Home » පාසල් දරුවන් සින්තටික් ලෝකයේ පා කළ නුවර මත් පෙති දොස්තරගේ කෙරුවාව

පාසල් දරුවන් සින්තටික් ලෝකයේ පා කළ නුවර මත් පෙති දොස්තරගේ කෙරුවාව

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

යුක්තිය මෙහෙයුම ඔස්සේ මත්ද්‍රව්‍ය වැටලීම් රට පුරා අඛණ්ඩව සිදුවෙත් දී හෙරෝයින්, අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය වල බරපතළ හිඟයක් රටේ ඇති විය. මේ නිසා ඉතා රහසිගතව පොලිස් ඇසට වැලි ගසමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවන් වෙනදා රුපියල් 1000 ට විකිණූ කුඩු පැකට්ටුවේ මිල රුපියල් පන්දහසක් පමණ දක්වා ඉහළ දැම්මේ ය. හෙරෝයින්, අයිස් හා ගංජා හිඟ වීමත් ජාවාරම්කරුවන් ඒවාහි මිල අධික ලෙස ඉහළ දැමීමත් නිසා මත්ලෝලින් පත්වූයේ බරපතළ අපහසුතාවකට ය. මේ නිසා වෙනදා මත්පෙති භාවිත නොකළ වුන් පවා මත්පෙති භාවිතයට පෙළඹෙන තත්ත්වයක් පැහැදිලි ලෙසම පසුගිය මාස දෙක තුන දක්නට ලැබිණි. වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වුව ද වේදනා නාශක පෙති ඇතැම් ඖෂධ අලෙවි සැල්වලින් ලබා ගැනීමට හැකිවීම නිසා තරුණයන් ඒවා මිලට ගෙන පානය කිරීමට පෙලඹී තිබෙන බවට දිවයිනේ පොලිස් ස්ථාන රැසකටම තොරතුරු ලැබී තිබිණි.

ගම්පොළ ඇත්ගාල පොලිසිය ද මේ සම්බන්ධයෙන් සිටියේ දැඩි අවධානයෙනි. සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් නගරයේ ස්ථාන කිහිපයක රාජකාරියේ යොදවමින් ඇත්ගාල පොලිස් ස්ථානාධිපති නිශාන්ත සෙනරත් කැකුළන්දර උත්සහ කර තිබුණේ මත්පෙති ජාවාරම්කරුවන් පිළිබඳ කුමන හෝ හෝඩුවාවක් ලබා ගැනීමට ය. උලපනේ පදිංචි පුද්ගලයකු මත්පෙති සමඟ ඇත්ගාල පොලිසිය අත්අඩංගුවට ගනු ලබන්නේ මෙම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසිනි. අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද මත්පෙති සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටි අයෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පමණක් ගැටලුව නිරාකරණය නොවන බව තේරුම් ගත් පොලිසිය ඔහුගෙන් අඛණ්ඩව ප්‍රශ්න කරමින් උත්සාහ කළේ ප්‍රධාන මත්පෙති ජාවාරම්කරු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගන්නට ය. මුලින් ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකළ සැකකරු සිතේ සඟවා ගෙන සිටි සියල්ල පසුව වමාරනු ලැබුවේ ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් ද මවිතයට පත් කරමිනි.

මට මේ පෙති ගෙනත් දෙන්නේ පේරාදෙණියේ ඩොක්ටර් කෙනෙක් යැයි සැකකරු පැවසුවත් මුලින් පොලිසිය එය විශ්වාස නොකළේ ය. සැකකරු ලවා අදාළ පුද්ගලයාට ඇමැතුමක් ලබා දී මත්පෙති ගෙන්වා ගැනීමට හැකි වුවහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි බව ස්ථානාධිපතිවරයා කල්පනා කළේය. ඒ සඳහා සැකකරු කැමැති කරවා ගත් පොලිසිය සැකකරු ගේ දුරකතනය භාවිත කරමින් ඔහු ලවාම අදාළ පුද්ගලයාට ඇමැතුමක් ලබා ගත්තේ ය. දෙදෙනා අතර කතාබහ තුළින් ඔවුන් දිගු කලක් තිස්සේ හඳුනන බව පොලිසිය තහවුරු කර ගැනීමට පොලිසිය වැඩි වේලාවක් නොගියේ ය. ඒ අනුව මත්පෙති ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පොලිසිය සැලසුම් කළේය. පොලිසියේ උපදෙස් මත ඇමැතුමක් ලබාගත් සැකකරු සර් අද මට බඩු ටිකක් ඕන යැයි පැවසුවේ ය. දිනය, වේලාව සහ මුදල තීරණය විය. පෙති 1600 ක් සඳහා මුදල රුපියල් 160,000 කි. ඒ අනුව 13 දින රාත්‍රි 11.00 ට ජයමාලපුර දී සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් විය.

ජයමාලපුර ඇත්තේ ඇත්ගාල පොලිසියේ සිට කිලෝමීටරයක් පමණ දුරිනි. සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියකු ත්‍රිරෝද රථ රියදුරකු ලෙස යොදවා සැකකරු සමඟ ජයමාලපුරට පිටත් කර යැවූ ඇත්ගාල පොලිස් ස්ථානාධිතිවරයා කිසිවකුට හෝ සැක නොසිතෙන පරිදි තවත් පොලිස් කණ්ඩායමක් ඒ ආසන්නයේ ස්ථානගත කළේ සුළු අත්පසුවීමකින් ප්‍රධාන ජාවරම්කරු පලා යෑමට ඇති ඉඩ ඇහිරීමේ අරමුණිනි. රුපියල් 160,000 ක මුදලක් පොලිස් ස්ථානයේ නොතිබූ නිසා රුපියල් දහසේ නෝට්ටු දෙකක් දෙපැත්තට ද මැද්දට කඩදාසි කොළ ද තබා මුදල් නෝට්ටු ලෙස පෙනෙන බන්ඩලයක් ස්ථානාධිපතිවරයා විසින් සැකකරුට ලබා දී තිබිණි. වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්දී රාත්‍රි අඳුර බිඳ සුඛෝපභෝගී මෝටර් රථයක් විදුලි වේගයෙන් ඉදිරියට පැමිණ ත්‍රිරෝද රථයට මඳ දුරකින් නතර විය. වාහනය වෛද්‍යවරයකුට අයිති එකක් හඟවන ලාංඡනයක් රතු පැහැති ජීප් රථයේ වින්ඩ්ස්ක්‍රීනයේ අලවා තිබිණි. ත්‍රිරෝද රථයෙන් බැස ඉදිරියට ගිය සැකකරු මුදල් නෝට්ටු ලෙස සකස් කළ බණ්ඩලය ජීප් රථයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාට ලබා දෙත්දී ඔහු ද ජීප් රථයෙන් බෑගයක් ගෙන සැකකරු අත් තැබුවේ ය. ගනුදෙනුව සිදුවත්දීම රැක්වල්ලා සිටි පොලිස් නිලධාරීන් ජීප් රථය වටකර ගත්හ. තමන් උගුලක පැටලුණු බව අවබෝධ කරගත් ජීප් රථයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයා තමන් වෛද්‍යවරයකු බව හඳුන්වා දෙමින් උත්සහ කළේ සිද්ධිය ගොඩින් බේරා ගැනීමට ය.

මුලින් අත්අඩංගුවට ගත් උලපනේ ප්‍රදේශයේ සැකකරු ප්‍රකාශ කළ පරිදි මත්පෙති ජාවාරමේ ප්‍රධානියා හිපොක්‍රටීස් දිව්රුම දී වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබ පත්වීම් ලද වෛද්‍යවරයෙකි. හතළිස් නව හැවිරිදි ඔහු තිදරු පියෙකි. 2003 වසරේ දී වෛද්‍යවරයකු ලෙස පත්වීම් ලැබ ඇති ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට සේවය කරමින් සිට ඇත්තේ පේරාදෙණිය රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ය. දොළුව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගොස් තිබෙන මෙම වෛද්‍යවරයා පදිංචිව සිට ඇත්තේ ගෙලිඔය ප්‍රදේශයේ ඉදි කළ සුවිසල් නිවසක ය. මොහු මත්පෙති ජාවාරම්කරුවන් රැසක් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට පොලිසිය සැක කරයි. සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මුදලට අලෙවි කර තිබූ මත්පෙති අතර ප්‍රබල වේදනා නාශක වර්ග දෙකකට අයත් මත්පෙති තිබෙන බව පොලිසිය පවසයි.

තම පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය බිඳ එහි තිබූ ඖෂධ රැසක් සොරාගෙන ගොස් තිබෙන බවත් මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මේවා සොරකම් කරන්නට ඇතැයි සිතා ප්‍රබල වේදනා නාශක පෙති එහි නොතබා තමන් ළඟ තබා ගැනීමට වෛද්‍යවරයා කටයුතු කර තිබෙන බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබේ. ඊට පිළිතුරු ලෙස පොලිසිය පවසා ඇත්තේ ගෙලිඔය පදිංචි දොළුවේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වෛද්‍යවරයා ගම්පොළ ජයමාලපුරට රාත්‍රියේ පැමිණ එක් පුද්ගලයකුට මෙතරම් විශාල මත්පෙති ප්‍රමාණයක් අලෙවි කිරීම බරපතළ ගැටලුවක් බවයි.

සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අළෙවි කිරීමට රැගෙන ආ ප්‍රබල වේදනා නාශක දෙකින් එකක් පිළිකා රෝගීන් ගේ අධික වේදනාව සමනය කිරීමට ලබා දෙන්නකි. එය අන්තරායකර ඖෂධ කාණ්ඩයට වැටෙන්නකි. එය අලෙවි කිරීමට අවසර ඇත්තේ රාජ්‍ය ඔසුසල්වල පමණි. වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඔසුසැල් මඟින් ද එය අලෙවි නොකරයි. අනෙක් ඖෂධය ද ප්‍රබල වේදනා නාශකයකි. එය සාමාන්‍ය ඖෂධ අලෙවි සැල්වලින් ද වෛද්‍ය නිර්දේශ මත ලබා ගැනීමට පුළුවන. මේ සම්බන්ධව මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය, නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ දැක්වූයේ මෙවන් අදහසකි. මේ වේදනා නාශක පෙති වෛද්‍ය නිර්දේශ මත පමණයි ලබා දෙන්නේ. ඒවා අධි මාත්‍රාවක් දිගු කාලයක් තිස්සේ ලබා ගැනීමේ දී නොයෙකුත් අතුරු ආබාධ මෙන්ම ඒවා දිගින් දිගටම ලබා ගැනීමට පෙලඹවීමක් ඇති කරනවා. මේ පෙති අධික මාත්‍රාවක් භාවිතයේ දී ශරීරයේ මතුවන සියුම් වේදනාවන් පවා පහව යනවා. ඇත්තෙන්ම එතනදී වෙන්නේ වේදනාව ගෙන එන ස්නායූවල ඔස්සේ ආවේග ගමන් කිරීම අඩාළ වීමක්. පෙතිවල බලය අවසන් වූ පසු වේදනාව දෙතුන් ගුණයකින් වැඩි වී මතු වෙනවා. මේ වෙලාවට පෙත්ත නැතුව ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ස්නායූ රෝග, හෘදය අකර්මණ්‍ය වීම, සන්ධි බුරුල් වීම, හිසරදය, අමතක වීම, මුත්‍රා කිරීමේ අපහසුව, කලහකාරීබව, වෙව්ලීම, අධික තෙහෙට්ටුව හා නිදිමත, ගොත ගැසීම, ඔක්කාරය හා වමනය ඇතුළු රෝග ගණනාවක් මේ පෙති දීර්ඝ කාලයක් තිස්සේ අධි මාත්‍රාවක් ලබා ගැනීමෙන් ඇති වෙන්න පුළුවන්.

සෑම වෘත්තියකටම ආචාර ධර්ම තිබෙනවා. මේ ආචාරධර්ම රැක්කොත් තමයි වෘත්තිය ගරුත්වය ඇතිවන්නේ. ඇතැම් විට අධික වේදනාවන් පසුවන රෝගීන් ට මේ ඖෂධ නිර්දේශ කරන්න වෛද්‍යවරුවරුන්ට සිදු වෙනවා. එහෙම කියලා මේ ඖෂධ දහස් ගණන් තමන් සන්තකයේ තබා ගන්න වෛද්‍යවරයකුට වුවත් අවශ්‍ය නැහැ. රෝගියකුට රාජ්‍ය ඔසුසලකින් ලබා ගැනීම සඳහා නිර්දේශයක් ලබාදීමට වෛද්‍යවරයකුට පුළුවන්. වෛද්‍ය නිර්දේශයක් මත රාජ්‍ය ඔසු සලකින් හෝ වෙනත් ඖෂධ අලෙවි සැලකින් මෙවැනි ඖෂධ නිකුත් කළොත් වෛද්‍ය නිර්දෙශ සහිත තුන්ඩුවේ රබර් මුද්‍රාවක් තබා දිනය සඳහන් කළ යුතුයි. නැතහොත් එය භාවිත කර නැවත නැවත මේ ඖෂධ ලබා ගැනීමට පුළුවන්. මේ කාර්යය අද අපේ රටේ ඖෂධ අලෙවිසැල්වලින් නිසි ලෙස සිදුවන්නේ නැහැ. අනිත් කාරණය තමයි වෛද්‍යවරයකුට වුවත් තමා ගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තබා ගැනීමට පුළුවන් ඕනෑම ඖෂධයක් සීමා සහිතවයි. ඊට වැඩි ප්‍රමාණයක් තියා ගන්න නම් බලපත්‍රයක් අවශ්‍යයයි. තමාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ඖෂධ දින කිහිපයක් සඳහා නිකුත් කිරීමේ හැකියාව ඇතත් වෛද්‍යවරයකුට ඖෂධ විකිණීමට බලයක් නැහැ. මත්පෙති නිසා නොයෙකුත් අතුරු ආබාධවලට ලක් වූ තරුණ තරුණියන් ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට එනවා. මේ වන විට එම රෝගීන් ගේ වැඩිවීමක් දකින්න ලැබෙනවා. වෛද්‍යවරයකු සෑම විටම කටයුතු කළ යුත්තේ කෙනකු රෝගි තත්ත්වයෙන් මුදා ගැනීමට හෝ එය පාලනය කිරීමට මිස පුද්ගලයකු රෝගියකු කරන්න නොවෙයි.

වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු මුදා ගැනීම පිණිස පුද්ගලයන් ගණනාවක් පොලිස් ස්ථානයට දුරකතන මඟින් ඇමතුම් ලබා දී තිබේ. ඒ සම්බන්ධව ඇත්ගාල පොලිස් ස්ථානාධිපතිවරයා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනුවත් කළ අවස්ථාවේ ඔහු උපදෙස් දී ඇත්තේ කිසිදු බලපෑමකට යටත් නොවී තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක, සහකාර පොලිස් අධිකාරී දුෂ්‍යන්ත හේරත් යන නිලධාරීන්ගේ උපදෙස් මත ඇත්ගාල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෙනරත් කැකුලන්දර, පොලිස් සැරයන් (61207) නුවන්, පොලිස් කොස්තාපල් (77957 )බණ්ඩාර (74284) ප්‍රේමරත්න යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ. මත්පෙති ප්‍රවාහනයට යොදා ගත් සුඛෝපභෝගී ජීප් රථය ද සමඟ වෛද්‍යවරයා ගම්පොළ ප්‍රධාන මහේත්‍රාත් වාසනා නවරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මෙම මස 19 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මත්වීම පිණිස වේදනා නාශක අධික මාත්‍රාවක් ලබා ගැනීමෙන් ශරීර අභ්‍යන්තරයේ අතුරු ආබාධ පිළිබඳව සාමාන්‍ය ජනතාවට වඩා හොඳින් දන්නේ වෛද්‍යවරුන් ය. මේ වන විට මත්පෙති භාවිතයට පාසල් සිසුන් පවා පෙලඹී සිටින අවස්ථාවක මුදලට ගිජුව වෛද්‍ය ආචාර ධර්මවලට පවා පිටුපාමීන් වෛද්‍යවරු කටයුතු කිරීම සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන්නේ ය. සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා වෛද්‍යවරයකු පමණක් නොව තිදරු පියෙකි. දරුවන් සිටින පියකු තම දරුවන්ගේ හෙට දවස යහපත් කරනු පිණිස අන් දරුවන් ගේ අනාගතය විනාශ කරන්නට කටයුතු කරන්නේ නම් එය සමාව දිය නොහැකි වරදකි.

  

ඡායාරූප-ගම්පොළ සමූහ

අසේල කුරුළුවංශ හා ගම්පොළ සමූහ සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division