Home » පොලොන්නරුවේ පුද බිමක මුවන් දඩයම් කළ දඩයක්කරුවන් කොටුකළ මෙහෙයුම

පොලොන්නරුවේ පුද බිමක මුවන් දඩයම් කළ දඩයක්කරුවන් කොටුකළ මෙහෙයුම

by thanushika
February 10, 2024 12:30 am 0 comment

ඓතිහාසික පොලොන්නරුව පූජා භූමියේ මුවන් රංචු පිටින් සැරිසැරීම සුලභ ලක්ෂණයකි. නිදහසේ එලෙස සැරිසරන අහිංසක මුවන් මදු මෙන්ම හක්කපටස් අටවමින් මරා එම මස් පොලොන්නරුව ඇතුළු අවට හෝටල්වලට විකුණන ජාවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් නැතුවාම නොවේ. පොලිසිය ද අඩවි වන ජීවි නිලධරයන් ද මේ ගැන විමසිල්ලෙන් පසුවන්නේ කලක සිටය.

එලෙස සැරිසරන මුවන් දිගු කලක සිට ප්‍රදේශයේ සහ අවට දඩයම්කරුවන් විසින් ගොදුරු බවට පත්කර ගනිමින් මදු අටවා මරා මුව මස් අවට හෝටල්වලට විකිණීමේ ජාවාරමක් අනාවරණය කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල් විහාර පොලිසිය සහ පොලොන්නරුව අඩවි කාර්යාලයේ වනජීවි නිලධරයෝ පසුගියදා සමත් වූහ. එය යුක්තිය මෙහෙයුමෙන් සිදු කළ තවත් සුවිශේෂී වැටලීමකි.

එලෙස, මදු අටවා ආරක්ෂිත ක්ෂිරපායි සත්ත්වයකු වන තිත් මුවෙකු මරා ලක්‍ෂඋයන ප්‍රදේශයේ පාළු ඉඩමක මස් කරමින් සිටි තිදෙනෙකු ගල් විහාර පොලිසිය සහ පොලොන්නරුව වනජීවි නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී ඉකුත් 23 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරුවන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් තිදෙනාට රුපියල් එක්ලක්ෂ හතළිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙසට පොලොන්නරුව මහේස්ත්‍රාත් යු.ඒ.එස්.කේ. වික්‍රමරත්න නියෝග කළේය.

මේ සැකකරුවන් පොලොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68, 66 සහ 52 යන වයස්වල පසුවන්නන් බවට තොරතුරු අනාවරණය විය. පොලොන්නරුව වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි සහකාර එන්.සී.ඒ.එස්. නාලක කීය.

මේ සැකකරුවන් පූජා භූමියේ සැරිසරන මුවන් දඩයම් කරමින් මස් කර ප්‍රදේශයේ හෝටල්වලට අලෙවි කරන බවට වනජීවි නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණේ වැටලීමට දින කීපයකට පෙරදීය.

සැකකරුවන් සතුව තිබූ කම්බි මදු, මුව මස්, තියුණු ආයුධයක් මෙන්ම මුවන් දඩයම් කිරීමට යොදාගත් උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව අඩවි වනජීවි නිලධරයන් සඳහන් කළහ. පූජා භූමියේ මුවන් රංචු පිටින් සැරිසරන අතර රාත්‍රී කාලයේ ඒ අවට දඩයම්කරුවන් විවිධාකාරයේ මදු අටවමින් මුවන් මරා එම මස් පොලොන්නරුව ඇතුළු අවට හෝටල්වලට අලෙවි කිරීම ජාවාරමක් කරගෙන ඇත්තේ කලක සිටය.

මේ පිළිබඳව ගල් විහාර පොලිස් මුරපොළට මෙන්ම පොලොන්නරුව අඩවි කාර්යාලයේ වනජීවි නිලධාරීන්ට තොරතුරු ලැබී තිබිණි. එහිදී දිවා මෙන්ම රාත්‍රී කාලයේ විවිධ වැටලීම් සිදු කර මීට පෙර අවස්ථා කිහිපයකදීම දඩයක්කරුවන් අත්අඩංගුවටගෙන ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළද මුවන් දඩයම් කිරීමේ ජාවාරම මුළුමනින්ම නැවැත්වීමට නොහැකි වී ඇත්තේ දඩයක්කරුවන් විවිධ ක්‍රමවේද අනුගමනය කරන බැවිනි. ඔවුන් මේ ජාවාරම සිදු කරන්නේ ඉතා සූක්ෂමවය.

ඒ අනුව මේ දිනවල ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම ඔස්සේ ගල් විහාර පොලිස් මුරපොළේ නිලධාරීන් ක්‍රියාත්මක වූයේ පොළොන්නරුව අඩවි වන කාර්යාලයේ වනජීවි නිලධාරින්ද සමඟිනි. එහිදී දෙපිරිස එක්ව පසුගිය දා සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙලෙස එම දඩයක්කරුවන් අත්අඩංගුවට ගැනිණි.

ගල් විහාර පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී. ඩබ්ලිව්. ඩී. සිරිමාන්න ඇතුළු නිලධාරීන් මෙන්ම පොලොන්නරුව අඩවි වනජීවි කාර්යාලයේ අඩවි සහකාර අමිත ශ්‍රී නාලක, එම්.ආර්. ප්‍රියදර්ශන, වන සත්ත්ව නියාමක උමා සුදන්, ක්ෂේත්‍ර සහායක ඩී.එම්.ආර්. දිසානායක, ජේ.ඒ.එස්. ජයකොඩි යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ. මුවන්ගේ සිරුරු වළ දැමීමට පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා මෙහිදී වනජීවි නිලධාරීන්ට නියෝග කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division