Home » සිසුන් හත්දෙනෙකුගෙන් හෙළි වූ මන්නාරමේ මත්කරල් ජාවාරම

සිසුන් හත්දෙනෙකුගෙන් හෙළි වූ මන්නාරමේ මත්කරල් ජාවාරම

by thanushika
February 10, 2024 12:30 am 0 comment

මන්නාරමේදී මහා පරිමාණයෙන් සිදුවන මත්පෙති ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟම උතුරේ මත්පෙති අලෙවි කිරීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි වෙමින් පවතී. මේ දිනවල රට පුරා ක්‍රියාත්මක ”යුක්තිය” මෙහෙයුම ඔස්සේ මන්නාරමේ ‘සවුත්බාර්‘ ප්‍රදේශයේදී මත්පෙති අලෙවිකරුවකු මත්පෙති 31390ක විශාල ප්‍රමාණයක් සමඟ පොලිසියට කොටුවන්නේ අහම්බයකින් නොවේ.

ඒ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසකගේ උකුසු ඇස හා විචක්ෂණත්වය නිසාමය. මන්නාරම පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට මුලින්ම හමු වන්නේ මත්පෙති මිලටගෙන ඒවා පාවිච්චි කළ පාසල් සිසුවෙකි. ඔහුගෙන් කළ එකම ප්‍රශ්න කිරීම වූයේ මෙම මත්පෙති ඔහුට ලබා දුන්නේ කවුරුන්ද යන්න පමණකි.

ඔහු ඔහුගේ ‘දාමයේ කලින් පුරුක‘ පොලිසියට විස්තර කළේය. පොලිසිය ඒ පුරුකේ සාමාජික පාසල් සිසුවාද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය. මේ ආකාරයට මන්නාරමේ පාසල් සිසුන් හත් දෙනෙකුම අත්අඩංගුවට ගන්නා තුරු මත්පෙති අලෙවිකරුවා සොයා ගැනීමට පොලිසියට නොහැකි විය. මන්නාරම පොලිසියේ නිලධාරීන් තමන්ගේ බැරෑරුම් උත්සාහය විස්තර කළේ මෙසේය.

”අපි මුල්ම සිසුවා තොරතුරක් මත අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කළා. පස්සේ ඔහුට මත්පෙති දුන් අනෙක් පිරිස ගැන විපරම් කළා. මේ විදිහට අපි පාසල් සිසුන් හත්දෙනෙකුම අත්අඩංගුවට ගත්තා. මේ සිසුන් හත්දෙනාම මන්නාරමේ උසස් පාසල්වල උසස් පෙළ විභාගයට පෙනී සිටින ළමයින් වීම විශේෂත්වයක්. ඒ වගේම විශාල කනගාටුවක් තමයි රටේ අනාගතය භාරගන්න සිටින ළමයින් මේ විදිහට විනාශ වෙලා යන එක…”

මුලින්ම එම මත්පෙති සිසුන්ට ලබා දෙන්නේ නොමිලයේය. සිසුන්ට නොමිලයේ ලබා දෙන මත්පෙති වෙළෙන්දෝ කෙමෙන් මත්පෙති ජාවාරම සඳහා නායකයෙකු හෝ ඉතා විශ්වාසවන්තයෙකු සොයා ගැනීමට උත්සහ කරයි. ඉන් පසුව නවක සිසුන්ට එම මත්පෙති අලෙවි කෙරෙන්නේ අප කලින් කී නායකයා එසේත් නොමැතිනම් විශ්වාසවන්ත පුද්ගලයා හරහාය.

ලංකාවේ පාසල් ආශ්‍රිතව සිදුවන මත්පෙති ජාවාරමේ ස්වභාවය එලෙසය. මේ මත්පෙති අලෙවි කරන ජාවාරම්කරුවන්ගෙන් පාසල් අසල සිටින්නේ ඉතා කුඩාම ව්‍යාපාරිකයාය. ඔහු කාගෙන් හෝ මත්පෙති සුළු ප්‍රමාණයක් මිලට ගෙන ලාභයක් තබාගෙන අලෙවිකොට කීයක් හෝ හරිහම්බ කර ගනී. මත්ද්‍රව්‍ය මිලට ගත් සිසුවෙකු මුදල් නොදී පලා ගොස් මුදලාලිට පොල්ලක් තැබුවහොත් ඒ පාඩුව විඳ ගැනීමට සිදු වන්නේද මේ පුංචි මුදලාලිට නිසා ඔහු මත් පෙත්තක් අලෙවි කිරීමේදී විශාල ලාභයක් තබාගෙන ඒවා අලෙවි කරයි.

පොලිස් නිලධාරීන් සිසුන්ගේ ප්‍රකාශවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් ධීවරයෙකු වශයෙන් කටයුතු කරන බවයි. තමන් දිනක් මුහුදේ දමා තිබූ මාළු දැලක් ගැලවීමේදී විශාල පාර්සලයක් මාළු දැලේ පැටලී තිබුණු බවයි. එම පෙට්ටිය ගොඩබිමට රැගෙනවිත් පරීක්ෂා කිරීමේදී කිසියම් පෙති වර්ගයක් ඒ පාර්සලයේ තිබූ බවත් එම පාර්සලය තමන් සිය ඉස්සන් ගොවිපළට රැගෙනවිත් සඟවා තැබූ බවයි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසන්නේ අමුම අමු බොරුවක් බව මන්නාරම පොලිසියේ නිලධාරින්ට ඒත්තු ගැන්වී තිබේ.

”අපි ඒ සැකකරු කී සෑම ස්ථානයක්ම මනා ලෙස පරීක්ෂා කළා. ඒත් ඒ එකම තැනකවත් අඩි සලකුණක්වත් තිබුණේ නෑ. මුහුදේ මාළු දැලේ මේ මත්පෙති පෙට්ටිය පැටළි තිබුණු බවට කිසිම සාක්කියක් නෑ. මේ නිසා පොලිසිය ඔහුව මන්නාරම අධිකරණයට ඉදිරිපත් කළා… රැඳවුම් නියෝගයක් ලබාගෙන ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන ගියා. නමුත් ඔහු කිසිම ඇත්තක් කිව්වෙ නෑ. ඒ නිසා මන්නාරම මහේස්ත්‍රාත් කේ.එල්.එම්. සාජිත් හමුවට ඉදිරිපත් කිරීමෙන් සැකකරු පෙබරවාරි මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කොට තිබෙනවා.“

මන්නාරම පොලිසියේ නිලධාරීන් මේ මත්පෙති තොගය මනා ලෙස පරීක්ෂා කිරීමේදී එම නිලධාරීන්ට හෙළිවී ඇත්තේ මත්පෙති තොගය ඉන්දියාවෙන් රැගෙනවිත් ඇති බවයි. එම මත්පෙති නිපදවා ඇති සමාගමද ඉන්දීය සමාගමකි.

“ඉන්දියාවේ ඉඳලා මාළු අල්ලන්න එන ධීවරයින්ගේ හැම බෝට්ටුවක්ම පරීක්ෂා කරන්නට ක්‍රමයක් නෑ. දවසකට බෝට්ටු තුන්දාහක් හාරදාහක් මාළු අල්ලන්න ඉන්දියාවේ ඉඳලා එනවා. ඉන්දියාවේ ධීවරයෝ උතුරේ ධීවරයෝ එක්ක මහ මුහුද මැදදී තමයි මේ මත්ද්‍රව්‍ය හුවමාරු කරගන්නේ. ඒ බෝට්ටුවෙන් මේ බෝටුවට භාර දෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ මේ දෙරටේම ධීවරයින්ට සල්ලි දීලා මේ ජාවාරම කරගෙන යනවා. නාවික හමුදාව හරි වෙරළාරක්ෂක නිලධාරීන් හරි ඒ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බෝට්ටු පරීක්ෂා කරන්න බෝට්ටුව තුළට පැන්නොත් ඒ මත්ද්‍රව්‍ය සේරම මුහුදට දානවා. පස්සේ ඔවුන් ඒවා හොයාගන්න විවිධ ක්‍රම භාවිත කරනවා. සමහර බෝට්ටුවල දිග කම්බි ඇදලා මුහුද යටට මේ මත්පෙති ලොකු පාර්සල්වල ගිල්වලා තමයි ඔවුන් ඒවා අරන් එන්නේ. ඒ පාර්සල් ඇතුළට වතුර නොයන විදිහට ඔවුන් ඒවා සීල් කරලා තියනවා.“යැයි යාපනය පොලිසියේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධරයෝද පෙන්වා දෙති.

කොතරම් සූක්ෂම අන්දමට මෙම මත්පෙති හා මත්ද්‍රව්‍ය ජාවාරම උතුරු ප්‍රදේශය තුළ කරගෙන යාමට ජාවාරම්කරුවන් උත්සාහ කළද උතුරේ ආරක්ෂක අංශ ඒ ජාවාරම්කරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට විශාල පරිශ්‍රමයක් දරමින් සිටිති. යුක්තිය මෙහෙයුම ඒ අතරවාරයේ පැමිණීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට වෙහෙසෙන පොලිස් හා සෙසු ආරක්ෂක අංශ නිලධාරීන්ට විශාල රුකුලක් වී තිබේ.

මන්නාරම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ඒ. එස්. චන්ද්‍රපාල, සහකාර පොලිස් අධිකාරි ඒ. එම්. සී. පී. හේරත් මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.එම්.කේ.එන්.කේ. සිල්වා, සැරයන්වරුන් වන (36501) රත්නමලල, (74927) ගුණසිංහ, කොස්තාපල්වරුන් වන (66638)අසංක, (83790) විමුක්ති, (90464) දිසානායක, (37662) කරුණාසිංහ, (35399) අබේකෝන්, (37883 ) ප්‍රේමරත්න, (25227 ) සුබිදරන්, (105235 )කුමාර සහ කොස්තාපල් රියැදුරු (3840 ) බස්නායක යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

රසුල දිල්හාර ගමගේ - උතුරු පළාත් විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division