Home » බම්බු කටරයෙන් රවුම් විද වටේම සුද්ධ කළ සේප්පු සුද්දා ඇල්ලූ මෙහෙයුම

බම්බු කටරයෙන් රවුම් විද වටේම සුද්ධ කළ සේප්පු සුද්දා ඇල්ලූ මෙහෙයුම

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

සොරුන්ගේ දැන් අලුත්ම විලාසිතාව බවට පත්ව ඇත්තේ සේප්පු කපා මුදල් සොරා ගැනීමය. මේ වන විට වැඩිම සේප්පු ප්‍රමාණයක් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත්තේ තැපැල් කාර්යාලවලය. පසුගිය වසරේ මාර්තු මාසයේදී මහාබාගේ පිහිටි තැපැල් කාර්යාලයේ පිටුපස බිත්තිය සිදුරු කරගෙන ඇතුළු වූ සොරෙක් සේප්පුව කපා රුපියල් 70,000ක මුදලක් සහ මුද්දර තොගයක් සොරා ගනිමින් ඇරඹි තැපැල් කාර්යාලවල සේප්පු කැපීම්වලට තවමත් නැවතීමේ තිත තැබී ඇතැයි කියන්නට බැරිය. පොලිස් තොරතුරුවලට අනුව ගෙවී ගිය වසර තුළ පමණක් සොරුන්ගේ ග්‍රහණයට ලක්වූ තැපැල් කාර්යාල ගණන 14කි. සොරාගත් මුදල් හා මුද්දරවල වටිනාකම රුපියල් ලක්ෂ 72කට වැඩිය. මෙම තැපැල් කාර්යාලවලින් වැඩි හරියක් හොරු බිඳ තිබෙන්නේ සේප්පු කපාය.

ඒ හැරුණු කොට රට පුරා මූල්‍ය ආයතන, දුරකතන සමාගම්වල නියෝජිතායතන, සුපිරි වෙළද සල්, සුපිරි අවන්හල් ආදී ස්ථානවල ඇති සේප්පු ද බිඳ තිබුණේ කපාය. එසේ පසුගිය කාලය පුරාවට සේප්පු කපා මුදල් හා වටිනා කියන දෑ සොරා ගැනීම් හැට හැත්තෑවක් පමණ පොලිසිවලට රට හැමතැනින්ම වාර්තා වී තිබුණේය. ඒ අතරින් ලොකුම සොරකම සිදුව ඇත්තේ වෙන්නප්පුව අංගම්පිටියේ පිහිටි ග්‍රාමීය බැංකුවේ සේප්පුව කපාය. පසුගිය වසරේ සැප්තැම්බර් 27 වෙනිදාත් 30 වෙනිදාත් අතර කාලය තුළ පැවති දීර්ඝ සති අන්ත නිවාඩුවේ බැංකුවට රිංගූ සොරෙක් සේප්පුව කපා සොරාගෙන ගොස් තිබුණේ රුපියල් කෝටි 06කට වැඩි වටිනාකමක් ඇති උකස් ගන්නා ලද රන් භාණ්ඩ තොගයකි.

මෙම ග්‍රාමීය බැංකුවේ සේප්පුව මෙන්ම තැපැල් කාර්යාලවල සේප්පු කපා මේ සා විශාල මුදලක් හා රන් භාණ්ඩ තොගයක් සොරා ගත්තේ කවුරුන්දැයි තබා සොරුන් ආගිය මගක්වත් සොයා ගැනීමටවත් අදටත් පොලිසිය සමත්වී නැත.

දෙනෝදාහක් ගැවසෙන හලාවත නගරයේ හුදෙකලා ස්ථානයක පිහිටි ලීසිං සමාගමක ශාඛාවකට හොරු පැන සේප්පු දෙකක්ම කපා රුපියල් ලක්ෂ 70කට අධික මුදලක් සොරාගන්නේ ද සේප්පු කපන්නන් නිදහසේ සැරිසරන මෙවන් වාතාවරණයක් හමුවේය. මෙම සොරකම හලාවත පොලිසියට වාර්තා වන්නේ පසුගිය ජනවාරි 31 වෙනිදා පෙරවරුවේය. ලීසිං සමාගමේ මෙම කාර්යාලයේ කළමනාකරු පොලිසියට පැමිණ ඒ ගැන පැමිණිලි කරන්නට වූයේ 30 වෙනිදා සවස ලීසිං ආයතනය 31 වෙනිදා උදෑසන ආයතනය විවෘත කළ අවස්ථාවේදී එය හොරු බිඳ ඇති බව දුටු බව කියමිනි. එම පැමිණිල්ලට අනුව හලාවත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ලීසිං සමාගම් කාර්යාලයට ගොස් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලෙහි පිටුපස දොර කඩා ඇතුළු වී බෝඩ්වලින් වෙන්කර තිබුණු බිත්තියක් ද සිදුරු කරගෙන කාර්යාලයට සොරුන් ඇතුළු වී ඇති බවය.

මෙම ලීසිං සමාගම් කාර්යාලය දෙමහල් ගොඩනැඟිල්ලක ස්ථාපිත කර ඇති එකකි. එහි පහළ මහලේ මෙන්ම ඉහළ මහලේ ද සේප්පු දෙකකි. පහළ මහලේ ඇත්තේ තරමක් විශාල සේප්පුවකි. එහි ඇත්තේ ලියකියවිලි ගොනුය. මුදල් ඇත්තේ ඉහළ මහලේ ඇති සේප්පුවේය. මේ සේප්පු දෙකම තිබුණේ සිදුරුකරය. එම සිදුර අගල් 04ක් පමණ වටප්‍රමාණයකින් යුක්ත වූවකි. එය සේප්පුවට අතක් දැමිය හැකි ප්‍රමාණයකි. පොලිස් නිලධාරීන්ට පැහැදිලි වූයේ එම සිදුරෙන් අත දමා සේප්පු තුළ ඇති මුදල් සොරාගෙන ඇති බවය.

තැපැල් කාර්යාලවල සහ වෙන්නප්පුවේ පිහිටි ග්‍රාමීය බැංකුවේ සේප්පුව කපා තිබුණේ මේ ආකාරයට නොව කොටුවටය. ඒ ග්‍රයින්ඩරයකිනි. ඒ සෑම සොරකමක්ම සිදු වූ ස්ථානයේ ගෙවී ගිය ග්‍රයින්ඩර් තල දෙක තුනක්වත් අඩුම තරමින් වැටී තිබුණේය. එහෙත් මෙම සේප්පුව සිදුරු කර තිබුණේ ඊට වඩා වෙනත් තාක්ෂණයක් යොදා ගෙන බව බැලූ බැල්මටම පොලිස් නිලධාරීන්ට පෙනී ගියේය. ඒ ගැන අධ්‍යයනය කිරීමේදී පෙනී ගියේ කොන්ක්‍රීට් සිදුරු කිරීමට යොදා ගන්නා බම්බු කටරයකින් මෙය සිදුරු කර ඇති බවකි.

සේප්පුවක් තනි යකඩ ගොඩක් යැයි බැලූ බැල්මට පෙනී ගිය ද සැබෑ ලෙසම සේප්පුව තනි යකඩින් නිෂ්පාදය වන්නේ නැත. බොහෝ සේප්පු නිෂ්පාදනය කර ඇත්තේ තහඩුවෙනි. තහඩු දෙකක් මැදට කොන්ක්‍රීට් පුරවා දැඩි ඝනකමක් සහ බරක් ඇති සේප්පු නිෂ්පාදනය කරති. මේ ගැන හොඳ අවබෝධයක් ඇති අයෙක් කොන්ක්‍රීට් සිදුරු කිරීමට යොදා ගන්නා බම්බු කටරයක් යොදාගෙන සේප්පු දෙක සිදුරු කර ඇති බව පොලිස් නිලධාරීන්ට පෙනී ගියේය. පහළ මහලේ සේප්පුවේ ලියකියවිලි කිසිවක් අඩුවී නොතිබුණි. ඒ සොරාට එම ලියවිලිවලින් වැඩක් නොමැති වූ බැවිනි. එහෙත් ඔහු ඉහළ මහලේ තිබුණු සේප්පුව සිදුරු කර ඒ තුළින් අත දමා එහි තැන්පත්කර තිබුණු රුපියල් හැත්තෑ ලක්ෂ අනූහයදහස් නවසිය තිස් හයයි ශත හැට හයක මුදලක් සොරාගෙන තිබුණේය. සතේට මේ ගණන් පොලිසියට කියන්නට වූයේ ලීසිං සමාගමේ කළමනාකරුය. අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන්, පොලිස් නිල සුනඛයන් මෙන්ම ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් ද මෙහි ඇවිත් විමර්ශන ආරම්භ කරනු ලැබීය. පොලිස් නිල සුනඛයන් ඉව අල්ලමින් ගමන් ගත්තේ හලාවත නගරයේ බස් නැවතුම් පොළ දෙසටය. අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද මෙම සේප්පු කපා ඇත්තේ බම්බු කටරයකින් බව තහවුරු කළේය. ජලය ඉසිමින් එම කැපුම කර ඇති බව අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සිය විමර්ශන ඔස්සේ තහවුරු කළේය. ඇඟිලි සලකුණු අංශය ආගන්තුක ඇඟිලි සලකුණු කිහිපයක්ම මෙහි තැන තැන තිබී සොයා ගත්තේය.

මෙහිදී පොලිසියේ විශේෂ අවධානයක් යොමු වූයේ මෙම ලීසිං කාර්යාලය ඇතුළත ආවරණය වන පරිදි සවි කර ඇති ආරක්ෂක කැමරා පද්ධතිය කෙරෙහිය. සොරකම ගැන සියල්ලක්ම එහි පටිගත වී ඇතැයි සිතා ආරක්ෂක කැමරාවලට හසුවන රූපසටහන් වන ඩී.වී.ආර්. දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී පොලිසියට පෙනී ගියේ එහි දෘඩ තැටිය අතුරුදන්ව ඇති බවය. ඒ අනුව පොලිස් නිලධාරීන්ට පෙනී ගියේ මෙම සොරකම සිදුකළ පුද්ගලයා මේ හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් ඇතිව කටයුතු කරන අයෙක් බවය.

මේ තත්ත්වය මත මෙම සොරකම ගැන විමර්ශන සංවිධානාත්මකව සිදු කළ යුතු බව අවබෝධ කරගත් පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තීරණය කරනු ලබන්නේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීමටය. ඒ වන විට හලාවත පොලිසිය සහ හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පමණක් පැවරී තිබුණු එම කටයුත්තට පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ද සම්බන්ධ වන්නේ ඒ අනුවය. පුත්තලමේ සිදුවූ සැඟවුණු අපරාධ රැසක් හෙළි කරගනිමින් අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කරගෙන ඇති එම පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල්ය. පොලිස් කොස්තාපල්වරුන් වන නිශාන්ත (67611) ජයසුන්දර (83736),සමීර (87153) බාලසූරිය (80271) යන නිලධාරීන් ඔහුගේ හයියට සිටින්නන්ය. මෙම පොලිස් කණ්ඩායම වැඩේට බසින්නේ හලාවත කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාරගේ අධීක්ෂණය හා මෙහෙයැවීම යටතේය.

චන්ද්‍රසිරි ලාල්ල ප්‍රමුඛ නිලධාරීන් සිය විමර්ශන අරඹන්නේ ලීසිං සමාගම් කාර්යාලයට ඇතුළු වූ සොරා කවුරුන්දැයි මුලින්ම හඳුනා ගැනීමටය. ඒ සඳහා නිලධාරීන්ට සිදු වන්නේ ලීසිං සමාගම් කාර්යාලය අවට ඇති ආයතනවල ඇති ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමටය. කැමරා දර්ශන විසි තිස් ගණනක් පරීක්ෂා කරමින් දැඩි වෙහෙසකර වූ එම කටයුත්තට මෙම නිලධාරීන් මුල පුරන්නේ දිවා රෑ නොබලා කුසට නිසි ආහාරයක් ද නොගෙනය. එහි ජයග්‍රහණයක් අත්පත් කර ගන්නේ ලීසිං සමාගමට ඇතුළු වී සේප්පු කැපූ බව අනුමාන කරන පුද්ගලයෙක් හඳුනා ගනිමිනි. හොඳින් හැඳ පැලඳ රාත්‍රී 10.00ට පමණ හලාවතින් බස් රථයකින් බසින එම පුද්ගලයා ලීසිං සමාගම පැත්තට ගමන් කර නැවතත් අලුයම 3.40ට පමණ ඒ මඟ ඔස්සේම පැමිණ හලාවතින් කොළඹ බලා ගමන් අරඹන සුඛෝපභෝගී බස් රථයකට ගොඩ වන බව මෙම නිලධාරීන් විසින් සොයා ගත්තේය. එම පුද්ගලයා බස් රථයෙන් බසින්නේ කොළඹ කොටුවෙනි. ඒ බව අනාවරණය වන්නේ බස් රථයේ සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමෙනි.

ආරක්ෂක කැමරාවලට මෙම පුද්ගලයා හසුවන විට ඔහු සිටින්නේ බෑග් දෙකක් කරේ සහ පිටේ එල්ලාගෙනය. පිටේ එල්ලා ගෙන සිටියේ පාසල් සිසුන් පොත් දැමීමට යොදා ගන්නා වර්ගයේ බෑගයකි.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගේ සුවිශේෂි අවධානයකට මෙහිදී යොමු වන්නේ මෑතකදී කුරුණෑගල නගරයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලක සේප්පුව කපා සිදු කළ මෙවැනිම ආකාරයේ සොරකමකි. එම ජුවලරි සාප්පුවේ පිටුපස දොර කඩා ඒ තුළින් එයට ඇතුළු වී සේප්පුව බිඳ තිබුණේ සිදුරුකරය. අඩුම තරමින් එම සොරකම සිදු කළ පුද්ගලයාව ආරක්ෂක කැමරාවක් මඟින්වත් හඳුනා ගැනීමට කුරුණෑගල පොලිසිය සමත්වී තිබුණේදැයි ඇත්තේ ගැටලුවකි. මාධ්‍යයට පවා වසන්ව තිබුණු එම සොරකම ගැන තොරතුරු එළියට එන්නේ හලාවත ලීසිං සමාගම් කාර්යාලයේ සොරකමත් සමඟිනි.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් ඒ වන විටත් තමන් සතුව තිබුණු සැකකරුගේ ඡායාරූපය සහ ලීසිං සමාගම් කාර්යාලයෙන් සොයාගත් ඇඟිලි සලකුණු ලිපිගොනු අස්සේ දමාගෙන සැකකරු පැමිණ භාරවනතුරු හෝ වෙනත් පොලිස් කණ්ඩායමක් සැකකරුවන් අල්ලා ගන්නා තුරු බලා සිටියේ නැත. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර යන අයගේ උපදෙස් මත අපරාධ ලේඛනාගාරයට තමන් සොයාගත් සැකකරුගේ ඡායාරූපයත්, ඇඟිලි සලකුණුත් යොමු කර ඊට ගැළපෙන අපරාධකරුවන් ලේඛනගතව සිටීදැයි විමසා බැලුවේය. ඒ මෙයට පෙර අපරාධවලට හසු වූ පුද්ගලයන් සහ අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු ලේඛනගතව ඇත්තේ කොළඹ ටොරින්ටන් හි පිහිටි අපරාධ ලේඛනාගාරයේ වන බැවිනි.

අපරාධ ලේඛනාගාර නිලධාරීන් ද මෙම ඡායාරූප හා ලේඛන තමන් අතට පත්වීමෙන් පසු ඒවා විශ්ලේෂණය කිරීමට වැඩි කාලයක් මිඩංගු නොකළේය. ඉතා ඉක්මනින්ම විශ්ලේෂණ තොරතුරු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් අත තැබුවේය. ඒ එම ඡායාරූපයට හා ඇඟිලි සලකුණුවලට ගැළපෙන අපරාධකරුවකුගේ දත්ත ද සමඟිනි. ඔහු ඊට පෙර වෙළඳසල් බිඳ දේපොල සොරා ගැනීම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පොලිසියට හසුවී හිරේ විලංගුවේ වැටී සිටියෙකි. එම අපරාධකරු නමින් ප්‍රතාපගේ සහන් සංජීව ය. ගම් පළාත ලෙස සඳහන් වූයේ දෙණියාය, තැනිපිට, වංගුකඩේ ය. 1995 වසරේදී උපන් අයෙක් වන ඔහු මේ වන විට පසු වූයේ 29 හැවිරිදි වියේය.

ලේඛනගත අපරාධ වාර්තාවන්ට අනුව ඔහු අවසානයට හසුවී තිබුණේ මිරිහානේ පිහිටි බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසටය. ඒ මිරිහානේ සිදු වූ සොරකමකටය. එහිදී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබුණු නිවෙස් බිදුම් හා සොරකම් ගණන 33කට වැඩිය. වසර එකහමාරකට පමණ පෙර අත්අඩංගුවට ගත් ඔහු බන්ධනාගාරගතව සිට ඒ වන විට සිටියේ ඇප මත නිදහස ලබාය. එසේ ඔහු ඇප මත නිදහස ලබා වැඩි කාලයක් නොමැති බව ද පුත්තලම අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සොයා ගත්තේය. මිරිහානට ගිය මෙම පොලිස් කණ්ඩායම බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ද හමුවෙමින් මෙම පුද්ගලයා ගැන තොරතුරු සොයන්නට ගත්තේය. ඒ ඔහුගේ ගම්පළාත පැත්තෙද තොරතුරු රැස් කරමිනි.

එම තොරතුරුවලට අනුව මෙම පුද්ගලය කුඩා කල සිටම හොරකමට පෙලඹ සිටියෙකි. ඔහු විසින් කළ මුල්ම සොරකම පොලිසියට වාර්තා වී ඇත්තේ අවුරුදු 13 දීය. ඒ දෙණියාය පොලිසියටය.

මෙම පුද්ගලයාගේ මවුපියන් කලින් විවාහ සිදු කරගත් අයය. දෙදෙනාටම පෙර විවාහක දරුවන් සිටිති. මෙම විවාහයෙන් ද ඒ දෙදෙනාට දාව දරුවන් දෙදෙනෙකි. සහන් සංජීව එම දරුවන් දෙදෙනාගෙන් අයෙකි. ඔහු පාසල් යන්නේ ඌරුබොක්කේ පිහිටි ප්‍රාථමිකයකටය. දඩබ්බරකම් හේතුවෙන් එම පාසලින් ඉවත් කෙරෙන ඔහුව මාපියන් ඇතුළත් කරනු ලබන්නේ පිරිවෙනකටය. දෙණියායේ පිහිටි වෙළඳසැලක් බිඳ ඔහු පොලිසියට හසුවන්නේ පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටියදීය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයේ සිටි ඔහු පරිවාසයෙන් එළියට විත් ද නිවාස හා වෙළඳසල් බිඳින්නේ පරිවාසයේදී හඳුනා ගත් මිතුරකුගේ ද සහය ඇතිවය. ඔහු නැවතත් පොලිසියට හසුවන්නේ සොරකම් හා නිවෙස් බිඳුම් රැසකට සැකපිටය. එවර ඔහුට සිදු වන්නේ බන්ධනාගාරගත වන්නටය. ඒ ළමා අවදියෙන් ඒ වන විට ඔහු මිදී සිටි බැවිනි.

කාලයක් බන්ධනාගාරගතව සිටි ඔහු ඇපමත නිදහස ලැබීමෙන් පසු ගමේ රැඳී සිටියේ නැත. ගොඩනැඟිලි ඉදිකිරීමේ කටයුතුවල අත්උදව්කරුවෙක් ලෙස කොළඹ ආවේය. වැඩබිම්වල වාඩිවල නවාතැන් ගෙන අත්උදව්කරුවෙක් ලෙස සිටි ඔහු මේසන් හැන්ද අතට හුරු කර ගත්තේය. ගෝලයා බාස්ගේ තැනට පත්වන්නට එතරම් කාලයක් ගත නොවීය. සොරකමට ඔහු නැවතත් පෙලඹෙන්නේ කොවිඩ් වසංගතය සමයේය. ඒ නිසි ආදායම් මාර්ගයක් නොවූ තැන අතමිට හිඟ වන්නට පටන් ගැනීමත් සමගිනි. කොළඹ හා ඒ අවට නිවාස හා කඩ සාප්පුවලට පැන මුදල් හා දේපොළ සොරාගැනීම්වල නිරතව සිටි ඔහුව එවර හසුවන්නේ මිරිහානටය. ඔහු විසින් සිදු කළ සොරකම් 33ක් හෙළි වන්නේ ද එහිදීය. එකල එම සොරකම්වල ඔහු නිරත වූයේ ත්‍රිරෝද රථයක් කල්බදු ක්‍රමයට රැගෙන එම ත්‍රිරෝද රථයෙන් කොළඹ හා ඒ අවට සැරිසරමිනි. රාත්‍රිය හෝ දවාල යැයි කියා ඔහුට වෙනසක් නොවීය.

ඔය අතරතුර ඔහුට මඟ හැරුණු ඇමතුමක් ඔස්සේ තරුණියක් දැන හඳුනා ගැනීමට ලැබී තිබුණේය. ඇය කොලොන්න කෝප්පකන්ද ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය සමඟ දුරකතන පෙමක් ඇතිකර ගන්නා ඔහු ඇගේ පවුලේ සාමාජිකයන්ගේ හිත ද පසුකාලයේ දිනා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස පෙම්වතියගේ සහෝදරයාට සොරකම් කළ මුදල්වලින් ත්‍රිරෝද රථයක් ද මිලට ගෙන දී තිබුණේය. ඒ අතර ඔහු පස්ගොඩ පැත්තේ තරුණියක් සමඟ ද පෙමින් වෙළී සිටියේය. මේ තරුණියන් දෙදෙනාට ද ඔහු සොරා ගන්නා මුදල් වියදම් කළේය. මිරිහාන පොලිසියට හසුවීමෙන් පසු ඒ අය සමඟ ඔහුට තිබුණු සම්බන්ධකම් ද බිඳ වැටී තිබුණේය. ඔහු ගැවසෙන නිශ්චිත ස්ථානයක් සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් ද නොවීය. මේ නිසා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් දුරකතන ජාල විශ්ලේෂණයක් සිදු කරනු ලබන්නේ ඒ තුළින් කොනක් පාදා ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

ඒ සඳහා සහන් සංජීව පරිහරණය කරන දුරකතන අංකය සොයා ගන්නට හැකියාවක් විමර්ශන නිලධාරීන්ට ලැබෙන්නේ ඔහු හලාවත සිට කොළඹ බලා ගමන් කරමින් සිටි බස් රථයේ සිට දුරකතන ඇමතුම් කිහිපයක් ලබා ගන්නා අයුරු බස් රථයේ සවිකර තිබුණු කැමරාවේ සටහන්ව තිබීම හේතුවෙනි.

එම ඇමතුම් ගන්නා කාලය බස් රථය ඒ වන විට ගමන් කරමින් තිබුණු ප්‍රදේශය ආදිය විශ්ලේෂණය කරමින් දුරකතන අංකය හඳුනාගත් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට එම දුරකතන අත දරන පුද්ගලයා වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ හඳුනා ගත්තේය. කොළඹ ටෙක්නිකල් හන්දිය ආශ්‍රිතව යම් ස්ථානයක් සහ කොල්ලුපිටියේ යම් ස්ථානයක් ආශ්‍රිතව ඔහු වැඩි වශයෙන් ගැවසෙමින් සිටින බව තහවුරු කරගත් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ට පෙනී යන්නේ ඔහු රාත්‍රී කාලයේ වැඩි පුරම රැඳී සිටින්නේ කොල්ලුපිටියේ බවය. ඒ කැෂිනෝ ශාලාවක් ආශ්‍රිතව බවය.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එම කැෂිනෝ ශාලාව කේන්ද්‍ර කරගෙන පසුගිය 03 වෙනිදා වැටලීමක් සංවිධානය කරනු ලබන්නේ ඒ අනුවය. එදා එම ඉලක්කය වෙත පහසුවෙන්ම ළඟා වෙමින් වැටලීම සාර්ථක එකක් බවට පත්කර ගැනීමට සමත් වන්නේ සහන් සංජීවගේ ඡායාරූපයක් ද ඔවුන් සතුව ඒ වන විටත් පැවති බැවිනි.

කුරුණෑගල ජුවලරියට පැන එහි සේප්පුව කපා රන් භාණ්ඩ සොරා ගැනීම පමණක් නොව, එතෙක් සැකකරුවෙක් හෙළි නොවූ අපරාධ ලෙස රට පුරා පොලිසිවලට වාර්තා වී තිබුණු දුරකතන සමාගම්වල අලෙවි නියෝජිතා කිහිපයක් බිඳ සේප්පු කපා මුදල් සොරා ගැනීම්, සුපිරි වෙළඳසැල් රැසක් කඩා සේප්පු කපා මුදල් සොරා ගැනීම් ඇතුළු වෙළද ආයතන බිඳ මුදල් සොරා ගැනීම් ගොන්නකම තොරතුරු ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවන්නට ගත්තේය. ඒ කදාන, කිරිබත්ගොඩ, පිලියන්දල, ජා-ඇළ, මහරගම, නවගමුව, බොරලැස්ගමුව, දෙහිවල, ඇහැලියගොඩ, සීදූව, යක්කල, අවිස්සාවේල්ල, කොල්ලුපිටිය, මාවනැල්ල, ගල්ගමුව ආදී පොලිස් වසම්වලිනි. එහිදී හෙළි වූ සොරකම් ප්‍රමාණය 30කට වැඩිය. එයින් වැඩි ප්‍රමාණයක් කර තිබුණේ සේප්පු කපාය. මෙසේ ඔහු සේප්පු කපමින් සොරකම්වලට යොමු වන්නේ මිරිහානට හසුවී රක්ෂිත බන්ධනාගාරගතව සිට එළියට ඒමෙන් පසුවය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි කාලය තුළ බන්ධනාගාරයේදී ඔහුට මුණ ගැසෙන්නේ ගරාජ් බාසෙකි. ඇප ලබා බන්ධනාගාරයෙන් එළියට එන සහන් සංජීවට කොළඹ ගරාජයක සේවය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ එම ගරාජ් බාස් සමඟ ඇති කරගන්නා හිතවත්කම හේතුවෙනි.

ගරාජ් බාස් කැෂිනෝ ගැසීමට තදින්ම ඇබ්බැහි වී සිටියෙකි. කොල්ලුපිටියේ කැෂිනෝ ශාලාවකට යන එන ඔහු සිය මුළු ජීවිතයම පාහේ ගත කළේ කැෂිනෝ ශාලාව තුළය. ඔහු සමඟ කැෂිනෝ ශාලාවට යන්න එන්න පටන් ගත් සහන් සංජීව එහි සේවය කරන තරුණියක් හා පෙමින් වෙළුණේය. ඇය 26 හැවිරිදි වියේ පසුවූ සුරූපී තරුණියක් වූවාය. අතුරුගිරියේ පදිංචිකාරියක් වූ ඇයට අවසානයේදී කැෂිනෝ ශාලාවේ රැකියාව ද මේ නිසාම අහිමි වූවාය. ඒ කැෂිනෝ ශාලාවට එන ගනුදෙනුකරුවන් සමඟ පුද්ගලික සම්බන්ධකම් පැවැත්වීම එහි සේවකයන්ට තහනම් වූ බැවිනි.

ඒ වන විට සහන් සංජීව ද කැෂිනෝ සූදුවට ඇබ්බැහි වෙමින් සිටියේය. ගරාජයේ සේවය කර ලැබෙන සොච්චම කැෂිනෝ ගැසීමට ඔහුට ප්‍රමාණවත් නොවීය. නැවතත් සොරකමට ඔහු පෙලඹන්නේ ඒත් එක්කමය. සේප්පු කැපීමට ඔහුට දැනුමක් ලැබෙන්නේ ගරාජයේ සේවයේ නිරතව සිටියදීය. ඒ වාහනවල තහඩු ග්‍රයින්ඩරයෙන් කපා හැඩ වැඩ කරන බැවිනි. ග්‍රයින්ඩරය සහන්ගේ අතට හොඳටම හුරුවී ඇත්තේ ඒ ඔස්සේය. ග්‍රයින්ඩරය අතට ගෙන සහන් සංජීව වැඩේට බසින්නේ ජනප්‍රිය වෙළඳ ආයතනවල සේප්පු කඩමිනි. එම ආයතනවල ආරක්ෂාවට රාත්‍රී කාලයේ ආරක්ෂකයන් නොමැති බව මෙන්ම මුදල් සියල්ල දමන්නේ සේප්පුවල බව ඔහු ඒ වන විටත් දැන සිටියේය. ඒ බන්ධනාගාරයේ සිටි කාලය තුළදී එවැනි දේ ගැන සිරකරුවන් නිතර කතාබහ කරන්නට වූ බැවිනි.

බන්ධනාගාරයේ ගත කළ කාලය තුළ විවිධ අපරාධවලට හසුවී බන්ධනාගාරගත වූ පුද්ගලයන්ගෙන් දැනුම් සම්භාරයන් ලබාගෙන ඔහු වැඩේට බසින්නට වූයේ පොදු ප්‍රවාහන මගී බස් රථවල ගමන් කරමින් අනාරක්ෂිත මූල්‍ය ආයතන හා වෙළඳ ආයතන නිරීක්ෂණය කරමිනි. දෙතුන් වතාවක්ම විවිධ වේලාවන්වලදී එම ප්‍රදේශවල සැරිසරා තමන්ට හිතෙන දිනයකදී ඔහු එම වෙළඳසල්වලට බැස සේප්පු කපා මුදල් සොරා ගැනීම්වල නිරත වන්නට වූයේ පොලිසිය පවා අන්ද මන්ද කරවමිනි. ආරක්ෂක කැමරා කෙරෙහි ඔහුගේ වැඩි අවධානයක් යොමුවී ඇත්තේ සොරකම්වලට ගොස් හසුවී බන්ධනාගාරයේ සිටි වැඩි දෙනෙක් කැමරාව නිසා පොලිසියට හසුවී තිබුණු බැවිනි. සේප්පු කැපූ සෑම තැනකම ආරක්ෂක කැමරා පද්ධතියේ දෘඩ තැඩිය ඔහු සොරා ගත්තේ එබැවිනි. එම තැටිය ඔහු වැඩේ අවසන් කර යන අතර තුර කඩා විසි කරනු ලබන්නේ කසල ගොඩකට හෝ ගඟකට හෝ මුහුදටය.

ග්‍රයින්ඩරයෙන් මුල් වකවානුවේදී සේප්පු කැපූ ඔහු පසුව කොන්ක්‍රීට් සිදුරු කිරීමට යොදා ගන්නා බම්බු කටරය යොදා ගන්නට පෙලඹෙන්නේ සේප්පු කැපීමට හොඳම උපාංගය එය බව වටහා ගැනීමෙන් අනතුරුවය. පෙදරේරුවෙක් ලෙස සේවයේ නිරතව සිටි ඔහු බම්බු කටරය ගැන දැන සිටියේය. බම්බු කටරය ඔහු මිලදී ගන්නේ ආමර්වීදියෙනි. ඔහු පිටේ එල්ලා ගෙන සිටි බෑගයේ වූයේ එම බම්බු කටරය ඇතුළු උපකරණ කට්ටලයයි. බම්බු කටරය සවි කරනු ලබන්නේ හිල්ටියකටය. එයත් ඔහු පිටේ එල්ලාගෙන ගිය බෑගයේ තිබුණේය.

කරේ එල්ලාගෙන යන පැති බෑගයේ වූයේ විදුලි සම්බන්ධතාව ගැනීමට අවශ්‍ය වයර් ඇතුළු උපාංග කට්ටලයයි. ඒ හැරුණු කොට ඔහු යන හැම තැනකටම ග්‍රයින්ඩර් යන්ත්‍රයත් ඊට අවශ්‍ය තලත් රැගෙන ගියේය. ස්කුරුප්පු නියන්, පයිප්පරිංචි ආදී උපකරණ රැසක් ද ඔහුගේ ඒ බෑගවල තිබුණේය. ඒවා ඔහු යන හැම තැනකටම රැගෙන ගියේ තැනේ හැටියට වැඩේ කරන්නටය.

මෙසේ සේප්පු බිඳ සොරා ගන්නා මුදල් මෙන්ම රන් භාණ්ඩ විකුණා ලබා ගන්නා මුදල් සියල්ලම පාහේ ඔහු වැය කර තිබුණේ කැෂිනෝ සූදුවටය. හලාවත ලීසිං සමාගම් ශාඛාවේ සේප්පුව බිඳ සොරාගත් මුදල්වලින් ඔහු දින තුනක් එක දිගට කැෂිනෝ ගසා තිබුණේය. එම මුදලින් ලක්ෂ දෙකක් ඔහු කඩුවෙල කොතලාවල පදිංචිකාරියක් වන හිතවතියකට ලබා දී තිබුණේය. ඇය සමඟ ඔහු හිතවත්කමක් ගොඩ නඟා ගන්නේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි කාලයේදීය. එකල ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිර මැදිරියේ බොරැල්ලේ රන් භාණ්ඩ වෙළඳසලක් කොල්ලකා පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙක් ද සිටියේය. කඩුවෙල කොතලාවල කාන්තාව එම පුද්ගලයාගේ ඥාති දියණියකි. ඇයව ඔහු දැන හඳුනා ගන්නේ බොරැල්ලේ කොල්ලයට බන්ධනාගාරගතව සිටි පුද්ගලයාගේ දුක සැප සොයා බැලීමට බන්ධනාගාරයට ආගිය විටදීය. එම හිතවත්කම මත කොල්ලයක් සිදු කළ හැම අවස්ථාවකදීම උපකරණ කට්ටලය සහිත බෑගය පරිස්සමට තබා ගැනීමට ඔහු ලබා දෙන්නේ ඇයටය. එදාත් හලාවත සිට කොළඹ පැමිණ නැවතත් බස් රථයකට ගොඩවී කඩුවෙලට යන ඔහු උපකරණ කට්ටලය ඇය අතට පත් කරනු ලබන්නේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් වියදමට තබා ගන්නට දෙමිනි. ඇය එම උපකරණ කට්ටලය රැගෙන ගොස් සඟවන්නේ හිතවතියගේ නිවෙසකය. පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සහන් සංජීව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝගයක් අධිකරණයෙන් ලබා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් මේ සියල්ලක්ම හෙළි කර ගත්තේය. අනතුරුව කාන්තාවන් දෙදෙනාව ද අත්අඩංගුවට ගන්නේ සේප්පු කැපීමට යොදා ගන්නා උපකරණ ද සමඟිනි.

ප්‍රශ්න කිරීම් හමුවේ සහන් සංජීව පවසන්නේ ග්‍රයින්ඩරයකින් පැය හත අටක් තිස්සේ සේප්පුව කැපීම වෙහෙසකර වූ බැවින් හිල්ටියකට බම්බු කටරයක් සවි කර කළ අත්හදා බැලීම සාර්ථක වූ බැවින් දිගින් දිගටම බම්බු කටරයෙන් සේප්පු කැපීමට පෙලඹුණු බවය. බම්බු කටරයෙන් සේප්පුවක් කැපීමට ඔහුට ගතවන්නේ පැය එකහමරක් වැනි කෙටි කාලයකි. එදා ඔහු හලාවත ලීසිං සමාගමේ ශාඛාවට ඇතුළු වී මුලින්ම සිදුරු කරන්නේ පහත මහලේ තිබුණු විශාල සේප්පුවය. එම සේප්පුවේ ලොකු මුදලක් ඇතැයි ඔහු විශ්වාස කළේය. එහෙත් එහි වූයේ ලිපි පමණක් වූ බැවින් ඉහළ මහලට ගොස් එහි තිබුණු කුඩා සේප්පුව සිදුරුකර තිබේ. රුපියල් ලක්ෂ 70කට වැඩි මුදලක් තිබී ඇත්තේ එහිය. එම මුදලත් රැගෙන ඇතුළට ආ අයුරින්ම පිටව යන ඔහුට වැඩ වරදින්නේ නොදැන හෝ ආරක්ෂක කැමරා සවි කර තිබුණු බස් රථයකට ගොඩ වූ බැවිනි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division