Home » ඇතිමලේ රාලහාමිට ලැබුණු ඔත්තුවෙන් කැබිලිත්තේ අක්කර 14ක කංසා හේන් පත්තු වෙයි

ඇතිමලේ රාලහාමිට ලැබුණු ඔත්තුවෙන් කැබිලිත්තේ අක්කර 14ක කංසා හේන් පත්තු වෙයි

by thanushika
February 10, 2024 12:30 am 0 comment

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ උපදෙස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග යටතේ රට පුරා ක්‍රියාත්මක “යුක්තිය“ මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය සහ ජාවාරම්කරුවන් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීම මේ වන විට ජනතා ප්‍රසාදයට පත්ව ඇති අතර, ඒ නිසාම මෙහෙයුම් සඳහා අවශ්‍ය තොරතුරු ද ජනතාව අතරින් නිතැතින් ගලා එන්නට පටන්ගෙන ඇත.

මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර ඈත අතීතයේ සිට පැවත එන මත්ද්‍රව්‍ය වන්නේ ‘ගංජා’ය. එදා සුළු පරිමාණයෙන් හොරට සිදු කළ ගංජා වගාව විවිධ පුද්ගලයන්ගේ සූක්ෂම ක්‍රියා හමුවේ වර්තමානය වන විට එය මහා පරිමාණ වගාවන් බවට පත්වෙමින් අත්තේ මහා රක්ෂිත භූමි ද විනාශ කර දමමිනි.

ඇතිමලේ පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් (69521) කරුණාසේනට පසුගිය දිනෙක හදිසියේ ලද තොරතුරුකින් කියැවුණේ කැබිලිත්ත රක්ෂිතය විනාශ කරමින් මහා පරිමාණ ලෙස සිදු කරගෙන යන කංසා වගාවක් පිළිබදවයි. එම තොරතුරට අනුව එම කංසා හේන අක්කර දාහතරක් පුරා ව්‍යාප්ත කර ඇති අතර, එය කොටස් වශයෙන් පවත්වාගෙන යන බව ද කියැවිණි.

කොස්තාපල් කරුණාසේන තමාට ලද තොරතුරු වහා දැනුම් දුන්නේ ඇතිමලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. අබේසිංහටය.

“සර්… මට හොඳම ඉන්ෆොමේෂන් එකක් ආවා. කැබිලිත්ත රක්ෂිතයේ කරගෙන යන ලොකු කංසා වගාවක් ගැන. එතන අක්කර දාහතරක්ලු. හතර වටේ ඔත්තු බලන්න මිනිස්සු හොඳට දාගෙන වැඩේ මහා පරිමාණෙන් කරගෙන යනවා කියලයි ආරංචි. රක්ෂිතයත් කපා දාලලු.”

කොස්තාපල් කරුණාසේනගේ මෙම තොරතුරින් තමා කලෙක සිට අපේක්ෂාවෙන් සිටි යමක් ලැබුණු පරිද්දෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේසිංහ තුළ ඇති කළේ දැඩි සතුටකි.

“කරූ, ඒක මාරු තොරතුරක්. ආයෙ මේ ගැන හිත හිතා ඉන්න බෑ… අපි දැන්ම ඔපරේෂන් එක කරමු. මම ‘ඩිවිෂන් සර්ටත්’ දැන් මේ ගැන කියන්නම්. ඔයා ගිහින් ඉක්මනට එස්.අයි. මනෝජ් සිල්වට එන්න කියන්න. ඔයා මේ ගැන තව තවත් විපරමින් ඉන්න. මම ඉතිරි වැඩ ටික ප්ලෑන් කරන්නම්“

තම ප්‍රධානියාගේ ඇගැයීම සහ උනන්දු කරවීම තුළින් සතුටට පත් කරුණාසේන ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයෙන් පිටව වහා පොලිස් ස්ථානයේ පාලන හා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මනෝජ් සිල්වා වෙත ගොස් ප්‍රධානියා දුන් පණිවිඩය ලබා දුන්නේය.

ලද පණිවිඩයට අනුව ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක මනෝජ් සිල්වා කඩිනමින් ගොස් පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට ඇතුළු වන විටත් ස්ථානාධිපතිවරයා තම නිලධාරියා සොයා ගත් තොරතුර මොනරාගල දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගම්සූරියට දැනුම් දී අවශ්‍ය උපදෙස් ලබා ගනිමින් සිටියේය.

“එස්. අයි. මනෝජ්… අපිට හොඳ තොරතුරක් ආවා කැබිලිත්ත රක්ෂිතයේ කරගෙන යන මහා පරිමාණ කංසා හේනක් ගැන. ඔයා මේ දැන් ටීම් එකක් සූදානම් කරන් කැලේට යන්න. අපි මේක හරි කල්පනාවෙන් කරන්න ඕන. ඩිවිෂන් මහත්තය කීවෙත් හානි අවම කරගෙන ඔපරේෂන් එක හොඳට ප්ලෑන් කරලා කරන්න කියලා. වැඩේ කරන්න ඕන විදිහ මම කියන්නම්“

ප්‍රධානියාගේ උපදෙසත් සමඟ කාමරයෙන් පිටතට පැමිණි උප පොලිස් පරීක්ෂක මනෝජ් සිල්වා නිලධාරීන් දහතුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මෙහෙයුම සඳහා සූදානම් කළ අතර, එදිනම කැබිලිත්ත රක්ෂිතය බලා පිටත් වූයේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක මුහුණදිය හැකිසේ සියලු අවි ආයුධ ද සූදානම් කරගෙනය.

පැය කීපයක ගමනකින් පසු රක්ෂිතයට ඇතුළුවූ පොලිස් කණ්ඩායම දින තුනක් පුරා සිදුකළ මෙහෙයුමේදී අක්කර දාහතරක් පුරා විහිදී තිබූ කංසා හේන් පහක් සොයාගත් අතර, සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගන්නා ලදී. පොලිස් කණ්ඩායම කංසා පැළ දෙලක්ෂ දසදහසක් සමඟ හෙන් සියල්ල ගිනි තබා විනාශ කර දමන ලදී. ඒ අතර සිදු කළ විශේෂ සෝදිසියේදී අලෙවිය සඳහා සූදානම් කර තිබූ වියළි කංසා කිලෝ තිස්දෙකයි ග්රෑම් හයසිය පනහක් ද අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20, 30 සහ 50 වයසේ පසුවන්නන් වූ අතර, සැකකරුවන් දෙදෙනෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයෙත් එක් සැකකරුවෙකු අඟුණකොළපැලැස්ස ප්‍රදේශයෙත් පදිංචි බවට කරුණු අනාවරණය විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් වූ තොරතුරු මත එක් සැකකරුවෙකුගේ නිවසේ තිබී කංසා කිලෝ ග්රෑම් 7.47ක් ද තවත් සැකකරුවෙකුගේ නිවසේ තිබී කංසා කිලෝ ග්රෑම් 7යි ග්රෑම් 499ක් ද සොයා ගන්නා ලදී.

රැඳවුම් නියෝග ලත් දින හත ගතවීමෙන් පසු සැකකරුවන් නැවත සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බණ්ධනාගාරගත කෙරිණි.

ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක, මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ. එච්. වීරසේකර, මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගම්සූරිය සහ සහකාර පොලිස් අධිකාරී එච්. ඩබ්ලිව්. උදය කුමාරගේ උපදෙස් මත ඇතිමලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. අබේසිංහගේ මඟපෙන්වීමෙන් පාලන හා අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මනෝජ් සිල්වා ඇතුළු නිලධාරී කණ්ඩායමක් වැටලීම සිදු කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division