Home » මම ආවෙ හරි පිළිවෙළට ඒකයි දියුණුවේ රහස

මම ආවෙ හරි පිළිවෙළට ඒකයි දියුණුවේ රහස

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

– අවුරුදු විසි ගණනටම මම ලියූ ගීත සංඛ්‍යාව ප්‍රමාණයෙන් කුඩයි. ඒ වුණත් මට මේ ක්ෂේත්‍රයේ අයගෙන් ලැබුණු දායකත්වය බොහෝම ඉහළයි
– මොනදේ තිබුණත් මොනදේ කළත් මම වඩාත්ම කැමැති ලියන්න

බාලවියේ සිටම සිංහල සාහිත්‍යයට භාෂාවට ඇලුම් කළ ඔහු පාසල් මට්ටමින් විවිධ තරගවලට සහභාගි වෙමින් ජයග්‍රහණය ලැබීය. ඒ ජයග්‍රහණ ඔස්සේ පැමිණි ඔහු මෙවර රාජ්‍ය සංගීත උලෙළේදී හොඳම ගීත රචනා ශිල්පීයා වශයෙන් සම්මාන හිමිකර ගත්තේය. ඒ සුජිත් ප්‍රසංගය.

ගාල්ල, බටදූව රතනජෝති පාසලෙන් හා බටදූව සුගතෝදය දහම් පාසලෙන් අධ්‍යාපනය ලැබු සුජිත් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ බාල වියේ පටන්මය.

“මගේ පාසලයි, මගේ දහම් පාසලයි මගේ සාහිත්‍ය කටයුතුවලට හොඳ තෝතැන්නක් වුණා කිව්වොත් හරි. පාසලේදි මම භක්ති ගීත, පිළිගැනීමේ ගීත ආදිය ලියනවා. ඒ ගීත හැම එකක්ම වගේ පාසලේ, දහම් පාසලේ අය ගැයුවා. 1998 අවුරුද්දේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් පැවැත්වූ කලා උලෙළේදී මා ලියූ “ඉඩෝර බිම නිවාලන කඳුරැල්ල“ හොඳම ගීත රචනය ලෙස තේරෙනවා. ඒ වගේම 1999 වසරෙදි කැලණිය විශ්වවිද්‍යාලයෙන් පැවැත්වූ බිහිදොර අබියස කලා උලෙළේදී හොඳම ගීත රචකයා ලෙස මම ජයග්‍රහණය කරනවා. ඉන්පසුව දකුණු පළාත් සාහිත්‍ය උලෙළේදී හොඳම ගීත රචකයා ලෙස සම්මානය හිමි කර ගන්නවා. දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින්, ජයග්‍රහණය කරලා තමයි මම මේ වසරේ නොබෝදා පැවැත්වූ රාජ්‍ය සංගීත සම්මාන උලෙළේදී හොඳම ගීත රචනය වෙනුවෙන් සම්මානය හිමි කරගන්නේ.

“මේ ලැබුණු ජයග්‍රහණය මගේ තනි ජයග්‍රහණයක් ලෙස මම පිළිගන්නේ නෑ. මගේ පද පෙළට සංගීතය නිර්මාණය කළ විශාරද රෝහණ ධර්මකීර්ති අයියාත්, ගීතය ගායනා කළ ප්‍රවීණ ගායන ශිල්පි කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාත් නිසයි මගේ පද පෙළට මෙතරම් එළියක් ලැබුණේ.

ප්‍රේමය විවිධ අය විවිධ විදිහට දකිනවා. ප්‍රේමය අනියම් ද කියලා කියන්න අපිට බැහැ. ජීවිතේ වැරදුන තැන්වලදීත් සමහරුන්ට නියම ආදරේ හමුවෙලා තියෙනවා. ඇතැමුන් විවාහ වුණත් ඔවුන්ට නියමාකාරයෙන් ආදරේ

හමුවෙන්නේ ඒ ජීවිතය ඇතුළෙදි නොවෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රේමය අනියම් ද කියලා කියන්න අපට බැහැ. අපිට අනියම් ප්‍රේමය තුළ නියම ප්‍රේමය හමුවෙන්න බැරි ද? මේ අනියම් ප්‍රේම සම්බන්ධතාවලදී බොහෝ විට අසරණ වෙන්නේ ගැහැනිය. එ් වගේමයි එවැනි ප්‍රේම සම්බන්ධතාවකදී කවුරුත් ඇගිල්ල දිගු කරන්නේ ගැහැනියට. කොටින්ම කිව්වොත් එවැනි ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීමේදී පරිස්සම් විය යුත්තේ ද ගැහැනියයි. ඈ මේ සමාජයේ ගෙවන්නේ පුදුමාකාර වූ ජීවිතයක්. සැමියා නිවෙසට එනතුරු දරුවන් සමඟ සිටින ඇය ජීවිතය හොයන්නේ ඔහුගෙන්. අවසානයේ තනිවෙන්නෙත් ඒ ගැහැනියමයි. මට කියන්න ඕන වුණේ අන්න ඒ ගැහැනිය ගැනයි. ඇය තම දරුවන් රැක ගනිමින් ගෙවන ජීවිතය ගැනයි. අද මේ සමාජය දිහා බැලුවාම අපට ඕනෑතරම් උදාහරණ ගන්නට පුළුවන්. එදා මෙදාතුර පැමිණි ගමනේදී මට මේ සංගීත ක්ෂේත්‍රයේ බොහෝ අය උදව්කර තිබෙනවා. මේ ගීතට සංගීතය නිර්මාණ කළ රෝහණ අයියාගෙන් වගේම ගීතය ගායනා කළ දිවුල්ගනේ අයියාගෙන් ලැබුණ සහාය කියා නිම කරන්න බැහැ. මෙතෙක් මා ලියූ ගීත ගායනා කළ නිර්මාණ ශිල්පීන් ශිල්පිනියන්ගෙන්, සංගීත ශිල්පීන්ගෙන් ලැබුණ සහාය මම බොහෝම ගෞරවයෙන් සිහිපත් කරනවා“

සුජිත් සිය ජයග්‍රහණය පිළිබඳ පවසන්නේ එලෙසිනි. ඔහු මේ වන විට ක්ෂේත්‍රයට පිවිස අවුරුදු විස්සකට වඩා වැඩිය. මේ වන විට ඔහු ගී පද රචනා තිස්පහක් පමණ නිර්මාණය කර ඇත.

“මේ අවුරුදු විසි ගණනටම මම ලියූ ගීත සංඛ්‍යාව ප්‍රමාණයෙන් කුඩයි. ඒ වුණත් මට මේ ක්ෂේත්‍රයේ අයගෙන් ලැබුණ දායකත්වය බොහෝම ඉහළයි. විවිධ ගායක ගායිකාවෝ මා ලියූ ගී ගයා තිබෙනවා. මම එකපාරටම මේ ක්ෂේත්‍රයට කඩා පාත්වෙච්ච කෙනෙක් නෙමෙයි. මම ආවේ බොහෝම හෙමින් ගමනක්. මගේ පළවෙනි ගීතය වන්නේ 2004 වසරේදී සුරංජි ශාමලී සොයුරියට ලියූ “නෙතින් ගිලිහුණ කඳුළු බිඳුවක්“ කියන ගීතයයි. මම ගීත රචනා ක්ෂේත්‍රයට ඇවිත් අද වන විට අවුරුදු විස්සක් වෙනවා. ඒ විසි වැනි අවුරුද්දෙදි තමයි මට පළමු රාජ්‍ය සම්මානය ලැබුණේ. මම පැමිණි ගමන දිහා ආපසු හැරිලා බලනකොට මට හිතෙනවා මම බොහෝම පිළිවෙළට ආව ගමනක් තියෙන්නේ කියලා.“

ඔහු ගී පද රචකයෙක් ලෙස ඉදිරියට පැමිණියද අපට සුජීත්ව මතක හිටින්නේ නවකතාකරුවකු ලෙසය. සුජිත් විසින් රචිත “සාමිමලේ“ නවකතාව 2018 වසරේදී දකුණු පළාත් රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී හොඳම නවකතාව ලෙස සම්මාන හිමිවන්නේය.

මම මුලින්ම ලියන්නේ දියතඹර කෘතිය. දෙවැනි කෘතිය තමයි මැදියම අග. මේ කෘතිවලට බොහෝම හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණා. ඉන්පසුව ලියූ නවකතාව තමයි සාමිමලේ නවකතාව. පසුව එය දෙමළ භාෂාවටත් පරිවර්තනය කෙරුණා.

ජීවිතේ මහ දුරයි පද්මේ මගේ පළමු කවි පොත. “අත්තාපල්“ යොවුන් නවකතාව ගොඩගේ අත්පිටපත් නිර්මාණ තරගාවලියේදී නිර්දේශීත කෘතියක් වුණා. මම මොනදේ තිබුණත් මොනදේ කළත් මම වඩාත්ම කැමැති ලියන්න. ඒ නිසා මම ලිවීමේ කටයුතු නතර කරලා නැහැ. නතර කරන්නේත් නැහැ. ඒ නිසා මම මේ ක්ෂේත්‍රයේ ඉන්නතුරු දිගටම ලියයි.

රඟ මඩල මත තැනූ සඳගිර
එළි නිවා දැමුණා
ළය පලා ගිය හී සරේ තුඩු
දෙන්න මට ගලවා
කින්නරාවිය පෙම් රැඟුම් නවතා
යන්න යමු අපි මැදියමත් ගෙවුණා..

වෙසතුරු සිරිත රඟනා දිනේ
නුඹයි දන් දුන්නේ
වැදි රජුට පෙම් කර එක හිතින්
මටයි දුක් දුන්නේ
කුස රජු වෙලා නුඹ ළඟ පබා
රූ සිරි නිසයි තැවුණේ
අපි කරලියේ මැව් පෙම් රැඟුම්
මගෙ බිසෝ නෑ දන්නේ…

ගිරිදුර්ග මල් පාවඩ මැදින්
අපි නටන විට වන්නම්
අඩ අඳුර ඉහිරුණු රඟබිමෙන්
නැගුණු ඔල්වරසන්
හිත් පතුල මත හිර කොට තබා
යන්න නුඔ එහෙනම්
මගෙ දරු පැටව් ටික ළයට තුරුලුව
ඈ රකී පතිදම්..

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය – රෝහණ ධර්මකීර්ති
පද රචනය – සුජිත් ප්‍රසංග

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division