Home » මම චෙෆ් කෙනෙක් කියලවත් ගායකයෙක් කියලවත් මගේ දරුවො මං ගිය මඟ යන්න ඕන නැහැ

මම චෙෆ් කෙනෙක් කියලවත් ගායකයෙක් කියලවත් මගේ දරුවො මං ගිය මඟ යන්න ඕන නැහැ

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

– විදෙස් රටවලින් මෙහෙට ඇවිත් සූපවේදියෙක් වෙන්න ඉගෙන ගන්න අයටයි මම ඉගැන්වීම් කරන්නේ
– අවුරුදු දහයක කාලයේදි ලංකාවේ තිබ්බ ජනප්‍රියත්වයට වඩා මෙහේ වටිනාකමක් ඇති මනුස්සයෙක් බවට පත් වුණා
– ඔස්ට්‍රේලියාවට ආව කාලේ කාත් කවුරුත් නැතිව තනිකම එක්ක දුකක් හිතුණත් දැන් නම් හරිම සතුටුයි
– හැමදේම අත හැරලා දරුවෝ ගැන හිතලා තමයි මම ඔස්ට්‍රේලියාවට ආවේ

ප්‍රසංග වේදිකාව ගීතයෙන් දෙවනත් කළ ඔහු ඔහුගේ වෘත්තියට වෙනත් මාවතක් තෝරා ගත්තත් ඒ මඟ ද ඔහු සාර්ථක ගමනක් කර ගත් කෙනෙක්. ඔහු කවුරුත් දන්න චෙෆ් දොන් ශර්මන්. ගායකයෙක් විදිහට අතිශයින් ජනප්‍රිය වූ දොන් මේ වෙද්දී ඕස්ට්‍රේලියානු තාක්ෂණික සූපවේදින්ගේ සංගමයේ වත්මන් සභාපතිවරයා ද වෙනවා. ජනප්‍රියත්වය පැත්තකින් තියලා විදෙස්ගත වූ දොන් ඔහුගේ ආගිය හා අලුත් තොරතුරු ගැන රසඳුන සමඟ කළ කතාබහයි මේ.   

සූපවේදය එක්ක කාර්‍යබහුල ජීවිතයක් ගත කරන දොන් ඉඳිආප්ප ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා ආරංචියි ..?

ඔව්. මෙහි නිෂ්පාදන කටයුතු වෙන්නේ ලංකාවේ. මේ ඉඳිආප්ප පිටි නෙමෙයි. සැකසු වියළි ඉඳිආප්පයි. පැකට් එකේ ඉඳිආප්ප 25ක් තියෙනවා. හතර දෙනෙකුට කන්න පුළුවන්. රසකාරක අඩංගු නැහැ. කල් තබාගන්න කිසිදෙයක් භාවිතා කරන්නේ නැහැ. නමුත් පැකට්ටුව විවෘත නොකර අවුරුදු එකහමාරක් කල් තබා ගන්න පුළුවන්. වියළි ඉඳිආප්ප උණු වතුරට දාලා විනාඩි දෙකකින් විතර සාමාන්‍ය ඉඳිආප්ප විදිහට කන්න පුළුවන්. ලංකාවෙදි නිෂ්පාදනය කරලා මෙහෙට ගෙනත් අලෙවි කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම කියන්න අපි සාමාන්‍යයෙන් ඉඳිආප්ප අතින් මිරිකලා නෙමෙයි හදන්නෙ. සියල්ල යන්ත්‍රානුසාරයෙන් කරන්නේ. සෞඛ්‍ය ආරක්ෂිතයි. මෙහි ෆ්ලේවස් 10ක් තියෙනවා. සාමාන්‍යයෙන් තියෙන්නේ සුදු, රතු ඉඳිආප්ප විතරයි නේ. මේ නිෂ්පාදනය වට්ටක්කා, වැල්පෙ‍ෙනල, සුවඳැල්, මස්බැද්ද වගේ සෞඛ්‍ය සම්පන්න රසවලින් යුක්තයි.

ලංකාවේ නිෂ්පාදනය කරලා ඔස්ට්‍රේලියා වේ අලෙවි කරන්න කලින් ශ්‍රී ලාංකිකයින්ට රස බලන්න නොදෙන්නෙ ඇයි..?

මම හිතුවා අපේ දේ මුලින්ම ඔස්ට්‍රේලියාවේ අයට රස බලන්න දෙන්න ඕන කියලා. ඒ නිසයි මුලින්ම මෙහේ අය වෙනුවෙන් අලෙවි කළේ. හැකි ඉක්මනින් ලංකාවේ ජනතාවටත් රස විඳින්න පුළුවන්. ඒ වගේම තව නිෂ්පාදන කිහිපයක් ඉදිරියේ දි “දොන් ඩැඩි“ නිෂ්පාදන අතරට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.

පාරිකයෙක් වුණු නිසා ගායනය වගේම ඔබ වඩාත් ප්‍රිය කරන සූපවේදයට තිත තැබෙයි ද..?

කොහෙත්ම නැහැ. මම ඔස්ට්‍රේලියා තාක්ෂණික සූපවේදින්ගෙ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරනවා, සියලුම ඔස්ට්‍රේලියා සූපවේදින්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම් මට පැවරෙද්දි මෙහේ සූපවේදී තාක්ෂණික පාසල් තුනක ඉගැන්වීම් කටයුතු කරනවා. විදෙස් රටවලින් මෙහෙට ඇවිත් සූපවේදියෙක් වෙන්න ඉගෙන ගන්න අයටයි මම ඉගැන්වීම් කරන්නේ. ඊට අමතරව ගායනයත් අමතක කරන්නේ නැහැ , අලුත් ගීතයක් නිර්මාණය කරමින් යනවා. එයත් ළඟදීම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

සූපවේදියෙක් විදිහට ළඟදී සම්මාන ලැබුවා නේද ..?

නිර්මාණශීලී ව්‍යාපාරික විශේෂ සම්මානයක් හා සූපවේදී සංගමය විසින් පැවැත්වූ තරගයකින් පළමු තැන හිමි කර ගත්තා. එහි ජයග්‍රහණය වෙනුවෙන් මට සතියක ඉතාලි සංචාරයකට සහභාගි වෙන්න අවස්ථාව හිමි වුණා .

ලංකාව අතහැරලා විදෙස්ගත වෙන ශ්‍රී ලාංකිකයින් දිහා බලද්දී ජනප්‍රියත්වය ගැනවත් නොතකා විදෙස්ගත වීම ගැන දැන් සතුටු ඇති..?

අපි ඔස්ට්‍රේලියා ඇවිත් දැන් අවුරුදු 10ක්. එදා ගත්ත තීරණය හරි තීරණයක්. ඒ ගැන සතුටක් මිසක් දුකක් නැහැ. හැමදේම අතහැරලා දරුවෝ ගැන හිතලා තමයි මම ඔස්ට්‍රේලියාවට ආවේ. මම මෙහේ ඇවිත් බිංදුවෙන් පටන් ගත්තේ. ඒ මොහොතේ පුදුමාකාර දුකක් තිබුණේ. ඇත්තටම කිව්වොත් ලංකාවේ වැඩ කරලා අත්දැකීම් ගන්නවට වඩා මෙහේ විවිධ රටවල්වල ජාතින්ගේ ඇසුර එක්ක ගොඩක් දේ ඉගෙන ගනිමින් ගමනක් ආවා කියන්න පුළුවන්. අවුරුදු දහයක කාලයේදී මම ලංකාවේ තිබුණ ජනප්‍රියත්වයට වඩා මෙහේ වටිනාකමක් ඇති මනුස්සයෙක් බවට පත් වුණා. ඔස්ට්‍රේලියාවට ආව කාලේ කාත් කවුරුත් නැතිව තනිකම එක්ක දුකක් හිතුණත් දැන් නම් හරිම සතුටුයි. ලංකාවට ගිහින් රවුමක් ගහලා එනවා. ඒ හැර දැනට නම් ඉන්න යන්න හිතන්නේ නැහැ.

දරුවන්ට තාත්තට වගේ රසට උයන්නත් ගයන්නත් පුළුවන් ඇති..?

ඔය දෙකම දරුවන්ට කරන්න පුළුවන්. දුව එමා. එයාගේ වයස අවුරුදු 22ක්. පුතා ශෙනන්, එයාගේ වයස 18ක්. එයාලට පියානෝ ප්ලේ කරන්න පුළුවන්. ගයන්නත් පුළුවන්. දුව අවුරුද්දක් එංගලන්තයේ ඉගෙන ගත්තා. ඒ කාලේ එයාගේ කෑමබීම එයා හදාගත්තේ. ඒ නිසා එයාටත් රසට උයන්න පුළුවන්. පුතා දැන් යුනිවර්සිටි යන්න ලෑස්ති වෙනවා. එයත් ගෙදරදි එයාට ආස කෑමබීම හදාගෙන කනවා. අපිටත් දෙනවා. එයා හදන කෑමත් රසයි. දෙන්නම විනය ගරුක දරුවෝ දෙන්නෙක්. එයාලගේ තාත්තා හැටියට දරුවන්ගේ දක්ෂතා ගැන මට හරි සතුටුයි. ඒ වගේම කියන්න ඕන මම චෙෆ් කෙනෙක් කියලවත් ගායකයෙක් කියලවත් මගේ දරුවෝ මගේ මඟ යන්න ඕන නැහැ. එයාලා කැමති මඟක යයි. ඒක තෝර ගන්න එයාලට දැන් අවබෝධයක් තියෙනවා

දරුවෝ දෙන්නා එක්ක ගයන්න ආසාවක් නැද්ද ..?

ආසාවක් කැමැත්තක් තියෙනවා. නමුත් ඊට සුදුසු කාලේ නෙමෙයි මේ. හෙමිහිට ඒ දෙන්නා එක්ක එකතු වෙලා ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉවුම් පිහුම් කියන්නෙත් ෆැෂන් එකක්. ගෙදරදි රසට උයන්නේ දොන්ට වඩා බිරිඳ ද..?

බිරිඳට රසට උයන්න පුළුවන්. එයාට ගමේ කෑම සහ ලංකාවේ කෑම රසට හදන්න පුළුවන්. එයා තමයි ගෙදර උයන්නේ. මගේ කෑම ඉතින් විලාසිතා ගන්වන කෑමනේ. නමුත් මම ගෙදර හදන පැස්ටාවලට හැමෝම ආසයි. දරුවන්ට වගේම මට උයන්න පුළුවන් නිසා බිරිඳට උයන්න කරදර වෙන්න ඕන නැහැ. .

බිරිඳ කරගත් පෙම්වතිය ඔබට මුණගැහෙන්නේ ඔබ ජනප්‍රිය වෙන්න කලින්..?

ඔව්. මම ජනප්‍රිය වෙන්න කලින් තමයි එයාව මට මුණගැහෙන්නේ , මුලින්ම එයාව දකින්නේ මම සම්බන්ධ වුණු රූපවාහිනී වැඩසටහනකට එයත් සම්බන්ධ වෙන්න ආ වෙලාවක. එතැනදි ඇති වුණු හිතවත්කම තමයි විවාහය දක්වා ගෙන ගියේ. එතකොට මම හොටෙල් ස්කූල් එකෙන් ඉගෙන ගෙන අවසන් වූ කාලේ.

ඔබ කා අතරත් ජනප්‍රිය තරුවක් වෙද්දී ඔබව අහිමි වෙයි කියලා බිරිඳ ඔබට වාරණ දාපු අවස්ථා නැද්ද ..?

මගේ බිරිඳ චතුරි, එයාගෙන් තහනම් තහංචි වැටුණේ නැහැ. මොකද සංගීතයෙන් වගේම සූපවේදියෙක් විදිහට මම ජනතාව අතරට යන්න කලින් එයාව මුණගැහෙන්නෙ. ඊට පස්සේ ජනප්‍රිය වෙද්දී සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න ගොඩක් ආරාධනා ලැබෙද්දි මම එයත් එක්ක යන්නේ. ඉතින් එයාට එහෙම අහිමි වෙයි කියන හැඟීම එන්න මම ඉඩ තිබ්බෙ නැහැ. නිතරම අපි එකට හිටියේ, මගේ සියලුම වැඩවලට එයා උදව් කරා. අදටත් මගේ ව්‍යාපාර කටයුතු වගේම සංගීත වැඩකටයුතු ගැන එයා තමයි හොයලා බලලා උදව් කරන්නේ. අපි විශ්වාසයෙන් අවබෝධයෙන් ජීවත් වුණේ එදා වගේම අදටත්. ඒ නිසා ජීවිතේ සාර්ථක කර ගන්න පුළුවන් වුණා.

දොන් ජනප්‍රිය වෙන්නේ ගායනයෙන්. ඇයි ඔබ සූපවේදියෙක් විදිහට රැකියාව තෝරා ගන්න හිතුවේ..?

මම ගායකයෙක් වෙන්නේ වස්දොස් යන්නට ගීතය ගායනා කිරිමෙන්. පසුව ඒ ගීතය නිර්මාණය කළ නිර්මාණකරු ඒ ගීතය ගායනා කරමින් ජනප්‍රිය වුණා. පස්සෙ මම උඩ රට මැණිකෙට, අම්මා මට බැන්න වගේ ගීත ගායනා කරමින් ජනප්‍රිය වුණා. නමුත් මම සාමාන්‍ය පෙළ කරලා මගේ අංකල්ගේ කේටරින් එකේ වැඩ කරා. එතකොට මම වැඩ කරනවා දැකලා මගේ මොකක් හෝ දක්ෂතාවයක් ඒ පැත්තෙන් තියෙනවා කියලා අංකල් කිව්වා හොටෙල් ස්කූල් යන්න ගිහින් ඉගෙන ගන්න කියලා, ඊට පස්සේ තමයි මම හොටෙල් ස්කූල් ගිහින් ඉගෙන ගන්නේ. ඊට පස්සේ මම ඔබ්‍රෝයි, එයාර් ලයින්ස් වගේ ආයතනවල චෙෆ් කෙනෙක් විදිහට වැඩ කළා. නමුත් සංගීතය අත හැරියේ නැහැ . ඒකත් කරා. ඊට පස්සේ තමයි චෙෆ් කෙනෙක් විදිහටත් අලුත් දේවල් එක්ක විවිධ රූපවාහිනී වැඩසටහන් එක්ක ජනතාව අතරට යන්නෙ.

දොන්ට සංගීතයත් ඕපපාතිකයක් ..?

මගේ කවුරුත් කලාවට සම්බන්ධ නැහැ. අද වගේ රියැලිටි නැහැ. නමුත් මම ආසයි ගයන්න. ඒ නිසා යාළුවෝ ටිකක් එක්ක එකතු වෙලා බෑන්ඩ් එකක් පටන් ගත්තා. ඊට පස්සේ මම ගැලැක්සීස් බෑන්ඩ් එකේ සාමාජිකයෙක් වෙලා දෙස් විදෙස් ප්‍රසංග වලට සම්බන්ධ වුණා. ගීත සංයුක්ත තැටියකුත් කළා. එහෙම ආපු ගමනක් තමයි මේ.

තවම ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය ද..? ඒ ගැනත් කියමු..?

මම ලංකාවේ ඉන්න කාලේ අවුරුදු දහයක් එක දිගට කුකරි වැඩසටහනක් කළා. ස්වාධීන රූපවාහිනියේ. ඒ නිසා බොහෝ අයට මාව මතකයි. මම ඔස්ට්‍රේලියා එන්නෙ 2014 අවුරුද්දේ. දැන් පරම්පරාවට මාව මතකද දන්නෙ නැහැ. එක දිගට ගීත කරපු නැති නිසා. කොහොම නමුත් ප්‍රතිචාර හොඳයි වරදක් නැහැ.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division