Home » ජාතික චින්තනයේ මහා ප්‍රාඥයා නික්ම ගිය වගයි

ජාතික චින්තනයේ මහා ප්‍රාඥයා නික්ම ගිය වගයි

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

“මගෙන් බාහිරව ලෝකය පවතීය යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබිය හැකිද? මට බාල සියලු දෙනා ඉපදීමට පෙර ලෝකය තිබුණු බැව් මම දනිමි. එමෙන්ම මා ඉපදීමට පසුව මිය ගිය අය සමග ලෝකය නැතිවී නොගියේය.

අනෙක් මිනිස්සුන්ගේ ඉපදීමත් මරණයත් සමඟ ලෝකය ඇතිවීම හෝ නැතිවීම සිදු නොවන්නේ නම් මා සම්බන්ධයෙන් පමණක් විශේෂයක් සිදුවිය හැකි නොවේ. මා ඉපදීමට පෙර ලෝකය පැවතුණි. මා මිය යෑමෙන් පසුවද ලෝකය පවතිනු ඇත.”

ඒ මහා චින්තකයා සිය දර්ශනයේ ප්‍රධාන ලියවිල්ල වූ ‘මගේ ලෝකය’ ආරම්භ කළේ එසේය. කාල් මාක්ස්ගේ සුසානයේදී ෆෙඩ්රික් එංගල්ස් පවත්වන ලද කතාවේ සඳහන් කළේ “ඒ මහා චින්තකයා සිය සිතීම නවතා ඇත” කියාය. ‘නලින්ගේ ලෝකය’ දැන් නිමාවට පත්ව ඇතැයි ඔහුට අනුව අපට කිව හැක්කේය.

නලින් ද සිල්වාගේ ජීවිත කතාව ආරම්භ වන්නේ පාණදුරෙන්ය. ගුරු මවුපිය යුවළකට දාව පාණදුර වෑකඩදී 1944 ඔක්තෝබරයේ 20 දා උපන් නලින්, පළමුව අධ්‍යාපනය හදාරන්නේ සිය මව එහි උගන්වන නිසාය. දෙකේ පන්තියේ සිට ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අකුරු කිරීමට යන්නේය. පස්වැනි පන්තියේ සිට කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වන නලින්ට එහිදී සුවිශේෂ ගුරුවරු දෙදෙනෙක් හමුවිය. ඔහුගේ ප්‍රියතම විෂය වූ ගණිතය ඉගැන්වීම කරන ලද්දේ වී. අර්සරත්නම් ය.

බුද්ධාගම ඉගැන්වූයේ බෝගොඩ ප්‍රේමරත්නයන්ය. නලින් ඉහළ පන්ති සඳහා පිවිසෙන කාලයේ ඔහුගේ සංවාද මනස ප්‍රබල විය. රාජකීය විද්‍යාලයේ විවාද කණ්ඩායමේ ඔහු සමඟ ඉන්දික ගුණවර්ධන, නීලන් තිරුචෙල්වම් ආදීන් සිටියහ. ගණිතය සඳහා දැක්වූ දක්ෂතාවම විවාද කණ්ඩායමේ ද ඉසිලීය. මේ නිසා දෙයාකාරයක ගණන්කාරකමක් ඔහු සතු විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවිෂ්ට වූ නලින් ද සිල්වා, එහිදී සුපිරි ගණයේ සිසුවෙක් ලෙස ගුරු සහ සිසු දෙපිරිසේම ඇගයීමට පාත්‍ර වී තිබිණි. උපාධියේ අවසන් ප්‍රශ්න පත්‍ර සඳහා ලැබෙන පැය තුනක කාලය ඔහුට වැඩි විය. හේ ඒ සඳහා ගත කරන ලද්දේ පැය එකහමාරකි. පේරාදෙණියෙන් විශිෂ්ට ලෙස සමත්වූ නලින් ඒ සමඟම දේශපාලන සමාගම අතහැරියේ නැත. වමේ දේශපාලනයේ එකල ඔහු නිරත විය. පේරාදෙණිය සරසවියේ සිටි වික්‍රමබාහු කරුණාරත්න, සුමනසිරි ලියනගේ සමඟ නලින්ගේ දේශපාලන බැම්ම තරවූ හෙයින් මේ තිදෙනා එකම කල්ලියක් ලෙස එකල සරසවියේ ජනප්‍රියව සිටියෝය. විශ්වවිද්‍යාලයේ සිටි රූමත්ම තරුණියෝ තිදෙනා ද පෙමින් බැදී සිටියේ මේ තිදෙනා සමඟින් හෙයින් ‘වමේ තුනේ’ කල්ලිය සරසවියේ ජනප්‍රිය විය.

එතැන් සිට නලින්ගේ කතාව වෙනස් වන්නේය. 1967දී උපාධිය විශිෂ්ට ලෙස සමත්වූ පසු 1969දී රෝඩ්ස් ශිෂ්‍යත්වයක් ලැබ වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට බැඳුණේය.

සෛද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව සඳහා සිය ආචාර්ය උපාධිය හදාරන ලද හෙතෙම සිය නිබන්ධනය සඳහා මාතෘකා කර ගත්තේ ‘තාරකා භෞතිකයේ ගුරුත්වාකර්ෂණ ආචරණ’ යන්නය. එය න්‍යායාත්මක විග්‍රහයක් විය.

මහාචාර්ය විලියම් මැක්රේ ඔහුගේ පර්යේෂණ ගුරුවරයා විය. විලියම් මැක්රේ එකල ලෝකයේ ප්‍රධාන පෙළේ විද්‍යාඥයකු විය. නලින්ගේ දක්ෂතාව හමුවේ මැක්රේ ඔහුට පුත්‍ර ස්නේහයෙන් ගුරු වූහ. නිතරම සිය නිවෙස මතක් වීම නලින්ට තිබූ ඉස්පාසුවක් නැති කාරණය විය. හැම පැත්තෙන්ම ගණන්කාරයා වූ හෙයින් නිතර කේන්ති ගැනීමේ ලක්ෂණයක් ඔහු සතු විය. තීරණ ගැනීමේදී ද නලින් මේ ගණයේ විය.

වසර තුනක කාලයක් ආචාර්ය උපාධි පර්යේෂණ කළ යුතු වුවත්, සිය නිවෙසට යා යුතු හෙයින් වසර එකහමාරකින් සිය නිබන්ධනය නිමවා ඔහු විශ්වවිද්‍යාලයට ප්‍රකාශ කළේ “මගේ නිබන්ධනය මෙන්න. ඔබ කැමති තීරණයක් ගන්න” කියාය. සිය ගෝලයාගේ දක්ෂතාව පිළිබඳ අතිශය පැහැදුණු මහාචාර්ය මැක්රේ, විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට යෝජනා කරන ලද්දේ මෙම නිබන්ධනය සඳහා ආචාර්ය උපාධියක් ලබාදිය යුතු බවය. එසේ වුවත් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ නීති රීති අනුව වසර තුනක පර්යේෂණ ආචාර්ය උපාධිය සඳහා අනිවාර්යය.

මෙම නීතිය නලින් සඳහා ලිහිල් කිරීමට සනාතන සභාව තීන්දුවක් ගත්තේය.

නලින් අපේක්ෂා කරන ලද්දේ සිය නිබන්ධනය සඳහා විද්‍යාපති මට්ටමේ උපාධියක් ලැබෙනු ඇත කියා වුවත් ඔහුගේ නිබන්ධනයේ වැදගත්කම අගයා එම සසෙක්ස් සරසවිය සිය ආයතනික නීති රිතිද ලිහිල් කර නලින් වෙත ආචාර්ය උපාධිය පිරිනමන ලද්දේය. වයස 26 වන විට ආචාර්ය උපාධිය ලද නලින් සිය රට බලා එද්දී ඔහුගේ ගුරුවර මහාචාර්ය මැක්රේ ලිපියක් ඔහු අත තැබුවේය. එහි තිබූ එක් වාක්‍යයක සිංහල අර්ථය වන්නේ “ඔබ ගැන ඔබේ රට ආඩම්බර වනු ඇත.” කියාය.

ආචාර්ය නලින් ද සිල්වා පේරාදෙණිය සරසවියේ ගණිතය උගන්වන අතරේ මාක්ස්වාදී දේශපාලනය ද කරගෙන ගියේය.

එකල හෙතෙම සමසමාජ පාක්ෂිකයෙක් විය. තිදෙනාගේ මිතුරු හවුලේ සාකච්ඡාවකින් පසු ආචාර්ය නලින්, ආචාර්ය වික්‍රමබාහු, ආචාර්ය සුමනසිරි ලියනගේ තිදෙනා සමසමාජයෙන් වෙන් වී නව සමසමාජය බිහි කර ගත්තේය. මේ කාලය වන විට මාක්ස්වාදය සම්බන්ධයෙන් දාර්ශනික ප්‍රශ්න ගණනාවක් නලින් වෙත පැමිණ තිබිණි. ඒ සමඟ ඔහු මාක්ස්වාදයෙන් ද දාර්ශනික ලෙස වෙන් විය. පේරාදෙනියෙන් කොළඹ විශ්වවිද්‍යාලයට පිවිසෙන නලින්ගේ දාර්ශනික අදහස් බොහෝ සේ වෙනස්ව තිබුණේය. විද්‍යාව සම්බන්ධයෙන් ද ඔහුගේ ආස්ථානයේ වෙනසක් ඇතිව තිබිණි. ඔහු ජාතියට සංස්කෘතියට සාපේක්ෂව සිය චින්තනය එළිදක්වන්නට විය.

අසූව දශකය ආරම්භ වන විට නලින්ගේ චින්තන විතැන් වීම සමඟ ඔහු නව සංවාද මණ්ඩපයක් ආරම්භ කළේය. කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ ශිෂ්‍ය ප්‍රජාව සමඟ ගවේෂකයෝ නම් සංවාද මණ්ඩපය පිහිටුවා සිදු කරගෙන යන සංවාද අතරේ ඔහුගේ මහා දාර්ශනික කෘතිය වන ‘මගේ ලෝකය’ 1986 වසරේ එළිදැක්විණි.

සිංහල බෞද්ධ ජාතිකත්වය සඳහා දාර්ශනික පදනමක් ඇති කරමින් හෙතෙම නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය නම් දාර්ශනික ධාරාව නිර්මාණය කළේය.

ආචාර්ය නලින්ගේ මාධ්‍ය ප්‍රවේශය සිදුවන්නේ සිළුමිණ පුවත්පතිනි. එඩ්මන්ඩ් රණසිංහයන් සිළුමිණ ප්‍රධාන කර්තෘ තනතුර දරන සමයේ සිට සිළුමිණ සඳහා ඔහු ලිපි ලීවේය. රණසිංහයන් දිවයින ඉරිදා සංග්‍රහය ආරම්භ කළ පසු ආචාර්ය නලින්ගේ මාධ්‍ය නවාතැන්පොළ වුයේ ද දිවයිනය. ආචාර්ය නලින් ද සිල්වා මේ ළඟකදී සඳහන් කර තිබුණේ තමනට මාධ්‍ය සඳහා අවකාශය ලබා දුන්නේ එඩ්මන්ඩ් රණසිංහයෝ බවය. ආචාර්ය නලින් ද සිල්වා වනාහි සිංහල ජාතිය සහ බුදු දහම වෙනුවෙන් දාර්ශනික මාවතක් විවර කළ වියතාය.

හෙතෙම සිය අපිස් ජීවිතය පුරාවටම පාරමිතාව කර ගන්නා ලද්දේ සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය ආරක්ෂා කිරීමය. නොසිතූ සම්භාවනාවකට මරණින් මතු හේ පත්ව ඇතත් ජීවිත කාලය පුරාම ඔහු ලක්වූයේ අාක්‍රෝෂ පරිභවයටය.

නලින් ද සිල්වා යනු ඒ කිසිවකට සලිත කළ හැකි අයෙක් නොවේ. එසේ වුවත් සිය පුතණුවන් එක්සත් ජනපදයේ වාසය කරන්නේ බැවින් ඔහු සෙවණේ කාලය ගත කරමින් සිටියදී නලින්ගේ ලෝකය නිමාවට පත්විය. එක්සත් ජනපද වාතලයේ හුස්ම මුදාහළ එතුමා පවුලේ තීරණයක් අනුව එහිම ආදාහනය කටයුතු කිරීම සඳහා තීරණය වී තිබේ.

මනෝජ් අබයදීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division