Home » ඊසි කෑෂ් කුඩ්ඩන් කොටු කළේ මෙහෙමයි

ඊසි කෑෂ් කුඩ්ඩන් කොටු කළේ මෙහෙමයි

by thanushika
February 24, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය ජාවාරම් නිරුපද්‍රිතව සිදු කරගෙන යන්නට ගන්නේ අපමණ උත්සාහයකි. ඒ මේ ජාවාරම් අධිඅවදානම් නිසාය. පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, බුද්ධි අංශ, සුරාබදු නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ පැය 24 මුළුල්ලේ සිදු කරන මෙහෙයුම් නිසා ජාවාරම්කරුවන් ඉතා සූක්ෂ්ම වී ඇති බව බැලු බැල්මට පෙනෙන්නට ඇත.

ජාවාරම්කරුවන් ඔවුන් සන්තකයේ ඇති මත්ද්‍රව්‍ය එහා-මෙහා ගෙන යෑමේ අවදානම මේ වන විට වඩාත් උග්‍ර වී ඇත්තේ මේ දිනවල රටපුරා සිදු වන යුක්තිය මෙහෙයුම් නිසාය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ඒ නිසාම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා වෙනත් සුවිශේෂී වැඩපිළිවෙළ සොයමින් සිටින බවක් පෙනෙන්නට ඇත.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලද ප්‍රවාහන මාධ්‍ය වෙනස් කිරීම, තනි පුද්ගලයන් වශයෙන් ගමන් කරමින්, මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයන්ගෙන් ප්‍රවාහනය කිරීම, පොදු මගී සේවය වැඩිපුර යොදා ගැනීම, පුද්ගල ආශ්‍රය සීමා කිරීම, දුර බැහැරට ප්‍රවාහනය කරනවා නම් එක් විටම එය නොකර පුද්ගලයන් සහ වාහන කීපයක් ඒ සඳහා යොදා ගැනීම ඇතුළු ඉතා සූක්ෂ්ම ක්‍රම ගණනාවක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ වන විට අත්හදා බලමින් සිටින්නේ විශේෂයෙන් මේ දිනවල සිදු වන යුක්තිය මෙහෙයුමෙන් ගැලවී නිරුපද්‍රිතව සිය ජාවාරම් සිදු කරගෙන යාම සඳහාය.

වැඩිපුර භාවිතයට නොගන්නා හුදෙකලා මාර්ග මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගැනීම මෙන්ම කිසිවකු සැක නොසිතන අන්දමේ පුද්ගලයන් විශේෂයෙන් කාන්තාවන්, තරුණියන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගැනීම ආදී සූක්ෂ්ම ක්‍රම ජාවාරම්කරුවන් මේ වන විට අත්හදා බලමින් සිටින බව ආරක්ෂක අංශවල සැකයයි.

මේ සියලු සූක්ෂ්ම ක්‍රමවලට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාලයක් තිස්සේ සිය ජාවාරම් සිදු කරගෙන යාම සඳහා ඊසි කෑෂ් සහ එම් කෑෂ් ක්‍රමය භාවිත කළ බව නොදන්නා කෙනෙක් නැත. සෑහෙන කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම මේ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සිදු කළත් එවැනි පුද්ගලයන් නීතියේ රැහැනට හසු වීම වැළැක්වීමට නොහැකිය.

යුක්තිය මෙහෙයුම ආරම්භ කිරීමෙන් අනතුරුවද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සෑහෙන පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී තොරතුරු හෙළි වන්නේ එම ජාවාරම්කරුවන් ඊසි කෑෂ් සහ එම් කෑෂ් මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන බවයි.

මේ අනුව පොලිසිය කටයුතු කරන්නේ ඊසි කෑෂ් සහ එම් කෑෂ් රටපුරා පවත්වාගෙන යන ස්ථාන පිළිබඳ විධිමත් විමර්ශනයක් සොයා වැටලීමක් සිදු කිරීම සඳහාය. එයද යුක්තිය මෙහෙයුමේම කොටසක් බවට පත් විය.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු සහකාර පොලිස් අධිකාරීවරු සහ රටපුරා පොලිස් ස්ථානාධිපතිවරු දැනුම්වත් කෙරෙන්නේ මේ ඊසි කෑෂ් සහ එම් කෑෂ් මධ්‍යස්ථාන ගැන සොයා බැලීමත් විමර්ශනයක් සිදු කිරීමත් සඳහාය.

රටපුරා පොලිස් ස්ථානවල නිලධාරීන් තමන්ගේ බල ප්‍රදේශයේ පවත්වාගෙන යන එවැනි මධ්‍යස්ථාන පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නේ අදාළ මධ්‍යස්ථාන ඔස්සේ ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනවාදැයි සොයා බැලීම පිණිසයි.

පොලිස් නිලධරයන්ට අමතරව බුද්ධි නිලධරයන්ද මේ මෙහෙයුමට එක්වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරගෙන යනවාදැයි දැන ගැනීම සඳහා ය.

ඒ අනුව රට පුරා පිහිටි ඊසි කෑෂ් සහ එම් කෑෂ් මධ්‍යස්ථාන 1964ක් පොලිසියේ සහ බුද්ධි නිලධරයන්ගේ පරීක්ෂාවට ලක් වූ අතර එම මධ්‍යස්ථානවලට පැමිණෙන ගනුදෙනුකරුවන් ගැනද විශේෂ සොයා බැලීමක් සිදු කරන ලදි.

ඉන් අනතුරුව පොලිසිය සහ බුද්ධි අංශ විසින් සොයා බැලීමට ලක් කරන ලද්දේ පෞද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන හෙවත් කොමියුනිකේෂන් ආයතන පිළිබඳවය. එවැනි මධ්‍යස්ථාන 213 ක් ගැන පොලිසිය සොයා බලන ලදි.

රීලෝඩ් දමන සහ බිල් ගෙවන ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1014 ක් පිළිබඳවද පොලිසිය සොයා බලන්නේ ඉන් අනතුරුවය.

හඳුනාගත් බැංකු ශාඛා 1202 ආශ්‍රයෙන්ද පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලද අතර මෙම මෙහෙයුම්වලදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගේ සංඛ්‍යාව 316කි. ඉන් 11 දෙනෙක් අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරේ. 20 දෙනකු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැක කෙරේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගේ දේපළ පිළිබඳව විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති බවද දැනගන්නට ඇත. ඔවුන් සතු දේපොළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් නීති විරෝධීව උපයාගත් ඒවාදැයි සෙවීම සඳහා විමර්ශන සිදු කෙරේ.

යුක්තිය මෙහෙයුම ආරම්භ කර ගතවූ දින 45ක කාලය ඇතුළතදී පොලිසියේ සහ සෙසු ආරක්ෂක අංශ සිදු කළ වැටලීම්වලින් අල්ලාගන්නා ලද මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 694 කි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් නීති විරෝධීව උපයාගන්නා ලදැයි කියන රුපියල් කෝටි 72ක දේපළ තහනම් කිරීම සඳහා පොලිස් භාරයට ගෙන තිබීමද සුවිශේෂීය.

මේ දින 45දී අල්ලා ගන්නා ලද සැකකරුවන්ගේ සංඛ්‍යාව 55,007 කි. ඉන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 46,766 ක් චෝදනා ලැබ සිටිති. සැකකරුවන් 6241අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටින අයයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 14යි ග්‍රෑම් 700ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 207 යි ග්‍රෑම් 700 ක්, කොකේන් ග්‍රෑම් 947 ක්, අබිං කිලෝ 49 ක්, හෂිස් කිලෝ 7ක්, ඈෂ් කිලෝ 144, තුල් කිලෝ 7 ක්, කුෂ් කිලෝ 2 ක්, මදන මෝදක කිලෝ 19, විවිධ වර්ගයේ මත්පෙති 1,57,270 ක් අත්අඩංගුවට ගැනිණි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතරින් 1,805 රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කෙරේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ 1965ක් පුනරුත්ථාපනයට යොමු කෙරිණි.

මුළු රටම ආවරණය වන පරිදි යුක්තිය මෙහෙයුම ආරම්භ කරන්නේ 2023 වසරේ දෙසැම්බර් 17 දිනය.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division