Home » ධාවන‍යෙන් ඉවත් කළ කෝටි 100කට වඩා වටිනා ලංගම බස් කෝටියක වියදමින් පිළිසකර කළ හැටි

ධාවන‍යෙන් ඉවත් කළ කෝටි 100කට වඩා වටිනා ලංගම බස් කෝටියක වියදමින් පිළිසකර කළ හැටි

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ලංගම ජන සතු කළ දා පටන් අද දක්වාම මහජනතාව වෙනුවෙන් සලසන ලද්දේ සුළු පටු සේවාවක් නොවේ. උදේ පාන්දර ආරම්භක බස් රථය මෙන්ම රාත්‍රී අවසන් බස් රථය ලෙසින් අද ද ලංගම සලසන්නේ අතිවිශාල වූ මහජන සේවාවකි.

පසුගිය කාලයේ ග්‍රාමීය පෙදෙස්වල ධාවනය කළ පෞද්ගලික බස් රථ රැසක්ම ලංගම විසින් භාවිත කර වෙන්දේසි කරන ලද බස් රථ විය. ලංගමට නිසි පරිදි නඩත්තු කර ධාවනයට යොදවන්නට නොහැකි වුව ද ඒවා පෞද්ගලික අංශයට හොඳ ආදායම් මාර්ගයක් විය.

ඇතැම් ලංගම බස් රථ ඩිපෝවෙන් එළියට ඇදගෙන ගොස් මඳ දුරක් ගිය විට ඒවා පණ ගන්වා යාමට තරම් දූෂණ ද ලංගමය තුළ විය. එදා සිට අද දක්වාම ලංගම බස් රථවලින් ලැබෙන ආදායමෙන් ලංගම පවත්වා ගැනීම අසීරු වී ඇතත් එම ක්ෂේත්‍රයේම ආදායමක් උපයමින් පෞද්ගලික බස් රථ ලාභ ලබනා තත්ත්වයක පවතී.

ලංගම හා පෞද්ගලික ඒකාබද්ධ සේවාවන් පවා පවත්වා ගෙන ගියත් බස් රථ සංචිතය නිසි පරිදි පවත්වා ගැනීමට නොහැකි වීම නිසා ලංගමට එම තත්ත්වය පවත්වා ගැනීම ද තරමක් අසීරු විය.

මේ අතර අධිවේගී මාර්ගයේ සේවාවන් සිදුකර ගෙන ගිය ලංගම බස් රථවලට නව පණක් ලැබුණේ මෙරට පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ගෙන්වන ලද සුඛෝපභෝගී බස් රථ එම සමුළුවෙන් පසුව ලංගමට හා මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් හරහා අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවන ලද හෙයිනි.

චීනයේ ‘යුටොං‘ සමාගමේ නිෂ්පාදිත මේ සුපිරි බස් රථ ක්‍රමයෙන් මාර්ගයේ ධාවනයෙන් ඉවත් වන්නට විය. එම බස් රථ නිසි පරිදි නඩත්තු කර ගන්නට නොහැකි වීමත් බස් රථවලට කලට වේලාවට අවශ්‍ය අමතර කොටස් යොදන්නට නොහැකි වීමත් නිසා මේ තත්ත්වය තවත් උත්සන්න විය.

අධි සුඛෝපභෝගී කාණ්ඩයට නොවැටුණ ද මේ බස් රථ ද අධි සුඛෝපභෝගී බස් රථ තරමටම සුපිරි විය. මේ බස් රථ ධාවනයේදී මගීන්ට ගැස්සීම් පැද්දීම්වලින් තොරව තම ගමන් යන්නට හැකි වූයේ එම බස් රථ වායු බැලූනයන්ගෙන් සමන්විත මෙන්ම සුපිරි ‘පැද්දුම්‘ පද්ධතියකින් යුක්ත වූ නිසාය. චීනයේ ඉහළම තාක්ෂණය භාවිත කර තිබූ මේ බස් රථ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පැමිණි විදේශීය දූත පිරිස් වෙනුවෙන්ම භාවිත කරන ලද්දේ එම බස් රථවල සුපිරි පහසුකම් තිබුණු නිසාය. බස් රථවල ආසන ද සීරු මාරු කළ හැකි විය.

මේ බස් රථවලින් වැඩි සංඛ්‍යාවක් කටුබැද්ද ලංගම ඩිපෝව සතුව තිබුණු අතර එම බස් රථ එකින් එක ගාල් වන්නට වූයේ අප පෙර කී සිදුවීම් නිසාය.

අධිවේගී මාර්ගයේ මහජන සේවාවන් ඉහළ මට්ටමින් සැපයූ මේ බස් රථවල ගමන් කිරීමට ජනතාව ද වැඩි උනන්දුවක් දක්වන්නට විය.

එහෙත් මීට වසර එකහමාරකට පමණ සිට එම බස් රථ ක්‍රමයෙන් ගාල් කෙරිණි. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මීට වසරකට පමණ පෙර එම ඩිපෝවට ගොස් පරීක්ෂා කර බැලීමේදී දුටුවේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් ගෙන්වන ලද වටිනාකමින් ඉතාමත් ඉහළ සුඛෝපභෝගී මෙම බස් රථ කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි පරිදි ගාල්කර ඇති අයුරුය. අමතර කොටස්, එන්ජින් ආදී යාන්ත්‍රික කොටස් හිඟය, විදේශ විනිමය හිඟය ආදී කරුණු සලකා බැලූ ඇමැතිවරයා එම බස් රථ යළි ධාවනයට එක් කළ හැකිනම් මහජන සේවාව උපරිමව ලබා සිය හැකි බව වටහා ගන්නා ලදි.

ඇමැතිවරයා පසුගිය වසරේ චීනයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ මෙම බස් රථ නිෂ්පාදන සමාගම සමඟ සාකච්ඡා කර බස් රථවලට අවශ්‍ය අමතර කොටස් අතරමැදියන්ගෙන් තොරව ඍජුවම සහනදායී මිලකට ලබා ගැනීම සඳහා වූ ක්‍රමවේදයකට එළැඹ තිබුණි.

එහෙයින් එම බස් රථ පිළිසකර කිරීම සඳහා දේශීය හා විදේශීය ඉංජිනේරු ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල වෘත්තිකයකු වූ ඉංජිනේරු කුෂාන් වෑගොඩපොළ මහතා වෙත එම වගකීම පවරනු ලදි.

එසේ පිළිසකර කරන ලද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සංචාරක ප්‍රවාහන සේවයට අයත් භාවිතයෙන් ඉවත් කර තිබූ සුඛෝපභෝගී බස් රථ 17ක් පිළිසකර කර නැවත ධාවනයට එක් කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 වෙනිදා සිදු කෙරිණි.

අධිසුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් කටුබැද්ද ඩිපෝ පරිශ්‍රයේ දී පිළිසකර කෙරුණු මෙම බස් රථ අලුත්වැඩියාවන් සඳහා වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 100කට වඩා අඩු මුදලක් වීම විශේෂත්වය වන අතර එම එක් බස් රථයක් අධිවේගී මාර්ග තුළ ධාවනය කිරීම තුළින් දිනකට රුපියල් ලක්ෂයකට අධික ආදායමක් උපයා ගත හැකි වේ.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසය වන විට මිලියන 19ක් වූ එම ආයතනයේ ආදායම පසුගිය ජනවාරි මාසය වන විට මිලියන 42 දක්වා වර්ධනය වී ඇත.

අප මේ සම්බන්ඛයෙන් පළමුව අදහස් විමසා සිටියේ එම ව්‍යාපෘතිය භාරව සිටි ඉංජිනේරුවරයා වන ඉංජිනේරු කුෂාන් වෑගොඩපොළගෙනි.

‘‘ මෙරට පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙන් පසු මේ බස් රථ ලංගම ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක හිමිකාරීත්වය යටතේ අධිවේගී මාර්ගයේ ඉතා හොඳ මඟී ප්‍රවාහන සේවාවක් සැපයූවා. නමුත් අපි කවුරුත් දන්නවා වගේ ඕනෑම වාහනයක් ධාවනය කිරීමේදී අමතර කොටස්වල අවශ්‍යතා පැන නඟිනවා. ඒ වගේම නඩත්තුවේ යම් යම් ගැටලුද පැනනඟිනවා.

ඒ සිද්ධාන්තය මේ බස් රථවලටත් පොදුයි. ඒ ලෙසින් මේ බස් රථවලත් යම් යම් අමතරට කොටස්වල අවශ්‍යතා මතුවුණා. උදාහරණයක් ලෙස එක් බස් රථයක ‘ස්ටාටර් මෝටරය‘ අක්‍රිය වී එය ගරාජයට ගෙන ආවිට සිදු කරන්නේ එම අමතර කොටස ගෙන්වා ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමු වීමයි. ලංගමට අමතර කොටස් ගැනීමේදී එවැනි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුමයි. ඒ සඳහා අවම වශයෙන් මාසයකට ආසන්න කාලයක් ගත වනවා.

ඒ අතර තවත් බස් රථයක් ‘ඕල්ටනේටරය‘ ක්‍රියා විරහිත වී ධාවනය කළ නොහැකි තත්ත්වයට පත්ව ගෙන ආ විට සිදු කරන්නේ පෙර ගෙන ආ බස් රථයේ ඕල්ටනේටරය හොඳ තත්ත්වයේ පවතින නිසා පසුව ගෙන ආ බස් රථයට සවි කර එය ධාවනයට යොදවීමයි. ඒ ලෙසින් තවත් බස් රථයක් රේඩියේටරයක් අලුතින් යෙදවීමට අවශ්‍යව එසේ ගෙන ආවහොත් එයට පරණ බස් රථයේ රේඩියේටරය සවි කර එය ධාවනයට යොදවා තිබෙනවා.

ඒ ලෙසින් කටයුතු කර ඇත්තේ හොඳ අදහසින්. මොකද මේ බස් රථයක දිනක ආදායම රුපියල් ලක්ෂයක් පමණ වනවා. එම නිසා ඉක්මනින් ධාවනයට යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ. නමුත් දිනෙන් දිනම සිදු ව ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පමා වීමන් අමතර කොටස් නොමැතිව බස් රථ ගාල් වීම වැඩිවීමයි.

මේ සම්බන්ධයෙන් වත්මන් ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් මට කතා කර, මේ බස් රථ ටික යළි ප්‍රකෘති තත්ත්වයට පත් කරදෙන ලෙස ඉල්ලීමක් කළා. ආරම්භයේදී එතරම් කැමැත්තක් නොදැක්වුවත් පසුව මම ඉදිරිපත් වෙලා ඒ කාර්යයට අත ගැහුවා. මෙහිදී විශේෂයෙන්ම එස්.ඩී. ඇන්ඩ් සී.සී. ආයතනය හරහා මෙන්ම අදාළ ඒජන්ත සමාගම හරහාත් මේ බස් රථ ප්‍රකෘති තත්ත්වයට ලක් කළා. ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් මේ වන විට අමතර කොටස් චීනයේ ‘යුටොන්‘ සමාගමෙන්ම ඇණවුම් කර අලුත්වැඩියාවන් සිදු කරනවා. ඊට පෙර චීන සමාගමේ නියෝජිතයෙක් මෙරටට ඇවිත් ඒ සම්බන්ධ විමර්ශනයක් කළා. ඒ ලෙසින් අමතර කොටස් ගෙන්වා ගැනීමෙන් අපට මෙරටින් අමතර කොටස් මිල දී ගැනීමට වැය වන මුදලට වඩා 25% ක 30% පමණ ඉතිරියක් සිදු වෙනවා. සුපිරි තත්ත්වයේ සම්පූර්ණයෙන්ම මේ බස් රථ 89ක් තියෙනවා. එයින් දෙකක් හැර සෙසු බස් රථ සියල්ල ඉක්මනින් ධාවනයට එක් කිරීමයි අපේ අරමුණ. මේ වන විට මෙරට බස් රථ ඒජන්තවරුන් වන යුටොන් සමාගමත්, ලක්දිව ඉංජිනියරින් සමාගමේත් බස් රථ සෑදීම සිදු කෙරෙනවා.

අප්‍රේල් මාසෙ වන විට ඇණවුම් කර ඇති අමතර කොටස් සියල්ල අපට ලැබෙනවා. එමනිසා අප්‍රේල් මාසෙ වෙනකොට අපට බස් රථ සියල්ල ධාවනයට යෙදීමට හැකි වේවි.

මේ බස් රථ අලුත්වැඩියා කිරීමේදී රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව දක්වන්නේ සුවිසල් දායකත්වයකි. එහි සභාපති කුෂාන් දේවින්දගෙන් අප විමසීමක් කළෙමු.

‘‘පූර්ණ රාජ්‍ය ආයතනයක් වන රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට (SD&CC) මේ බස් රථ අලුත්වැඩියා කිරීම සඳහා ඇණවුමක් ආවා. ඇත්තෙන්ම අප කරන්නේ විශාල ඉදිකිරීම් ව්‍යාපෘති. නමුත් ඒ සඳහා යොදා ගන්නා අපේ අතිවිශාල දොඹකර, බුල්ඩෝසර්, බස් රථ ආදී අපේ සියලු වාහන අප විසින්ම අලුත්වැඩියා කරන නිසා අපි මේ අභියෝගය භාර ගැනීම පිණිස ආරම්භයේදී ඒ බස් රථයක් භාර ගත්තා නියමු ව්‍යාපෘතියක් ලෙස. එය ඉතා සාර්ථක වුණා. එම නිසා අපි තවත් බස් රථයක් මේ කාර්යය වෙනුවෙන් යොදා ගත්තා.

මේ බස් රථවල අඩුපාඩු සම්බන්ධව විමසීමේදී අපට අංශ කිහිපයක අඩුපාඩු පෙන්නුම් කළා. ඇතැම් ඒවයෙ එන්ජින් ප්‍රශ්න තිබුණා. ඒ වගේම ඇතැම් ඒවයෙ උඩින් ඇතුළට ජලය කාන්දුවන ගැටලු තිබුණා. බස් රථවල ෆයිබර් ගැටලු තිබුණා.

තාක්ෂණය අතින් ඉහළ දැනුමක් තියෙන ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන් පිරිසක් අප සතුයි. එම නිසා අපි උපරිම දායකත්වයක් මේ වෙනුවෙන් ලබා දුන්නා. සාමාන්‍යයෙන් මේ එක් බස් රථයක් අලුත්වැඩියා කරන්න අපට රුපියල් මිලියන 1.2ක් 1.3ක් පමණ වියදමක් යනවා. ලංගම බස් රථයක් වෙනුවෙන් මිලියන 3ක් පමණ වෙන් කර තියෙනවා. කොහොමත් මේ වගේ කාර්යයක් වෙළෙඳපොළේ සිදු කරන්න නම් මිලියන 6කට වඩා යනවා. නමුත් අපිත් රාජ්‍ය ආයතනයක් නිසා මේ ලෙසින් අවම මට්ටමින් එම කාර්යය සිදු කිරීමට පියවර ගත්තා.

සාමාන්‍යයෙන් දෙසතියකින් පමණ බස් රථයක් පූර්ණ ලෙසින් නවීකරණය කර ලබා දෙනවා. ඒ වෙනුවෙන් සේවකයන් 8 දෙනෙක් පමණ එක් බස් රථයක් වෙනුවෙන් සේවයේ යෙදී ඉන්නවා.

ඒ වගේම මේ බස් රථවල පැති කණ්ණාඩි ද ඉහළ තාක්ෂණයෙන් යුක්ත නිසා ඒවා පෙනුමෙන් ෆයිබර් සේ පෙනුණත් ඇතුළතින් යකඩ බාර් එකකින් යුක්ත වෙනවා. ඒ නිසා සැහැල්ලු යකඩ භාවිතයෙන් ඒවා සකස් කර යළිත් ෆයිබර් කළ යුතුයි. එයත් ඉහළ තාක්ෂණය භාවිත කරමින් විශේෂ අවධානයකින් කළ යුතු කාර්යයක්.‘‘

ලංගම මේ බස් රථ යළි පණ ගැන්වුණු මොහොතේ ඇමැතිවරයා අවධාරණය කළේ

කලක් තිස්සේ පැවති අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය තුළ දැවැන්ත කඩාවැටීමක් සිදු වුණු බවයි. මේ තත්ත්වය මත ලංකා ගමනාගමන මණ්ඩලය වෙත තමන් නව සභාපතිවරයකු පත් කරනු ලැබූ බවත් ඒ හරහා වංචා දූෂණය, අක්‍රමිකතාව පිටුදැක ඵලදායී, කාර්යක්ෂම ලාභ ලබන ආයතනයක්‌ බවට පත් කිරීමේ වගකීම ඉටු වෙමින් පවතින බවත් වසර 2025 දී නිසි ආකාරයෙන් මහජන සේවය සපයන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ ඉලක්කය ලබා දී ඇති බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම ඇමැතිවරයා මෙලෙසද පැවසුවේය.

“මීට වසරකට පෙර මෙම ස්ථානයට අප පැමිණෙන විට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් ගෙන්වන ලද ඉතාමත් වටිනාකමින් ඉහළ අධිසුඛෝපභෝගී මෙම බස් රථ කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි පරිදි ගාල්කර පැවතුණා. අමතර කොටස්, එන්ජින් ආදී යාන්ත්‍රික කොටස් හිඟය, විදේශ විනිමය හිඟය ආදී කරුණු සලකා බලමින් මෙම බස් රථ පිළිසකර කිරීම සඳහා දේශීය හා විදේශීය ඉංජිනේරු ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල වෘත්තිකයකු වන කුෂාන් වෑගොඩපොළ මහතා වෙත එම වගකීම පවරනු ලැබුවා. පසුගිය වසරේ චීනයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ මෙම බස් රථ නිෂ්පාදන සමාගම සමඟ සාකච්ඡා කර බස් රථවලට අවශ්‍ය අමතර කොටස් අතරමැදියන්ගෙන් තොරව ඍජුවම සහනදායී මිලකට ලබා ගැනීම සඳහා සාකච්ඡාවක නිරත වුණා.

අධිවේගී මාර්ගයේ ධාවනය කළ හැකි මට්ටමට බස්රථ 17ක් පිළිසකර කිරීමට හැකියාව ලැබීම සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒ තුළින් කෝටි සියයකට වඩා වටිනාකමින් යුතු බස් රථ ප්‍රමාණයක් රුපියල් කෝටියක පමණ වියදමකින් ධාවනයට එක් කිරීමට ලැබීම ලංකා ගමනාගමන මණ්ඩල ඉතිහාසයේ අතිශය වැදගත් කඩඉමක් බවට පත් වනවා.

වර්තමානයේ මෙම අධිසුඛෝපභෝගී බස් රථයක වෙ‍ළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 600කට වඩා අධිකයි. එවැනි ඉහළ වටිනාමකමකින් යුතු මෙම බස් රථ රුපියල් කෝටියක පමණ අවම පිරිවැයකින් අලුත්වැඩියා කිරීමට දායක වූ සියලු දෙනාට විෂය භාර ඇමැතිවරයා ලෙස මාගේ ගෞරවය පිරිනමනවා. තවත් නොබෝ දිනකින් ලංගම සේවා ව්‍යවස්ථාව අවසන් කිරීමෙන් අනතුරුව පවත්වන සමුළුවේ දී මීට දායක වූ සියලු දෙනාටම විශේෂ ඇගැයීමක්‌ සිදු කිරීමට ද අප පියවර ගන්නවා.

අවංක කැපවීමකින් කටයුතු කරන්නේ නම් වැටුණු රට ගොඩගැනීම සඳහා මෙලෙස ඉවත දමා ඇති රාජ්‍ය අංශය සතු වත්කම් රාශියක් පිළිසකර කිරීමට අවශ්‍ය ශක්තිය සහ හැකියාව සහිත වෘත්තිකයන්, කාර්මිකයන් අපේ රට තුළ සිටිනවා. ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් සහ නිවැරදි මඟපෙන්වීමක් සිදු කිරීම තුළින් අබලන්ව පවතින ඉතිරි බස් රථ ප්‍රමාණය ද මාස කිහිපයක් ඇතුළත පිළිසකර කර ධාවන තත්ත්වයට පත් කළ හැකි බව මා විශ්වාස කරනවා. ඒ තුළින් අධිවේගී මාර්ග තුළ ලංගමට ධාවනය කළ හැකි මුළු බස් රථ ප්‍රමාණයම ධාවනය යෙදවීම තුළින් මේ වසර පුරාම ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකියාව ලැබෙනු ඇති. ඒ සඳහා අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන මඟින් ලැබෙන දායකත්වය ද විශේෂයෙන් අගය කළ යුතු වනවා. ‘‘

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්ගේ උපදෙස් පරිදි නව බස් රථ අධිවේගී මාර්ගයේ මඟී අවශ්‍යතා මත ධාවනයට පියවර ගෙන ඇති අතර මේ වන විට පොතුවිල් සිට කටුනායක දක්වා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් මේ නව බස් රථ උපයෝගී කරගෙන අධිවේගී මාර්ගයේ ගමන් ආරම්භ කර ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division