Home » ‘සාධි’ රැගෙන සුවිනීතා යළි සිනමාවට

‘සාධි’ රැගෙන සුවිනීතා යළි සිනමාවට

by gayan
June 15, 2024 12:30 am 0 comment

හෙළ සිනමා අඹරේ පෑයූ තරු අතරට හැටේ දශකය මුලදීම තවත් තාරකාවියක් පෑයුවාය. ‘සුදු සඳේ කළු වලා’ සිනමා පටයෙන් සිනමා රංගනයට අත්පොත් තැබූ ඇය දෙලොවක් අතර, වැලිකතර, සිකුරුලියා, හුලවාලි, අනූපමා, මලට නොඑන බඹරු, යුගාන්තය, ජනේලය, දැහැන, බවදුක ආදී සිනමාපට හරහා සිය අද්විතීය රංගන පෞරුෂයක් ප්‍රකට කළාය. දශක පහකට අධික කාලයක් මෙරට සිනමාව ඔසවා තැබීමට ඉමහත් දායකත්වයක් ලබාදුන් ඕ නමින් සුවිනීතා වීරසිංහ නම් වූවාය.

කාලයක් නිහඬව සිටි ඇය එකී නිහැඬියාව බිඳිමින් ‘සාධී’ සිනමාපටය සමඟ අධ්‍යක්ෂවරියක ලෙස කල එළි බසින්නට සූදානමින් පසුවන්නීය. මේ ඇගේ කතාවයි.

“මගේ උපන් ගම දෙහිවල කරගම්පිටිය. පියා දොන් ෆ්‍රැන්සිස් වීරසිංහ. මව ඕබඩ මුදලිගේ දෝන කැරලැයින්. පියාගේ මාපියන් බෞද්ධයන් වුවත් ඥාතීන් බොහෝදෙනා කතෝලික ආගමට නැඹුරුව කටයුතු කළා. මා උපන්නේ පවුලේ වැඩිමහල් දියණිය ලෙසයි. පසුව මට බාල සොහොයුරන් පස්දෙනකු පවුලට එකතු වුණා. ගැහැනු දරුවකු වුවත් පිරිමි සහෝදරයන් පස්දෙනත් එක්ක මාත් වැඩුණේ පිරිමි දරුවෙක් වගේ. පවුලේ වැඩිමලා විදියට අම්මා ගොඩක් වගකීම් මට පැවරීමට අමතක කළේ නැහැ. පවුලේ එකම ගැහැනු දරුවා නිසා පියාගේ වැඩි සෙනෙහසක් මට ලැබුණා.

මගේ මවගේ ඇවතුම් පැවතුම් තුළින් දිස් වූයේ බෞද්ධ කුල කාන්තාවකගේ විලාසයයි. මවගේ සොහොයුරියනුත් ඒ වගේ. ඒත් මාමලා ඊට වෙනස් නිදහස්කාමී අදහස් දැරූ අය. මා කුඩා කල සිට ඔවුන් ඇසුරේ වැඩුණත් මගේ වයස අවුරුදු 4 පමණ වන විට මා වැඩියෙන්ම ප්‍රිය කළේ පියාගේ ඥාතීන්ට. ඒ ඔවුන්ගේ බටහිර පන්නයේ ගති සිරිත්වලට මා යටි සිතින් ආශා කළ නිසයි. නැන්දලාගේ ඇඳුම් මොස්තරවලට මා බෙහෙවින් ප්‍රිය කළා. නිතරම ඔවුන් සැරසී සිටියේ ගෙදරින් පිටත ගමනක් යන්න සැරසෙනවා වගේ. කොණ්ඩය සරසා තොල් සායම් ගල්වා නියපොතු පාට කර බලන්න ලස්සනයි. මගේ පුංචි හිතත් ඒ කෙරෙහි ඇදී ගියා. ඔවුන් සිටියේ හරිම විනෝදයෙන්. ඔවුන් සිටියෙත් අපේ නිවසට යාබදව නිසා මා නිතරම එහි ගියා. ඔවුන් සෙමෙන් මුමුණන ගීතවලට මා ඉතා ආශාවෙන් සවන් යොමු කළා. සංගීතය කෙරෙහි මා තුළ උනන්දුව ඇති වුණේ නැන්දලාගේ මේ හැසිරීම්වල බලපෑම නිසයි. මා ඔවුන් අනුකරණය කිරීමට ගිහින් මව තරවටු කළ අවස්ථා එමටයි. එහෙත් මගේ පියා ඉතාම සංවේදී කලාවට ප්‍රිය කළ අයෙක්. ඔහුට ඉතාම මිහිරි කටහඬක් තිබුණා. ඔහු කලාව කෙරෙහි ළැදියාවක් දැක්වූවා.

මා ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යොමු වුණේ දෙහිවල මෙතෝදිස්ත පාසලටයි. කතෝලික පරිසරය මට නුහුරු වුවත් ඒ තුළ පැවති නිදහස්කාමී බවත් ගීතිකාවන් ගැයීමට තිබූ ආශාවත් නිසා මගේ සිත තදින්ම ඒ කෙරෙහි ඇදී ගියා. එසේම නිවස ආසන්නයේ පිහිටි දහම් පාසලට යාම මට අනිවාර්ය වුණා. ඊට මා යොමු වූයේද දැඩි උනන්දුවකින්.

පසුව මා ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. පාසලේ නීතිය අනුව සෑම ශිෂ්‍යාවක්ම ඉංග්‍රීසි බසින් කතා කිරීම අනිවාර්යයි. මේ නිසා ඉංග්‍රීසි පොතපත කියැවීමටත් ලෝකය පිළිබඳ දැන ගැනීමට අපට හැකියාව ලැබුණා.

පාසලේ මා එතරම් දඟකාර ශිෂ්‍යාවක් නොවූවත් ගෙදර දඟකාරිය වූණේ මම. මා හයවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ පාසල ඇරී ගල්කිස්සේ සිට මගේ මිතුරියන් සමඟ වෙරළ තීරය දිගේ ගෙදර එන්නේ. ඒක මගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන් කියලා සිතූ මගේ මව මා බෞද්ධ බාළිකා විද්‍යාලයෙන් ඉවත් කර දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළා. අලුත් පාසල මට තවත් අත්දැකීම් බොහෝමයක් ළඟා කර දුන්නා. මෙහිදී මා ක්‍රීඩාවට උන්දුවක් දැක්වූවා. නිවාසාන්තර තරඟාවලින් මෙන්ම දැල්පන්දු ක්‍රීඩාවෙන් දස්කම් පෙන් වූ නිසා මම හැමෝම අතරත් ජනප්‍රිය ක්‍රීඩිකාවක්. මේ කාලයේ මා පාසලේ ඉංග්‍රීසි, සිංහල සාහිත්‍ය සමිතිවල සභාපති තනතුරු උසුලමින් පාසලේ සෑම අංශයකින්ම ඉදිරියට පැමිණ සිටියා. අපේ ඉහළ පන්තිවල තමයි ලූෂන් බුලත්සිංහල හිටියේ. පාසල් වේදිකාවට අවතීර්ණ වීමට වරම් ලැබීම පාසලේ දී මට ලැබුණ සුවිශේෂී අවස්ථාවක්. බෞද්ධ බාලිකාවේ සිටියදී වේදිකාව හුරුපුරුදු වුවත් යම් අවබෝධයකින් වේදිකාවට ගොඩ වූයේ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේදීයි. මෙහි ප්‍රතිඵලයක් විදියට ‘මනමේ නාට්‍යයේ මනමේ කුමරියගේ චරිතය රඟ දැක්වීමට මට වරම් ලැබුණා. නර්තනය විෂයක් ලෙස හැදෑරීමත් ඊට ලොකු පිටිවහලක් වුණා.

දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන් ‍ෙජ්‍යෂ්ඨ සහතික පත්‍ර විභාගය (SSC) සමත් වී උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගය (HSC) සඳහා යොමු වී සිටියදී කඩුවෙල ප්‍රදේශයට පදිචියට යාමට සිදුවීමත් සමඟ අධ්‍යාපන කටයුතු අතරමඟ නතර කිරීමට සිදු වුණා. මේ නිසා වෙනත් විකල්ප අධ්‍යාපනයක් සඳහා යොමු වීමට බලාපොරොත්තුවෙන් සිටියදී කොළඹ ආයුර්වේද විද්‍යාලයට සිසුන් බඳවා ගන්නා බව මට දැනගන්න ලැබුණා. ‍ෙජ්‍යෂ්ඨ සහතික පත්‍ර විභාගය ඉහළින්ම සමත්ව සිටි නිසා මට ඒ සඳහා අවස්ථාව හිමි වුණා. ඒ සඳහා යොමු වුණේ හුඟාක් කැමැත්තෙන්. වෛද්‍යවරියකු වීම මගේ සිහිනයක් වුණා. ඒ වන විට මම වයස අවුරුදු 16 සම්පූර්ණවුණා පමණයි.

වෛද්‍යවරියක වීමේ නොතිත් ආශාවෙන් තෙවන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක ලෙස අධ්‍යයන කටයුතුවල නියැළෙමින් සිටියදී දිනක් පියා පුවත්පතක පළ වූ දැන්වීමක් පෙන්වා “ දුව ඔයා කැමැති නම් මේකට ඇප්ලයි කරන්න” එය කුමක් දැයි දැන ගැනීමට මා වහා දැන්වීම අතට ගෙන කියෙව්වා. චිත්‍රපටයක් සඳහා නවක නිළියක තෝරාගන්නට ඒ දැන්වීම පළ කර තිබුණා. මගේ යටි හිතේ සිරගතව තිබූ තවත් ආශාවක් ක්ෂණයකින් නැඟී ආවා. අමුතුම කිතියකින් හැඟීමකින් හිත පිරී ගියා. ඒක කොච්චරද කිව්වොත් මං මෙච්චර කල් ආශාවෙන් සිටි වෛද්‍යවරියක වීමේ සිහිනය පවා මොහොතකින් අමතක කර දැමූවා. නමුත් අම්මා මේ ගැන දැනගත් සැණින් එයට අකමැති වුණා. ඒත් මම ඇගේ විරෝධය නොතකා පියාගේ පෙලඹවීමත් නිසා සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි වුණා. ටික දවසකින් මා චිත්‍රපටය සඳහා තෝරාගෙන ඇති බව දැනගන්න ලැබුණා. මට රඟපාන්න තිබුණේ බොනිපස් ප්‍රනාන්දු සමඟ එහි ප්‍රධාන චරිතයයි. ඒ වෙලාවේ මගේ හිතේ ලොකු චකිතයක් තිබුණා. මොකද මට සිනමාව ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ.

මම හැම තැනකටම ගියේ අම්මත් එක්ක. අම්මා බලාගෙන ඉන්නකොට මට රඟපාන්න පොඩි බයක් වගේම සබකෝලයක් තිබුණා. අම්මගේ විරෝධය දැඩිව තිබුණා. අනික මං ඒ වෙද්දි හරිම ළාබාල යෞවනියක්.

මේ චිත්‍රපටය කළේ රොබින් තම්පෝ. එහි නම වුණේ ‘සුඳු සඳේ කළු වලා‍’ චිත්‍රපට තිරගත වීමත් සමඟ ඉහළ ප්‍රතිචාර ලැබුණා. මෙහි බොනිපස් ප්‍රනාන්දු, ෆ්ලොරීඩා ජයලත් වගේ ඉතාම ජනප්‍රිය නළුනිළියන් රඟපෑම ඊට හේතු වී තිබුණා. එවක බොහෝ සිනමා පටවල දකුණු ඉන්දියානු සිනමාවේ බලපෑම තිබුණා. මේ චිත්‍රපටයත් ඒවගේ. මේ චිත්‍රපටය කරගෙන යන අතරෙම රොබින් තම්පෝ එයාගෙ අනෙක් චිත්‍රපටයෙත් පටිගත කිරීම් ආරම්භ කරලයි තිබුණේ. එකේ නම ‘අපි ඔක්කොම සමානයි’ ඔහු මාව ඒ සිනමා පටයටත් දායක කර ගත්තා, ඊළඟට සාගර පලන්සූරියගේ කවිපොත ආශ්‍රයෙන් ඔහු විසින් නිර්මාණය කළ ‘සුදෝ සුදු’ චිත්‍රපටයටත් මාව තෝරගත්තා. මෙහි බොනිපස් ප්‍රනාන්දු, ගාමිණී ෆොන්සේකා වැනි දැවැන්තයින් එක්ක තමයි මට රඟපාන්න සිද්ධ වුණේ. මට ගාමිණීව සිනමාවේ මුලින්ම හමු වුණේ මේ චිත්‍රපටියෙදී. ගාමිණී අපේ කිට්ටු ඥාතියෙක් වුණත් ඔහුගේ රංගන හැකියාව මම සජීවීව දැක්කේ සුදෝ සුදු චිත්‍රපටයේ්දී. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණ දවසේ ඒක නරඹන්න ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් ඇවිත් හිටියා. පීරිස් මුලින්ම මාව දැක්කේ මේ චිත්‍රපටයෙදි. ඔහු එහි මා කළ රංගනය ගැන බොහෝම අගේ කරමින් කතා කළා.

මේ හඳුනා ගැනීම ඔහුගේ ‘දෙලොවක් අතර’ සිනමා කෘතියට මාව තෝරගන්න අවස්ථාවක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නැහැ. මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය‘දෙලොවක් අතර’ කිව්වොත් එය වඩාත්ම නිවැරදියි. මම රංගනය කියන්නේ මොකක්ද, කොහොමද රඟපාන්නේ, නිළියක් විදියට පෞර්ෂය ගොඩනඟා ගන්නෙ කොහොමද කියන හැමදේම මම ඉගෙන ගත්තේ ලෙස්ටර් මහත්තයා එක්ක වැඩ කරන්න ලැබීමෙන්. ඒ ගෞරවය හැමදාමත් මම ලෙස්ටර් මහත්මයාට දෙනවා. මට තාත්වික රංගනය හා අභිනයන් කාලය හසුරුවා ගන්න විදිය පිළිබඳ අ යනු ආ යනු කියල දීපු ගුරුවරයා ඔහුයි. මේ චිත්‍රපටය පුරාවටම රඟපාන්න ලැබුණේ ටෝනි රණසිංහ කියන ඒ අද්විතීය නළුවත් එක්කයි. එයත් මට ලැබුණු වාසනාවක්. මොකද ඔහු හොඳ ඇසූ පිරූ පුද්ගලයෙක්.

මට මේ කාලෙදි තමයි තිස්ස අබේසේකරව හමුවුණේ . අපි විවාහ වුණා. දියණියන් දෙදෙනෙක් ලැබුණා. ඒ නිසා මම වසර පහක පමණ කාලයක් කලා කටයුතුවලින් ඈත්ව සිටියා. නමුත් ඔහු මට සිනමාව ගැන අධ්‍යනය කරන්න අවශ්‍ය බොහෝ පොත පත ගෙනැවිත් දුන්නා. රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පෙන්නපු බොහෝ සිනමාපට නරඹන්න අවස්ථාව ලැබුණා. ඒ කාලෙ මට රඟපෑමට හරියට ආරාධනා ලැබුණා. නමුත් මම ඒ එකක්වත් බාර ගත්තෙ නැහැ. හොඳ චිත්‍රපට පමණක් තෝරාගෙන කළ යුතුයි කියන ස්ථාවරයකයි මම ඒ වෙද්දි හිටියේ.

ඒ කාලෙ වැඩිපුර බිහි වුණේ වාණිජ රැල්ලෙ නිර්මාණ. කලාතුරකින් තමයි කලාත්මක නිර්මාණ බිහිවුණේ. මේ කාලෙදි තමයි මට තිස්ස දෙබස් ලියපු ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය හා සංස්කරණය කළ “වැලිකතර” පිටපත ලැබුණෙ. මම ඒ පිටපත කියෙව්වා. ඒක මගේ හිතට වැදුණා. ඒ නිසා වසර පහක නිහැඬියාව බිඳිමින් මම වැලිකතරට සම්බන්ධ වුණා.

එහිදී ගාමිණී වගේම ජෝ අබේවික්‍රම මට මුණ ගැසුණා. මගේ හැකියාව, නිර්මාණ ශක්තිය එළියට ආවේ ජෝට සහ ගාමිණීට මැදි වෙලා වැඩ කරපු හින්දා කියලයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම මම ගෙදර හිටපු කාලයේ කළ අධ්‍යයනයන් ඊට දායක වුණා. එය තමයි පළමු සිනමාස්කෝප් චිත්‍රපටය. එයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ගෞරවනීය විදිහට මගේ රංගනය ගැන බොහෝදෙනා කතා කළා. 1972 දී ටෂ්කන්ට් සිනමා සම්මාන උලෙළට ඩී.බී. නිහාල්සිංහයන්ගේ “වැලිකතර” චිත්‍රපටය නියෝජනය කරන්න අවස්ථාව උදාවෙනවා. ඒ සඳහා සහභාගි වීමේ අවස්ථාව වැලිකතරේ ගීතා වුණ මටත් හිමි වුණා.

ඊට පස්සේ “සිකුරුලියා” හි මට ජෝ, විජේ එක්ක වැඩ කරන්න ලැබෙනවා. පසුව “හුලවාලි” චිත්‍රපටයට මට ආරාධනා ලැබෙනවා. ඒ එහි අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ඒ. සිල්වා හරහා. එහි ගාමිණී වගේම ටෝනි සමඟ මට වැඩ කරන්න ලැබුණා. හුලවාලි වෙනස්ම කතාවක්. හුලවාලි ටෙහෙරාන් චිත්‍රපට උලෙළෙදි වෙළෙඳ අංශයට ඉදිරිපත් කළා. මේ සඳහා සහභාගි වෙන්න මටත් අවස්ථාව හිමි වුණා. එහිදී මා අත්දැකීම් රැසක් ලැබුවා.

පසුව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පළමු චිත්‍රපටය වුණු අනුපා හී වැඩ කරන්න මට ආරාධනා ලැබෙනවා. එය දයා රාජපක්‍ෂගේ ජනප්‍රිය චිත්‍ර කතාවක් ආශ්‍රයෙන් තමයි සිනමාවට නැඟුණේ. එහි අනුපමාගේ චරිතය රඟපෑවේ මම. විජය කුමාරතුංග මගේ පෙම්වතා විදිහට තමයි එහි රඟපෑවේ. මාලනී ෆොන්සේකා පවා මෙහිදී මා සමඟ රඟපෑවා.

සුදු සඳේ කළු වලා චිත්‍රපටියෙන් ආරම්භ කරපු මගේ සිනමා දිවිය අපි ඔක්කොම සමානයි, සුදෝ දුසු, දෙලොවක් අතර, වැලිකතර, සිකුරුලියා, ගෝඩ් කිං, හුලවාලි, සකුන්තලා, සිරිපතුල, අනූපමා, සසරක පැතුම, මලට නොඑන බඹරු, සඳමාලි, තුත්තිරිමල්, යුගාන්තය, සති පූජා, ජය සිකුරුයි, ජනේලය, දැහැන, බවදුක, හංස විලාපය(දෙපා නොලද්දෝ), පෙම් කැකුළ, මිල්ලෙ සොයා, රජ්ජුමාලා, ඉරහඳ, බන්ධනය, වස්සානයේ සඳ ආදී ඉතාම සුවිශේෂී සිනමා නිර්මාණ රැසකට දායකත්වය ලබාදෙන්න මට හැකියාව ලැබුණා.

මම නිහඬව සිටි කාලය තුළ ආධ්‍යාත්මය ගොඩක් දියුණු කර ගත්තා. ඒ නිසා බොහෝදෙනා ඇරැයුම් කළත් මම නිර්මාණවලට දායක වුණේ නැහැ. ඒත් පස්සේ මම ඒ අදහස වෙනස් කළා. නමුත් අධ්‍යක්ෂණයට යොමු වෙන්න මට ලොකු වුවමනාවක් මුලදී තිබුණේ නැහැ. ඒත් කලාත්මක සිනමා නිර්මාණයක් මගේ ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙන්න මට ඕන වුණා. ඒ අනුව තමයි “සාධි” නිර්මාණය වෙන්නේ. මේ වෙද්දි සියලු රූගත කිරීම් අවසන් කර ඉතිරි කටයුතු කරමින් ඉන්නවා. මෙහි ප්‍රධානම භූමිකාව රඟපාන්නේ මම, පුංචි තිරයේ රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධනගෙත් පුංචි තිරයේ රංගන ශිල්පිණියක වන දිමිත්‍රි සුබසිංහගෙත් කුළුඳුල් සිනමා රංගනය “සාධි” සිනමා පටයයි. ඊට අමතරව හෂිණිකා කරලියද්ද, විල්මන් සිරිමාන්න වැනි රංගන ශිල්පීන් මීට දායක වෙනවා.

බෞද්ධ ධර්මය, දේශපාලන මතවාදය, සමාජීය මතවාදය එකට කැටි කොටගෙන නිර්මාණ වූ “සාධි” චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්‍ෂණය කරනු ලබන්නේ ගයත්‍රි කේමදාස. සහාය අධ්‍යක්ෂණය ලක්ෂ්මන් පුෂ්පකුමාර. ශාන්ත ප්‍රදීප් විසින් කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වනවා. මේ නිර්මාණයත් මගේ අනික් නිර්මාණ වගේම ප්‍රේක්ෂක ජනතාව වැළඳ ගනීවි කියා මා විශ්වාස කරනවා. අපි ඇයට සුබපතමු.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division