Home » ත්‍රීරෝද රථ රියැදුරන්ගේ මුහුණු කපා මුදල් කොල්ල කන කල්ලිය

ත්‍රීරෝද රථ රියැදුරන්ගේ මුහුණු කපා මුදල් කොල්ල කන කල්ලිය

by thanushika
April 20, 2024 12:30 am 0 comment

මෙරට සිදුවන අපරාධවලින් 90% ක්ම සිදු කරන්නේ මත්ලෝලින් බවට මේ වන විට තොරතුරු හෙළි වී ඇත. මේ හේතුව නිසා මත්ද්‍රව්‍ය මොන තරම් මේ රටට ව්‍යසනයක් වී ඇත්දැයි සිතාගත හැකිය.

ඇතැම් කුලී ඝාතකයන්ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවද පසුගියදා හෙළි විය. කුලියට මිනී මැරීමේ චෝදනා යටතේ පසුගිය දිනවල අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් කීප දෙනෙකු එලෙස කුලී මිනීමරුවන් වී සිටියේ මත්කුඩු පානයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහාය.

රටපුරා පසුගිය කාලයේ සිදු වූ සහ තවමත් සිදුවන රථවාහන සොරකම් පිටුපස සිටින්නේද මත්ලෝලින් බව රහසක් නොවේ. කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ ඇතුළු තවත් වාහන රැසක් පසුගිය කාලයේ පැහැර ගත් පුද්ගලයන් ගැන සොයා බැලීමේදී හෙළි වූයේ එම අපරාධකරුවන්ද මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිව සිටින බවයි.

විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රාත්‍රියට කුලී ගමන් යන ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළු වෙනත් විවිධ වර්ගවල යානවාහනවල රියැදුරන් එම කුලී ගමන් වල නිරත වන්නේ කිසියම් ජීවිත අභියෝගයක්ද සහිතවය. කොළඹින් ඈත ප්‍රදේශවලට කුලී ගමනක් ගිය යානවාහනවල රියැදුරන් කීප දෙනෙකුට පසුගියදා සිදු වූයේ ඔවුන් සතු මිල මුදල් සහ සන්තකයේ තිබු වාහනයත් කුලී ගමන් යන මුවාවෙන් වාහනයට ගොඩවූ කල්ලි කණ්ඩායම් විසින් පැහැරගෙන යාමයි. මේ හේතුව නිසා රාත්‍රී කාලයේ කුලී ගමන් යන බොහෝ රියැදුරන් මුහුණ දෙන්නේ ජීවිත අභියෝගයකට බව කීවොත් එය වැරදි නැත. එයිනුත් ජීවිතය වැඩිපුර පරදුවට තබන්නට සිදුවී ඇත්තේ ත්‍රිරෝද රථ රියැදුරන්ටය. එය රහසක් නොවේ. විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට වැඩිපුර ඇබ්බැහි වූවන් සිටින කොළඹ නගරයේ සිට රාත්‍රී කාලයේ විවිධ ප්‍රදේශවලට කුලී ගමන් යන ත්‍රීරෝද රථ රියැදුරන්ට අතරමඟදී තමන්ගේ මිල මුදල් පමණක් නොව ත්‍රිරෝද රථය පවා අහිමි වූ අවස්ථා පසුගිය කාලයේ විරල නොවීය. ඊට ප්‍රධාන හේතුව මත්ලෝලින්ගේ ක්‍රියා කලාපයයි.

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට ගොඩවී අතරමඟදී ත්‍රිරෝද රථ රියැදුරුට පහරදී මුහුණ ද දැළි පිහියකින් කපා ත්‍රිරෝද රථ රියැදුරු සන්තකයේ ඇති මිල මුදල් පැහැරගෙන යන සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි ලැබෙන්නේ පසුගිය ජනවාරි මාසයේ සිටය.

කොළඹ සිට මෙසේ රාත්‍රී කාලයේ වැල්ලම්පිටියට ත්‍රිරෝද රථවලින් කුලී ගමන් පැමිණි සංවිධානාත්මක කල්ලියක් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරන්ගේ මුහුණ දැළි පිහියකින් කපා රියැදුරු සන්තකයේ ඇති මුදල් ස්වර්ණාභරණ පැහැරගෙන යන බවට පොලිසියට දිගින් දිගටම පැමිණිලි ලැබි තිබුණු අතර ජනවාරි සහ පෙබරවාරි මාසවල එවැනි පැමිණිලි 25ක් පමණ වැල්ලම්පිටිය පොලිසියට ලැබී තිබිණි.

මේ කොල්ලකෑම්වලදී සිදු වී තිබුණු සුවිශේෂිම සිද්ධි වූයේ අවස්ථා පහකදී කොල්ලකරුවන් ත්‍රිරෝද රථ රියැදුරන් සතුව තිබූ මුදල් ස්වර්ණාභරණ කොල්ලකෑමෙන් නොනැවතී ඔවුන්ගේ මුහුණද දැළි පිහිවලින් කපා බරපතළ තුවාල සිදු කර තිබීමයි.

මේ ක්‍රියාව ඉතා ආමානුෂික බව ඕනෑම කෙනෙකුට පෙනෙන දැනෙන කාරණාවකි. වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මේ ගැන විමර්ශනය භාර කරන්නේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු චාමිකටය.

ත්‍රිරෝද රථ රියැදුරන්ගේ මුහුණ දැළි පිහිවලින් කපා මෙලෙස මුදල් රන් ආභාරණ පැහැර ගන්නා කල්ලිය අල්ලා ගැනීම සඳහා පොලිස් පරීක්ෂක ඉසුරු චාමික ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කරන්නේ මේ අපරාධයට ලක් වූ ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන්ද ඒ ගැන තොරතුරු ලබා ගනිමිනි.

“සර්… මේ අය හරිම දරුණු මිනිස්සු… මටනං හිතෙන්නෙම මොනවහරි මත්ද්‍රව්‍ය ජාතියක් පාවිච්චි කරලා තමයි මේ අය එන්නේ කියලා… සමහරවිට අයිස් මත්ද්‍රව්‍ය වෙන්නත් බැරි නැහැ…“ යැයි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ත්‍රිරෝද රථ රියැදුරන් තමන් මුහුණපෑ බිහිසුණු අත්දැකීම එසේ හෙළි කළේ පොලිස් පරීක්ෂක ඉසුරු චාමිකටය.

“අපෝ සර්… උන් සල්ලි අරගෙන පැනල ගියානම් කමක් නෑ… උන් යන්නේ මූණත් කපලා තුවාල කරලා…’ තවත් ත්‍රිරෝද රථ රියැදුරකු එසේ තමන් ලද අත්දැකීම පොලිස් පරීක්ෂකවරයා හමුවේ හෙළි කර තිබිණි.

කෙසේ හෝ මේ අපරාධකරුවන් කොටු කරගැනීම සඳහා සැලසුම් සකස් කළ වැල්ලම්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සී.සි.ටී.වි. දර්ශනද පරීක්ෂා කරමින් පැති කිහිපයක් ඔස්සේ විමර්ශන ඇරඹීය.

ත්‍රිරෝද රථ රියැදුරන්ගේ මුහුණ කපා මුදල් රන් ආභරණ කොල්ලකා පලා යන අය අදාළ ත්‍රිරෝද රථවලට ගොඩ වී ඇත්තේ ආමර්වීදිය, පංචිකාවත්ත සහ තදාසන්න ප්‍රදේශවලින් බවට තොරතුරු සොයා ගැනීමට පොලිස් පරීක්ෂක ඉසුරු චාමික ඇතුළු කණ්ඩායමට හැකි විය. එසේ එම ප්‍රදේශවලින් ත්‍රිරෝද රථයක් කුලියටගෙන වැල්ලම්පිටිය සේදවත්ත පාරට එන මේ අය එහිදී ත්‍රිරෝද රථ රියැදුරුගේ මුහුණ කපා මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා යන බව සොයා ගැනීමට හැකි විය. විශේෂයෙන් මේ කොල්ලකෑම් රාත්‍රී කාලයේ සිදු වී තිබීම නිසා පොලිස් පරීක්ෂක ඉසුරු චාමික සැලසුම් කරන්නේ රාත්‍රී කාලයේදී මේ ගැන විමර්ශන වැඩිපුර සිදු කිරීමටය.

පොලිස් පරීක්ෂක ඉසුරු චාමික ඇතුළු කණ්ඩායම මේ පිළිබඳව පුංචි හෝඩුවාවක් හෝ සොයා ගැනීමේ අරමුණින් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ කරක් ගසමින් සිටියදී එක්තරා ස්ථානයක සිටි සැකකටයුතු පුද්ගලයෙක් පොලිස් නිලධාරීන් දැක එක්වරම පලා යන්නේ පොලිස් නිලධාරීන්ද අන්දමන්ද කරමිනි. එසේ පලා යන පුද්ගලයා පසු පස ක්ෂණිකව හඹා ගිය පොලිස් පරීක්ෂක ඉසුරු චාමික ඇතුළු කණ්ඩායම සැකකරු අල්ලා ගන්නේ මහත් පරිශ්‍රමයකිනි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කරද්දී හෙළි වන්නේ ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශය භීතියට පත් කළ ත්‍රිරෝද රථ කොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයකු බවයි. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 300ක් සොයා ගැනිණි.

මෙලෙස සැකපිට අල්ලාගත් පුද්ගලයා ත්‍රිරෝද රථ කොල්ලකෑම් 25කට පමණ සම්බන්ධ බවද හෙළිවන්නේ ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය. මේ සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූ අයකු බවද ඔහුට විරුද්ධව අපරාධ නඩු 37ක් ඇති අතර ඉන් 12කට වරෙන්තු මත සිටින අයකු බව පොලිස් විමර්ශනවලදී හෙළි විය.

සැකකරු සිදු කරන ලද අපරාධ ගැන සොයා ගැනීම සඳහා පොලිසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන්නේ ඉන් අනතුරුවය.

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්තගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු චාමික ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division