Home » ෂර්ලි අතගහපු අලුත්ම වැඩේ මෙන්න

ෂර්ලි අතගහපු අලුත්ම වැඩේ මෙන්න

by thanushika
April 13, 2024 12:30 am 0 comment

වර්තමානය වන විට කෙටි චිත්‍රපට කලාව වියැකෙමින් තිබුණ ද චිත්‍රපට නිර්මාණකරණයේ ප්‍රවේශය එය බව ඕනෑම අයකුට වැටහෙන කරුණකි. ඉතාමත් කෙටි කාල පරාසයක දිගහැරෙන නිර්මාණාත්මක සංසිද්ධියක් රූප, සංකේත, සෙවණැලි හෝ අභිනයන් ඔස්සේ ඉතාම සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමෙන් ප්‍රේක්ෂකයාගේ සවිඥානිකත්වය අවදි කළ හැකිය. අපට එය ආගන්තුක නොවුණත් භාවිතයේ අවම බව නිසා ජනප්‍රිය තලයේ කලා අංගයක් බවට පත්වීම වැළකී ඇත. එවන් නිර්මාණ බිහිකරන කෙටි චිත්‍රපටකරුවා අගයමින් THE REELS නමින් කෙරෙන අපූරු වැඩසටහනක් මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත. එහි හරබර අන්තර්ගතයට එබී බලන ඕනෑම කෙනකුට වැටහෙන්නේ දීර්ඝ චිත්‍රපට, ටෙලි නාට්‍ය නිර්මාණකරණයට පිවිසෙන්නන්ට එය හොඳ තෝතැන්නක් බවයි. තාක්ෂණික අතින් දියුණුවේ හිනිපෙත්තේ සිටින ලෝක බලවතුන් පවා තවමත් අගයමින් සම්මාන පුදන කෙටි චිත්‍රපටය හෝ වාර්තා චිත්‍රපටයට අප රටෙන් ලැබෙන ඇගැයීම, වටිනාකම ගැන කුකුසක් මතුවන්නේ අප එයට දක්වන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් දෝ යන සිතුවිල්ල ද සමඟිනි. THE REELS වැඩසටහන ෂර්ලි සමරසිංහගේ අධ්‍යක්ෂණයකි. Sky කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින් දෙස් විදෙස් වශයෙන් අවස්ථා කිහිපයකදීම සම්මානිත වූ ඔහු පසුගිය වසරේ සාර්ථකව තිරගත වූ ‘පියාඹන්න ආයෙත්‘ සිනමාපටයේ නිර්මාණකරුවා වීමත් විශේෂත්වයකි.

ඔබ සිනමාකරණයට පිවිසෙන්නේ ජාතික මෙන්ම අන්තර්ජාතික මට්ටමේ සම්මානලාභී කෙටි චිත්‍රපටයක් හරහා. අපි ඒ ගැන කතා කරමු?

මං කලාවට පිවිසෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය හරහා. ඒ වෙද්දි මං ඩිප්ලෝමාව අවසන් කරල හිටියේ. SKY කියන්නෙ මගේ කුලුඳුල් නිර්මාණය. ඒක කෙටි චිත්‍රපටයක් විදිහට නිර්මාණය වෙන්නේ 2012දි. දෙස් විදෙස් වශයෙන් අවස්ථා ගණනාවකදිම සම්මානයට පාත්‍ර වුණා. ඒ වසරේ ලංකාවේ රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම කෙටි චිත්‍රපටය වුණා. ඒ වගේම අනෝමා රාජකරුණාගේ 14 ඇජෙන්ඩා සම්මාන උලෙළේ වගේම ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවෙ කෙටි චිත්‍රපට උලෙළෙදිත් සම්මානයට ලක්වුණා. බැංගලෝරයේ පැවති 2012 වසරේ Queer Film Festival එකේ ජූරියේ සම්මානයක් හිමිවුණා. ඒක තමයි මගේ ගමනෙ ආරම්භය.

THE REELS වැඩසටහන මේ දිනවල බොහෝදෙනාගේ අවධානයට යොමුවෙලා. මොකක්ද මේකෙන් කෙරෙන්නෙ?

THE REELS කියන්නෙ කෙටි චිත්‍රපට කලාව ගැන කතා කරන පැයක වැඩසටහනක්. පියෝ ටීවී නාළිකාවේ බියුටි චැනල් එක හරහා සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8ට විකාශය වෙන්නේ. කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් ගෙන්වලා ඔවුන්ට තමන්ගෙ නිර්මාණ ගැන කතා කරන්න අවකාශයක් ලබාදීම තමයි කෙරෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් කෙටි චිත්‍රපටයට ඇගැයීමක් ලැබුණත් අපේ රටේ එය දැන් වියැකී යමින් පවතින විෂයක් බවට පත්වෙලා. දැන් ඩිජිටල් මාධ්‍ය‍ෙයන් සිනමාවට ප්‍රවේශ වෙන්න කැමති දක්ෂ නිර්මාණකරුවො ලංකාවෙත් ඉන්නවා. ඔවුන්ට තමන්ගෙ නිර්මාණ එළියට දාන්න අවශ්‍ය අවකාශය තමයි නැත්තේ. මේ වැඩසටහනේ අරමුණ ඒ වගේ නිර්මාණකරුවන්ට අවස්ථාවක් ලබාදීම. කෙටි චිත්‍රපට හරහා ඔවුන් උත්සාහ කරන්නේ අනාගත නිර්මාණකරණයට ප්‍රවේශයක් ලබාගන්න. ඔවුන් කෙරෙහි නිර්මාණකරණයේ ප්‍රවීණයන්ගේ අවධානය යොමුකරවීමට ගන්නා උත්සාහයක් තමයි මේ. බියුටි ටීවී නාළිකාවේ සභාපති රොෂාන් මද්දුමගේ මහතා වගේම නාළිකා ප්‍රධානී ක්‍රිෂාන් බඹරැන්ද මහතාට මෙහිදී විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මට මේ වගේ අවස්ථාවක් ලබාදීම ගැන. ඒ වගේම මාත් එක්ක මේ වැඩසටහන ඉදිරිපත් කරන ඉමේෂා එදිරිපක්ෂ නංගිවත් කැමරාකරණයෙන් සහාය වෙන මධුසංක දාඹරේ, නලින් අසුන්ත වගේම සංස්කරණයෙන් දායක වන මධුසංක හෙට්ටිආරච්චිවත් ආදරෙන් සිහිපත් කරනවා.

කෙටි චිත්‍රපට කියන්නෙ මොකක්ද කියල කිවුවොත්?

කෙටි චිත්‍රපට මාධ්‍ය කියන්නෙ අනෙකුත් කලා මාධ්‍යයන් වගේම ඊට අනන්‍ය වූ කිසියම් ආකාරයක ප්‍රකාශන මාධ්‍යයක්. කෙටි කතාව කවිය වගේම හරිම සංක්ෂිප්ත මාධ්‍යයක්. දිගු චිත්‍රපටයක කොටසක් හෝ වෙනත් නිර්මාණයක අභාසයකින් මිදුණු ඊටම අනන්‍ය වූ ප්‍රවේශයක් තියෙන නිර්මාණ මාධ්‍යයක්. සංක්ෂිප්ත මාධ්‍යයක් නිසාම දිගු චිත්‍රපටයටත් වඩා මේක අමාරු බැරූරුම් වැඩක්. අපේ රටේත් හොඳ නිර්මාණ බිහිකරන තරුණ නිර්මාණකරුවන් ඉන්නවා. ලෝකයේ පිළිගත් සම්මාන උලෙළවලත් කෙටි චිත්‍රපට වගේම වාර්තා චිත්‍රපට කියන්නේ ප්‍රධාන වශයෙන් පිළිගත් අංග දෙකක්. කෙටි කතාව අපි හඳුන්වන්නෙ ජීවිතෙන් පෙත්තක් කියලනේ. ඒ වගේම තමයි කිසියම් සන්සිද්ධියක් සංක්ෂිප්තව නිර්මාණාත්මකව ඉදිරිපත් කරන මාධ්‍යයක් තමයි කෙටි චිත්‍රපටය කියන්නෙ.

කෙටි චිත්‍රපටයක් සීමිත කාල පරාසයක නිමවෙන අංගයක්. ඒ හරහා යම්කිසි සිදුවීමක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරනව කියන්නෙම අභියෝගයක් නේද?

ඔව්. දිගු චිත්‍රපටයකට වෙහෙසෙනව වගේම වියදම් කරනව වගේම කෙටි චිත්‍රපටයටත් ඒ නිර්මාණකරුවා වෙහෙසෙනවා. ඔවුන්ට තියෙන්නෙ ඉතාම කෙටි කාලයකින් තම නිර්මාණය ඉදිරිපත් කිරීමේ අභියෝගයක්. කෙටි චිත්‍රපටයත් විවිධ ශෛලීන්ගෙන් ඉදිරිපත් කරන්න පුළුවන්.

මේ වෙද්දි ග්‍රැෆික් ඇනිමේෂන් භාවිතයෙන් කෙටි චිත්‍රපට හැදෙනවා. වෙන රටවල කෙටි චිත්‍රපට කියන එක ඔවුන්ගේ ප්‍රධානම නිර්මාණ භාවිතාවක්. නමුත් අපේ රටේ එයට තියෙන්නෙ අඩු සැලකිල්ලක්. මේ තත්ත්වය වෙනස් වෙලා ඒ ගැන අවධානයක් යොමු වෙනව නම් හොඳයි කියල හිතෙනවා. කෙටි චිත්‍රපටයක් හරහා ඔවුන්ගේ පරිකල්පනය, සිනමාත්මක භාවිතාව, සිනමාව පිළිබඳ තියෙන ප්‍රකාශන ශක්තිය සිනමාව ගැන තියෙන සිනම‍ා සවිඥානිකත්වය යන සියල්ලම අපට ග්‍රහණය කරගන්න පුළුවන් කෙටි චිත්‍රපටයක් හරහා. කෙටි චිත්‍රපටය තුළ රූපය ඉක්මවා ගිය සෙවණැලි සංකේත මේ දේවල් තුළින් අදහස් සංක්ෂිප්ත කරල ඉදිරිපත් කරන්න පුළුවන්.

රූපයේ ප්‍රබලත්වය මතුකරන්න පුළුවන් මේ කෙටි කාලය තුළ. මිනිසුන්ට තමන් දකින නිර්මාණයේ හවුල්කරුවෙක් වෙලා ඒක කියවගන්න ඒ කියන්නේ සිනමාව රීඩ් කරන්න පුළුවන් මට්ටමක් කෙටි චිත්‍රපටයක් හරහා හදන්න පුළුවන්. ඒකෙ ඉතාමත් සීමිත දෙබස් වගේම අඩු කාලපරාසයක් තියෙන්නෙ. ඒ කෙටි කාලය තුළ සම්පූර්ණයෙන් ඒ නිර්මාණයට ඔවුන්ගේ ශක්තිය මුදාහරිනවා. නළු නිළියන්, කාර්මික ශිල්පීන්, කැමරා ශිල්පීන්, සංස්කරණ ශිල්පීන් වෙන්න පුළුවන් ඔවුන් උත්සාහ කරන්නේ සමස්තය මේ තුළ ඉතාම සංක්ෂිප්තව ප්‍රබලව ඉදිරිපත් කරන්න.

මේකට යොදන නිර්මාණ වෑයම හරහා අපට නිර්මාණකරුවාගේ නිර්මාණ සක්‍යතාව අනිවාර්යයෙන්ම දැන හඳුනාගන්න පුළුවන්. THE REELS ඔස්සේ අප උත්සාහ කරන්නේත් එවන් නිර්මාණකරුවන්ව නිසි ඇගැයීමකට ලක් කරන්න. ඒකට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මෙන්ම වගකිවයුතු අයගේ අවධානය යොමුවේවි කියන බලාපොරොත්තුවත් තියෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division