Home » මෙහෙයුමට බියේ හික්කඩුවෙන් පැන්න ‘සංකු’ යි සගයන් 12යි සෙල්ල කතරගම හෝටලයක

මෙහෙයුමට බියේ හික්කඩුවෙන් පැන්න ‘සංකු’ යි සගයන් 12යි සෙල්ල කතරගම හෝටලයක

by thanushika
February 10, 2024 12:30 am 0 comment

මෙරට ක්‍රියාත්මක පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය අතර ඉහළින් නම් දරා සිටින්නේ දකුණේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය යැයි කීම නිවැරදිය. ලෙයින් ලෙයට ලෙසින් පළි ගැනීමේ පාතාල න්‍යායේ ඔස්තාර්ලා ලෙස ඔවුන් නම් දරා සිටින්නේ දකුණේ පාතාලයේ ඇති බිහිසුණු ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර නිසා විය යුතුය. පාතාලය සහ දකුණේ මත්ද්‍රව්‍ය ජාලය කොතරම් හිස ඔසවා තිබුණේද යන්න පසුගිය කාලය පුරා සිදු වූ ඝාතන හා ජාවාරම් තුළින් මනාව පැහැදිලි කර ගත හැකිය. දිගින් දිගටම ඉවක්-බවක් නොමැතිව රට තුළ සිදුවන අපරාධ රැල්ල වැඩි වීම හේතුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් “යුක්තිය“ නමින් රට පුරා ක්‍රියාත්මක කෙරෙන්නේ මේ අනුවය. එහි ප්‍රතිඵලයක් ලෙස පාතාලයේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයේ හාල්මැස්සන් සේම තෝරු මෝරු රැසක්ද මේ වන විට පොලිසියට සහ ආරක්ෂක අංශවලට කොටුවී හමාරය.

පොලිසිය දිවා රෑ දෙකෙහිම ක්‍රියාත්මක කරන “යුක්තිය” මෙහෙයුම හේතුවෙන් අපරාධකරුවන් අසරණව ඔවුනට පැන යාමට ඉඩක් නොලැබී ඇත.

මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයේ දකුණේ ප්‍රබලයෙකු ලෙස නම් දරා සිටින්නේ ‘සංකූ’ය. ඔහු යටතේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සාමාජිකයන්ගේ සංඛ්‍යාව ඔහුද නොදන්නා තරම්ය. කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරමට යම් කලකට හෝ ‘තිත තියන්නට’ ‘සංකූ’ ඇතුළු කණ්ඩායමට සිදු වූයේ ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ගෝලබාලයන් රොත්තක් යුක්තිය මෙහෙයුම යටතේ පොලිස් අත්අඩංගුවට පත්වීම නිසාය. දකුණේ විසිරී පැතිරී සිටි ගෝලබාලයන් බුරුතු පිටින් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ ‘සංකුගේ’ මත්ද්‍රව්‍ය ජාලයද මඳක් අඩපණ වන්නට වීය. එපමණක්ද නොව අත්අඩංගුවට පත්වන ගෝලබාලයෝද පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ‘සංකුගේ’ මත්ද්‍රව්‍ය ජාලයේ රහස් ද හෙළි කරන්නට විය. ‘සංකු’ හික්කඩුවේ පදිංචිකරුවෙකු වූ අතර ඔහු හික්කඩුව සහ කොළඹ සිට දකුණේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීය. ‘සංකු’ ඇතුළු පිරිසද කාලාන්තරයක් තිස්සේ මුදල් වියදම් කරමින් සිය ආරක්ෂාව සපයාගෙන සිටියත් “යුක්තිය” මෙහෙයුම දිගින් දිගටම අස්සක් මුල්ලක් නෑර පීරමින් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම නිසා ‘සංකු’ ඇතුළු සංකුගේ කල්ලියේ ප්‍රබලයන් 13 දෙනෙකු සිය ආරක්ෂාව පතා කලක් කොහේ හෝ සැඟවී සිටීමට තීරණය කරන්නේ “යුක්තිය“ මෙහෙයුමෙන් ගැලවීම සඳහාය.

‘සංකු’ ඇතුළු පිරිස මේ සඳහා තෝරාගත්තේ ‘සෙල්ලකතරගම දඹේ’ ප්‍රදේශයේ පිහිටි හෝටලයකි. නගරයෙන් ඈතට වන්නට සුන්දර කැලෑ සහිත පරිසරයක මෙම හෝටලය පිහිටා තිබිණි. සංචාරක පිරිස හැරුණුකොට ගම්මුන් මෙම හෝටලය පිහිටි ප්‍රදේශයට නොපැමිණීම ‘සංකූ’ ඇතුළු පිරිසට වාසියක්ව පැවතිණි. මේ නිසා සංකූ ඇතුළු 13 දෙනෙකු පසුගිය දෙසැම්බර් මස 20 වන දින සෙල්ලකතරගම ‘දඹේ’ ප්‍රදේශයේ පිහිටි හෝටලයට ආවේ මෝටර් රථ දෙකකිනි. එලෙස පැමිණි ‘සංකූ’ ඇතුළු පිරිස හෝටලයේ නැවතී කා බී විනෝද වෙමින් සිය මත්ද්‍රව්‍ය ජාලය යළි සක්‍රිය කිරීමට අදාළව සැලසුම් සකස් කළහ. මෙලෙස දින කිහිපයක් තිස්සේ මෙම පිරිස හෝටලයේ නවාතැන් ගෙන සිටීමත් සමඟ එහි ඇතැම් සේවකයන්ටද ‘සංකූ’ ඇතුළු පිරිස පිළිබඳව යම් සැකයක් මතුව තිබිණි. කෙසේ වෙතත් හෝටලයේ සේවක පිරිස සිය හෝටලයට පැමිණි පිරිසට ඉහළින් සත්කාර කරන්නට වූයේ ඔවුන් ඒ සඳහා නියමිත පරිදි මුදල් ගෙවීම නිසාය.

පසුගිය දෙසැම්බර් 23 වැනිදා අලුයම තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබිණි. ඉන් කියවුණේ ‘සංකු’ නමැත්තා ඇතුළු පිරිසක් ‘දඹේ’ ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටින බවය. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙම පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට පැවරුවේය. තංගල්ල පොලිස් කොට්ඨාසයේ සිදුවන අපරාධ සහ නොවිසඳුණු අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයටද පැවරී තිබිණි. ඒ සඳහා දක්ෂ නිලධාරීන් කණ්ඩායමක්ද තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව සිටී. තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ලද උපදෙස් මත තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධරයෝ කලින් සකස් කරගත් සැලසුමකට අනුව සෙල්ලකතරගම ‘දඹේ’ ප්‍රදේශයට ගියහ. වෙස් වළාගෙන ගොස් හෝටලයට ඇතුළු වූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු සංකු ඇතුළු කල්ලිය ගැන සියලු තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරී කණ්ඩායම අදාළ හෝටලය වටලා ‘සංකු’ ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට පත් ‘සංකූ’ දකුණු පළාතේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලයේ සිටින ප්‍රබල පුද්ගලයකු හා සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයකු බවට අනාවරණය විය. ඔහු සුදුවැල්ල, නලාගස්දෙනිය, හික්කඩුව ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි. සංකු අත්අඩංගුවට පත් වන අවස්ථාවේ ඔහු සමඟ සිටි තවත් ඔහුගේ ප්‍රධාන ගෝලයන් 12 දෙනෙකුද අත්අඩංගුවට පත් වූහ. ඔවුන් හික්කඩුව, තෙල්වත්ත, ඌරගස්මංහන්දිය, බළපිටිය සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝය. අත්අඩංගුවට ගැනුණු සංකූ ඇතුළු පිරිසගෙන් සිදු කරන ලද මූලික ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ ‘යුක්තිය’ මෙහෙයුම නිසා අත්අඩංගුවට පත් වේවි යන බිය නිසා මෙලෙස සෙල්ලකතරගම හෝටලයකට පැමිණ සැඟවී සිටි බවයි.

වැටලීම සිදුකරන අවස්ථාව වන විටත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 8790ක්ද අත්අඩංගුවට ගැනිණි. එමෙන්ම ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැක කෙරෙන සුදු පැහැති වෙසල් වර්ගයේ මෝටර් රථයක් සහ කළු පැහැති වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක්ද එම හෝටලයේ තිබී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් මෝටර් රථ දෙක සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිසියට බාර දීමට කටයුතු කෙරුණු අතර කතරගම පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් ෙකරිණ. එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බි. කීර්තිරත්නගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයවීර ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division