Home » අන්තර්ජාලයෙන් බිස්නස් පෙන්වා ලක්ෂ ගණන් වංචා කළ තුන්දෙනාගේ කල්ලිය

අන්තර්ජාලයෙන් බිස්නස් පෙන්වා ලක්ෂ ගණන් වංචා කළ තුන්දෙනාගේ කල්ලිය

by thanushika
February 10, 2024 12:30 am 0 comment

කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි සමන් කුමාරට නොදන්නා දුරකතන අංකයකින් කෙටි පණිවිඩයක් ලැබෙන්නේ පසුගිය දිනකය. ඒ අන්තර්ජාලය ඔස්සේ ‘අමතර රැකියාවක්’ කිරීමට ආරාධනාවක් වශයෙනි. තවද එම පණිවිඩයේ අන්තර්ජාල ව්‍යාපාරයක් හරහා වැඩි ආදායමක් ලබාගත හැකි බවත් ඒ සඳහා ටෙලිග්‍රෑම් සමූහයකට සම්බන්ධ වන ලෙසත් සඳහන්ව තිබිණි. සමන් කුමාර ටෙලිග්‍රෑම් සමූහයට සම්බන්ධ වීමට තීරණය කරන්නේ මේ කාලයේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙනි.

දුරකතනයට ලැබුණු පණිවිඩයේ තිබූ අංකයෙන් ටෙලිග්‍රෑම් සමූහයට සම්බන්ධ වුණු සමන් එහි පළකර ඇති දැන්වීම් කියවා බලන්නේ ‘ඔන්ලයින් බිස්නස්’ එක පිළිබඳ විස්තර දැන තහවුරු කරගැනීමටය. එහිදී තමන්ට ප්‍රතිලාභ රැසක් අත්වන බවත් මෙය විශ්වසනීය ඔන්ලයින් බිස්නස් එකක් බවත් බැලූ බැල්මට තහවුරු වන අන්දමේ දැන්වීම් බොහෝය. ඇත්තෙන්ම කෙනෙකුට දෙවරක් නොසිතා ඊට සම්බන්ධ වීමට එම විස්තර හොඳටම ප්‍රමාණවත්ය.

සමූහයේ ඇති සියලු විස්තර කියවා බැලීමෙන් අනතුරුව සමන්ට Job Task (මෙහිදී පැවරෙන්නේ විවිධ වෙබ් අඩවි ප්‍රවර්ධනය සඳහා එම වෙබ් අඩවිවලට පිවිසෙන ක්‍රියාකාරකමකි.) නමින් ක්‍රියාකාරකම් පවරා ඇත. ඉන් අනතුරුව ඔහුට ප්‍රතිලාභ වශයෙන් රු. 900ක මුදල් හිමිව ඇති බව පණිවිඩයක් ලැබිණි. සමන්ට මෙම ඔන්ලයින් බිස්නස් එක පිළිබඳ විශ්වාසය යළි තහවුරු වන්නේ සුළු වේලාවක් තුළදී ලැබුණු මුදල් ප්‍රතිලාභය හේතුවෙනි. ඒ අඩු මුදලක් වුවද ක්‍රියාකාරකම අවසන් වූ එසැණින් මුදල් ලබා දීමට සමන්ට බැංකු ගිණුම් අංකයක් ලබා දෙන ලෙස පණිවිඩයක් ලැබී තිබෙන අතර කියූ පරිදි ඔහුට එම රු. 900ක මුදල බැර වීමට ගත වන්නේ ද සුළු මොහොතකි.

ඉන් අනතුරුව ටෙලිග්‍රෑම් සමූහය මඟින් සමන්ට ආයෝජන සැලැස්මක් පිළිබඳ දැනුම්වත් කිරීමක් සිදු කෙරිණි. මෙහිදී පළමුව රු. 4,900ක මුදලක් ඔවුන් විසින් ලබා දෙන ගිණුම් අංකයකට බැර කිරීමෙන් 30%ක ප්‍රතිලාභයක් හිමි වන බවත් ලාභාංශය ද සමඟ මුළු මුදල ගිණුමට බැර කරන බවත් සඳහන් කැරිණි. සමන් පළමු රු.4900ක වාරිකය ඔවුන් ලබා දුන් පෞද්ගලික බැංකු ගිණුමකට දමා ඇති අතර ලාභාංශයද සමඟ රු. 6370ක මුළු මුදල නැවත ලබා දීමට මෙම වංචාකාරයන් ක්‍රියා කර තිබේ. ඉන්පසු නැවත රු.14,000ක මුදල් ආයෝජනයක් ද ඊට ලාභාංශද සමඟ රු. 18,200ක මුදලක් නැවත ලැබෙන බවත් දන්වා ඇත. සමන් එම මුදලද ගිණුම් ගතකොට ප්‍රතිලාභ හිමි කර ගැනීමට සමත් වී තිබේ. දැන් සමන්ට මෙම ‘ඔන්ලයින් බිස්නස්‘ එක ගැන කිසිම සැකයක් නැත. සමන්ට තව තවත් ආයෝජන සැලසුම් ඉදිරිපත් කිරීමට මෙම සමූහය මඟින් කටයුතු කෙරිණි.

ඊළඟ ආයෝජනය රු. 750,000කි. එය තැන්පත් කිරීමෙන් පසු රු. 1,050,000ක මුදල් ප්‍රතිලාභයක් හිමිවන බවට ඔවුන් පවසා ඇත. එම මුදල තැන්පත් කිරීම සඳහා වෙනත් බැංකු ගිණුමක් ඔහුට ලබා දීමට ද වංචාකාරයන් සමත් වී තිබේ. සමන් ඔවුන් කී රු. 750,000ක මුදල තැන්පත් කර ඊට අදාළ ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙන් ටෙලිග්‍රෑම් සමූහයෙන් විමසීමක් කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ පද්ධතියේ ඇති දෝෂයක් හේතුවෙන් ගෙවීම් සිදු කිරීමට නොහැකි බවය. එහිදී රු. 850,000ක් බැගින් දෙවරක් තැන්පත් කරන ලෙසත් ඊට 40%ක ලාභාංශ ද සමඟ රු. 3,430,000ක මුදලක් ලබාගත හැකි බවටත් සමන්ට ටෙලිග්‍රෑම් ඔස්සේ දැනුම් දී තිබේ. එම මුදල් තැන්පත් කිරීමට ද වෙනම ගිණුම් අංකයක් සමන්ට ලබා දී තිබිණි. ඒ සමඟම ඒ පිළිබඳ යම්කිසි සැකයක් සමන්ට ඇති වී තිබේ. කෙසේ වෙතත් සමන් මුලින් ආයෝජනය කළ මුදල ලබා ගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් රු. 850,000ක මුදල ද අවස්ථා දෙකකදී තැන්පත් කර ඇත. ඊට ලැබෙන ප්‍රතිලාභ ද ප්‍රමාද වීම හේතුවෙන් නැවත සමන් ටෙලිග්‍රෑම් සමූහයට දැනුම් දීමෙන් අනතුරුව නැවත රු.1,700,000 ක මුදලක් තැන්පත් කරන ලෙසත් එම මුදල තැන්පත් කිරීමෙන් අනතුරුව රු. 5,810,000ක මුදල් ප්‍රතිලාබ වශයෙන් හිමිවන බවත් පවසා තිබේ. ඒ සමඟම මෙම ගනුදෙනුව අවසන් වන බව පවසා ඇත. සමන්ට ඒ පිළිබඳ සැකය තීව්‍ර වන්නේ ඉන් පසුවය. තමා මුදල් තැන්පත් කළ ගිණුම පිළිබඳ විස්තර සොයා බැලීමේදී එක් ගිණුමක් අක්‍රිය තත්ත්වයේ පවතින බව දැනගැනීමෙන් තමන් වංචාවකට හසුව ඇති බව සමන්ට තේරුම් යන්නේය.

මේ පිළිබඳ පැමිණිල්ල පළමුව ලැබෙන්නේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙතය. ඉන් අනතුරුව පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා වෙත එම විමර්ශන කටයුතු භාර දීමෙන් අනතුරුව පරීක්ෂණ අරඹා තිබේ.

විමර්ශන නිලධාරින් ප්‍රථමයෙන්ම මෙම බැංකු ගිණුම් වාර්තා පිළිබඳ විස්තර ගෙන විශ්ලේෂණයක් සිදු කෙරිණි. එමඟින් බැංකු ගිණුම් හිමිකරුවන් පිළිබඳ විස්තර සොයා ගැනිණි. එක් ගිණුම් හිමි පුද්ගලයකුට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත. සැකකරු පොලිසියට පැමිණි පසු ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගැනීමේදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවිණි. තවත් ගිණුම් දෙකක හිමිකරුවන් ද ඒ ඔස්සේ විමර්ශන සිදුකොට අත්අඩංගුවට ගැනිණි. තවද මේ වංචාවට සම්බන්ධ පිරිසක් සිටින අතර ඔවුන් සඳහා ද මේ වන විටත් පොලිස් දැල එළා අවසන්ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොච්චිකඩේ, කොළඹ සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි. සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනකු ඇප මත මුදා හැර ඇත. සෙසු පුද්ගලයා රිමාන්ඩ් කර තිබේ.

දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම වංචාව පිළිබඳ සියලු තොරතුරු හෙළි කරගැනීමට පොලිස් නිලධාරිහු සමත් වූහ. මෙලෙස විවිධ ස්ථානවලින් සොයා ගන්නා දුරකතන අංකවලට පණිවිඩ යවන බවට අනාවරණය වී තිබේ.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වාගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ඇන්සලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් විමර්ශන ඒකක 07 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත ධර්මරත්න, උ.පො.ප. ඒකනායක, කොස්තාපල්වරුන් වන (91816) කුමාර, (97116) පරණවිතාන, (97126) දේවින්ද, (104154) බණ්ඩාර, (104290) දේශාන් යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division