Home » මඟුල් ගෙදර ආරවුල මහ පාරේදී විසඳන්න හැදූ ‘දෙල්ගොඩ රවී’ ‘බජා’ එක්ක තෙබුවනදී යුක්තියට කොටුවූ හැටි

මඟුල් ගෙදර ආරවුල මහ පාරේදී විසඳන්න හැදූ ‘දෙල්ගොඩ රවී’ ‘බජා’ එක්ක තෙබුවනදී යුක්තියට කොටුවූ හැටි

by thanushika
February 10, 2024 12:30 am 0 comment

රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් මහජනයාට නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම වස් පොලිස් දෙපාර්තමේන්තුවේ අතිබහුතරයක් නිලධාරිහු දිවරෑ නොතකා වෙහෙසෙති. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති තනතුරට පත්වීමත් සමඟ බලගැන්වුණු යුක්තිය මෙහෙයුම ඔස්සේ මේ වන විට රටේ අපරාධවල පැහැදිලි අඩුවක් දිස්වන බව ඉකුත්දා එවකට අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි කාලිංග ජයසිංහ ඉදිරිපත් කළ දත්ත වාර්තාවලින් ද මනා ලෙස පැහැදිලි විය.

2022 වසරේ දෙසැම්බර් 17 සිට 2023 වසරේ ජනවාරි 03 දක්වා බරපතළ අපරාධ 1477ක් වාර්තා වෙද්දී 2023 වසරේ දෙසැම්බර් 17 දින සිට 2024 වසරේ ජනවාරි 03 එනම් යුක්තිය මෙහෙයුම ඇරැඹි පළමු සති දෙක තුළදී පමණක් එම සංඛ්‍යාව 1313 දක්වා පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවට සංඛ්‍යා දත්තවලින් ද පැහැදිලි වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

පොලිස් දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එක්ව සාර්ථකව සිදුකරන යුක්තිය මෙහෙයුම නිසා එලෙස අපරාධවල සංඛ්‍යාත්මක අඩුවක් පෙන්වද්දී මිනිස් ඝාතනයකට අරඅඳිමින් සිටි අපරාධකාරයන් දෙදෙනෙකු කොටුකර ගැනීමට කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් කෝරාල ඇතුළු කණ්ඩායමට පසුගියදා හැකි වූයේ මහජනයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරමිනි.

එම අපරාධකාරයන් දෙදෙනා නීතියේ රැහැනට කොටුකළ මෙහෙයුම පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේය.

ඉකුත් ජනවාරි 30 වැනිදා පෙරවරු 9.30ට පමණ කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් කෝරාලට සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් විශ්වාසවන්ත තොරතුරක් ලැබිණි.

“සර්… කවුදෝ දෙන්නෙක් කළුතර – හොරණ පාරේ තෙබුවන බෝගහ හන්දියට ඇවිල්ලා ඉන්නවා… කළු පාට මරුටි කාර් එකකින් තමයි උන් ඇවිත් ඉන්නෙ… මොකක්හරි ආයුධයකුත් ළඟ තියාගෙන ඉන්නවා වගේ පේන්නේ… පාරේ යන කාටහරි කරදරයක් කරන්න වගේ හදන්නේ… ඉක්මනටම මොනවහරි කරන්න වෙයි… නැත්නම් මොකක්හරි ලොකු අපරාධයක් වෙන්නයි යන්නේ…“ ඔත්තුකරු කීවේ එවැනි කතාවකි.

ලද තොරතුරු පිළිබඳ පොලිස් පරීක්ෂක නුවන් සැණින් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරින් දැනුවත් කළේය. ඒ අනුව කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂගේ ඍජු අධීක්ෂණයෙන් එම අපරාධකරුවන් අල්ලා ගැනීමට යුහුසුලුව මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

ඒ වන විට අපරාධකාරයන් දෙදෙනා රැඳී සිටි කළු පැහැති මරුටි මෝටර් රථයේ අංකය ඇතුළු සියලු තොරතුරු ද ඔත්තුකරුවා විසින් පොලිස් පරීක්ෂක නුවන් කෝරාලට ලබා දී තිබිණි. මරුටි රථයේ අංකය වූයේ WP KI – 5537ය. එම රථය සොයා පොලිස් පරීක්ෂක නුවන් සමඟ සැරයන්වරුන් වන සුසිල්, ඉන්දික, තාරක, කොස්තාපල්වරුන් වන ප්‍රියන්ත, අසංක සහ අමල්ක යන නිලධාරි කණ්ඩායම විනාඩි කීපයක් යද්දී අදාළ ස්ථානයට ළඟා වූහ. ඒ වන විට වේලාව දහවල් 11ට පමණ විය.

අදාළ රථය කළුතර – හොරණ පාර යාබදව නාත්තුපාන, බෝගහ හන්දිය අසල නතර කර තිබුණේය. එලෙස රථය නතරකර තිබුණද රථයේ එන්ජිම පණ ගන්වාගෙන සිටියේය. ඒ කුමක් හෝ අපරාධයක් සිදුකොට පලා යාමේ අටියෙන් බව රථය දුටු සැණින් පොලිස් නිලධාරින්ට ඒත්තු යන්නට විය. ක්ෂණයෙන් මෝටර් රථය වට කළ පොලිස් කණ්ඩායම රථය පරීක්ෂා කළේය. ඒ වන විට රථයේ සිටියේ දෙදෙනෙක් පමණි. ඒ ඉදිරිපස අසුනේ සහ රියැදුරු අසුනේය.

නිලධාරින්ගේ සංඥාවට රථයෙහි දොර විවෘත විණි. ඉදිරිපස එක් දොරක් විවෘත වනවාත් සමඟ නිලධාරින් දුටුවේ ඉදිරි අසුනේ වාඩිවී සිටින පුද්ගලයාගේ දෙපා මුල පෝර උරයක් තිබෙන ආකාරයකි. එය පරීක්ෂා කළ පොලිස් නිලධාරින්ට සිහිපත් වන්නට වූයේ සිය තොරතුරුකරුවා ලබා දුන් හෝඩුවාව ‘ටක්කෙටම’ නිවැරැදි බවයි. ඒ පෝර උරයේ බහා තිබුණේ ස්වයංක්‍රිය තුවක්කුවක් බව දුටු හෙයිනි. අනතුරුව රියැදුරු අසුනේ සිටි පුද්ගලයාද පරීක්ෂා කෙරිණි.

ඔහුගේ දෙපා අසල තිබී හෙරොයින් යම් ප්‍රමාණයක්ද හසුවිණි. පසුව පරීක්ෂා එය කරද්දී එම ප්‍රමාණය හෙරොයින් ග්රෑම් 11ක් පමණ බවට තොරතුරු හෙළි විය. එලෙස එම අපරාධකාරයන් දෙදෙනා ළඟ තිබූ තුවක්කුව මෙරට නිෂ්පාදිත ටී56 ගිනිඅවියක් වැනි අවියකි. ගිනිඅවිය සහ හෙරොයින්වලට අමතරව මෝටර් රථයේ තිබි අත්බෝම්බ දෙකක්ද සොයා ගැනිණි. එම ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුණේ ‘දෙල්ගොඩ රවි‘ හෙවත් රවි ජනක සිල්වා සහ ‘බජා‘ හෙවත් මධුෂංක පෙරේරා යන දෙදෙනාය.

තුවක්කුව ළඟ තබාගෙන රථයේ ඉදිරිපස අසුනේ සිටි දෙල්ගොඩ රවි 49 හැවිරිදිය. විවාහකයකු වන ඔහුට දරුවන් තිදෙනෙකි. ඔහු දෙල්ගොඩ, උඩුවර පදිංචිකරුවෙකි. කළු ගඟේ වැලි ගොඩ දැමීම, පස් කැපීම වැනිදෑ රැකියාව ලෙස සිදුකළ ද දෙල්ගොඩ රවි ලෙස ප්‍රකට ඔහු දාමරිකයෙකි. පළාතේ නම ගිය අපරාධකාරයෙකි. ඔහු මීට පෙරද ‘මිරිහාන යුනිට්‘ ලෙස ප්‍රචලිත බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ ද ගිනිඅවියක් ද සමඟිනි.

දෙල්ගොඩ රවි සිදුකළ අපරාධ අතර මිනිසුන්ට සිදුකළ පහරදීම් වැනි දාමරික ක්‍රියාවන් ගැන එම පළාතේ ජනයා ඔහුට විරුද්ධව පොලිස් පොතේ පැමිණිලි සටහන් කර නැත්තේ ඔහුට තිබූ බිය නිසාමය. එහෙත් කළුතර කොට්ඨාස දූෂණ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නුවන් කෝරාල ඇතුළු කණ්ඩායමට දෙල්ගොඩ රවි කොටුවන දිනට පෙර දින දා රවිට එරෙහිව අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ පහර දීමක් සම්බන්ධයෙනි.

දෙල්ගොඩ රවි සමඟ රථයෙහි රිය අසුනේ සිට අත්අඩංගුවට ගැනුණේ 29 හැවිරිදි බජා හෙවත් මධුෂංක පෙරේරාය. එක් දරු පියෙක් වන මධුෂංක පදිංචිව සිටියේද දෙල්ගොඩ ප්‍රදේශයේමය. මධුෂංක ද දාමරික වැඩ කළ අයෙකි. ඔහු වරක් මූල්‍ය ආයතනයක සේවය කළ අයකුගේ අතක්ද කපා තිබුණේ අමනුෂ්‍ය යෙකු විලසිනි. ඉකුත් කාලයේ දෙල්ගොඩ රවිගේ ආරක්ෂකයා ලෙස කටයුතු කර තිබුණේ මධුෂංකය. බජා නමින් ප්‍රචලිත ඔහු දැඩි සේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙකි.

තුවක්කුව සහ හෙරොයින් සමඟ පොලිසිය බාරයට පත්වූ දෙදෙනා රැගෙන නිලධාරි කණ්ඩායම සැණින් ගියේ දෙල්ගොඩ රවිගේ නිවස සොයායි.

රවිගේ නිවසේ තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ තුවක්කුවක් සමඟ කඩු 7ක්, විදෙස් රටක නිපද වූ වායු රයිෆලයක්ද පොලිස් නිලධාරින්ට සොයා ගැනීමට හැකි විය. සැකකරුවන් දෙදෙනා සමඟ ඔවුන් පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගැනිණි. එම මෝටර් රථය ගැනද විමර්ශන නිලධරයෝ වැඩිදුර සොයා බැලූහ. එම රථයේ ලියාපදිංචි අයිතිය හිමි තැනැත්තා ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අනාවරණය කර ගැනිණි. අනතුරුව එම පුද්ගලයා ගැන සොයා බැලිණි. එහිදී පොලිස් නිලධාරින්ට අනාවරණය වූයේ රථයේ ලියාපදිංචි හිමිකරු මේ වන විට සිටිනුයේ සෞදි රාජ්‍යයේ බවයි. එම තැනැත්තා දෙල්ගොඩ රවිගේ ගජමිතුරෙකි. ඔහුට අයත් මරුටි මෝටර් රථය රවි හට පරිහරණය සඳහා ලබා දී තිබූ බව හෙළිදරව් වූයේ ඒ සමඟමය.

එසේ ගිනිඅවි සහ අවිආයුධ සමඟ අත්අඩංගුවට පත් දෙදෙනාගෙන් පොලිස් නිලධාරින් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූයේ ගිනිඅවියක් ළඟ තබාගෙන මාර්ගය අසල රථයකින් සිටියේ කුමක් සඳහා ද යන්න ප්‍රශ්න කරමිනි.

“ඇයි තමුන්ලා තුවක්කුවකුත් තියාගෙන පාර අයිනේ හිටියේ…“ නිලධාරියෙක් ප්‍රශ්න කළේය. එහෙත් දෙදෙනා නිහඬය.

තුවක්කුව සමඟ පොලිස් අත්අඩංගුවට පත් දෙදෙනා හට නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් නිරුත්තරව සිටිය නොහැකි වග ඒත්තු ගියේය. දෙල්ගොඩ රවි සහ බජා කතා කරන්නට පටන්ගත්තේ ඉන් අනතුරුවය.

“සර් අපි වෙච්ච දේ කියන්නම්… අපි එතැන හිටියේ විරාජ්ටයි තිස්සටයි ගහලා දාන්න…“ එක් අයෙක් එලෙස කීවේය.

“දෙන්නෙක්ම මරන්නද තමුන්ලා එතන හිටියේ… ඇයි තමුන් ඒ දෙන්නව මරන්න හදන්නේ? මොකක්ද ප්‍රශ්නේ…“ තවත් නිලධාරියෙක් ප්‍රශ්න කළේය.

“උන් අපිට හොඳටම ගැහුවා සර්… පහුගිය දවසක මඟුල් ගෙදරකදි තමයි ඒ දේ වුණේ…“ යැයි පවසමින් දෙල්ගොඩ රවි සහ බජා එම ගැටුමේ සුලමුල අකුරක් නෑර කියන්නට විය.

“සර්… පහුගිය ජනවාරි 22 මඟුල් ගෙයක් තිබුණා… ඒ මඟුල් ගෙදරදි අපිත් එක්ක විරාජ්ලා වලියක් ගියා… එදා විරාජුයි තිස්සයි මගේ මාමාට හොඳටම ගැහුවා…“

එදින දෙල්ගොඩ රවිගේ මාමා වන අජිත්ට කිසියම් පිරිසක් කළ පහර දීමත් සමඟ කාලයක් තිස්සේ දෙපාර්ශ්වය අතර වූ ගැටුම නැවත අලුත් විය. අජිත්ට පහර දීමත් සමඟ ක්‍රියාත්මක වූ රවි සහ බජා එසැණින් තුවක්කුවක් රැගෙන නැවත මඟුල් ගෙදර ගොස් තිබිණි. ඒ අජිත්ට පහර දුන් අයට වෙඩි ප්‍රහාරයක් දියත් කිරීමේ අටියෙනි. එහෙත් ඒ වන විට මඟුල් ගෙදර සෙනඟ පිරි ඉතිරි ගොසිනි. එසේම අජිත් ඇතුළු රවිගේ පිරිසට පහර දුන් අය ඒ වන විට මඟුල් ගෙදරින් පිටවී ගොස් සිටියේය.

“උන් අපිට ගහපු ගමන් අපි ඇවිල්ලා වෙපන් එකක් අරන් ගියා… ඒත් ඒ වෙලාවේ සර්… අපිට ගහපු උන් මඟුල් ගෙදරින් මාරුවෙලා ගිහිල්ලා හිටියේ… ඒක නිසා තමයි එදා උන් බේරුණේ… නැත්නම් එදා තමයි අපි උන්ව ඉවර කරන්නේ…. එදා බේරුණු නිසා තමයි අපි අද පාරේ රැකලා හිටියේ උන්ට ගහලා දාන්න… ඒත් සර්ලා නිසා උන් දෙන්නා මේ පාරත් බේරුණා…“ යැයි සැකකරුවෙක් එලෙස පාපොච්චාරණය කළේය.

අත්අඩංගුවට පත් දෙල්ගොඩ රවි සහ බජා නොයෙක් පාතාල කල්ලි සමඟද සබඳකම් පවත්වන බව පොලිසියට තොරතුරු ලැබී ඇතැයි විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙක් පැවැසීය.

ගිනිඅවි සහ අවිආයුධ සමඟ හෙරොයින්ද ළඟ තබාගෙන සිටියදී මෙලෙස අත්අඩංගුවට ගැනුණු දෙදෙනා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් පොලිසියට අවසර දුන්නේය.

ඒ අනුව දින තුනක කාලයක් තෙබුවන පොලිසියේ රඳවාගෙන දෙල්ගොඩ රවි සහ බජාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට ද කළුතර කොට්ඨාස දූෂණ වැටලීම් ඒකකයේ නිලධාරින්ට අධිකරණයෙන් අවසර ලැබිණි. අනතුරුව මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කළහ.

ඒ අනුව නිරපරාදේ ජීවිත දෙකක් එලොව යැවීමට සැරසුණු අපරාධකාරයන් දෙදෙනෙකු නීතියේ රැහැනට කොටුකරගැනීමට කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකයේ පොලිස් නිලධාරින්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීමෙන් හැකියාව ලැබිණි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයි. බී. ටී. සුගතපාල සහ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂගේ අධීක්ෂණයෙන් කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් කෝරාල ඇතුළු පොලිස් සැරයන්වරුන් වන 45783 සුසිල්, 60015 ඉන්දික, 74305 තාරක, කොස්තාපල්වරුන් වන 79435 ප්‍රියන්ත, 400382 අසංක සහ කොස්තාපල් රියැදුරු 89882 අමල්ක යන නිලධාරිහු සිදු කරති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division