Home » යුක්තියට ශක්තිය දෙන පොලිස් නිල සුනඛයෝ

යුක්තියට ශක්තිය දෙන පොලිස් නිල සුනඛයෝ

by thanushika
February 10, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය උවදුරින් රට මුදා ගැනීමේ අරමුණින් ආරම්භ වූ යුක්තිය මෙහෙයුම ආරම්භ වී මේ වන විට මාස දෙකකට ආසන්න වෙමින් තිබේ. විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදාහරින්නන්ගේ ජාලයන් මර්දනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට යොමු කිරීම රට පුරා පිහිටි පොලිස් ස්ථානවල සේවය කරන දස දහස් ගණනක් නිලධාරීන් මේ වන විට සාර්ථකව සිදු කරමින් සිටිති. ඔවුන් සමඟ තවත් සුනඛයන් 66 දෙනෙකු ද මෙම මෙහෙයුමට සම්බන්ධ කර තිබෙන්නේ මිනිස් දැනුම හා තාක්ෂණික උපකරණ ආධාරයෙන් හඳුනා ගැනීමට නොහැකි ලෙස ඉතා සූක්ෂ්මව සිදුකරන මත්ද්‍රව්‍ය ප්‍රවාහන හා ගබඩා කිරීමේ ජාලය බිඳ දැමීමටය.

මේ සඳහා උපයෝගී කරගෙන තිබෙන්නේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් පුහුණුව ලද නිල සුනඛයන්ය. මෙරට පළාත් 09 ආවරණය වන පරිදි දෛනිකව සිදු කෙරෙන මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා මෙම නිල සුනඛයන් යොදවා තිබෙන අතර මේ වන විට ඔවුන් විසින් සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සංඛ්‍යාව අති විශාලය.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට එරෙහිව සිදු කරන රාජකාරි සහ මත්ද්‍රව්‍ය සඟවා ඇති ස්ථාන හඳුනා ගැනීම මෙම නිල සුනඛයන්ට පැවරී තිබෙන ප්‍රධාන රාජකාරියයි. පොලිස් ඇසට වැලි ගසමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හෝ සඟවා තැබීම කළත් පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ පුහුණුව ලද නිල සුනඛයෙකුගේ ඉව පරදා එය සිදු කිරීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා හා සමානය. පොදු ප්‍රවාහන සේවා මෙන්ම පෞද්ගලික වාහන පරීක්ෂා කිරීමේදී බොහෝ විට මත්ද්‍රව්‍ය සඟවා තිබෙන ස්ථාන හඳුනා ගනු ලබන්නේ නිල සුනඛයන්ය. නීති විරෝධී හා විෂ මත්ද්‍රව්‍ය ඉව ඔස්සේ ඒවා සොයා ගැනීමට හැකි ලෙස සුනඛයෙකු පුරුදු පුහුණු කිරීම කාලයක් ගත වන ක්‍රියාවලියකි. පොලිස් නිලධාරියෙකුගේ භාරකාරත්වය යටතේ හැදී වැඩෙන නිල සුනඛයෙකු අදාළ පුහුණුව නිම කර රාජකාරි කටයුතුවල නිරත වන්නේ ද එම නිලධාරියා සමඟිනි.

යුක්තිය මෙහෙයුම ආරම්භ වූ දෙසැම්බර් 17 සිට ජනවාරි 17 දක්වා දිවයින පුරා සිදු කරන ලද වැටලීම්වලින් නිල සුනඛයන්ගේ සහාය ඇතිව සොයා ගන්නා ලද ගංජා ප්‍රමාණය කිලෝ 13 යි ග්‍රෑම් 500 කි. ඒ අතරින් ගංජා කිලෝ 06ක්ම හමුවී ඇත්තේ උතුරු පළාතිනි. වයඹින් ගංජා කිලෝ 2යි ග්‍රෑම් 500ක් ද බස්නාහිර හා දකුණින් කිලෝව බැගින් ද සොයා ගත් බව පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසයි. හෙරොයින් ග්‍රෑම් 166ක් ද අයිස් ග්‍රෑම් 143ක් ද නීති විරෝධී මත්පැන් ලීටර් 762ක් ද ගෝඩා ලීටර් 411ක් ද ගංජා මිශ්‍ර මාවා කිලෝ 03ක් ද මත්පෙති 375ක් ද මත්ගුළි 3120ක් ද සොයා ගනිමින් යුක්තිය මෙහෙයුමට ශක්තියක් වන්නට නිල සුනඛයන් මේ වන විට සමත්ව තිබේ.

පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුරගේ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරි අනුර දෙල්ගහපිටිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ පාලන), සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත කුලසේකර (පුහුණු) යන නිලධාරින්ගේ මෙහෙයවීමෙන් පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කොළුගල යටතේ පොලිස් නිල සුනඛයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. පුහුණුවේදී දක්වන විශේෂ දක්ෂතා හඳුනා ගැනීමෙන් පසු පුපුරණ ද්‍රව්‍ය සෙවීම, අපරාධ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය වැටලීම් ආදියට සුනඛයන් යොමු කෙරෙයි. මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, උතුර, වයඹ, නැඟෙනහිර, උතුරු මැද සහ දකුණ යන පළාත්වල සේවය සඳහා යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ජර්මන් ෂෙපර්ඩ්, ලැබ්බ්‍රඩෝ, ගෝල්ඩන් රිට්රිවර්, කොකර් ස්පැනියල් වර්ගයේ සුනඛයන් 66 දෙනෙකු යොදවා තිබෙන බව පොලිස් නිල සුනඛ අංශය පවසයි.

දුම්වැටියේ සිට මෙරට දක්නට ලැබෙන අන්තරායා කර විෂ මත්ද්‍රව්‍ය සියල්ල හඳුනා ගැනීම සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා සහභාගි කරවන නිල සුනඛයන්ට පුහුණුව ලබා දී තිබේ. විදේශ රටවලින් ආනයනය කරන ලද විවිධ මත්ද්‍රව්‍යවල සුවඳ ඒ ආකාරයෙන්ම මතු වන ලෙස කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද ද්‍රව්‍ය හා සැබෑ මත්ද්‍රව්‍ය යොදා ගනිමින් නිල සුනඛයන්ට දෛනිකව පුහුණු වීම් ලබා දෙන බවත් මේ නිසා ඉව ඔස්සේ ගොස් ඕනෑම මත්ද්‍රව්‍යයක් සොයා ගැනීමේ හැකියාව නිල සුනඛයන්ට තිබෙන බවත් සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත කුලසේකර කීය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division