Home » කුඩුදවුල් ගහට බිලිවුණු ගම්පොළ මල් කැකුළ

කුඩුදවුල් ගහට බිලිවුණු ගම්පොළ මල් කැකුළ

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment
මියගිය අස්වි සහ සිද්ධිය වූ ස්ථානයේ පොලිස් පරීක්ෂණ සිදු කරන අයුරු

නිදහස් දිනට පසුදින මොහොමඩ් සෙයිම් අස්වි පාසලට ආවේ වෙනදාටත් වඩා ප්‍රීතියෙනි. ඒ දින දෙකක නිවාඩුවකට පසු පෙර පාසලේ මිතුරන් සමඟ ඇති තරම් සෙල්ලම් කිරීමට ලැබෙන නිසාය. ගම්පොළ බෙන්හිල් ජත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි අස්වි එහි පෙර පාසලට ඇතුළත්ව තිබුණේ පසුගිය ජනවාරි මස 17 වැනිදා ය. වෙනදා මෙන් පන්ති කාමරය තුළ උ‍ෙද්‍යා්යෝගයෙන් පාඩම් වැඩ කළ අස්වි විවේක කාලය සඳහා සීනුව නාද වෙද්දී පාසලේ සෙල්ලම් පිට්ටනිය වෙත දිව ගියේ මිටින් මුදාහළ කුරුල්ලකු ලෙසිනි. ඒ වනවිටත් ඔහු එනතුරු එහි මාරයා බලා සිටින බවත් අස්වි තබා ඔහුගේ ගුරුවරිය ද දැන නොසිටියා ය. මාරයා ගසක දැවටී පුංචි අස්විගේ හිස මතට පාත් වූයේ කිසිවකුත් නොසිතූ මොහොතක ය. මල් කැකුළක් පයින් පාගා පොඩි කරන්නා සේ ගසේ විශාල අතු අස්මිගේ හිස මතට පාත්වී තිබිණි. ඒ වනවිටත් අස්මිගේ පන්තියේ මිතුරන් 31 දෙනෙකු එම බිමේ සෙල්ලම් කරමින් සිටියහ. අස්මි සමඟ තුවාල ලැබූ තවත් දෙදෙනකු ද ක්ෂණිකව ගම්පොළ රෝහල වෙත රැගෙන යෑමට පාසල් පාලනාධිකාරිය සහ ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණත් අස්මිගේ හුස්ම පොද ඒ වනවිටත් ඔහු අත­්හැර ගොස් තිබිණි.

ගම්පොළ බෙන්හිල් ජත්‍යන්තර පාසලේ පෙර පාසල් දරුවන් සඳහා සකස් කර තිබෙන සෙල්ලම් පිට්ටනියට ඇද වැටී තිබුණේ අඩි 70 ක් පමණ උස කුඩුදවුලා ගසකි. එය පාසලේ භූමියට යාබද ඉඩමක පිහිටා තිබී ඇත්තේ ළමුන් සෙල්ලම් කරමින් සිටි පිට්ටනියේ සිට මීටර් 35 ක පමණ දුරක් ඈතට වන්නට ය. මුල දිරා යෑමෙන් කඩා වැටණු ගස වෙනත් ගසක ගැටී පිට්ටනිය දෙසට වැටී තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබිණි. පාසැල් සීමාව සලකුණු කරමින් අඩි 09 ක් උසට ඉදිකර තිබූ බැම්මේ ගැටී දෙකඩ වී තිබෙන ගසේ අඩි 22 ක කොටසක් පාසල් භූමියට කඩා වැටී තිබෙන අතර අස්මි ඇතුළු ළමුන් යටවී ඇත්තේ එම කොටසට ය.

අස්මි හරිම ගුණ යහපත් දරුවෙක්. එයා හැමෝමත් එක්කම සහයෝගයෙන් වැඩ කරනවා. දහවල් විවේක කාලයේ දී මම මගේ පන්තියේ ළමයි 31 දෙනාත් එක්කම සෙල්ලම් පිට්ටනියට ගියා. දරුවෝ එතන්ට යන්න හරිම කැමතියි. පෙර පාසල් දරුවෝ නිසා අපි ගොඩක් දරුවන්ට සෙල්ලම් කරන්න නිදහස දෙනවා. දරුවන්ට සෙල්ලම් කරන්න පිට්ටනියේ යකඩින් හදපු මෙරිගෝ රවුන්ඩ් එකක් තියෙනවා. ඒකේ හයි කරලා තියෙන ප්ලාස්ටික් පුටුවල වාඩි වෙලා කැරකි කැරකී දරුවෝ සෙල්ලම් කරනවා. අස්වියි තවත් තුන් දෙනෙකුයි ඒකේ සෙල්ලම් කරමින් හිටියා. මම අනෙක් ළමයි එක්ක හිටියේ බැම්ම අයිනට වෙලා. මාත් එක්ක තව ටීචර් කෙනෙකුයි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කෙනෙකුත් හිටියා. ළමයින්ගේ ආරක්ෂාවට සෙල්ලම් පිට්ටනිය වටේට ආරක්ෂිත දැලක් ගහලා තියෙනවා. එක පාරටම ඒ දැලත් කඩාගෙන ගහක් පාත් වුණා. මොනවද වුණේ කියලා මට හිතා ගන්න බැරි වුණා. මගේ හිසෙත් අතු කෑල්ලක් වැදුණා. ළමයි හතර දෙනෙක් අතු අස්සේ හිරවෙලා හිටියා. ඒ අතරින් දෙන්නෙක් සිහි නැතුව බිම වැටිලා ඉන්නවා මම දැක්කා. පිට්ටනියට ඇතුළු වන දොර අතුවලින් අවහිර වෙලා නිසා සිහි නැතුව හිටිය දරුවෝ දෙන්නා දැලට උඩින් උස්සලා පිටින් හිටිය අයට දුන්නා. පස්සේ ඒ අය ළමයි ගම්පොළ රෝහලට අරන් ගියා. ටික වෙලාවකට පස්සේ අස්වි පුතා මියගිහින් කියලා දැන ගන්න ලැබුණා. අස්විගේ පන්තිභාර ගුරුවරිය වන ෆාතිමා ෆයිසාල් පයාසා පැවසුවේ හැඬූ කඳුළිනි.

අස්වි හා ඔහුගේ ලොකු තාත්තාගේ පුතා පසුවන්නේ සම වයසේ ය. දෙදෙනාම ඉගෙන ගන්නේ එකම පන්තියේ ය. ඔහු සෑම දිනකම පාසල් යන්නේ එන්නේ ලොකු තාත්තාගේ ත්‍රීවීලරයෙනි. මේ නිසා තම පුතාගේ ආරක්ෂාව ගැන අස්විගේ පියා වූ මොහොමඩ් හම්සා මොහොමඩ් අස්වි ට අබමල් රේණුවක තරම් හෝ සැකයක් නොතිබිණි. මාරයා පාසල් භූමියට පැමිණ තම පුතු රැගෙන යාවි යැයි ඔහු මොහොතකට හෝ නොසිතුවේ ය. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අස්වි ලොකු පුතා. තවත් අවුරුදු තුනක පුතෙක් මට ඉන්නවා. දරුවෝ දෙන්න ගෙදර දී සෙල්ලම් කරනවා. අයියා නැති වුණොත් මල්ලී හොයනවා. මල්ලී නැති වුණොත් අයියා හොයනවා. අස්වි පාසලට බාරදීලා සති තුනක්වත් නැහැ. අස්වි ඉස්කෝලේ ඇරිලා එනකල් මල්ලී බලාගෙන ඉන්නේ සෙල්ලම් කරන්න. අපේ දරුවා මැරුණා කියලා හිතා ගන්න බැහැ. මම වෙලාවකට හිතනවා මේක හීනයක් ද කියලා.

අනතුර සිදු වන අවස්ථාවේ අස්විගේ ලොකු තාත්තා වන මොහොමඩ් හසීම් සිට ඇත්තේ පාසලේ ය. ඔහුගේ වැඩිමහල් පුතා අසනීපව සිටින බව පාසල මඟින් දැනුම් දී තිබීම නිසා ඔහු රැගෙන යාමට හසීම් පාසලට පැමිණ තිබිණි. මගේ ලොකු පුතාට උණ ගැනිලා කියලා ඉස්කෝලෙන් කතා කළා. එයාව ගෙදර එක්කගෙන යන්න මම ආවා. එතකොට පහළ පෙර පාසල පැත්තෙන් ලොකු ශබ්දයක් ඇහුණා. මම දුවගෙන ඒ පැත්තට ගියා. මගේ දරුවා පෙර පාසලේ අධ්‍යාපනය ලබන නිසා මම එයාව හෙවුවා. ගහක් කඩා වැටිලා පුතා ට සුළු තුවාල වෙලා තිබුණා. මම මල්ලීගේ පුතාව හෙවුවා. එතකොට දැන ගන්න ලැබුණා එයාට තුවාල වෙලා ගම්පොළ රෝහලට අරන් ගියා කියලා. මම ඉක්මනට බයික් එකේ නැඟලා ගම්පොළ රෝහලට ගියා. එතන දී දැන ගන්න ලැබුණා පුතා මියගියා කියලා.

අස්විගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පොළ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සචින්ත රණතුංග විසින් සිදු කරනු ලැබීය. ගස කඩා වැටීමෙන් හිසට සහ මොළයට සිදු වූ බරපතළ හානි හේතුවෙන් මරණය සිදුව තිබෙන බව ඔහු වෛද්‍ය වාර්තාව මඟින් දක්වා තිබේ. ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සහ සාක්ෂි සැලකිල්ලට ගත් ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලීන් ඒ මැදිවක මෙය ගසක් කඩා වැටීමෙන් හිසට සහ මොළයට සිදු වූ හානි හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බවට තීරණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අසංක බණ්ඩාර, පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ යන නිලධාරීන්ගේ උපදෙස් මත ගම්පොළ ඇත්ගාල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෙනරත් කැකුළන්දරගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ධනපාල පරීක්ෂණ පැවැත්වීය.

සිද්ධියෙන් පසු පාසල් භූමිය නිරීක්ෂණයට ගිය ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා පාසලක් පවත්වා ගෙන යන විට දී අවට අනතුරුදායක තත්ත්වය සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතු බව පාසල් බලධාරීන්ට දැනුම් දුන්නේ ය.

ගස් දෙකකට යටවී පසුගිය සති අන්තයේ දී පාසල් දරුවෝ දෙදෙනෙක්ම මරණයට පත්වූහ. අස්වි එහි එක් ගොදුරක් වූ අතර අනෙක් සිසුවා නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි මුරුගන් අසාන්ත් ය. මේ සම්බන්ධව කළ විමසීමක දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ පැවසුවේ ජීවිත හා දේපළ හානි වීමට බලපෑ හැකි අනතුරුදායක තත්ත්වයේ පවතින ගස් සහ අතු ඉවත් කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස පළාත් පාලන කොමසාරිස්වරු වෙත උපදෙස් ලබා දී තිබෙන බවයි.

ඡායාරූප- ගම්පොළ සමූහ සුරංග දිල්හාන්.

අසේල කුරුළුවංශ, ගම්පොළ සමූහ සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division