Home » කෝටි හතක මත්ද්‍රව්‍ය අල්ලන්න මත්ලෝලියාගෙන් ලැබුණු ඔත්තුව

කෝටි හතක මත්ද්‍රව්‍ය අල්ලන්න මත්ලෝලියාගෙන් ලැබුණු ඔත්තුව

by thanushika
February 10, 2024 12:30 am 0 comment
විනිතා මානෙල් ගමගේ - හල්තොට සමුහ

මේ කියන කතාව අසන්නට ලැබුණේ රාගම ප්‍රදේශයෙනි. ඒ කෝටි හතකට වැඩි වටිනාකමක් ඇති ‘හෑෂ්’ නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක ජාවාරම්කරුවෙකු මෙන්ම ඔහුගේ බිරිය ද පොලිස් ග්‍රහණයට හසු කර ගැනීමයි.

මීට අමතරව අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍යය ද මොවුන් සන්තකයේ තිබුණේ ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතුවල තරම මේ යැයි පෙන්නුම් කරමිනි.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පොලිසිය, යුද හමුදාව, බුද්ධි අංශ සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි. මෙහෙයුම ක්‍රියාත්මක වූයේ වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේය. ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වැඩි පිරිසක් එම ප්‍රදේශය අරක්ගෙන සිටින බව පොලිසිය හොඳින් දන්නා බැවිනි.

මෙම මෙහෙයුමේදී රාගම පොලිසියේ එවකට වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා වූ ප්‍රධාන පොලිස් පරික්ෂක අසේල පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායම විමර්ශනවල නිරත වූයේ සාර්ථක ප්‍රතිඵලයක් අත්පත් කර ගැනීම සඳහාය. ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරාගේ ‘තියුණු දෑස’ අවට සිසාරා යද්දී සැක කටයුතු පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් දැක තරමක් පැකිළෙමින් ක්ෂණිකව ලිස්සා යාමට මාන බලද්දී වහා ක්‍රියාත්මක වූ අසේල පෙරේරා සැක පුද්ගලයා පරීක්ෂා කළේ සැකය තහවුරු කරගැනීමටය. සැකකරු සන්තකයේ තිබී හොරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 800ක ප්‍රමාණයක් හමුවිය. මෙහෙයුම භාර නිලධාරි වූයේ සහකාර පොලිස් අධිකාරි කැලණිය 02 ගුණතිලකය. ඔහු විසින් විශේෂ කාර්ය බළකා නිල සුනඛ ඒකකය ගෙන්වීමටත් වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධනගේ සහාය ලබා ගැනීමටත් ඒ අවස්ථාවේ කටයුතු කළේ මෙම පුද්ගලයාගේ නිවස සෝදිසි කිරීමට අවශ්‍ය නිසාය.

පොලිස් නිලධාරි කණ්ඩායම සැකකරුගේ නිවස පරීක්ෂා කළේ ඒ අනුවය. මෙම පුද්ගලයා පමණක් නොව ඔහුගේ බිරිය ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව පොලිසියට වැටහී ගියේ එවිටය. ඇය සන්තකයේ අයිස් නමැති මත්ද්‍රව්‍ය තිබිණි. ඒ අයිස් ග්‍රෑම් 10කුත් මිලිග්‍රෑම් 400ක ප්‍රමාණයකි. පොලිසියේ ඉලක්කය නිවැරැදි බව අවබෝධ කර ගැනීමට තවත් වැඩි වේලාවක් ගත වූයේ නැත. අස්සක් මුල්ලක් නෑර නිවසේ කාමර පරීක්ෂා කිරීමේදී සාරි ගොඩගසා තිබිණි. පොලිසිය වැඩි අවධානයක් ඒ පිළිබඳ යොමු කරනු ඇතැයි මෙම යුවළ සිතන්නට නැත. එහෙත් පොලිසියට එය සුළු කාරණයක් නොවේ. වැඩියෙන් පරික්ෂාවට ලක්වන්නේ එවැනි ස්ථානය. සාරි ගොඩ යට තිබුණේ ගමන් බෑගයකි. විමර්ශකයන් එය විවෘත කරන විට කාන්තාවගේ ඇසි පිය වේගයෙන් සැළුණේ ඇයට එය සඟවා ගැනීමට ඉඩ නොතබමිනි. ඒ තුළ තිබුණේ මිල අධික හෑෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 35කුත් ග්රෑම් 600ක් වීම මොවුන්ගේ කෙරුවාවේ තරම පෙන්වීමට කදිම සාක්ෂියක් සපයමිනි.

මෙම යුවළ පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මේ අනුවය. මීට පෙර ජම්පටා වීදිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මෙම යුවළ වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ වැටලීම සිදු කළ නිවසට පැමිණ ඇත්තේ මීට මාස දෙකහමාරකට පමණ පෙරය. ඒ මසකට රුපියල් තිස්පන්දහසක කුලි පදනම මත එම නිවස ලබා ගනිමිනි. විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට එවන මෙම මත්ද්‍රව්‍ය මන්නාරම ප්‍රදේශයේ සිට කොළඹට රැගෙන එන අතර, මොවුන් රිසි සේ ඒවා අලෙවි කරන්නේ මිටි වශයෙන් මුදල් ගලා එන උල්පත්වලට පින් සිදු වන්නටය. දුරකතන ජාලය හරහා ගැනුම්කරුවන් සම්බන්ධ වන නිසා ඔවුන්ගේ වැඩකටයුතු ඉතා පහසු වී තිබීම නිසා මෙම මත්ද්‍රව්‍ය අලෙවියේ කිසිම අඩුවක් සිදු නොවන බවද සැබෑය.

සහකාර පොලිස් අධිකාරි ඒ.ජී.එන්.ජී. ගුණතිලකගේ උපදෙස් මත රාගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරාගේ මෙහෙයුමෙන් කොස්තාපල්වරුන් වන 33281 සුමිත්, 101524 මධුසංක, කාන්තා කොස්තාපල් 13278 වත්සලා,විශේෂ කාර්ය බළකා නිලධාරින් සැරයන්වරුන් වන 75745 සිල්වා, 61995 පුෂ්පකුමාර, කොස්තාපල් 83562 රත්නායක, යුද හමුදාවේ 320992 සැරයන් ජගත්කුමාර, 332720 ලාන්ස් කෝපල් රාජපක්ෂ, 333812 පාබල සෙබළ පියරත්න, 337626 සාමාන්‍ය සෙබළ ඒකනායක නිලධාරීන් මෙම මෙහෙයුම සිදුකළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division