Home » “සර්… ඉල්ලන ගාණක් දෙන්නං අපේ කොල්ලෝ අතඅරින්න…”

“සර්… ඉල්ලන ගාණක් දෙන්නං අපේ කොල්ලෝ අතඅරින්න…”

by thanushika
April 27, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින කාලවකවානුවක මේ ජාවාරම්කරුවෝ එයින් මිදී ඔවුන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කර ගැනීමට නොයෙක් උපක්‍රම යොදා ගනිමින් සිටින බව පැහැදිලිය.

මේ සඳහා ඔවුන් ජාලගතව එක පුරුකක දම්වැල් මෙන් කටයුතු කිරීමද විශේෂත්වයකි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යුක්තියේ මෙහෙයුමට බියෙන් විදේශගතව සැඟවී සිට මෙරට සිටින ඔවුන්ගේ ගෝලබාලයන් ලවා ජාවාරම කරගෙන යාමට කටයුතු කරන බව ද නොරහසකි. එකම දම්වැලක පුරුක් ලෙස එකට ඈඳුණු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන් දන්නා ශිල්ප සියල්ලම දමමින් තම අරමුණ කරා ළඟාවීමට උත්සාහ කළද පොලිස් ඇසට වසන් වීමට නොහැකි බව ඔවුන්ට නොවැටහීම පුදුමයකි.

කොතරම් සූක්ෂ්මව සැඟවී සිටියද එකෙකු අල්ලාගත් විට ඔවුන්ගේ ජාලයේ බොහෝ පිරිසක් නීතියේ රැහැනට කොටු වෙන්නේ එකකට එකක් ඈඳුණු දම්වැලක පුරුක් ගිලිහී යන්නා ලෙසිනි.

“මේ බොස් ඔයා අල්ලාගෙන ඉන්න අපේ කොල්ලෝ ටික අතාරිනවද…? ඉල්ලන ගාණක් දෙන්නං. අහිංසක කොල්ලොනේ බොස්. උන්ට කරදරයක් කරන්න නම් ලෑස්ති වෙන්න එපා.”

මේ ඇමතුම ලැබුණේ මත්ද්‍රව්‍ය ජාලයක සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනශාන්ත කහටදෙණියටය. ඇමතුම දුන් පුද්ගලයා ඉල්ලා සිටියේ අත්අඩංගුවේ පසුවන ඔහුගේ ගෝලබාල රොත්ත නිදහස් කරන ලෙසය. ඒ සඳහා විශාල මුදලක් වියදම් කිරීමට ද ඔහු සූදානම්ය. මොහු ‘අවිශ්ක’ නමැති පාතාල ක්‍රියාකාරිකයකු බවට හඳුනා ගැනීමට හැකි වන්නේ වැඩිදුර විමර්ශනය කිරීමේදීය.

අවිශ්කගේ පැටිකිරිය හෙළි වන්නේ ඉන් පසුවය. කොහුවල, ඇළ ඉවුර ආසන්න ප්‍රදේශයේ පදිංචිව සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන වාසනා, අවිශ්කගේ පියාය. මනුෂ්‍ය ඝාතන කීපයකම සැකකරු බවට පත් වී සිටි ‘වාසනා’ වෙඩි පහරකින් මිය යන්නේ මීට වසර තුනකට පමණ පෙරය.

කුඩා කල සිට ඇසූ දුටු දේ ඇසුරින් හෝ පිය උරුමයෙන් ලද දායාද ලෙසින් හෝ අවිශ්කද කටයුතු කළේ පියා ගිය අඩි පාරේම ගමන් කිරීමටය. අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාලයේ ඉහළම ජාවාරම්කරුවෙකු බවට පත් වී සිටින මොහු ගෝලබාලයින් රැසක්ම තම මෙහෙවර සඳහා යොදාගෙන තිබෙන බව අනාවරණය වී තිබේ.

යුක්තියේ මෙහෙයුමට බියෙන් විදේශගතව සැඟවී සිටින මෙම ජාවාරම්කරු එහි සිට අත්අඩංගුවට ගත් ගෝලයින් තිදෙනා මුදා ගැනීමට තමන් දන්නා ශිල්ප සියල්ලම පාවිච්චි කළද ඉන් පලක් නොවුණේ පොලිස් පරීක්ෂක ජනශාන්ත කහටදෙණිය ඔවුන්ට අවනත වන පොලිස් නිලධාරියෙකු නොවූ බැවිනි. දෙහිවල පොලිසිය මඟින් ටී56 මැගසින් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ‘දෙහිවල බන්ටී’ නමැති පුද්ගලයා ද ඔහුගේ ප්‍රධාන ගෝලයා බවට හඳුනාගෙන තිබිණ.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ සැරයන් 54478 වසන්තට පසුගියදා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තොරතුරක් ලැබෙන්නේ ජම්බුගස්මුල්ල, මිරිහාන, කිරුළපන, කොහුවල, නාවල, නුගේගොඩ, කොට්ටාව, මහරගම ආදී ප්‍රදේශවල සැරිසරන පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ව්‍යාපාරයේ නියැළෙන බවටය.

ඒ අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනශාන්ත කහටදෙණිය මොහු අත්අඩංගුවට ගැනීමේ කාර්යයට අත ගැසුවේ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී. එස්. ජයමහ සහ නුගේගොඩ කලාප අංක එක පොලිස් අධිකාරී තුසිත කුමාරගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේය. ඔහු අත්අඩංගුවට පත්වන්නේ නුගේගොඩ ගුවන් පාලම ආසන්නයේදීය.

ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක ප්‍රමාණයක් සමඟිනි. ඔහුට මත්ද්‍රව්‍ය ලබා දී ඇත්තේ තවත් පුද්ගලයකු විසිනි. ඔහු සිටින්නේ කොට්ටාවේ ‘එපාර්ට්මන්ට්’ එකක කුලියටය. සැරයන් 54478 වසන්තද මොහු පිළිබඳව ඇස ගසාගෙන සිටියේ ටික කාලයක සිටය. ඉතා හොඳින් ජාවාරම කරගෙන ගිය මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගන්නේ පාන්දර ජාමයේ එපාර්ට්මන්ට් එක අසල රැකවල්ලා සිටීමෙන් පසුවය. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දොළහක් තිබී සොයා ගැනීමට පොලිසියට හැකිවිය. ඔහුට මත්ද්‍රව්‍ය ලබා දී තිබුණේ කොහුවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසිනි. මෙම පුද්ගලයා පොලිසියට හසුවන්නේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් ද සමඟිනි.

අවසානයේදී අනාවරණය වන්නේ මොවුන් තිදෙනා පාසල් වයසේ සිට එකට සිටි මිතුරන් බවය. එක් අයකු වැරදි පාරේ ගිය විට අනෙක් මිතුරන්ද ඔහු පසුපස ගමන් කරමින් තමන්ගේ මුළු ජීවිතයම විනාශය කරා ළඟා කරගෙන ඇත්තේ මේ අයුරිනි. මේ පුරුකේ මුලට සිටින්නේ අවිශ්කගේ ගෝලයෙකි. මොවුන් තිදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 45කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් හයලක්ෂ පනස් දාහක් පමණ වේ. අවුරුදු 22, 23 සහ 26 වයස්වල පසුවන මෙම තිදෙනා කිරුළපන සහ කොහුවල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

නුගේගොඩ කොට්ඨාසය පුරා මේ දිනවල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට සිදු කරන ලද යුක්තිය මෙහෙයුමේ දී තමන් සිදුකර ඇති අපරාධ නිසා පොලිස් අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් අවිශ්ක විදේශයකට පලා ගොස් සැඟවී සිටියද ඔහුගේ මත්කුඩු ජාලය මෙම පුද්ගලයින් විසින් මෙහෙයවා ඇත්තේ ඔහුට සුර සැප ලබා දීමටය. මහා පරිමාණ ගංජා ජාවාරම්කරුවකුගේ දියණියක විවාහ කරගෙන සිටින මෙම ජාවාරම්කරු විදේශගතව සිටියදීද ලක්ෂ ගණනින් මුදල් ගනුදෙනු සිදු කර ඇති බවට අනාවරණය කරගෙන තිබෙන අතර ඒ පිළිබඳවද ඉදිරි විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි. තවදුරටත් පොලිසිය විමර්ශන සිදු කරමින් සිටින්නේ මෙම ජාලයේ ඉතුරු සාමාජිකයන්ද අත්අඩංගුවට ගැනීම සඳහාය.

බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් හසන්ත මාරපන සහ නුගේගොඩ කොට්ඨාස භාර ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජේ. පී. එස්. ජයමහගේ උපදෙස් මත නුගේගොඩ අංක එක පොලිස් අධිකාරී තුසිත කුමාරගේ අධීක්ෂණයෙන් නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනශාන්ත කහටදෙණිය, සැරයන්වරුන් වන 54478 වසන්ත, 66480 ඉන්දික, 82936 මදුසංක,103719 ගයාෂාන්, 103732 ධනංජය යන නිලධාරීන් විසින් විමර්ශන සිදු කළහ.

විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division