Home » මහඇමැතිව තල්ලු කර ඇ‍ෙඳන් බිමට දැමූ හැටි හෙළිකරන නාමල් උයනේ හාමුදුරුවෝ

මහඇමැතිව තල්ලු කර ඇ‍ෙඳන් බිමට දැමූ හැටි හෙළිකරන නාමල් උයනේ හාමුදුරුවෝ

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

ම්භාවනීය අමුත්තන් පිරිවරාගත් උත්සව සභාවක් අමතමින් සිටි භික්ෂුන් වහන්සේ එක්වරම සිය කතාව නතර කළහ. උන්වහන්සේගේ දෙනෙත යොමුවී තිබුණේ සභාවට පැමිණෙමින් සිටි ආරාධිතයකු වෙතය. ඒ සමඟම උන්වහන්සේ හඬා වැටෙන්නට වූහ. ඒ හැඬුම උන්වහන්සේගේ කතාවට බාධා කරද්දී සභාතොමෝ ද වික්ෂිප්ත වූහ. පැමිණි ආරාධිතයා සභාවේ සිටි බොහෝ දෙනකුගේ හදවත මුදුනේ නිදන්ව සිටින චරිතයක් වුව ද ඔහු දුටු සැණින් රාහුල හිමියන් හඬන්නේ ඇයි ද යන්න ඇතැමකුට විමතියක් වුව ද ඒ අවස්ථාව බොහෝ දෙනකුගේ සිත් සංවේදී කළේය.

ඒ සංවේදී අවස්ථාව දැකගත හැකි වූයේ ඉකුත් අප්‍රේල් 30 වැනිදා අරලියගහ මන්දිර පරිශ්‍රයේදී අගමැති දිනේෂ් ගුණවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති හරසර ප්‍රණාම උලෙළකදීය. ජාතික නාමල් උයනේ 33 වැනි සංවත්සරය වෙනුවෙන් එය ආරම්භයේ සිට මේ දක්වා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් ලබා දුන් දායකත්වයට උපහාර පිදීම එම උත්සවයේ නිමිත්තයි. උත්සවය ආරම්භ වීමෙන් පසු ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් වේදිකාවට පැමිණියේ පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීමේ කතාව සඳහාය. උන්වහන්සේ කතාව ආරම්භ කර ටික වේලාවක් ගතවද්දී ප්‍රවීණ පුවත්පත් කතුවර එඩ්මන්ඩ් රණසිංහයන් සිය දියණිය සහ බෑනනුවන් ද සමඟ උත්සව සභාවට සම්ප්‍රාප්ත විය. ඒ අවස්ථාවේදී වනවාසී රාහුල හිමියෝ අතිශයින් සංවේදී වූහ. උන්වහන්සේගේ දෙනෙත්වලින් කඳුළු කඩා හැලෙන්නට වූ අතර විනාඩි කිහිපයක් ගතවන තුරු හඬ අවදි කිරීමට ද නොහැකි විය. ඒ අවස්ථාව උත්සව සභාවේ වූ සියලු දෙනා ද සංවේදී වූයේ එඩ්මන්ඩ් රණසිංහ යනු මේ වන විට මෙරට සිටින ප්‍රවීණතම පුවත්පත් කතුවරයා ලෙස මාධ්‍යව්දීන්ගේ බුහුමනට ලක්වන නිසාය. වේදිකාවෙන් බැස ආ රාහුල හිමියෝ එඩ්මන්ඩ් රණසිංහයන් ඉදිරියට පැමිණි අතර රණසිංහයන් අසුන් ගත්තේ එතෙක් උත්සව සභාව එකලු කළ පහනට අඩුවක්ව පැවති සිය පහන් ආලෝකය ද දැල්වීමෙන් පසුවය. එඩ්මන්ඩ් රණසිංහයන් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ සහ රාහුල හිමියන්ගේ ආචාරය සහ උත්සව සභාවේ සහෘදය මාධ්‍යව්දීන්ගෙන් තමාට ලැබුණු ගෞරවය සුපුරුදු ප්‍රියංකර මඳහසින් පිළිගත් අතර වේදිකාවට ගිය වනවාසී රාහුල හිමියෝ යළි සිය හඬ අවදි කළහ.

අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකා­යා­ර­ක්ෂක සභාවේ සභා­පති හිටපු කතානායක කරු ජය­සූ­රිය විසින් වන­වාසී රාහුල හිමි­යන්ට උප­හාර සම්මා­නය පුද කළ අව­ස්ථාව

අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකා­යා­ර­ක්ෂක සභාවේ සභා­පති හිටපු කතානායක කරු ජය­සූ­රිය විසින් වන­වාසී රාහුල හිමි­යන්ට උප­හාර සම්මා­නය පුද කළ අව­ස්ථාව

“අද නාමල් උයන ජීවත් වෙන්නෙත් මම ජීවත් වෙන්නෙත් එඩ්මන්ඩ් රණසිංහ මහත්මයා නිසයි. මේ ජාතික කාර්යයේ ප්‍රධාන නියමුවා එතුමයි. දිවයින පත්තරේ නාමල් උයන ගැන මුල්ම ලිපිය පළ කරලා එතුමා තමයි ඉස්සෙල්ලාම මේ ජාතික මෙහෙවර වෙනුවෙන් මට උදවු කළේ” යනුවෙන් එහිදී උන්වහන්සේ සිය හදපිරි ගෞරවය එඩ්මන්ඩ් රණසිංහයන් වෙත පිරිනැමූහ.

ජාතික නාමල් උයන සහ වනවාසී රාහුල හිමියන් අතර ඇත්තේ වෙන් කළ නොහැකි සබැඳියාවකි. එපමණටම ගැඹුරු බැඳීමක් තමා සහ මාධ්‍ය අතර ද පවතින බව උන්වහන්සේගේ විශ්වාසයයි. නාමල් උයනට වසර 33ක් සපිරෙද්දී ඒ වෙනුවෙන් සහාය වූ සියලු ජනමාධ්‍ය වෙනුවෙන් උපහාර පුදමින් කෘතගුණ දක්වන්නට උන්වහන්සේ අදහස් කළේ එනිසාය. එම උපහාර උලෙළේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහයන්ගේ පැමිණීම හමුවේ එපමණටම සංවේදී වූයේ ඇයි දැයි අපි උන්වහන්සේගෙන් විමසුවෙමු.

“එඩ්මන්ඩ් රණසිංහ මහත්තයා කියන්නෙ මේ රටේ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කතුවරයා. මැතිඇමැතිවරුන්ගෙන්, රාජ්‍ය අනුග්‍රහයෙන් නාමල් උයන වෙනුවෙන් සියලු දේ ලැබුණත් එතුමා මට දැක්වූ සහාය මට කවදාවත් අමතක කරන්න බැහැ. මුල ඉඳලම මට කන්න හාල්, සීනි, තේ කොළ, පොල් ගෙඩිය ඉඳන් ගෙනත් දුන්නෙ එතුමා. එතුමගෙ වයෝවෘද්ධ කාලේ එතුමා ඒ සභාවට එද්දි මට දැනුණේ රජෙක් එනවා වගේ. එතුමා එන්න ප්‍රමාද වුණ ටික වෙලාවට ඒ අඩුව මට දැනුණා. ඒ කාලේ එතුමා සිංහරාජයෙක් වගේ මහා පෞරුෂයකින් හිටිය කෙනෙක්. පැවිද්දෙක් වුණත් ජීවිතේ අනියත බව මතක් වෙද්දි මහ පුදුම දුකක් වේදනාවක් මට ඇතිවුණා. ඒකයි ඒ වෙලාවේ මම සංවේදී වුණේ. මුල් කාලේ ඉඳලම මේ ජාතික මෙහෙවරට උර දුන්නු, මාව ජීවත් කරවපු, මම තනිවුණු අසරණ වුණු හැම වෙලාවෙම සරණක් වුණු, නොයෙකුත් තාඩන පීඩන තර්ජන ගර්ජන ආව වෙලාවේ මට හයියක් වුණු රණසිංහ මහත්තයා ගැන මගේ හිතේ තියෙන්නේ විශාල ගෞරවයක්. එතුමා වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් කළ උපහාර පිදීමටත් මම ගිය වසරේදී සහභාගි වුණා. ඒ ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වනවා. එඩ්මන්ඩ් රණසිංහ කියන්නේ මට මහමෙරක් වගේ. එතුමා නොවුණා නම් නාමල් උයනත් මමත් නැතිවෙන්න තිබුණා.” වනවාසී රාහුල හිමියෝ ඒ අතීතය සිහිකරන වාරයක් පාසා සංවේදී වන්නාහ.

ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම නා වනය වන නාමල් උයන ඓතිහාසික, ආගමික, පාරිසරික මෙන්ම ජෛව විවිධත්වය සහ භූගෝලීය වශයෙන් කැපී පෙනෙන ලක්‍ෂණ නිසා සුවිශේෂී වූ සංරක්‍ෂිත භූමියක් ලෙස නම් කර ඇත. මේ වන විට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය තෝතැන්නක් බවට ද පත්ව ඇති නාමල් උයන හමුවන්නේ කොළඹ අනුරාධපුර අධිවේගී මාර්ගයේ මඩාටුගම හන්දියෙන් කිලෝ මීටර් 7ක් පමණ ඇතුළට වන්නට පිහිටි ගල්කිරියාගම ගමේ ආඬියාගල පාරේය. දකුණු ආසි‍යාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය ඇත්තේ නාමල් උයනේ වන අතර මෙරට එකම ස්ථානයක වැඩිම නා ගස් ප්‍රමාණයක් ඇති ස්ථානය ලෙස ද එය සැලකේ. නාමල් උයන දෙස් විදෙස්ප්‍රචලිත වූයේ ජනාධිපති පරිසර සම්මානලාභී වනවාසී රාහුල හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාය.

“මම මේ තැනට ආවේ මගේ දක්ෂතා, හැකියාවන්, කැපවීම සහ වාසනා ගුණයත් එක්කයි. ස්වාධීනව ගොඩනැඟෙන්න ඕන කියන අධිෂ්ඨානය මා තුළ තිබුණා. ඒ වගේම මේ ගමනෙදි මම මුහුණ දුන් අභියෝග සුළුපටු නැහැ. ආපස්සට හැරිලා බලද්දි මට පුදුමාකාර සතුටක් දැනෙනවා.” වනවාසී රාහුල හිමියෝ පැවසූහ. ඒ අතීතාවර්ජනය පුරා ඇත්තේ අධිෂ්ඨානය, නොපසුබට උත්සාහය සහ කැපවීමය.

“මම සත්කෝරල වැසියෙක්. මම උපන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොහොම සුන්දර පුංචි ගමක. මගේ තාත්තා ගමේ මැම්බර් මහත්තයා. මට අක්කලා දෙන්නෙකුයි, අයියලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි හිටියා. අද ඔවුන් කිසිවකු ජීවතුන් අතර නැහැ. මට අවුරුදු හතරෙදි අම්මා අන්ත්‍රා වුණා. අපිව බලාගන්න තාත්තා කුඩම්මෙක් ගෙනාවා. ගමේ යමක්කමක් තිබුණු පවුලක් වුණාට ඊට පස්සේ අපේ ජීවිතේ සතුටින් ගෙවුණේ නැහැ. ඒ හින්දම අවුරුදු දහය වෙද්දි පන්සලට තල්ලු වුණ මම මහණ වුණේ නිවන් දකින පරමාර්ථයෙන් නම් නෙවෙයි. ඒ පුංචි වයසේ තිබුණු තාඩන පීඩන විඳගන්න බැරිවයි පන්සලට ගියේ. පොල්අතු සෙවිලි කළ ශාලාවක බිම පැදුරක් දාගෙනයි පන්සලේදී අපි නිදා ගත්තෙ. නොයෙක් නොයෙක් කරදර හිරිහැර විඳින්න වුණු නිසා මම තැන්තැන්වලට ගියා. ඒ කාලේ සංඝ සමාජයෙන් මට ඒ තරම් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

එහෙම ඉන්න අතරේ මම නාමල් උයනට කිට්ටුව තිබුණු රණව ගම්මානයේ පැරණි පන්සලකට ගියා. ඒ කාලේ මට වයස අවුරුදු 30ක් විතර. වැඩ කරන්න පුදුම වුවමනාවක්, ආශාවක් තිබුණ කාලයක් නිසා මම ගමේ මිනිස්සු එකතු කරගෙන නොයෙකුත් සමාජ සේවා වැඩ, සංවර්ධන කටයුතු කළා. ඔහොම අවුරුදු කීපයක් ගතවුණා. ඒ කාලේ නාමල් උයනට මිනිස්සු කිව්වේ ගල් පාත්තරේ කියලා. රෝස තිරිවානා නිධිය මිනිස්සු හැඳින්වූයේ ලුණු ගල් කියලා. රණව, උල්පත්ගම, මොරොත්තෙ ගම්වල මිනිස්සු ජීවිකාව ගෙනිච්චෙ ඒ කැලේ නිසා. ඒක බලන්න ගිය පළමුවැනි සැරේ මම අතරමං වුණා. දෙවැනි සැරේ රණව ගමේ ළමයි දෙතුන්දෙනෙක් එක්ක ගියාම තමයි ඒක හම්බ වුණේ. 1991 මාර්තු 28 වැනිදා මම නාමල් උයනෙ පදිංචියට ගියේ රුපියල් තුන්සීයක් අතේ තියාගෙන. මහ කැලේ අලි කොටි වලස්සු ඉන්න නිසා මොර ගහක් උඩ පැලක් හදාගත්තා. මුල් දවස්වල කිසිම පහසුකමක් නැතිව පුදුමාකාර දුකක් වින්දා ”

එහෙත් ආත්ම ශක්තියත් අධිෂ්ඨානයත් රාහුල හිමිගේ හිත පිරෙන්නටම තිබුණි. කෙසඟ ඒ ගතේ හයි හත්තියට මහ කැලයේ සතාසිවුපාවා පවා පරාද වූ බව උන්වහන්සේ කීහ.

“නාමල් උයනට ගිය මුල්ම දවසේ මම ඇවිදලා මහන්සියට නාමල් උයනේ ගල් පාත්‍රය උඩ වාඩි වුණා. මට දැනුණේ රබර් මෙට්ටයක් උඩ ඉඳගත්තා වගේ. ඒ එක්කම ඉඳගත්ත තැන උස්පහත් වෙනවා වගේ දැනුණා. මට ටිකක් සැක හිතුණා, එතැන තනිකරම කොළකොඩුවලින් වැහිලා තිබුණෙ. මම කෝටුවකින් කොළ රොඩු ටික එහාට මෙහාට කරද්දියි දැක්කෙ විශාල පිඹුරෙක් රවුම් ගැහිලා නිදාගෙන ඉන්නවා. බැලින්නම් ගොදුරක් ගිලපු පිඹුරෙක්. හැබැයි මට කිසිම හානියක් වුණේ නැහැ. ඒ වගේම තව දවසක හවස්වරුවක ත්‍රිවීල් එකේ යනකොට එක පාරටම කැලය මැදින් අලියෙක් පැන්නා. තනි අලියා ත්‍රිවීල් එකට ගහලා පොඩි කළා. මමයි ත්‍රිවීල් එක පදවපු ළමයයි විසි වුණා. නමුත් අපිට සීරීමක තරම් දෙයක්වත් වුණේ නැහැ. සොබාදහම මාව ආරක්ෂා කරනවා කියලා එදා ඉඳලම මගේ හිතේ විශ්වාසයක් තිබුණා.”

එහෙත් කැලෑ කපන ජාවාරම්කාරයෝ නම් නිරන්තරයෙන්ම රාහුල හිමිට හරහට සිටියහ. ඔවුන්ගේ මරණ තර්ජන හමුවේ වුවද නොසැලී සිටි උන්වහන්සේ අවසන ඔවුන්ට තර්ජනයක් විය.

“කැලෑ ජාවාරම්කාරයන්ගෙන් විතරක් නෙවෙයි මම කැලෑව රකින එක දරා ගන්න බැරි හුඟක් අය මට එරෙහිව ආවා. අප්‍රේල් 17 වැනිදා දවසක පොලිස් නිලධාරියෙකුත් මට වෙඩි තිබ්බා. ඒ කිසිදේකින් මගේ ගමන නවත්තන්න බැරි වුණා.” ලෝකයක් තරම් වටිනා රෝස තිරුවානා නිධිය සහිත නාමල් උයන රැක ගැනීමට නම් එහි වටිනාකම ලෝකයටම හඬ ගා කිව යුතු යැයි මේ යතිවරයාණන්ට හැඟුණි.

“ටී. එම්. සංඝදාස මහත්මයා ඒ කාලේ නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට රණසිංහ ප්‍රේමදාස මහත්මයා එක්ක බොහොම සමීප සම්බන්ධතාවක් තිබුණු කෙනෙක්. මම සංඝදාස මහත්තයාව හඳුනාගත්තේ රණව පන්සලේ හිටපු කාලේ. නාමල් උයන ගැන රටට, ලෝකෙට කියන්න ඕන කියල හිතුනාම මට මතක් වුණේ සංඝදාස මහත්මයා. එතුමා මට කිව්වා දිවයින පත්තරේට ගිහින් එඩ්මන්ඩ් රණසිංහ මහත්තයා හමුවෙලා මේ ගැන කියන්න කියලා. ඒ කාලේ පත්තරේක නමක් යනවා කියන එක මහ ලොකු දෙයක්. ඒ කාලේ තිබුණේ රීල් දාන කැමරානේ. මම නාමල් උයනේ පින්තූර ටිකක් අරගෙන ගලේවෙලට හරි කුරුණෑගලට හරි ගිහින් පින්තූර ටික සුද්ධ කරගෙන කොළඹ යන්න ලෑස්ති වුණා. ඒක ලේසිපාසු ගමනක් නෙවෙයි. ඒ කාලේ කොළඹ එන්න දැන් වගේ බස් නෑනේ. පස්සෙ කාලෙක මම තමයි දඹුල්ල ඩිපෝවට කතා කරලා සී.ටී.බී. බස් එකක් දැම්මෙ.

ඉතින් මම නාමල් උයනේ ඉඳන් පාන්දර හතරට පාපැදියෙන් මඩාටුගම හන්දියට එනවා. රෑ තිස්සේ මම කරන්නේ ඇඳේ ඉඳගෙන ලන්තෑරුම් එළියෙන් මැති ඇමතිවරුන්ට ලියුම් ලියන එක. දවසක් පාන්දර එද්දි සයිකලේ පස්සෙන් අලියා පැන්නුවා. නමුත් හානියක් වුණේ නැහැ. ඔහොම අමාරුකම් විඳගෙන මම දිවයින පත්තර කන්තෝරුවට ගියා. ඒක තමයි මම මුලින්ම පය තියපු පත්තර කන්තෝරුව. මාස පහක් හයක්ම මම ඔය විදිහට ගියාට පස්සේ දවසක් එඩ්මන්ඩ් රණසිංහ මහත්තයා මාව එතුමගේ කාමරයට එක්කගෙන ගියා. මට තාම මතකයි දේහධාරී එතුමා සිංහ සෙයියායවෙන් ඇවිදගෙන ආ හැටි. එතුමා ඇහුවා, දානෙ වැළඳුවාද කියලා. මම නෑ කිවුවම එතුමගෙ කෑම එක මට දුන්නා. ඊට පස්සේ මම නාමල් උයන ගැන විස්තර කියලා මට උදවු කරන්න කියලා කිව්වා. පින්තූරත් එක්කම ඒ ගැන පත්තරේ පළ වුණා. වැඩි දවසක් යන්න කලින් එඩ්මන්ඩ් මහත්තයා උපාලි තෙන්නකෝන් මහත්තයා එක්ක නාමල් උයන බලන්න ආවා. උපාලි මහත්තයා ඒ ගැන පත්තරේට පිටුවක ලිපියක් ලිව්වා. ඊට පස්සේ නිතර නිතර නාමල් උයන ගැන පත්තරේ පළ වුණා.

ඒ කාලේ සෙල්ටෙල් කියලා ගඩොල් කැටයක් සයිස් සෙල්ෆෝන්නෙ තිබුණේ. මමත් එයින් එකක් ගත්තා. ඒ පැත්තට සිග්නල් නැහැ. නමුත් මම තමයි ඒ පළාතට ඉස්සෙල්ලාම සෙල්ටෙල් එකක් ගෙනිච්චෙ. ඒ සෙල්ෆෝන් එකෙන් මම මුලින්ම කෝල් එක ගත්තෙත් රණසිංහ මහත්තයට. ඔහොම ටිකෙන් ටික නාමල් උයන ජනප්‍රිය වෙද්දි ලංකාදීප, සන්ඩේ ටයිම්ස්, ලේක්හවුස් පත්තරත් මේකට සම්බන්ධ වුණා. සමහර දවස්වලට රණසිංහ මහත්තයා මුල පිටුවෙම නාමල් උයනේ පින්තූර එක්ක ප්‍රවෘත්ති පළ කළා. ඒකෙන් මට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සතුටක් ලැබුණා.”

වැඩ කරන්නන් පිටුපස නිරතුරු හඹා එන විවේචන, නින්දා අපහාස වනවාසී රාහුල හිමියන් ද හඹා ආවේය. රෝස තිරුවානා තරම් සුන්දර නොවූ ඒ අත්දැකීම් උන්වහන්සේ සිහි කරන්නේ උපේක්ෂාවෙනි.

“අවුරුදු හතරක් පහක් මා එක්ක එකට පිරිත් කියපු, දානෙට පාංශුකුලයට වාඩිවුණු හික්ෂුන් වහන්සේලාම මේ කාර්යයේදී මට විරුද්ධ වුණා. ඒකට හේතු වුණේ සංඝ සංස්ථාවේ තිබුණු කුහකකම. මම ඒ කාලේ පොඩි චෛත්‍යයක් හදලා ඒකෙ කොත විවෘත කිරීමේ උත්සවයක් තිබ්බා. ඒ පැත්තේ සංඝයා වහන්සේලා පුබ්බෝගම හන්දියෙන් පෙලපාලියක් ගිහින් උත්සවේට එන්න ආපු එඩ්මන්ඩ් රණසිංහ මහත්තයාගේ කමිස කොලරයෙන් අල්ලලා නතර කරලා, එතැනින් එහාට එන්න දීලා නැහැ.

ඒ කාලේ මහඇමැති ජී. ඩී. මහින්දසෝම. බුද්ධශාසන ඇමැති ලාල් ගමගේ. නාමල් උයනෙන් මාව එලවා ගන්න ඕන වුණ අය ඒ දෙන්නටම මට විරුද්ධව කියලා තිබුණා. මම දවසක් මහින්දසෝම මහත්තයා හමුවෙලා විස්තර කිව්වට පස්සෙ පොඩි සහනයක් ලැබුණා. ඔය අතරේ ආණ්ඩු පෙරළියෙන් බර්ටි ප්‍රේමලාල් මහත්මයා මහඇමැති විදිහට පත්වුණා. සමහරු මට විරුද්ධව එතුමාටත් නොයෙක් කේලම් කියලා තිබුණා. පුබ්බෝගම හන්දියේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් හදපු බස් නැවතුමක් විවෘත කරන උත්සවේකට මටත් ආරාධනා කරලා තිබුණා. එදා මම මහඇමැතිතුමාට නාමල් උයන ගැන කිවුවා. එතුමා ඒ රෑ ටෝච් එළියෙන් පයින්ම නාමල් උයනට ඇවිත් බලලා රෑම ආපහු ගියා. ටිකින් ටික එතුමා නාමල් උයනට අවශ්‍ය දේවල් සම්පාදනය කර දුන්නා. ඒ කාලේ මම සතියකට සැරයක් එතුමා හමුවෙන්න කොළඹ යනවා. එතුමා මගේ ඉල්ලීම් එකින් එක ඉටුකරලා දුන්නා. මඩාටුගම සිට ආඬියාගල දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කරන්න උදවු කළේ එතුමා.

සමහර දවස්වල එතුමා කොළඹ ඉඳන් නාමල් උයනට ඇවිත් රෑ ගත කරලා යනවා. එතුමා හරිම කැමතියි කැලේ පැදුරක් දාගෙන නිදා ගන්න. ඒක එතුමාගේ කාර්යබහුල මනසට හරිම සැනසීමක් වුණා. මගේ කුටියෙ තිබුණේ එක ඇඳයි. ඇමැතිතුමාට බිම නිදාගන්න දෙන්නත් බැරි නිසා මම කිවුවා ඔබතුමත් මේකෙ නිදා ගන්න කියලා. ඉතින් අපි දෙන්නා එක ඇඳේ නිදා ගන්නවා. හැබැයි හැමදාම මහඇමැතිතුමා නින්දෙන් ගොරවනවා. ඉවසලා බැරිම තැන මම දවසක් එතුමව ඇඳෙන් බිමට තල්ලු කළා. ඒත් එතුමා මා එක්ක තරහ වුණේ නැහැ. නාමල් උයනට ඇවිත් කොළඹ යන හැම දවසකම බර්ටි ප්‍රේමලාල් මහඇමැතිතුමා රුපියල් පන්සීයක් මගේ අතමිට මොළවලා යනවා. ඒ කාලේ රුපියල් පන්සීයක් කියන්නේ අද රුපියල් පනස්දාහක් විතර වටිනවා. නාමල් උයන දියුණු කරගන්න මෙතෙක් පත්වුණු හැම ආණ්ඩුවක්ම මට උදවු කළා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වෙලා ඉන්න කාලෙ බ්‍රැඩ්මන් වීරකෝන්, දොස්තර ජයලත් ජයවර්ධන, හර්ෂ විජේවර්ධන මහත්වරු මට ගොඩක් උදවු කළා.”

රෝස තිරුවානා නිධිය නිසා නාමල් උයනට ලැබුණු වටිනාකම් බොහෝය. ලෝක කුසලාන ක්‍රිකට් තරගය ජයගැනීමෙන් රටේම සම්භාවනාවට පත්වූ ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග නාමල් උයනේ පළමු ගොඩනැඟිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වූ අයුරු ද වනවාසී රාහුල හිමියෝ සිහි කළහ. සිය ජීවිතය මෙන් රැකබලා ගත් නාමල් උයනේ චංචල, නිශ්චල සියලු දේපොළ උන්වහන්සේ මධ්‍යම සංස්කෘතික අරමුදලට නීත්‍යනුකූලව භාර දුන්නේ මතු පරපුර වෙනුවෙන් නාමල් උයන රැකදීම සඳහාය.

“මට ලැබුණු හැමදේම වියදම් කරලා රටටම ඔක්සිජන් දෙන්න පුළුවන් අක්කර 2,000ක නා වනයක්, අක්කර 600ක රෝස තිරුවානා කඳු 7ක් අවුරුදු 33ක් ආරක්ෂා කළා. භික්ෂුවක් විදිහට මගේ යුතුකම උපරිමයෙන් ඉටු කළා කියන විශාල සතුට මට තියෙනවා. නාමල් උයන අද ලෝකයේම ප්‍රසිද්ධයි. එදා මම දහදුක් විඳගෙන නාමල් උයන රැකගත් නිසා අද එය රටට විදේශ ආදායම ගෙන එන ස්ථානයක් බවට පත්වුණා. මම නැති කාලෙක වුණත් නාමල් උයන දකිද්දි මගේ සේවය කාටත් සිහිපත් වේවි. රුපියල් තුන්සීයක් අරගෙන නාමල් උයනට ආව මාව මේ තැනට ගෙනාවේ මාධ්‍ය සහ සොබාදහමයි. නිවැරැදි චින්තනයක්, ආකල්පයක්, ගමන් මඟක් තෝරාගත් ගිහි පැවිදි ඕනෑම කෙනකුට සොබාදහම පිහිට වෙනවා. ඒක තමයි යථාර්ථය.”

අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධ­න­යන් ප්‍රවීණ පුවත්පත් කතුවර එඩ්මන්ඩ් රණ­සිං­හ­යන් වෙත සිය ආචා­රය පුද කර­මින්, වන­වාසී රාහුල හිමි සහ 
ලංකාදීම උපදේශක කර්තෘ සිරි රණ­සිංහ ද මෙහි වේ.

අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධ­න­යන් ප්‍රවීණ පුවත්පත් කතුවර එඩ්මන්ඩ් රණ­සිං­හ­යන් වෙත සිය ආචා­රය පුද කර­මින්, වන­වාසී රාහුල හිමි සහ ලංකාදීම උපදේශක කර්තෘ සිරි රණ­සිංහ ද මෙහි වේ.

ඡායාරූප – රුක්මල් ගමගේ

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division