Home » ඩුබායි මත්ද්‍රව්‍ය කප්පිත්තන්ගේ මෙරට ජාවාරම්කාරයන් දෙදෙනෙකුට පොලිස් දැල වැටුණු හැටි

ඩුබායි මත්ද්‍රව්‍ය කප්පිත්තන්ගේ මෙරට ජාවාරම්කාරයන් දෙදෙනෙකුට පොලිස් දැල වැටුණු හැටි

by thanushika
April 20, 2024 12:30 am 0 comment

යුක්තිය මෙහෙයුමේ නිරතව සිටින පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ සෙසු ආරක්ෂක අංශ මේ වන විට පාතාල කල්ලි සාමාජිකයන්, ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන්ට එල්ලකර ඇති පීඩනය නිසා මේ අය බොහෝ දෙනෙක් ගම්බිම් හැරදා පලාගොස් ඇති අතර ඇතැමෙක් සිටින්නේ විදේශගතවය.

මෙලෙස විදේශගතව සිටින පාතාල අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරමුන් සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ඔවුන් රැඳී සිටින රටවල සිට මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සිදු කරවන බව රහසක් නොවේ.

එලෙස විදේශගතව සිට මෙරට අපරාධ ජාලය මෙහෙයවන පුද්ගලයන් පාතාල ප්‍රබලයන් පනහකට වැඩි සංඛ්‍යාවකගේ තොරතුරු ආරක්ෂක අංශ අතට මේ වන විට පත්ව ඇති අතර එම පාතාල ප්‍රබලයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ මෙරට සංවිධානාත්මක ජාලය අකර්මණ්‍ය කිරීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මේ වන විට ඉතා සැලසුම්සහගත මෙහෙයුම් ආරම්භකර ඇත්තේ මේ ජාලයට සම්බන්ධ පුද්ගලයන්ගේ නම්ගම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ද වැදගත් තොරතුරු රැසක් එක්කාසු කරගනිමිනි.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය (සීසීඩී) සහ පොලිස්පතිවරයාගේ උපදෙස් සහ මඟපෙන්වීම අනුව පසුගියදා ආරම්භ කරන ලද විශේෂ ඒකක 20න් එක් ඒකකයක නිලධාරීන් සිදු කරන ලද සුවිශේෂි මෙහෙයුමකදී පාතාල කල්ලියක මෙරට ප්‍රබලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සුවිශේෂී සිදුවීමකි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ පාතාල ප්‍රබලයන් දෙදෙනා විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල කල්ලි නායකයන් දෙදෙනෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ මෙහෙයවන අය වීමයි.

සංවිධානාත්මක අපරාධකරුවන් වන දැනට විදෙස්ගතව සිටින ‘මෝදර නිපුන’ සහ ‘රජමල්වත්තේ චාමරගේ’ උපදෙස් මත මෙරට අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බවට සැක කරන ‘සේදවත්තේ ජනා’ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධරයන්ට කොටු වන්නේ පසුගියදාය. ඒ එම කොට්ඨාසයේ නිලධරයන් සිදුකරන ලද විමර්ශනයකදීය. කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල් (3122) උදයට ලැබුණු තොරතුරකට අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ‘සේදවත්තේ ජනා’ සොයා යන අතර එම කණ්ඩායමට නායකත්වය දෙන්නේ උප පොලිස් පරීක්ෂක ප්‍රියමන්තය.

මේ පොලිස් කණ්ඩායම වැල්ලම්පිටිය, සේදවත්තේ සැකකරු පදිංචි නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී මේ සැකකරු එහි සඟවා තිබු කඩු 5ක් සොයා ගන්නා ලද අතර සැකකරු සන්තකයේ තිබුණු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගන්නා ලදි.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී හෙළි වී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ මේ වන විට සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මෝදර නිපුන’ සහ ‘රජමල්වත්තේ චාමර’ගේ උපදෙස් මත තම නිවසේ කඩු 5ක් සඟවාගෙන සිටි බවයි.

මෝදර නිපුන සහ රජමල්වත්තේ චාමර මේ සැකකරු ලවා අපරාධ සිදු කිරීමේ අරමුණින් මෙලෙස කඩු සඟවා තිබුණේදැයි සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භකර තිබුණේ පසුගියදාය.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් සිල්වා යන නිලධාරින්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ උප පරීක්ෂක ආර්.එම්.ආර්. චතුරංග, උප පරීක්ෂක එච්.පී.එස්. ජයමහ යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන පවත්වාගෙන යයි.

මේ අතර ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘හබරකඩ කසුන්’ගේ ප්‍රධාන ගෝලයකු රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නේ පසුගියදා ආරම්භ කරන ලද විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ආරම්භ කරන ලද විශේෂ පොලිස් කණ්ඩායම් 20න් එකකට නායකත්වය දෙන පොලිස් පරීක්ෂක විජේසිංහ ඇතුළු කණ්ඩායමකට මේ සැකකරු කොටුවන්නේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධරයකුගෙන් ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද විමර්ශනයකදීය.

සැකකරු හෙරොයින් සමඟ මෙලෙස කොටුවී ඇත්තේ හෝමාගම, පැලැඳගොඩ ප්‍රදේශයේදීය. මේ පුද්ගලයා හබරකඩ කසුන් ඩුබායිහි සිට දෙන උපදෙස් අනුව ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට ප්‍රදේශ කිහිපයක කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරගෙන ගොස් ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

මේ සැකකරු ඔහුට අයත් මෝටර් බයිසිකලයක් යොදාගෙන මත්ද්‍රව්‍ය තැනින් තැනට ප්‍රවාහනය කර ඇති බවට සැක කැරේ. පනාගොඩ, නවගමුව, ගොඩගම, වැල්ලම්පිටිය, දැඩිගමුව, මීගොඩ, අතුරුගිරිය ප්‍රදේශවල මේ සැකකරු සිය මෝටර් බයිසිකලයේ ගමන් කරමින් මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බව හෙළි වී තිබේ.

සැකකරු 44 හැවිරිදිය. ඔහු හෝමාගම, පනාගොඩ පැලඳගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා, හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ විද්‍යුත් තරාදියක් ජංගම දුරකතන 3ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් බයිසිකලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අතුරුගිරිය පොලිස් ස්ථානයට භාර දී රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

විශේෂ වැටලීම් ඒකකයේ පොලිස් පරීක්ෂක වීරසිංහ, උප පරීක්ෂක රුසිරු, සැරයන්වරුන්වන (40793) තෙන්නකෝන්, (32053) කොඩිකාර, (36402) ශාලිත, කොස්තාපල්වරුන් වන (85593) පසිඳු, (94891) චතුරංග, (81077) රංග, (31612) ආරියරත්න පොලිස් කොස්තාපල් රියැදුරු මංජුල යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division