Home » මහර රැඳවියකුට මත්කුඩු ගෙනා ජෝඩුවට මාංචු වැටුණේ මෙහෙමයි

මහර රැඳවියකුට මත්කුඩු ගෙනා ජෝඩුවට මාංචු වැටුණේ මෙහෙමයි

by thanushika
March 9, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

මෙරට බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් අතරින් 50% කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය චෝදනා ලද අය බවට තොරතුරු අනාවරණය කෙරුණේ පසුගියදා ය. මත්ද්‍රව්‍ය ජාවාරම මේ රටට මොනතරම් බලපෑමක් සිදු කරනවාදැයි එයින්ම වටහා ගත හැකිය.

මත්ද්‍රව්‍ය භාවිතය, ජාවාරම, සන්තකයේ තබා ගැනීම මේ අයට එල්ල වී ඇති චෝදනාය. කෑගල්ල, මීගමුව, කන්දකාඩු, පල්ලන්සේන, පල්ලෙකැලේ, අනුරාධපුර බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුනරුත්ථාපනය වන රැඳවුවන් 1500කට ආසන්න බවද හෙළි වී තිබේ.

බන්ධනාගාරවල රඳවා සිටින ජාවාරම්කාර රැඳවුවන් ජංගම දුරකතන උපයෝගි කරගෙන කුඩු ජාවාරම් සිදු කරන බව රහසක් නොවේ.

පොලිසිය විශේෂ කාර්ය බළකාය, සෙසු ආරක්ෂක අංශ සහ බන්ධනාගාර නිලධාරීන් කුමන අන්දමේ වෙහෙසක් දැරුවද බන්ධනාගාර ඇතුළත සිට සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් අඩපණ කිරීම හැරෙන්නට මෙතෙක් මුළුමනින්ම ඒවා නැවැත්වීමට හැකි වී නැත්තේ ජාවාරම්කරුවන් ඉතා සූක්ෂ්ම වී ඇති නිසාය.

බන්ධනාගාර ඇතුළත සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම බන්ධනාගාරවල සිටින රැඳවූවන්ට මත්ද්‍රව්‍ය සැපයීමේ ජාලයද තවමත් ඉතා සියුම්ව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇත.

පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ බන්ධනාගාර නිලධරයන් සිදු කරන මෙහෙයුම්වලදී බන්ධනාගාරවල රඳවා සිටින ජාවාරම්කරුවන්ට මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයන් ගණනාවක් පසුගිය කාලයේදී කොටුකර ගැනීමට හැකි විය.

රාගම පොලිසියේද නිලධරයන් කණ්ඩායමක් එවැනි වැටලීමක පසුගියදා නිරිත වන්නේ රාගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරාට ලැබුණු රහසිගත තොරතුරකට අනුවය.

මහර බන්ධනාගාරයේ රැඳවූවකුට හෝ කණ්ඩායමකට මත්ද්‍රව්‍ය ලබා දීමට සූදානම් වූ කාන්තාවක් සහ පිරිමි අයකු මෙලෙස පොලිසියට කොටු වන්නේ නොසිතූ ලෙසය.

මේ කාන්තාව සහ පිරිමි පුද්ගලයා බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

මේ දෙදෙනා රාගම දඹුව ප්‍රදේශයට පසුගියදා පැමිණෙන්නේ හෙරොයින් ග්‍රෑම් අටක්ද රැගෙනය. ඒ ඔවුන්ට අයත් මෝටර් බයිසිකලයෙනි.

රාගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරාට මේ ගැන තොරතුරු ලැබෙන්නේ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවකුගෙනි.

පොලිස් කණ්ඩායම වහාම අදාළ ස්ථානයට යන්නේ මේ සිද්ධිය ගැන විමර්ශන සිදු කිරීම සඳහාය. සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී ඔවුන් සන්තකයේ තිබුණු මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. මේ කාන්තාව සහ පිරිමි පුද්ගලයාගෙන් ප්‍රශ්න කරද්දී අනාවරණය වන්නේ ඔවුන් මේ මත්ද්‍රව්‍ය තවත් පුද්ගලයකු ලවා මහර බන්ධනාගාරය ඇතුළට යැවීමට සූදානම් කර ඇති බවකි.

සැකකරුගෙන් සහ සැකකාරියගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මේ හෙරොයින් මත්ද්‍රව්‍ය මහර බන්ධනාගාරය ඇතුළට යැවීමට සූදානමින් පසුවූ පුද්ගලයා ගැන තොරතුරු හෙළි විය. ඔහුද මත්ද්‍රව්‍ය චෝදනා මත ‘ඇතුළට ගොස්’ ඇප මත මුදා හැර සිටින අයකු බවද 26 හැවිරිදි මේ සැකකරු රාගම දඹුව ප්‍රදේශයේ පදිංචි අයකු බවද පොලිසිය තොරතුරු හෙළි කර ගන්නේ ඔය අතරය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාව සහ පිරිමි පුද්ගලයා ලවා එම සැකකරුට දුරකතනයෙන් කතාකර ඔහු රාගම දඹුව ප්‍රදේශයට ගෙන්වා ගන්නා පොලිස් නිලධරයෝ එම සැකකරුද අත්අඩංගුවට ගන්නේ මේ ජාවාරමේ සුලමුල හෙළි කර ගැනීමේ අරමුණෙනි.

සැකකරු කලක් මහර බන්ධනාගාරයේ රැඳවූවකු ලෙස සිට ඇති අතර මේ කාන්තාව සහ පිරිමි පුද්ගලයා ඔහු ලවා හෙරොයින් මත්ද්‍රව්‍ය මහර බන්ධනාගාරය ඇතුළට යැවීමට කටයුතු කර ඇත්දැයි පොලිසිය සොයාගෙන යයි.

අත්අඩංගුවට ගැනුණු බඩල්ගම පදිංචි සැකකරු සහ සැකකාරිය දැනට මහර බන්ධනාගාරයේ සිටින ‘ආමි සමන්ත’ නමැති පාතාල සාමාජිකයාගේ මිතුරන් බව හෙළි වී ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය ‘ස්පා’ ආයතනයක කලක් සේවය කර ඇති අතර ඇගේ සැමියා හමුදා සේවයේ නිරත අයකු බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

බඩල්ගම පදිංචි මේ සැකකරුට සහ සැකකාරියට බඩල්ගම පොලිසිය මඟින් ගොනු කළ චෝදනා ඇත්දැයි සොයාගෙන යන බව රාගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා සඳහන් කළේය.

සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇත.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බැසිල් ක්‍රිෂාන්ත ජයවර්ධන, සහකාර පොලිස් අධිකාරී අර්ජුන කොඩිකාරගේ උපදෙස් පරිදි රාගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා, කොස්තාපල් 90456 ජානක 33250 හෙට්ටිආරච්චි, 33281 සුමිත් කාන්තා කොස්තාපල්, 13184 ප්‍රමේෂි තහිරුකා යන නිලධාරීන් නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.

මේ අතර මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියක විසින් මෙහෙය වන ලද මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළි කරගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් කණ්ඩායමකට හැකි වූයේ පසුගියදාය. අදාළ කාන්තා රැඳවිය විසින් ජංගම දුරකතන මාර්ගයෙන් මේ ජාවාරම සිදුකර තිබූ අතර රුපියල් හය ලක්ෂයක් පමණ වටිනා මත්ද්‍රව්‍ය පොලිසිය විසින් සොයාගෙන තිබුණේ බොරැල්ලේ සර්පන්ටයින් පාරේ නි‍ෙවසකදීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division