Home » මියගිය දිනට පසුදා යළි ඉපදුණු ඉන්දීය නිළිය පූනම් පාණ්ඩේ

මියගිය දිනට පසුදා යළි ඉපදුණු ඉන්දීය නිළිය පූනම් පාණ්ඩේ

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

– මගේ මරණය පිළිබඳ පුවත විසින් ඇති කරන ලද මේ ප්‍රතිඵලය ගැන මං ආඩම්බර වෙනවා
– මං කළ ක්‍රියාව අන්තවාදීයි ඒත් කවුරුත් හදිසියේම ගැබ්ගෙල පිළිකා ගැන කතා කරන්න පටන් අරන්
– බොරුවක් කළේ ගැබ්ගෙල පිළිකා සම්බන්ධයෙන් සමාජය තුළ සාකච්ඡාවක් ඇති කරන්නයි
– ලෝකයේ වාර්තා වන ගැබ්ගෙල පිළිකා රෝගීන්ගෙන් සියයට 25ක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්
– පූනම්ගේ මව මිය ගොස් ඇත්තේත් පිළිකාවකින්

ඉන්දියාවේ නිළියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ද වන පූනම් පාන්ඩේ ගැබ්ගෙල පිළිකාවක් නිසා මිය ගිය බව පසුගිය සතියේ දිනෙක ඇයගේ කළමනාකාරවරයා ප්‍රකාශයට පත් කර තිබුණේ ඇයගේම ඉන්ස්ටග්‍රෑම් පිටුව හරහා යි. මෙම කනගාටුදායක පුවත පූනම්ගේ රසික රසිකාවියන් මෙන්ම ක්‍ෂේත්‍රයේ ඇයගේ සහෝදර ශිල්පීන් ද තිගැස්මටත්, කම්පාවටත් පත් කරන්නක් වුණා. මේ බොහෝ දෙනා ඇයගේ වියෝව ගැන ශෝකය පළ කරමින් පණිවුඩ සටහන් කර තිබුණා. කළමනාකාරවරයා ගේ ප්‍රකාශය උපුටා දක්වමින් ඉන්දියාවේ ප්‍රධාන පුවත්පත් පවා මෙම ප්‍රවෘත්තිය පළ කර තිබෙනුත් දකින්නට ලැබුණා.

කෙසේ හෝ වේවා, ඊට පසු දින සිදු වූයේ මේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිද්ධියක්. එදින සමාජ මාධ්‍ය ඔස්සේම පණ පිටින් පෙනී සිටි පූනම් පැවසුවේ තමා මිය නොගිය බවයි. කලින් දවසේ පළ කළ පුවත බොරු මවාපෑමක් පමණක් බවත් ඇය සඳහන් කළා. මෙවැනි ‘බොරුවක්’ කළේ ගැබ් ගෙල පිළිකා සම්බන්ධයෙන් සමාජය තුළ සාකච්ඡාවක් සහ දැනුම්වත් බවක් ඇති කිරීමේ අරමුණින් බවයි පූනම් තවදුරටත් පැවසුවේ. එයින් පෙනුණේ මෙය එක්තරා ආකාරයක අසම්මත ප්‍රචාරණ උපක්‍රමයක් වූ බවයි.

ගැබ්ගෙල පිළිකාව ගැන ඉන්දියානු සමාජය තුළ වැඩි අවබෝධයක් නොමැති නිසා මෙවැනි පියවරක් ගත් බවක් ද පූනම් සඳහන් කර තිබුණා. ඉන්දියාවේ බොහෝ කාන්තාවන් අවාසනාවන්ත ලෙස මෙම රෝගයෙන් මිය යාමට එක් හේතුවක් වන්නේ එම අඩු අවබෝධය බව ද ඇය පැවසුවාය.

“වෙනත් සමහර පිළිකා වගේ නොවෙයි, ගැබ්ගෙල පිළිකාව කියන්නේ සම්පූර්ණයෙන් ම වාගේ සුව කළ හැකි පිළිකාවක්. එහි දී වැදගත් වන්නේ එච්පීවී (Human Papilloma Virus) එන්නත ලබා ගැනීම. මුල් අවධියේදීම පිළිකාව හඳුනා ගැනීම වැනි පියවර පමණයි” පූනම් තවදුරටත් සඳහන් කර තිබෙනු දැකිය හැකි වුණා.

ඇය භාවිත කළ මෙම උපක්‍රමය සමහරුන් අගය කර තිබුණත් තවත් බොහෝ දෙනා එය දැඩි ලෙස විවේචනය කර තිබුණා. සමහරුන් පවසා තිබුණේ මරණය විහිළුවක් කර ගැනීමක් මේ තුළින් සිදුව ඇති බව යි. පිළිකා නිසා මියගිය අයගේ සමීපතමයන්ට මේ නිසා සිත් රිදීමක් විය හැකි බවක් ද ඇතැමුන් පවසා තිබුණා. සමහරුන්ගේ අදහස වුණේ මෙය බාල ගණයේ, සදාචාර විරෝධී, ලැජ්ජා සහගත උපක්‍රමයක් බවයි.

පූනම් මේ ගැන සමාව ඉල්ලා තිබෙනුත් දකින්නට ලැබුණා. එසේ වුවත් ඇය තම ක්‍රියාව යම් දුරකට සාධාරණීකරණය කිරීමටත් කටයුතු කර තිබුණා.

“මා කළ ක්‍රියාව ටිකක් අන්තවාදී කටයුත්තක් බව මම පිළිගන්නවා. නමුත් දැන් අපි කවුරුත් හදිසියේම ගැබ්ගෙල පිළිකා ගැන කතා කරන්න පටන් අරන් නේද? මගේ මරණය පිළිබඳ පුවත විසින් ඇති කරන ලද මේ ප්‍රතිඵලය ගැන මා ආඩම්බර වෙනවා” ඇය ඔන්න ඔහොමත් පවසා තිබුණා.

ගැබ්ගෙල පිළිකාව සැබැවින්ම ඉන්දියාවට විශාල ගැටලුවක් ඇති කර තිබෙන රෝගයක්. ලෝකයේ මෙම රෝගය වැඩියෙන්ම වාර්තා වන රටක් හැටියට ඉන්දියාව සැලකෙනවා. ඇතැම් සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ කවුරුත් හදිසියේම ගැබ්ගෙල පිළිකා ගැන කතා කරන්න පටන් අරන් බවයි. ලෝකයේ වාර්තා වන ගැබ්ගෙල පිළිකා රෝගීන්ගෙන් සියයට 25 ක් පමණම වාර්තා වන්නේ ඉන්දියාවෙන් බවත් සඳහන්. මෙය කිසිසේත් සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය ද දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. පසුගිය සතියේ ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් ඉදිරිපත් කළ අය වැය යෝජනා අතරත් මෙම පිළිකාව වැළැක්වීම සඳහා යම් වැඩපිළිවෙළක් ඇතුළත් වුණා. වයිරසයක් හේතුවෙන් ඇති වන මෙම පිළිකාව වැළැක්වීමට ලබා දෙන ඉහත කී එච්පීවී එන්නත අවුරුදු 09-14 අතර වයස්වල පසුවන ගැහැනු දරුවන්ට වඩාත් පුළුල් මට්ටමින් ලබා දීමට මෙම වැඩපිළිවෙළ තුළින් බලාපොරොත්තු වෙනවා.

පූනම් පාන්ඩේ ඇයගේ නාටකය රඟ දැක්වූයේ මුදල් ඇමැතිනිය අය වැය ඉදිරිපත් කර දින දෙක තුනකට පසුව යි. පූනම් ගේ මව මිය ගොස් ඇත්තේත් පිළිකාවකින් බව පැවසෙනවා.

පූනම් පාන්ඩේ චිත්‍රපට විශාල ප්‍රමාණයක රඟපා ඇති නිළියක් නොවෙයි. ඇය වඩාත් අවධානයක් දිනාගෙන සිටින්නේ සමාජ මාධ්‍ය හරහා කරන මෙවැනි ආන්දෝලනාත්මක ක්‍රියාවන් නිසා යි. 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවස්ථාවේ ඇය සමාජ මාධ්‍ය තුළ පළ කළ සටහනක් ද සුවිසල් අවධානයක් දිනා ගත්තා. එහි දී ඇය පැවැසුවේ ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානය දිනාගතහොත් තමා කණ්ඩායම වෙනුවෙන් නිරුවතින් පෙනී සිටින බව යි. ඉන්දීය පිළ ලෝක කුසලානය දිනා ගත්තත් ඇය නිරුවත් වුණේ නැහැ. ! එම අවස්ථාවේ ඇය පැවසුවේ තමාට ඉන්දීය ක්‍රිකට් ආයතනය අවසර නොදුන් බව යි.

කෙසේ නමුත් 2012 වසරේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අයිපීඑල් තරගාවලිය ජයගත් අවස්ථාවේ පූනම් සිය නිරුවත් ඡායාරූපයක් පළ කර තිබූ බව සඳහන් වෙනවා. එක් අවස්ථාවක ඇය විසින් නිර්මාණය කරන ලද යෙදවුමක් (app එකක්) ගූගල් ආයතනය විසින් තහනම් කරනු ලැබුවා.

1991 වසරේ උපන් පූනම් මුලින්ම අවධානයක් දිනා ගත්තේ නිරූපණ ශිල්පිනියක හැටියට යි. රියැලිටි තරග හරහා ද ඇය විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන සිටියා. ඇය රඟ පෑ පළමු සිනමාපටය වූයේ 2013 වසරේ තිරගත වූ ‘නාෂා’ නැමැති සිනමාපටය යි. එයත් තරමක් ආන්දෝලනාත්මක සිනමාපටයක් වුණා. මෙම සිනමාපටයට පසුබිම් වුණේ ගුරුවරියක සහ ඇයගේ සිසුවකු අතර ඇති වන සම්බන්ධයක් පිළිබඳ කතාවක්. ගුරුවරියගේ චරිතය නිරූපණය කළේ පූනම්.

මෙම සිනමාපටයේ පෝස්ටරය දැඩි විවේචනයට ලක් වූ අතර ඇතැමුන් ඒවා ඉරා දමමින් සහ ගිනි තබමින් විරෝධය දැක්වූවා. ‘නාෂා’ චිත්‍රපටයෙන් පසු ඇය තවත් හින්දි සහ තෙලිඟු චිත්‍රපට කිහිපයක රඟ පෑවා. පූනම් රඟ පෑ අවසන් සිනමාපටය වූයේ 2018 වසරේ නිෂ්පාදනය වූ The Journey of Karma නැමැති සිනමාපටය යි. ඇය රූපවාහිනි වැඩසටහන් කිහිපයක ද පෙනී සිට තිබෙනවා.

2020 වසරේ පූනම් ඇයගේ දිගු කාලීන පෙම්වතා වූ සෑම් බොම්බේ සමඟ විවාහ වුණා. කොවිඩ් වසංගතය නිසා ඔවුන් ලොකු විවාහ උත්සවයක් පැවැත්වූයේ නැහැ. පවුල්වල උදවිය සහ සමීප මිතුරන් පමණයි ඊට සහභාගි වුණේ. කෙසේ නමුත් ඔවුන්ගේ යුග දිවිය එතරම් සාර්ථක යුග දිවියක් වුණේ නැහැ. සැප්තැම්බර් 1 වැනි දින විවාහ වූ ඇය සැප්තැම්බර් 11 වැනි දින සැමියාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළා. ඒ ඔහු තමාට තර්ජනය කළ බවත්, පහර දුන් බවත් පවසමින්. ඔහුගේ පහර දීම් නිසා තමාගේ මොළයේ අභ්‍යන්තර ලේ වහනයක් සිදු වූ බවකුත් ඇය මාධ්‍ය සමඟ පවසා තිබුණා.

ඇයගේ පැමිණිල්ල නිසා සෑම් බොම්බේ අත්අඩංගුවට ගනු ලැබුවා. නමුත් පසුව ඔහු ඇප මත නිදහස් කෙරුණා. මෙම සිද්ධිය හුදෙක් ප්‍රසිද්ධිය සඳහා කරන ලද රඟපෑමක් බවටත් එකල අදහස් පළ වුණා.

එම වසරේම නොවැම්බර් මාසයේ පූනම් ද අත්අඩංගුවට පත් වුණා. ඒ ගෝව නගරයේ දී යි. ඇය අත්අඩංගුවට ගන්නා ලද්දේ විඩියෝවක් සඳහා නිරුවතින් රඟපෑම හේතුවෙනු යි. මෙම රූපගත කිරීම සිදු වූයේ රජයට අයත් ස්ථානයක බවයි සඳහන් වුණේ. ඉහත කී වීඩියෝවට එරෙහිව පැමිණිල්ල ගොනු කළ පාර්ශ්වය පවසා තිබුණේ එම විඩියෝවෙන් ගෝවේ කාන්තාවන්ට අපහාසයක් වූ බවයි.

2021 වසරේ පූනම් ගේ විවාහ ජීවිතය අවසන් වූ අතර ඇය සහ සෑම් බොම්බේ එකිනෙකාගෙන් දික්කසාද වුණා.

2022 වසරේ ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ කාම (Porn) විඩියෝපට පිළිබඳ සිද්ධියකට අදාළවත් පූනම්ට චෝදනා එල්ල වුණා.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division