායම් උපයා ගැනීමක් වෙත අප යොමු විය යුතුයි. ඒ සඳහා කළ යුතු එකම දේ අපගේ ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීමයි.

අපේ රටේ දැනට ව්‍යවසායකත්වය ජනගහනයෙන් 2.8% යි එය ඉතා අඩු අගයක්. අඩුම තරමින් වසර 2030 දී එය 10% දක්වා වැඩිදියුණු කළ යුතුයි. අපගේ ව්‍යවසායකත්වය ගම් මට්ටමින් පිබිදිය යුතුය.

ශ්‍රී ලංකාව කලට වේලාවට දෙස් විදෙස් ණය ගෙවූ රටක්
– ආචාර්ය ප්‍රභාත් වීරසිංහ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉංජිනේරු පීඨය – රුහුණ විශ්වවිද්‍යාලය)

ශ්‍රී ලංකාව ලබා ගන්නා දෙස් විදෙස් ණය නිසි කලට වේලාවට වාරික හා පොලී මුදල් ගෙවන කීර්තිමත් ඉතිහාසයක් තිබූ රටක්. ඒවාගේ තත්ත්වයක් යටතේ අපට IMF ණය පහසුකම ලැබීම හොඳ දෙයක්.

අපට මේ සමඟින් වාසි ගණනාවක් ලැබෙනවා. අපිට රජයක් ලෙසත් රජයෙන් බැහැරව පෞද්ගලික අංශය ලෙසත් විදෙස් ණය ලබා ගැනීමට මේ සමඟ යම් පිළිගැනීමක් ලැබෙනවා.

අපේ රටේ නව නිෂ්පාදන, නවෝත්පාදන, නව සොයා ගැනීම්, පර්යේෂණ කරන විද්‍යාඥයන්, නවෝත්පාදකයන්, ව්‍යවසායකයන් බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන් තමන්ගේ අරමුදල්වලින් නව සොයාගැනීම්, පර්යේෂණ කරනවා. ඒ හරහා පේටන්ඩ් බලපත්‍ර ලබා ගන්නවා. විවිධ නිෂ්පාදන සිදු කිරීමට හැකි සොයා ගැනීම් පර්යේෂණ මට්ටමින් එළිදක්වනවා.

මේවා වාණිජ වශයෙන්, නව නිෂ්පාදන ලෙස වෙළෙඳපොළට යොමු කිරීමට අවශ්‍ය කර්මාන්තකරණයක්, නිෂ්පාදන ආයතනයක් බිහි කරන්න අරමුදල් නෑ. ඔවුන් ඒ නිසා තමන්ගේ නව නිපැයුම් ගෙදර තබාගෙන දුක් විඳිනවා. විදේශ විනිමය ලංකාවට වැඩි වශයෙන් සොයා ගැනීමට සමත් විශේෂ අංශයක් තමයි අපේ රටේ තිබෙන භෞතික සම්පත් ජාලය. ඉල්මනයිඩ්, පෙට්ට්‍රෝලියම් අතුරු නිෂ්පාදන වාගේ දේවල්. මේවා වැඩි වශයෙන් රටේ ආර්ථිකයට ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට යොදා ගැනීමට නම් අපිට අරමුදල් අවශ්‍යයි. මේ අරමුදල් ලබා ගැනීමට දැන් අපිට IMF ණය පහසුකම ලැබීම තුළ අවස්ථා උදා වෙනවා.

ඉදිරි දශකය බලශක්තිය මත යැපෙන ආර්ථිකයක් ගෙඩනැඟෙන්නේ. අපටත් පරිසර හිතකාමී නව බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවී අපේ වියදම් අඩුකර ගන්නට සිදු වෙනවා. මෙලෙස අඩු වියදම් පරිසර හිතකාමී බලශක්ති වෙත සේන්දු වීමට, ඒ ආශ්‍රිත නව කර්මාන්ත බිහි කිරීමට IMF ණය පහසුකම් හරහා විශාල ශක්තියක් අපට ලැබී තිබෙනවා.

අපට දැන් හිමිවී තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම සමඟ ඉදිරියේදී ලෝකයේ වාණිජ ණය ලබාදෙන ආයතනවලින් ණයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. රජයටත් ණය ගන්න පුළුවන්. අවශ්‍ය නම් පෞද්ගලික අංශයටත් ණය පහසුකම් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. මේ අවස්ථාවේ අපේ රටට අවශ්‍යම දේ විදේශ විනිමය.

IMF ගිවිසුම් අප ඵලදායි ලෙස යොදාගත යුතුයි
– ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා (බටහිර ඉන්දීය කොදෙව් ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය)

මීට වසර දෙක තුනකට පෙර අපේ රට ඉතාම දරුණු ආගාධයකට වැටිලායි තිබුණේ. අපේ රට ණය ආපසු ගෙවා ගත නොහැකි බංකොලොත් රටක් බව‍ට පත්වෙලායි තිබුණේ.

අපේ ප්‍රධානම, වැදගත්ම දේ වුණේ මේ ඉතා දරුණු ආගාධයෙන් ගොඩඒමයි.

ඒ සඳහායි අප කල්පනා කර කර හිටියේ. එහිදී අපිට නැවැත ණය ආපසු ගෙවන්න පුළුවන් වෙන්න නම් අපිට කිව යුතුව තිබුණා.

නමුත් එය එක්වර ක්ෂණිකව කළ නොහැකියි. එහිදී අපි වහාම විසඳුම්වලට යා යුතුම තිබුණා. ඒ අවස්ථාවේ අපට තිබූ එකම විද්‍යාත්මක තාර්කික විසඳුම වුණේ IMF යෑමයි. නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීමයි. එය අප මීට පෙරත් කර තිබූ දෙයක්. මෙවර අපි ගියේ 17 වැනි වතාවටයි.

රට ණය බරින් මුදා ගන්න අපිට විශාල ලෙස අපේ ආදායම් වැඩිකර ගන්න ඕනෑ. ඒ සඳහා කාලයක් යනවා.

නමුත් අපට රටක් ලෙස එදිනෙදා ජන ජීවිතය පවත්වා ගෙන යාමටත් ප්‍රශ්න මතු වී තිබුණේ. මෙවන් අවධියකයි .අපි IMF එකෙන් ණයක් ලබා ගන්න ගියා. එහිදී විවිධ කොන්දේසිවලට යටත් වෙන්න වෙනවා.

අපි ඒවා අපට වාසි ආකාරයකට ගළපා ගත යුතුයි. IMF ගිවිසුම් අප ඵලදායි ලෙස යොදාගත යුතුයි. අයි. එම්. එෆ්. ගිය එක ඔක්කොම ගැටලුවලට විසඳුම නොවෙන්න පුළුවන්. නමුත් මීට වසර 2කට 3කට කලින් තිබූ දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට එය අපට අත්වැලක්, පාලමක් වුණා. රට ණය බරින් නිදහස් කර ගන්න කවුරුත් කටයුතු කළ යුතුයි. ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයක් නැහැ.

විස්තීර්ණ ණය පහසුකමකට එළැඹීමට හැකිවීම විශාල ශක්තියක්
– රවීන්ද්‍ර ගයානාත් ද සිල්වා (සංක්‍රමණික කටයුතු පිළිබඳ ජාත්‍යන්තර උපදේශක)

ද්විපාර්ශ්වික විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සාර්ථකව හැකි වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ගොඩනඟාගත් විශ්වාසය මතයි. මෙලෙස ජාත්‍යන්තරය දිනා ගැනීමට අපට හැකිවීම රටක් ලෙස අප ලැබූ විශාල ජයක්.

ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන දෙස් විදෙස් ණය ආපසු ගෙවීමට අපහසු නිසා අප මේ මොහොතේ කළ යුත්තේ ඒ සඳහා සහන ලබා ගැනීමයි. එය ඉබේ සිදුවන්නක් නොවේ. ඒ සඳහා අප ණය හිමියන් සමඟ සාකච්ඡා කළ යුතුය. එය ඉතා අසීරු ක්‍රියාවක්. මෙහිදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකමකට එළැඹීමට හැකිවීම විශාල ශක්තියක් වී තිබෙනවා.

තවදුරටත් අනුන් මත සිටීමට නොහැකි අප ඉදිරියට වඩාත් ඉහළ විදේශ විනිමය උපයන ශ්‍රමිකයන් පිරිසක් පිටරට යැවීමට පියවර ගත යුතුයි. ඒ සඳහා අප විදේශගත ශ්‍රමිකයන්ගේ වෘත්තීය නිපුනතා ඉහළ නැංවිය යුතුයි. ඔවුන්ට වෘත්තීය පුහුණුවට අමතරව විදේශීය භාෂාවන් පිළිබඳව දැනුම ලබා දිය යුතුයි.

විදේශීය භාෂා පුහුණුව තිබේ නම් ඔවුන්ට විදේශ රැකියාවල වැඩි අවස්ථා තිබෙනවා. ලැබෙන විදේශීය විනිමය ප්‍රමාණය ද වැඩියි. ඉහළ වැටුප් ලබන ලොව පිළිගන්නා රැකියා අවස්ථා සඳහා අපේ පිරිස් වැඩි වශයෙන් යැවීමට අප කටයුතු කළ යුතුයි.

තරුණ තරුණියන්ට අවශ්‍ය භාෂා දැනුම සහ වෘත්තීය දැනුම ලබා දීමට වැයවන මුදල් සපුරා ගැනීමට සමෘද්ධි බැංකු හරහා ණය යෝජනා ක්‍රමයක් ඇරඹීමට පවා මෙහිදී තීන්දු කර තිබෙනවා. ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස ඊට වැඩි සැලකිල්ලක් දක්වා තිබෙනවා.

රටක් ලෙස අප ලැබූ ජයක්
– මහාචාර්ය රමීෂ් අබුබාකර් (උපකුලපති අග්නිදිග විශ්වවිද්‍යාලය-ඔලුවිල්)

ශ්‍රී ලංකාව දෙස් විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි බංකොලොත් රටක් බවට පත්වෙලා සිටියේ‍. මීට අවුරුදු දෙක තුනකට පෙර අපේ රටේ ආර්ථික අර්බුදය උග්‍ර වුණා. මේ අවස්ථාව සමහරු හැඳින්වූයේ නිදහ‍සින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටිනවා කියලයි.

මේ වෙලාවේදී රට ආර්ථික වශයෙන් බල ගැන්වීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබුණා. ඒ සඳහා තිබූ හොඳම විකල්පය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම.

ඔවුන් සමඟ ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ගො‍ඩගැනීමට වැඩපිළිවෙළක් සකස් කළා. අප දහහත් වන වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගත්තා. ඒ අනුව පළමුව දේශීය ණය ප්‍රශස්තකරණයට ලක් කළා. දෙවනුව ද්විපාර්ශ්වීය විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළා. ඒ තමයි මෑතකදීම කළ දේ. ඒ අනුව පැරිස් සමාජය, ඉන්දියාව, ජපානය, චීනය ආදී ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළා. ඒ රටක් ලෙස අප ලැබූ ජයක්. මෙතනදී සිදු වන්නේ මේ වසරේ ගෙවිය යුතු විදේශීය ද්විපාර්ශ්වීය ණය ආපසු ගෙවීමට වසර තුනක කාලයක් සහනයක් ලැබීමයි. ඊට අමතරව පොළී අනුපාතද අඩු වී තිබෙනවා. මේ සහන නිසා අපට ණය ආපසු ගෙවීමට නම් නිදහසක් ලැබී තිබෙනවා.

මේ සමඟ ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගො‍ඩඒමට සරණක් ලැබී තිබෙනවා. අප රට පිළිබඳව ජාත්‍යන්තර පිළිගැනීම ඉහළටම නැංවී තිබෙනවා.

ඒ නිසා නැවතත් ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් හා වෙනත් මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාවක් උදාවී තිබෙනවා.

ණය ආපසු ගෙවීම කල් දමා තිබෙන නිසා රටට මුදල් කෙටි කාලයකට ඉතිරි වෙනවා. මෙම ඉතිරි වෙන මුදල් දැනට වැඩ නවතා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට යොදා ගත යුතුයි.

වැඩ නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති ඵලදායි ලෙස ආර්ථික දියුණුවට යොදා ගත හැකි ලෙස ආදායම් උත්පාදනයට ඉවහල් වන ලෙස කඩිනම් කළ යුතුයි. එවැනි වැඩපිළිවෙළක් සමඟ අපට ඉදිරි අනාගතයේදී ණය ආපසු ගෙවීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගත හැකියි.

අප බිඳ වැටී ඇති කර්මාන්ත හා ව්‍යාපාර බලගැන්වීමට වැඩි ඉඩක් ලබා දිය යුතුයි
– නවාස් රජාබ්දීන් (සභාපති ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සම්මේලනය)

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කොන්දේසි යටතේ ණය වැඩස‍ටහනකට මුල පුරා තිබෙනවා. මෙම මුල පිරීමත් සමඟ අපට නැවත ජාත්‍යන්තරව වෙනත් ආයතනවලින් පවා අරමුදල් පහසුකම් ලබා ගැනීමට, සේවා ලබාගැනීමට ඉඩ ලැබී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව මෑතකදී එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක සහන ණයක් ලබා දුන්නා. මෙය ලබා දුන්නේ මෙරට ව්‍යවසායකත්වය දියුණු කිරීමටයි. එම බැංකුවෙන් ලැබුණු මුදල් අනිවාර්යයෙන්ම අපේ රටේ ගම්බදව, අර්ධ නාගරිකව ජීවත්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ලැබිය යුතුමයි. ඔවුන් අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි.

මෙලෙස ලැබෙන ණය මුදල් නිසි ලෙස අපේ රටේ අලුත් ව්‍යවසායකයන්ට හා කර්මාන්තකරුවන්ට ලැබෙන්නේ නම් ඔවුන්ගේ අත මිට සරුවෙනවා. ඒ සමඟ ආර්ථිකයේ පිබිදීමක් සිදුවෙනවා. ආර්ථිකය පිබිදෙන විට රජයේ ආදායම් ඉහළ යනවා. රජයේ ආදායම් ඉහළ යන විට රජයට කළ හැකි වියදම් ඉහළ යනවා. සංවර්ධන වැඩ, සෞඛ්‍ය අධ්‍යාපන, ප්‍රවාහන, මහාමාර්ග, වාරිමාර්ග, ජලසම්පාදන, විදුලිබල, නිවාස මේ ආදි සියලු සංවර්ධන වැඩ වේගවත් කිරීමට වැඩි මුදලක් ආයෝජනය කිරීමට රජයට හැකි වෙනවා. ආර්ථිකය වේගවත්ව සංවර්ධනය වන විට ඒ හරහා ලැබෙන ආදායමෙන් අපට ගෙවිය යුතු ණය ගෙවීමට පහසු වෙනවා.ඒ නිසා මේ අවස්ථාවේ අප බිඳවැටී ඇති කර්මාන්ත හා ව්‍යාපාර බල ගැන්වීමට වැඩි ඉඩක් ලබා දිය යුතුයි.

අපනයන සැකසුම් කලාපවලින් විශාල ආර්ථික ප්‍රතිලාභ ඇතිවෙනවා
– ධම්මික ප්‍රනාන්දු (සභාපති අපනයන සැකසුම් කලාප නිෂ්පාදකයන්ගේ සංගමය)

අප රටේ ප්‍රධාන වශයෙන් අපනයන සැකසුම් කලාපවල දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ ආයෝජන මත කර්මාන්ත හා ව්‍යවසාය ක්‍රියාත්මක වෙනවා. මේවායින් රටට අතිවිශාල ආර්ථික ප්‍රතිලාභ හිමි වෙනවා.

විදේශ වෙළෙඳාම හා ඍජුවම බැඳුණු අපනයන කටයුතුවල අප කර්මාන්තකරුවන් නිරතවී සිටිනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය ගෙනඒම අපගේ පළමු, දෙවැනි, තෙවැනි ඉලක්කයයි. අපි කටයුතු කරන්නේ මේ ඉලක්කය ජය ගන්නයි.

අපේ රට මීට වසර තුනකට පෙර දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඒ තමයි අප රටක් ලෙස ලබාගත් දෙස් විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි වීම.

මේ අර්බුදයෙන් රට ආර්ථික වශයෙන් ආගාධයකට වැටුණා. මේ ආගාධයෙන් ගොඩ ඒමට අපට විසඳුම් අවශ්‍ය වුණා. අපට ඒ අවස්ථාවේ පිරිසක් IMF යමු කිව්වා. තව පිරිසක් යන්න එපා කිව්වා. එවන් පසුබිමක තමයි වත්මන් ආණ්ඩුව IMF ණය පහසුකමක් ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කළේ.

වසර 2023 මාර්තු මාසයේ එම ණය පහසුකම ශ්‍රී ලංකාවට හිමි වුණා. මාස 48කින් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 විස්තීර්ණ ණය පහසුකමක්. මේ ණය පහසුකම ලැබීම එක අතකින් අපට සතුටට කරුණක්. යම් ආකාරයක ජයග්‍රහණයක්. මේ හරහා තාවකාලිකව ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට අතදීමක් සිදුවුණා.

අපට දෙස් – විදෙස් ගෙවීමට සිදු වී ඇති ණය තොගය ඩොලර් බිලියන 100ක් තරම් විශාලයි. ඒ මුදල ආපසු ගෙවීමට අපට ලැබෙන සහන මොනවාදැයි තවම නිශ්චිතව කියන්න අමාරුයි. මේවාගේ පසුබිමක් මත අපි තවදුරටත් ණය ලබා ගනිමින්, ණය ආපසු ගෙවමින් සිටිනවා. අපිට ගෙවා අවසන් කිරීමට වන ණය තොගය වැඩි වෙන්න වෙන්න එහි පීඩනය එන්නේ අපටමයි. අපි එම පීඩනය අවම කර ගන්න නම්, ණය ගෙවීමට හැකි, අපටම කියා ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙළක් සකස් කරගත යුතුයි.

ගැඹුරින් කල්පනා කර බැලිය යුතු අවස්ථාවක්
– සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න හිටපු අංශාධිපති ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය – කොළඹ විශ්වවිද්‍යාලය

අපේ රට මුහුණ දුන් ප්‍රධානම අභියෝගය තමයි ලබාගත් දෙස් විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි වීම. මේ ප්‍රශ්නය අපේ රට දැවැන්ත ආගාධයකට තල්ලු කළා. ආර්ථික වශයෙන් අප බිඳ වැටුණා. මෙයට පිළිතුරක් සොයා ගැනීම පාලකයන්, බලධාරින් මුහුණ දුන් දැවැන්තම අභියෝගයක් වුණා.

ඒ අතරවාරයේ තමයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට පියවර ගත්තේ. 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මාස 48ක ණය පහසුකම් ලබාදීමට තීන්දු කළා. ඒ අනුව මේ වන විට වාරික දෙකක් ලැබී තිබෙනවා. එක්සත් ජනපද ඩොලර් බිලියනයකට අධික මුදලක් දැනටත් ලැබී තිබෙනවා. ඒ අතරේ ශ්‍රී ලංකාව ගෙවිය යුතු දේශීය ණය ආපසු ගෙවීමට සහන වැඩපිළිවෙළක් සකස් කළා.

මේ අවස්ථාවේදී ද්විපාර්ශ්වීය විදේශීය ණය ආපසු ගෙවීමට සහන වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අපට වැඩි වශයෙන් විදේශීය ණය පහසුකම් ලබා දී තිබෙන ඉන්දියාව, චීනය, ජපානය සහ පැරිස් සමාජය අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට ගිවිසුම් එළැඹ තිබෙනවා.

දැන් අපට ණය ආපසු ගෙවීමට වසර තුනක සහන කාලයක්, අඩු පොලී අනුපාතකයක් ලැබීම තුළ සහන හිමිවී තිබෙනවා. නමුත් අපට දිගින් දිගටම මෙම සහන තුළම සිටිය නොහැකියි. අපි රටක් ලෙස කළ යුත්තේ කුමක්ද? ගැඹුරින් කල්පනා කර බැලිය යුතු අවස්ථාවක් දැන් උදාවී තිබෙන්නේ.

අපගේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. සමහර රටවල මේ ප්‍රමාණය ඩොලර් මිලියන, බිලියන 100,200,300 ඉක්මවා යනවා. අපට තවදුරටත් ඩොලර් බිලියන 12ක අපනයන ආදායමක් තුළ රැඳී සිටීමට බැහැ. අපත් වේගවත් ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගනිමින් ඉහළ ආදායම් ලැබීමට කටයුතු කළ යුතුයි.

ඉදිරි අවුරුදු පහ තුළ අප ණය ආපසු ගෙවීමට සමත් රටක්, ජාතියක් බවට පත්විය යුතුයි. ඒ සඳහා දිගුකාලීන දැක්මක් සහ අනාගතය පිළිබඳව සුබවාදී වැඩපිළිවෙළක් සමඟ ඒකාත්මිය විය යුතුයි. අපට වඩාත් වැදගත් වන්නේ ණය ගෙවීමට හැකි ආකාරයේ ශක්තිමත් විදේශ විනිමය ඉපයීමක් ළඟා කර ගැනීමයි. මෙහිදී හැකිතරම් අපනයන ආදායම වැඩිකර ගැනීමට අමතරව විදේශ විනිමය ලැබීම් ඉහළ නංවන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. අපගේ ඊළඟ ඉලක්කය පුද්ගල කේන්ද්‍රීය සෛවරීත්ව බැඳුම්කර හරහා ලබා ගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමයි. එය ලබන මාසයේදී සාකච්ඡා කිරීමට නියමිතයි. එයත් සාර්ථක වුවහොත් අපට විශාල වාසි ලැබෙනවා. ඒ හරහාත් අපගේ ඉදිරි ණය ගෙවීම පිළිබඳව සහන සලසා ගැනීමට හැකිය.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division