Home » ආදරේ කියන සුන්දර හැඟීම මමත් විඳිනවා

ආදරේ කියන සුන්දර හැඟීම මමත් විඳිනවා

by thanushika
February 10, 2024 12:30 am 0 comment

සහජයෙන් ලද රංගන හැකියාව අධ්‍යයනයෙන් හා අත්දැකීම්වලින් ඔපමට්ටම් කරගනිමින් කලා කේෂ්ත්‍රය තුළ දිගු ගමනක් යන්නට පෙරුම් පුරන ඇය කලාවට බොහෝ සේ ඇලුම් කරන ළමා මනෝ වෛද්‍යවරියකි. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ‘අකුරට යන වෙලාවේ’ ටෙලි නිර්මාණයේ මිහිරි ටීචර්ගේ භූමිකාවට පණ පොවන ඇය ළඟඳීම තිරගත වීමට නියමිත ලස්සන ජයසේකරගේ ‘රෙඩ්’ සිනමාපටයේ ප්‍රධාන චරිතයකින් ඔබ හමුවට එන්නීය. අද අපේ කතාබහට එක්වන ඇය ළමා මනෝ වෛද්‍ය සෙව්වන්දි පෙරේරාය.

මේ දිනවල ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නවතම ටෙලි නිර්මාණයක රූගත කිරීම්වල නියැළෙන සෙව්වන්දි අප හා කතාවට එක්වූවාය.

“මේ දවස්වල ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අලුත්ම ටෙලි නිර්මාණයට ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙනවා. ඒ නාට්‍යයේ ෂූටින් කරන ගමන් ඉන්නෙ. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන අකුරට යන වෙලාවේ ටෙලි නිර්මාණයේ මිහිරි ටීචර්ගේ චරිතයටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ‘ඔෆිස් ලන්තයත්’ සතියේ දින පහේම විකාශය වෙනවා.”

කුඩා වියේ පටන්ම රංගනයට තිබූ ආසාව සහජයෙන් ලද හැකියාවත් සමඟ මුසුකළ සෙව්වන්දි මේ වනවිට කලා කේෂ්ත්‍රයේ සෙමින් ගමනක් යමින් සිටින්නීය. ඒ පිළිබඳව ඇය අප හා පැවසුවේ ද නිහතමානී ආඩම්බරයකිනි.

“පොඩි කාලෙ ඉඳන්ම මට ලිවීමේ හැකියාව තිබුණා. මං සිනමාකරණය පිළිබඳ හදාරන්න පටන් ගත්තෙත් ඒ නිසා. පාසල් වේදිකාව නම් මට ආගන්තුක වුණේ නැහැ. ඒ හැකියාව මට ලැබෙන්න ඇත්තෙ මගේ සීය ගෙන්. අපේ පවුල් පසුබිමේ කලාව තිබුණා. මගේ සීයා වේදිකා නාට්‍ය රංගන ශිල්පී ඇලෝසියස් පෙරේරා. ඒ ආභාසයෙන් තමයි මටත් මේ හැකියාව ලැබෙන්න ඇත්තෙ.

අහම්බෙන් වගේ මට ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මාණයට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ අඛිල අබේරත්න සර් නිසා. ඒක තමයි මගේ පළමු ටෙලි අත්දැකීම. ඊට පස්සෙ සකූගේ ලෝකය, අකුරු මැකී නෑ, දිවිතුරා වගේ ටෙලි නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා.

ළමා මනෝ වෛද්‍යවරියක් ලෙස ළමා මනස සම්බන්ධ ගැටලුවලට උපදේශනය ලබා දෙන සෙව්වන්දි කුඩා කල පටන් තිබුණු වෛද්‍යවරියක් වීමේ සිහිනය ගැනත් අප හා පැවසුවාය.

මං පාසල් ගියේ වත්තල ශාන්ත මරියා මහා විද්‍යාලයට. මට ඉන්නෙ අම්මයි මල්ලිල දෙන්නයි විතරයි. පුංචි කාලෙ ඉඳන්ම මට මනස ගැන මානසික රෝග ගැන හොයන්න පොඩි උණක් තිබුණා. මං ඒ ගැන හොයන්න වෙහෙසුණා. විශේෂ අවශ්‍යතා සහිත ළමයි දකිද්දී මං ගොඩක් සංවේදී වෙනවා. ඒ කාලෙ මං නොතේරෙන වයසක හිටියත් දවසක මං මේ ළමයි වෙනුවෙන් මොනවහරි කරනවා කියන මෝටිවේෂන් එක ඇති වුණා. ඒ නිසයි මං මනෝ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් අධ්‍යාපනය හදාරන්න පෙලඹුණේ.

රංගන ශිල්පිනියක් විදිහට ඔබ ප්‍රේක්ෂක හදවත්වලට ළෙන්ගතුව කතා කරනවා. ඒ වගේම ළමා මනෝ වෛද්‍යවරියක් විදිහට පුංචි දරුවන්ගේ මනසට කතා කරන්නෙ කොහොමද?

මේ වෙද්දි ගොඩක් දරුවන්ට මානසික ගැටලු ඇතිවෙලා තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් නිසා. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වෙලා. දැන් දරුවන්ට ළමා කාලයක් නැති තරම්. ඉස්සර වගේ පරිසරයත් එක්ක ජීවත් වෙන්න මවුපියන්ගේ රැකවරණයේ ඉන්න ඔවුන්ට කාලයක් නැහැ. රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක මවුපියන් රැකියාවට ගියහම ළමයි ඉන්නෙ දිවා සුරුකුම් මධ්‍යස්ථානවල. එහෙම නැත්නම් ආච්චි සීයා ළඟ හරි වැඩිහිටියෙක් ළඟ හරි. බොහෝ වෙලාවට වැඩිහිටියන් වැඩ කරගන්න පහසුවට දරුවන්ට ෆෝන් එක දෙනවා. දරුවන්ට තේරුමක් නැහැ බලන්න ඕන මොනවද නැත්තෙ මොනවද කියලා. දැන් මේක හරිම ඛේදවාචකයක් වෙලා. අපි ළමයින්ව ඒකෙන් ගලවගන්න උපදේශනය කරනවා.

අවුරුදු 3 පහු වුණාට පස්සෙ දරුවන්ගෙ බ්‍රේන් වොෂ් කරන එක හරිම අමාරුයි. ඒක පියවරෙන් පියවර කරන්න ඕන දෙයක්. දැනට මං විදෙස් රටවල දරුවන් පහළොස් දෙනෙකුට මාර්ගගත ක්‍රමය ඔස්සේ උපදේශනය ලබා දෙනවා. ඊට අමතරව ලංකාවෙත් දීපව්‍යාප්තව උපදේශන වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. පෙර පාසල් මට්ටමෙන් ගිහින් මුලින්ම ගුරුවරුන් සහ මවුපියන්ට උපදේශනය දෙන්න ඕන, ළමයි එක්ක සහසම්බන්ධතා පවත්වන්නෙ කොහොමද කියන එක ගැන. මේ දවස්වල මං How to be smart parents කියල ඒ ගැන පොතකුත් ලියාගෙන යනවා. සාහිත්‍ය මාසයේ ඒක එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

එවැනි දරුවන්ට ළං වෙන්න අපි නොයෙක් උපක්‍රම පාවිච්චි කරනවා. වෙලාවකට ඔවුන් කියන දේට නතුවෙලා ඔවුන් එක්ක මිතුරු වෙලා තමයි මේක කරන්න වෙන්නේ. ෆෝන් එක සම්පූර්ණයෙන් අයින් කරන එක නෙවෙයි මේකට එකම විසඳුම. සුදුසු දේවල් විතරක් බලන්න ඔවුන් පොළඹවන එක තමයි කරන්න ඕන. මං උපදේශනය පිළිබඳ අවුරුදු 2ක පුහුණුවක් ලැබුවා ඩුබායිවල. ඒ දවස්වල කලාවෙන් ඈත්වෙන්න වුණත් ලංකාවට ආපු ගමන්ම නැවතත් කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක ලොකු භාග්‍යයක්.

මනසේ ක්‍රියාකාරීත්වය ගැන හොඳින්ම දන්නා සෙව්වන්දිට ආදරය ගැන යමක් කියන්නත් ඇති?

ආදරේ කියන සුන්දර හැඟීම මමත් විඳිනවා. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයි. ඒ වුණත් එයාගෙන් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා. කලා කටයුතුවලට වගේම මගේ අධ්‍යාපන කටයුතුවලටත් එයා ලොකු සපෝට් එකක් දෙනවා. එයා මට නිදහස කියන දේ උපරිමයෙන් දීල තියෙනවා. එයා මාව ගොඩක් විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් රැකගෙන මගේ ජීවිතේ හැමදෙයක්ම සමබර කරගෙන යනවා.

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division